කර්මය පසෙක දමා අප්‍රමාදී වෙමු.
කර්මය කියන්නේ පුද්ගලයා විසින් කරනු ලබන ක්රියාවක්.
බුදු දහමට අනුව කර්මය කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්.
ඒවා
කුසල කර්ම,
අකුසල කර්ම,
අහේතුක කර්ම වශයෙන් සඳහන් කළ හැකියි.
අලෝභ අද්වේශ, අමෝහ කුසල මූලයන් මුල් වීමෙන් කරනු ලබන ක්රියාවන් කුසල කර්ම වශයෙන්ද ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල කර්ම අකුසල මූල වශයෙන්ද අහේතුකව සිදුවන ක්රියාවන් අහේතුක කර්ම වශයෙන් ද හඳුන්වන්න පුළුවන්.
කර්මයේ විවිධ ප්රබේධ තියනවා…
බුදු දහමට අනුව කර්මයේ විවිධ ප්රභේද තිබෙනවා. පුද්ගලයා කරනු ලබන කර්ම විපාක වශයෙන් කොටස් හතරකට බෙදෙනවා.
දිට්ඨධම්මවේදනීය,
උපපජ්ජවේදනීය,
අපරාපරිය වේදනීය,
අහෝසි කර්ම වශයෙන් ඒවා හඳුන්වන්න පුළුවන්.
දිට්ඨධම්මවේදනීය යනු යම් කිසි ක්රියාවක් කුසල හෝ අකුසල කර්මයක් සිදුකිරීමෙන් පසු මෙලොවදීම විපාක දෙන කර්මයි. පුද්ගලයෙක් කරනු ලබන සෑම ක්රියාවක්ම විපාක මෙලොවදීම විඳීමට සිදුවෙනවා.
උපපජ්ජවේදනීය කර්ම යනු ඊළඟ භවයේ විපාක දෙන කර්මයි. අකුසල කර්ම අනුව බැලුවොත් ඊළඟ භවයේදී නිසැක වශයෙන් විපාක දෙන කර්ම හැටියට ආනන්තරීය පාප කර්ම හඳුනාගන්න පුළුවන්. කුසල කර්ම අනුව මරණයට පත් වෙන අවස්ථාවේ යම් කිසි පුද්ගලයෙක් සෝවාන් ඵලය ලබා ඉන් නොපිරිහී මරණයට පත් වේ නම් එහි විපාක එසේත් නැතිනම් සෝවාන් ආදි ආර්ය මාර්ග ඵල ලබාගෙන තිබෙනවා නම් ඒවායෙහි විපාක නිසැක වශයෙන්ම ඊළඟ භවයේදී ලැබෙනවා.
අපරාපරියවේදනීය යනු ද සසරේ දිගින් දිගටම ඉපදී , ඉපදී මැරි මැරී ගමන් කරන භවයේ විවිධ අවස්ථාවල විපාක දෙන කර්ම වශයෙන් හඳුනා ගන්න පුළුවන්. අහෝසි කර්ම යනුද පල දීමට අවකාශ නොලබා අහෝසි වන කර්මයි. ඒවා හුදෙක් ක්රියාමාත්රයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අංගුලිමාල මහ රහතන් වහන්සේ ගේ අවසන් අත්භවේ ගිහි කල දහස් ගණන් මිනිසුන් ඝාතනය කළත් එම ප්රාණ ඝාත අකුසල කර්මයේ සියලු විපාක ලබා දීමට අවකාශයක් නොලැබුණා. එවන් කුසල හෝ අකුසල කර්ම අහෝසි කර්ම වශයෙන් හඳුන්වන්න පුළුවන්.
කර්ම විපාක දීම කාල අනුව කර්මයේ ප්රභේද අපි ඉහතින් කිව්වා… ඒවාගේ ම විපාක දීමේ ක්රමය අනුව කර්මයේ ප්රභේද හතරක් හමුවෙනවා. ඒවා ජනක කර්ම, උපස්ථම්භක කර්ම, උප පීඩක කර්ම, උපඝාතක කර්ම වශයෙන් හඳුන්වන්න පුළුවන්. ජනක කර්ම කියන්නේ ප්රති සන්ධිය ලබා දෙන කර්ම. උපත අනුව ලැබිය යුතු දුක හෝ සැප ලැබීමට අනුබල දෙන එනම්, දුක් සහිත ස්ථානායක උපත සිදු වුණි නම් වඩාත් දුක් විඳීමට ද සැප ස්ථානයක් උපත සිදු වුණි නම් වඩාත් සැප ලබාදීමට ද සමත් කර්ම උපස්ථම්භක කර්ම ලෙස ද හඳුනා ගන්න පුළුවන්. ඒවාගේම උපත අනුව දුක, සැප ලබාදීමට බාධා වන කර්ම උප පීඩක කර්ම ලෙස පොත පතෙහි සඳහන් වෙනවා.
ඒ අනුව දුක් සහිත ස්ථානයක උපත සිදු වුණි නම් දුක් නොලබා සැප ලබා දීමටත්, සැප ඇති ස්ථානයක උපත සිදුවුණි නම් දුක් විඳීමට සිදුවන කර්ම හඳුන්වන්නේ උප පීඩක කර්ම ලෙසයි. උප සාතක කර්ම උපත අනුව ලැබිය යුතු දුක, සැප ලැබීම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ හැකියාව ඇති කර්ම වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒවාගේම ප්රතිසන්ධි සිත ඇති කිරීමට බලපාන කර්ම ජනක කර්ම වශයෙන් හඳුන්වා තිබෙනවා. එම ජනක කර්මද කොටස් හතරකට බෙදා දක්වන්න පුළුවන්. පාප කර්ම ගරුක කර්ම නමින් ද මරණාසන්න මොහොතේ සිතට නැගෙන කුසල හෝ අකුසල කර්ම ආසන්න කර්ම වශයෙන් ද නිතර නිතර තම ජීවිතයේ පුරුදු පුහුණු කරන ලද කුසල හෝ අකුසල කර්ම ආචින්න කර්ම නමින්ද ඒවාගේම ඉඳහිට සිදුකළ කර්ම කටත්තා කර්ම නමින් ද හඳුනාගන්න පුළුවන්.
අප මේ සියල්ල කර්මයටම භාර දී සිටිය යුතුද?
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට සෑම කර්මයකම විපාකයක් තියෙනවා. ඒත් බුද්ධ දේශනාවට අනුව වර්තමානයේ විඳිනු ලබන සියලු දේවල් පෙර භවයේ කරන ලද කර්මයන්හි විපාක නොවේ.
අටුවාවේ සඳහන් පරිදි පුද්ගලයෙකුට මුහුණ දීමට සිදුවන නියාම ධර්ම පහක් තිබෙනවා. ඒවා නම්. උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම , කම්ම නියාම වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ අනුව කම්ම නියාම යනු එක් අවස්ථාවක් පමණයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කර්මය පසෙක තබා උත්සාහවන්ත ව, අප්රමාදීව නැගී සිට වීර්යයෙන් යුක්තව කටයුතු කරන ලෙසයි.
මෙලොව, පරලොව යන දෙලොවම ජයග්රහණය කිරීමට නොපමාව යහපත් සිත් ඇතිව ක්රියා කිරීම අවශ්ය කාරණාවක් බව බෞද්ධ දර්ශනයේ සඳහන් වෙනවා.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood