Temples of Sri Lanka

කාමාදී කෙලෙස්වලින් අන්ධ වන්න එපා…

ප්‍රියමනාප රූප ශබ්දාදී අරමුණුවලට හිත ඇදිල ගිහින් හිතේ හටගන්න සංකල්පීය රාගයට කියන්නේ ‘කාමය’ කියලා. ඒ ඇල්ම හුදු සිතිවිල්ලක් වුණාට ඒ කාමයන් සිත වසඟ කරනවා. සිහිනුවණ නැති කරනවා. ඇත්ත අමතක කරවලා මායාකාරී ඉන්ද්‍රජාලයක හිත පටලවනවා. ප්‍රිය අරමුණුවල අසාර බව, දුක් උපදවන බව දකින තුරු මේ මුළාව තුළයි අපේ ජීවිතය ගෙවෙන්නේ. සසර පුරා ම තියෙන්නේ ඒ මුළාව ම යි. ඉන්ද්‍රිය සංවරයෙන්, සීලයෙන්, ගුණවත්කම්වලින් තමයි ඒ කාමයෙන් උමතු නොවී සංවරව මිනිසුන් වාසය කරන්නේ.

කාමාදී කෙලෙස්වලින් අන්ධ වුණොත් අපායගාමී පව් රැස්වෙනවා. සියුම්, ගොරෝසු දෙයාකාරයෙන් ම රැස්වන පාපී අකුසල් නිසා සතර අපායේ ම වැඩි කාලයක් ගත කරන්න සත්වයාට සිදුවෙනවා.

මේ අන්ධභාවය සදහටම නැතිවෙන්නේ ජීවිතාවබෝධයෙන්. ඒ යථාවබෝධය ලබාදෙන සම්බුදු භාෂිත සද්ධර්මය නම්, අතිශයින්ම ආනුභාව සම්පන්නයි. මිනිස් සිතක ඇතිවන ධර්මකාමීත්වය, ධර්මාන්වය (ධර්මානුකූලව ඇතිවන පැහැදීම), ධර්ම චින්තාව… මේ සසර ගමන අසිරිමත් විදිහට වෙනස් කරනවා. නමුත්, දහම් ඇසුරෙන් වෙන ඒ වෙනස බාහිරට ප්‍රකට නෑ. බාහිරට පේන්නේ

මනුෂ්‍යයාගේ බාහිර ක්‍රියාව විතරයි. අභ්‍යන්තරයේ චින්තාවෙන් වෙන වෙනස බුදු රුවනක් හැර කවුරු නම් දනිත් ද..?

කසාවතින් බැබළු‍ණ ඉන්දියාවේ සුරට්ඨ ජනපදයේ එක තරුණයෙක් ධර්මයට පැහැදිලා, කාමයන්ගේ ආදීනව දැකලා, ප්‍රියමනාප බිරිඳ – දෙමාපියන් අතෑරලා බුදු සසුනේ පැවිදි වුණා. ගත පැවිදි කරන තරම් සිත පැවිදි කරන එක ලේසි නෑ. කෙනෙක් පැවිදි වෙද්දිම ‘මෙයා මාර යුද්ධයට ලෑස්ති වෙනවා’ කියලා සුර-අසුර අමනුෂ්‍ය ලෝකය ම දැනගන්නවා. දෙවිවරු ප්‍රීති වෙද්දී, මාර සේනාව ඔහුගේ අඩුවක් ම සොයමින් පසුපස්සේ වැටෙනවා. ඒ නිසා පැවිද්දාගේ සුළු ප්‍රමාදය පවා ඒ උතුම් පැවිදි ජීවිතයට අනතුරු කරනවා.

මේ ස්වාමීන් වහන්සේ පැවිදි වුණාට පස්සේ, කලින් තිබ්බ සසර බය අඩු වුණා. පරිස්සම අඩු වුණා. ඇස් දෙක පියා ගනිද්දී, ආසා කළ කාමයන් ම හිතේ මැවි මැවී පෙනෙද්දී, ඒකටම වසඟ වුණා. ළාමක සිතිවිලි පිළිකුල් කරනවා වෙනුවට, ඒ සරාගී අරමුණුවල ම ආශ්වාදය හෙව්වා. අන්තිමට පිරිසිදු බඹසර සීලයට තිබ්බ ආදරය, සැලකිල්ල අමතක වුණා. සංඝයා වීර්යෙන් බවුන් වඩන රාත්‍රියේ මේ භික්ෂුව විහාරයෙන් පිට වුණා. නුසුදුසු තැන්වල ඇවිද ඇවිද සීලයට හානි කර ගත්තා. පැරණි බිරිඳවත් පරණ විදිහට ම ඇසුරු කරන බව පවා හැමෝම දැනගත්තා. හොඳ නරක තේරුම් ගන්න පුළුවන් නුවණක් තිබ්බ මේ භික්ෂුව දැන් පාර වැරදිච්ච අශ්වාරෝහකයෙක් වගේ නොමඟටම වැටුණා. පිරිසිදු සඟරුවන රිදවන කටුවක් වුණා.

මෙහෙම ඉද්දි බිරිඳ ගැබ් ගත්තා. මිනිස්සුත් ඇති තරම් නින්දා කළා. පුදුමයි, මේ භික්ෂුවට ඒවා දැනුනෙ නෑ. දරුවා ලැබෙන්න ආසන්න වෙද්දි බිරිඳගේ මවුගේ ගෙදරට ඈ ව එක්ක යන්න කසාවත දරාගත් මේ භික්ෂුව වනය හරහා දැන් වඩිනවා. බිරිඳට අතරමඟ දී විළිරුදා හැදුණා. මේ තරුණ ස්වාමීන් වහන්සේට ඒ දර්ශනය අමුතු ම එකක්. වෙනදා බිරිඳගේ දුටු සුන්දරත්වය අද නෑ. මූණ විරූපී වෙලා. භ්‍රාන්ත වෙලා. සසර දුක – බය ටික ටික දැනෙන්න ගත්තා. බිරිඳ කෑමොර දෙමින් දරුවා බිහි කළා. බිරිඳත්, දරුවත් ලෙයින් තෙමිලා. දරුවගෙ ඇඟේ අසූචි තැවරිලා. ඒ ලේ ගඳ… පිළිකුල් දර්ශන දකිද්දි… මේ ස්වාමීන් වහන්සේ තුළ සැඟවී තිබුණ ධර්ම මනසිකාරය ඉස්මතු වෙලා ආවා. පුදුම කලකිරීමක් ඇති වුණා. “මේ පණුවන් පිරුණු ශරීරය පිටින් හමකින් වහල නිසා ලස්සනට පේනවා. මං ඇතුළෙ හැටි නොදැකනේ මේ පිට හමට ඇලු‍ණෙ. යටිපතුලෙ ඉඳලා කෙස්රොද දක්වාම ඇතුළෙ අසූචි පුරවලා තද කරල හමින් වහලා නෙව තියෙන්නේ. මෝහය නිසයි මෙබඳු ශරීරයට පවා අපි ඇලෙන්නේ. අදනෙ ඇතුළෙ හැටි දැක්කේ! කය ඇතුළෙ හරක් මරන තැනක් වගේනෙ. පිළිකුල් දේවල් ම පිරුණු, වටිනා ලස්සන කිසි දෙයක් නැති මේ කුණු කයට නින්දා වේවා! ඒකනේ ප්‍රඥාවන්තයෝ මේ කයට ඇලෙන්නෙ නැත්තේ! මේ මායාව මේ හිතේ මෝඩකමට ම යි ගැළපෙන්නේ! මං මෙච්චරකල්… අසූචි පිරුණ කයකට ඇලිලා… ශ්‍රේෂ්ඨ බුදු සසුනේ නපුරු ජීවිතයක් ගෙව්වා… මේ ප්‍රමාදය මට එපා!

ඒයි කාම තෘෂ්ණාව! මං තවත් නුඹේ වසඟයට යන්නෑ… මං ආයෙත් පිරිසිදු පැවිදි ජීවිතයක් පටන් ගන්නවා. සදහම් තොටට ගිහින්… රාගාදී කෙලෙස් කිලිටි සෝදලා දානවා…” කියල හිතේ ඉතා බලවත් අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා. බිරිඳ ව අම්මලාගේ ගෙදර එක්කන් ගියා. හැබැයි… දැන් හිතේ වැඩ කරන්නේ රාගය නෙමේ. සංවේගය. උන්වහන්සේ දෙවන වතාවටත් ප්‍රිය බිරිඳ අත්හැරියා… කුළුදුල් පුතු අත්හැරියා.

චිත්තගෝ විහාරයට ගිහින් ෂඩ් අභිඥාලාභී සිග්ගව මහරහතන් වහන්සේට සියලු වැරදි විවෘත කළා. පාරාජිකා ඇවැතට සුදුසු පරිදි ගිහි වුණා. පාරාජිකා වූ භික්ෂුවට ගිහි නොවී කිසිම දියුණුවක් ලබන්න බෑ. ආයේ උපසම්පදා වෙන්නත් බෑ. නමුත්, සාමණේරයකු ලෙස පැවිදි වෙන්න පුළුවන්.

ඉතිං, පරාජය භාරගෙන සදා පරාජිතයෙක් වෙන්න අකමැති මේ පින්වතා තුන්සිවුර පිරිසිදු කරල දෝතට අරන් සිග්ගව මහරහතන් වහන්සේ ළඟට ගිහින් දණ ගසා ගත්තා. සිවුරු හිසේ තියාගෙන පැවිද්ද ඉල්ලු‍වා.

“ස්වාමීනී, කාමාදී සැඩ පහර තියෙන, කෙලෙස් නැමැති දැතිමෝරු ඉන්න, දරුණු සසර සාගරේ ගහගෙන යන මාව සදහම් නැවට නග්ගල බේරනු මැනවි. කෙලෙස් ගින්නේ පිච්චි පිච්චි බොහෝ කල් සසරේ ඇවිදපු මට, දහම් පැන් පොවන සේක්වා! නැවත නැවත කෙලෙස් ඉපදීම නැමැති රෝගයෙන් පීඩිත මට, සදහම් ඔසු දෙනු මැනවි. සිව් අපා ප්‍රපාතයට වැටෙමින් සිටින අනාථ වූ දුගී මාව අනුකම්පාවෙන් බේරාගන්නා සේක්වා! ප්‍රමාදයට වසඟ වෙලා…, වරද මාව යට කළා. ඒ සියල්ල ඉවසා… මා යළි පැවිදි කරන සේක්වා!”

මහා සිග්ගව මුනිඳුන් ඔහුව පැවිදි කළා. ජීවිතය විනාශය කරා ගෙන ගිය කෙලෙස්… මහා ගින්නක් වගේ දැකපු නවක භික්ෂුව… පෙර කවරදාටත් වඩා වීර්යයෙන්, ආදරෙන් සිල් ගුණ පිරුවා. ධර්මාවබෝධයට මහන්සි ගත්තා. ඒ ජීවිතේ නම් මග ඵල ලබන්න බැරි වුණා. ඇත්තටම… ඔහු දිනුවා ද?

පැරදුණා ද? මහානුභාව සම්පන්න බුදු සසුනට මොහොතකට පවා පැහැදුණු හිතක්… කවුරු නම් මනින්න ද? කෙසේ නම් තක්සේරු කරන්න ද?

ඒ අපවත් වුණේ… සංවේගයට පත් සිත් ඇති භික්ෂුවක්. ශරීරයේ පිළිකුල් බව තේරුම් ගන්න, තමාගේ ම කෙලෙස්වලින් ගුටි කන්න සිදු වූ භික්ෂුවක්. මවු කුසින් බිහි වීම, මවු කුසක වාසය කිරීමේ දුක-පිළිකුල දැකලා ඒ කෙරේ කලකිරුණ, පිරිසිදු සීලයට පැමිණි භික්ෂුවක්. සංවේග විය යුතු කරුණෙහි සංවේග වීමේ ආනුභාවය බලන්න…

මොහු අපා දොරටුවෙන් බේරිලා, ඒ බවුන් වැඩූ වනයේ ම ගස් කරුවක ඕපපාතික ව උපන්නා. ඔහුව දැකපු භික්ෂුවක් චිත්තාභ මහරහතන් වහන්සේගේ අවවාදයට අනුව ඔහුව රැක බලා ගත්තා. අවුරුදු 7 දී පැවිදි වූ මේ පුංචි හිමිනම දවසක් අහම්බෙන් අම්මා කෙනෙක් තම කුළුදුල් දරුවා බිහි කරන හැටි දැක්කා. පෙර භවයේ සංවේග වූ අරමුණ ම ආයේ දැකලා… එයින් ම සසරේ දුක වැටහිලා ඡලභිඤ්ඤා සිව්පිළිසිඹියාපත් මහරහත් භාවය සාක්ෂාත් කළා. ත්‍රිපිටකධාරී, ධර්ම අර්ථයෙහි දක්ෂ, විශාරද භික්ෂුවක් වුණා. පරවාද බිඳ දමලා බොහෝ අය සසුනට පැහැදෙව්වා. පැවිදි කළා. බොහෝ භික්ෂූන්ට ගුරුවරයෙක් වුණා. බුදුසසුන බැබළෙව්වා. පිරිනිවන්පාන දවසේ අහසේ වැඩ ඉඳලා පාපයේ භයානකකමත්, තම ජීවිත පුවතත් ගැන දහම් දෙසුවා. මහා ප්‍රාතිහාර්යය දක්වලා නීච සසරට යළි නොඑන්න ම පිරිනිවන් පා වදාළා.

අසිරිමත් හෙයින් දහම්,
මනු සිතක වන අරුම
සිතාගත නොහැකි තරම්…
අනෙකෙකු නොමනිව්…
තම සිතුම්, තම වදන්…
තම ක්‍රියා සුරකිව්‍…
තම පිහිට ගැන බලව් –
තවමත් පමා නැති බව…
දැන – දහමේ හැසිරෙව්!

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X