උතුම් පෝදා
තිදොර දල්වා
පහන් හදවත්
පිනෙන් පුරවා
පතමු පැතුමක්
නිවා දමනට
හදේ වූ ගිණි දැල්…
ශ්‍රී ලංකා වාසී සියලුම ජනයාට ඇසළ මාසය ද උත්සවශ්‍රීයෙන් ආගමික භක්තියෙන් ගත කළ හැකි මාසයක් බවට පත්ව ඇත. ඇසළ මාසය ජූලි මාසයේ යෙදේ. ලංකාවේ බොහෝ පූජනීය ස්ථානවල පෙරහර පැවැත්වීම කෙරෙන්නේ ඇසළ මාසයේ නිසා එය සිංහල සංස්කෘතියේ පෙරහර මාසය ලෙස ද හැඳින්වීමට පුළුවන්.
මේ කාලේ සූර්යයා කටක රාශියේ ගමන් කරන බව ජ්‍යෝතිෂ මතයයි .මල් පිපෙන මාසය නිසා මේ මාසයේ ඇසල වීයැයි මතයක් ඇත. යල කන්නයේ අස්වැන්න මෝරන සමයයි. අතීතයේ ගැමි සංස්කෘතියට අනුව විහාරවල යුගාසන දම් දෙසීම, ගමේ නාඩගම් නැටීම, බලිතොවිල් කිරීම, මේ කාලයේ බහුල විය.
ඇසල පොහොය දිනයේ වටිනාකම පිළිබඳව මඳක් විමසා බැලුවොත්, ඇසළ පොහොය බුදුසිරිතේ වඩා වැදගත් පොහොය දිනයක් වන්නේ, සිදුහත් කුමරා සත්‍ය සොයා ගිහිගෙයින් නික්ම ගියේ හෙවත් මහාභිනිෂ්ක්‍රමණය කළේ ඇසළ පොහෝ දිනක වීම නිසාය. එමෙන්ම බෝසත් කුමරා ගිහි ගෙයින් නික්ම යාමට සමගාමීව රාහුල කුමරාගේ උපත සිදු වූයේ ද ඇසළ පුන් පොහෝදාකය.
බුදුපියාණන් වහන්සේගේ අසීමිත ධර්ම ඥානය දුකින් පෙළෙන සත්වයාට අවබෝධ කර දීමේ ශ්‍රේෂ්ඨ ආරම්භය ඇසළ පොහෝ දිනක සිදුවූ නිසා ධර්මකාමී ජනයාට ඇසළ පොහොය බොහෝ වැදගත් දිනයක් වෙයි
මේ උතුම් පොහෝ දිනයේ බරණැස ඉසිපතන මිගදායේ බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් ප්‍රමුඛ කොට ගෙන දෙව් බඹ සේනාවන්ට පළමුවරට ධම්මචක්කප්පවත්වන සූත්‍රය දහම දේශනා කළහ .
මෙම පෝය හා බැඳුණු ආගමික සිදුවීම් බොහෝ වන අතරම, වඩා වැදගත් කරුණු මෙසේ පෙළ ගැස්විය හැකි ය…
සිදුහත් කුමරු මහාමායා මව් දේවිය කුස පිළිසිඳ ගත්තේ ඇසළ පොහෝ දිනක බව බෞද්ධ ඉතිහාසය තොරතුරු දක්වයි.
සිදුහත් කුමරුගේ පුත් රාහුල කුමරු උපන්නේ ද අද වන් වූ ඇසළ පොහොය දිනයකය.
රාහුල උපත සිදු වූ එම ඇසළ පෝ දිනයේ ම සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මීම හෙවත් මහාභිනිෂ්ක්‍රමණය සිදුවූයේද අද වන් වූ ඇසළකය.
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව ඇසූ කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් විය. ගෞතම බුදු සසුනේ පළමුව සෝවාන් ඵලයට පත් ප්‍රඥාවන්තයා එතුමන් ය.ඒ අද වන් දිනකය.
මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීම සිදුවූයේද අදවන් පොහෝ දිනකයි.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු රජ ගහ නුවර දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ද අදවන් වූ ඇසළ පුන් පෝ දිනක සිදු වූ බව ඉතිහාසය කියයි.
ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසයෙහි ද ඇසළ පෝය බොහෝ වැදගත් ඓතිහාසික සිදුවීම් සනිටුහන් කර ඇත. මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පෝ දිනෙක මෙරටට බුදුදහම ගෙන ඒමෙන් පසු අරිට්ඨ ඇමැති සහ සිංහල තරුණයන් 56 දෙනෙකු මහණ වී උපසම්පදාව ලැබුවේ ඇසළ පුන් පොහෝ දින වැනි අද වන් දවසකයි.
දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දළදා වහන්සේ මෙරටට රැගෙන ආවේ ඇසළ පුන් පොහෝ දිනකය .
ශාසන ඉතිහාසය පුරා බුදු දහමේ වැටීම් නැගී පෙන්නුම් කරන බුදුදහම මෙරටින් අතුරුදහන් ව තිබූ කාලයක උපසම්පදාව යළි ඇති කිරීම සඳහා සියම් රටින් “උපාලි” නම් භික්ෂූන් වහන්සේ කෙනෙකුන් ගෙන් වා උපසම්පදාව පිහිටවූයේද අද වන් වූ උතුම් පොහෝ දිනකයි. ඒ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ දීය.
ගිහි පැවිදි ශාසනික සම්බන්ධතාවය තහවුරු කරන වස් විසීමේ චාරිත්‍රයට අනුව භික්ෂූන් පෙර වස් විසීම ඇසළ පොහොයෙන් ඇරඹෙයි.
මේ අනුව,බුදුන් වහන්සේ ලොව පහළ වීමට පෙර සිටම ද ඇසල පෝය විවිධ ආගමික පිළිගැනීම් හා සම්බන්ධව තිබුණු බව පෙනේ. විශේෂයෙන් දෙවි දේවතාවුන් පිදීමට මෙම පෝය දින වෙන්කර තිබිණි. වර්තමානයේ ඇසල පෝය සමයේ පූජනීය ස්ථානවල පවත්වන පෙරහර සියල්ලම බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සහ ධාතු වන්දනාව ප්‍රමුඛ කර ගන්නා සේම, විවිධ වූ දෙවි දේවතාවුන් පිළිබඳ විශ්වාසයන්ට ගරු කොට සලකා පවත්වනු ලබයි .
මහනුවර දළදා පෙරහැර, කතරගම, සීනිගම, රත්නපුර, දෙවිනුවර, ඇම්බැක්කේ ,සහ අලුත් නුවර යන දේවාලවල පෙරහැර ද මේ කාලයේ පැවැත්වේ.
ඇසල පෝයෙහි වැදගත් සිදුවීම් ලෙස සිතට ගත යුතු ප්‍රධානම කාරණය නම් ,මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ලෝකයාට පහදා දුන් කෙළෙහි ගුණ සැලකීම යන උතුම් පණිවුඩය යි .
යමෙක් තමාට උපකාරයක් කළේද, පෙරළා ඔහුට කෘතවේදී ගුණය දැක්වීමේ ගුණය අප තුළ ද ඇති කර ගැනීම ශ්‍රේෂ්ඨ මිනිස් ධර්මයක් බවයි. බුදුරජාණන් වහන්සේ අද වන් උතුම් පොහෝ දිනයක, අප වෙත ගෙන යන ලද උතුම් පණිවිඩය… බුදුන් වහන්සේ සිදුහත් තවුස්ව, බුදු බව පතා සය වසරක් දුෂ්කර ක්‍රියා කළ සමයෙහි, උන්වහන්සේට උපස්ථාන කළේ භද්දිය වප්ප මහානාම අස්සජි කොණ්ඩඤ්ඤ යන පස්වග තවුසන් ය. බුද්ධත්වය ලබා වහාම කාට නම් පළමු ධර්මය දේශනා කරම්දැයි, සිතූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කෘතවේදී සිතට පළමුව තම ගුරුවරු සිහිවිය. ගුරුවරු මියගොස් සිටි නිසා තමාට බොහෝ උපස්ථාන කළ පස්වග තවුසන් සිහිවිය. පස්වග තවුසන් එකල සිටියේ බරණැස මිගදායේ ය.
බරණැස මිගදායේ ඉසිපතනාරාමයේ වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ, ඔවුන්ට ධර්මය දේශනා කළ සේක.
බුදු සිරිත කොතරම් අසිරිමත් ද.. පූර්වාදර්ශයන් ගෙන් පිරී ඇද්ද… ධම්මචක්කප්පවත්තන සූත්‍ර ධර්ම දේශනාව ඇසූ කොණ්ඩඤ්ඤ තවුසා, සෝවාන් විය. ඒ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම මාර්ග-ඵල ලාභියා බව දැන් ඔබ දනී.
මෙවැනි උතුම් වූ ආදර්ශයෙන් පිරුණු සිදුවීම් සහ සංස්කෘතික හරයන් සහිත ඇසල පොහොය දිනයේ බෞද්ධ වෙහෙර විහාර පුද බිම් ජනයාගෙන් පිරී යාම පුදුමයක් නොවේ.
විශේශයෙන් අනුරාධපුරය ,පොළොන්නරුව, මැදිරිගිරිය ,සහ සෝමාවතිය පුදබිම, ආගමික උත්සව විශේෂ ලෙස පැවැත්වේ. මේ සමයේ දිවයින පුරා පූජනීය වෙහෙර විහාර හා පුදබිම්වල පවත්වන පෙරහැර ගැන සිතන විට මෙය පෙරහැර මාසය සේ නම් කිරීම වරදක්ද නැත.
ලෝකප්‍රකට මහනුවර ඇසළ පෙරහැර බුදු දහමින් ඔප වැටුන සිංහල හා ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය මැනවින් විදහා දක්වන ජාතික පූජෝත්සවයක් ලෙසද සඳහන් කළ හැකිය.
අද වන් වූ උත්තරීතර පුන් පෝ දිනක, හදවත් සුගන්ධවත් වන සිතිවිලි වලින් අනූනවූ පින්බර දිනක් ලෙස ගත කරන්නට ඉඩ ලැබේවා යන්න සහෝදරත්වයෙන් ප්‍රාර්තනා ගෙන එමු…
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood