මහින්දාගමනයේ වත ගොත
මිහිඳු හිමි ඇතුළු පිරිස ලංකාවට වැඩම කරන්නේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා විසින් ආසන්න දේශයන්හි කරන ධර්ම ප්‍රචාර ව්‍යාපාරයේ ප්‍රතිඵල ලෙස පමණක්ම නොවේ.
අශෝක අධිරාජ්‍යයා හා තිස්ස රජු අතර ඇති වන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක ප්‍රකාශනයක් ලෙස බවද පෙනේ. මහින්දාගමනයට පෙර ඒ සඳහා වූ නිශ්චිත පූර්ව සැලැස්මක් පිළිබඳ කතාව මහාවංශය තුළම ගැබ් වී තිබෙනවා…
මහාවංශයේ සඳහන් මහින්දාගමන සිද්ධිය පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් යළිත් සනාථ වී ඇති අතර ඒ සාධක ලැබෙන්නේ අම්පාර රජගලිනි.
දෙවනපෑතිස් රජුගේ ඇවෑමෙන් රජ වූ ඔහුගේ සොයුරු උත්තිය කුමරු රාජ්‍යත්වයට පත්වන්නේය. එතුමන්ගේ රාජ්‍යත්වයෙන් 8 වන වර්ෂයෙහි මිහිඳු හිමියෝ පිරිනිවන් පෑ සේක. උන්වහන්සේ පිරිනිවන් පාන්නේ වප් මස පුර පක්ෂයෙහි අටවක දා ය. බද්ධමාලකයේ කළ ආදාහන පූජෝත්සවයෙන් පසු මිහිඳු හිමියන්ගේ ධාතු ගෙන්වා උත්තිය රජු අනුරාධපුරයේ ද, සෑගිරි වෙහෙරේ ද, සියලු විහාරයන්ගේ ද සෑ බැඳවූයේ ය. මිහිඳු හිමියන්ගේ ධාතු තැන්පත් කර තැනූ දාගැබක් පිළිබඳ අම්පාර රජගලින් ලැබේ. ඒ සෙල්ලිපියේ මෙසේ සඳහන් වේ.
“ යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉදික තෙර මහිද තෙරහ තුබෙ ”. පූර්ව භ්‍රාමීය අක්ෂරවලින් යුතු පාඨය සහිත එම සෙල්ලිපියේ සඳහන් වන්නේ මිහිඳු හිමියන්ගේ හා ඉත්ථිය හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර තැනූ කුඩා දාගැබක් ගැනය. මින් තහවුරු වන්නේ මහාවංශයේ ඇති ඓතිහාසික වැදගත්කම ය.
පළමු ධර්මදේශානා මාලාවේ ප්‍රායෝගිකත්වය කෙතෙක් දුරට වැදගත් ද යත්,මිහිඳු හිමියන් විසින් දෙවනපෑතිස් රජ ඇතුළු පිරිවර බුදු සසුනෙහි පිහිටුවීමත් රජුගෙන් තෙරුන් ගුණ අසා සිටි අන්ත:පුර ස්ත්‍රීන් වෙනුවෙන් රජ මාලිගාව තුළ කළ ධර්ම දේශනාවත් ,නුවර වැසියන් වෙනුවෙන් මාලිගාවේ ඇත්හලෙහි කළ ධර්ම දේශනාව ,නුවර දකුණු දොරින් පිට පිහිටි නන්දන උයනේ කළ ප්‍රසිද්ධ ධර්ම දේශනාව,ඇතුළු මුල් දින සතක් තුළ කළ ධර්ම දේශනාමාලාවත් සමඟ ලක් වැසියන් බුදු දහම විෂයෙහි වඩාත් රුචි වූ බව ප්‍රත්‍යක්ශව ම පෙනේ.
ඒ ධර්ම දේශනා ත්‍රිපිටක ධර්මයෙන් ඉතා සැලසුම් සහගත ලෙස තෝරාගත් ඒවා ය. මිහිඳු හිමියන් විසින් ලක්වැසියන් වෙනුවෙන් දේශනා කිරීමට තෝරාගත් සෑම දේශනාවක්ම රජු ප්‍රමුඛ ජනතාවගේ ප්‍රායෝගික ජීවිතයේ යථාර්ථය ස්පර්ශ කරන සූත්‍ර ධර්මයන් ය. යහපත් මිනිසුන් ලෙස ජීවත් වීමට රට වැසියාට දැක්මක් ලබාදෙන අතර රජතුමා ධාර්මික වීම රට වැසියාගේ අභිවෘද්ධියට ප්‍රධානම හේතුව බව මහින්ද දේශනාවන්හි මුඛ්‍ය හරය වී තිබිණි.
ජන ජීවිතයේ යථාර්ථය විනිවිදින එවැනි ප්‍රායෝගික ධර්මයක් සබුද්ධික ජන සමාජයක් අතර වේගයෙන් ප්‍රචලිත වීම පිළිගත හැකිය.
මහාවංශ ප්‍රවෘත්ති ප්‍රකාරව ලක්වැසියෝ අතිශය ශීඝ්‍රයෙන් මේ නව ආගමික සම්ප්‍රදායට ආශක්ත වූහ. ලක්දිව ඒකාකාරව බුදු සමය පැතිරුණේය. ඒ බව පුරාවිද්‍යාත්මකව සනාථ කරන්නේ ක්‍රිස්තු පූර්ව 3 සියවසේ සිට ඇරඹී යුගයෙන් යුගයට පරිණාමය වන අක්ෂර සහිතව ලක්දිව පුරාම පැතිරී ගිය ආරාම පූජා, ලෙන් පූජා විෂයෙහි ලියැවෙන සෙල්ලිපි මාලාව ය.
මහාවිහාර සම්ප්‍රදාය තුළ,
ලංකාවේදී බුදු සසුනට කළ ප්‍රථම පූජාව නගරයට නොළංවත්, නුදුරුවත් පිහිටි මහමෙවුනා උයන පූජා කිරීමය. දෙවනපෑතිස් රජහු මහමෙවුනා උයන සඟ සතු කර රාජ මන්දිරය සහිත ඒ උයන මිහිඳු හිමියන් වෙත පූජා කිරීමෙන් අනතුරව එම ආරාමය රජුගේ නමින් තිස්සාරාමය ලෙස හැඳින්විය. ලක්දිව ප්‍රථම ආරාම පූජාව වූයේ මහමෙවුනාවේ පිහිටි උද්‍යාන මාලිගාව සඟ සතුකොට පූජා කිරීමය. මහාවිහාරය ඇරැඹුම මේ තිස්සාරාමය ය.
තිස්සාරාමයේ මුලින්ම ඉදි කළ ගොඩනැගිල්ල කාල පාසාද පිරිවෙනය. ඉන් අනතුරුව ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් කළ බෝධිඝරයක්, මුල් ලෝවාමහාපාය, ලහ බත් ගෙය, දාන ශාලාව, බොහෝ පිරිවෙන් කුටි, රාත්‍රී ස්ථාන හා දිවා ස්ථාන ඇතුළු බොහෝ ගොඩනැගිලි කළ ආකාරය මහාවංශය දක්වයි.
තුන්වන ධර්ම සංඝායානවට මුල් වූ මහා පැණවත් මොග්ගලීපුත්ත තිස්ස හිමියන් සමීපයෙහි ශික්ෂණය ලබමින් අටුවා සහිත ත්‍රිපිටක ධර්මයත් විනයත් හදාරා ධර්ම විනය විෂයෙහි විශාරද වූ මිහිඳු හිමියන් දෙවන පෑතිස් රජු හා එක්ව මෙසේ ලක්දිව ආරම්භ කරන්නේ විනයධර භික්ෂු පරපුරක් සඳහා පසුබිමය. මහාවිහාර සම්ප්‍රදාය වූයේ එයයි. සමන්තපාසාදිකාවට අනුව මහාවිහාර ස්ථවිරවාදයේ මූලික ලක්ෂණය වූයේ බුදුන්වහන්සේ යම් ධර්මයක් හෝ විනයක් දෙසන ලද්දේද එවා ඒ අයුරින්ම අකුරක් පිල්ලක් වෙනස් නොකර හදාරා පවත්වාගෙන යෑමය. පුරා අවුරුදු 2300ක් තිස්සේ විවිධ අභියෝග ජය ගනිමින් සිංහල භික්ෂූහු ඒ මහා සම්ප්‍රදාය රක්ෂා කරති.
මහා විහාර භූමිය ලංකාවේ බුදු සසුන රෝපණය කළ උත්තම භූමිය පමණක් නොවේ. සිංහලයේ ශිල්ප කලා සම්ප්‍රදාය, වාස්තු විද්‍යා සම්ප්‍රදාය, සාහිත්‍ය කලාව, චින්තන විධිය සැකසෙන්නේත්, ඉන් පෝෂණය ලද විධග්ධ මනුෂ්‍යන් පිරිසකගෙන් සමන්විත සිංහල බෞද්ධ සංස්කෘතිය පහළ වන්නේත් මහාවිහාර භූමිය කේන්ද්‍ර කර ගනිමිනි. එතැන් සිට පුරා වසර එක්දහස් තුන්සියයක් අනුරාධපුරය හෙබවූ රජවරු මේ භූමිය රක්ෂා කළහ. නඩත්තු කළහ. ඊට නවාංග එක් කළහ. කොතරම් ප්‍රබල රජෙකු වුවද මහාවිහාරයට එරෙහි වී නම් ජනතාව එක් වී රජුට එරෙහි කැරැලි ගැසූහ. අනුරාධපුර යුගය නිමා වූ විටත් රජවරු මේ පින්බිමට හැකි අයුරින් බුහුමන් කළහ. ලෝක සම්භාවනාවට පාත්‍ර වූ ජාතියක සංස්කෘතික මහෝඝයෙහි කැඩපත මහාවිහාරය විය. අප විසින් මහත් හරසරින් වහරන මහාවංශයත් මහාවිහාරයෙන් ලද දායාදයකි. මහාවංශය මහාවිහාර සංඝ පරම්පරාවේ වීර කාව්‍යයක් බඳු ය.
මිහිඳු හිමියන් ලංකාවට වැඩම කරන්නේ ක්‍රිස්තු පූර්ව 308 හෝ 307 පොසෝන් පොහොය දිනයේදීය. ජයසිරිමහාබෝධියේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා මෙහෙණිය විසින් වැඩමකරනු ලබන්නේ එම වසරේ උදුවප් මසය. මේ දූත මෙහෙවර කරන්නාහු අන්තර්ජාතික දූත මෙහෙවරෙහි අත්දැකීම් සහිත අරිට්ඨ නැමැති දෙවනපෑතිස් රජුගේ බෑනාවරයෙකු වූ ඇමතිවරයෙකි.එම වප් මස සිදුකරන මේ ඉන්දීය දූත මෙහෙවරේ අරමුණ මහබෝ ශාඛාවක් ලංකාවට ලබාගැනීම හා පැවිද්ද අපේක්ෂාවෙන් සිටිනා දෙවනපෑතිස් රජුගේ සොයුරු මහානාගගේ බිසව වන අනුලා ඇතුළු පිරිස මහණ කර භික්ෂුණී ශාසනය පිහිටුවීමය.
මහාබෝධිය ලංකාවට වැඩම කරන්නේ එම වසරේ උඳුවප් මස පළමු වැනි දිනය. ඒ සමඟ සංඝමිත්තාවත්, මෙහෙණිවරු එකොළොස් නමකුත්, සොලොස් කුලයක ජනයා සමඟ ලාංකික දූත පිරිසත් ලක්දිවට පැමිණෙන්නාහ.නැව පැමිණෙන්නේ උතුරේ යාපනය අර්ධද්වීපයේ දඹකොලපටුන නැමැති තොටමුණ වෙතය. මේ ස්ථානය වර්ථමාන කන්කසන්තුරේට නුදුරු සම්බල්තුරෙයිය.
ඒ පිරිස සමඟ මහාබෝධිය අනුරාධපුරය වෙත වඩම්මවනු ලබන්නේ මහත් වූ ශ්‍රී විභූති පෙරදැරිව පෙරහර කරමිනි. පෙරහර අනුරාධපුරයට පැමිණෙන්නේ තුදුස්වක ( අමාවකින් හෝ පසළොස්වකින් පසු එන දාහතරවන දිනය තුදුස්වකයි. ඒ අනුව උඳුවප් පොයට දින දාහතරකින් පසු ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුරයට වැඩමවා තිබේ.
බෝධිය පිහිටවනු ලබන්නේ මිහිඳු හිමියන් විසින් පූර්වයේ සැලසුම් කළ භූමියේ ය. ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය වර්ෂයෙන් දහ අට වන අවුරුද්දෙහි පැමිණි එම උඳුවප්මස පුර පොහොයට පෙර දින හිරු බැස යන සැඳෑ සමයේ රෙහෙණ නැකතින් බෝධිය පිහිටවනු ලැබුවේය. ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම සනාථ කරන වෙනත් පුරාවිද්‍යාත්මක සාධක වේ. සාංචි ස්ථූපයේ නැගෙනහිර වාහල්කඬේ කැටයම් බාල්ක දෙකක දුමින්දාගමන සිද්ධිය කැටයම් වී තිබේ.
වංශකථාව ප්‍රකාරව මේ මහබෝ පිහිටුවීම ලංකාවම පොබ කළ අත්‍යුත්තම සැණකෙළියකි. ජීවමාන බුදුන් වඩමවන්නා හා සමානව භක්ති පූර්වකව කළ මේ මහා උත්සවය වංශකථාවන්හි උත්කර්ෂයට නැංවේ. මේ සිදු වීම කොපමණ මේ ජනසමාජය විෂයෙහි බලපෑවේද යන්න වැටහෙන්නේ මෙහෙණින් වෙනුවෙන් කළ මන්දිර දොළහින් මහා මන්දිර තුනක සංඝමිත්තා මෙහෙණිය මුල් වී මහාබෝධිය වැඩම කළ නැවේ කුඹය, සුක්කානම හා හබල්පත් තැන්පත් කර එය වන්දනීය කෞතුක වස්තූන් සේ මහ ජනයාට ප්‍රදර්ශනය කරන්නට ඉඩ සැලසීම ය.
ජය ශ්‍රි මහා බෝධිය මේ දේශ වාසීන්ට තවමත් ජීවමනා බුදුන්මය. සිංහල බෞද්ධයාගේ මෙපමණ වන්දනාවට ලක්වන පූජාගර්භ වස්තුවක් තවත් නොවේ. එය පුරා වසර දෙදහස් තුන්සියයක් තිස්සේ අවිඡින්නව පැවත එන්නකි. අනුරාධපුර රාජධානිය කළ රජවරු ජය සිරිමා හාමුදුරුවෝ අනන්ත වන්දනාවට ලක් කළහ. ලක්දිව ආක්‍රමණය කරන ලද විජාතික ආක්‍රමණිකයෝ මේ වන්දනී වෘක්ෂයට හානි නොකළහ. 11 සියවසින් පසු අනුරාධපුර රාජධානිය පිරිහී සිංහලයේ රාජ්‍ය නිරිත දිගට සංක්‍රමණයව රජරට ජන ශූන්‍ය වූ කල්හිත් අතරින් පතර ගම්කොටුවල ජීවත් වූ මිනිස්සු ගිනිමැල ගසාගෙන මහ බෝ රැක්කහ. මේ මොහොතේත් සිංහල බෞද්ධයෝ ජීවමාන බුදුන් දකිනු රිසව සේ ගොස් එපමණම භක්ති පූර්වකව මහ බෝ වඳිති.
මුල්ම පැවිදි කිරීම,
මහාවංශයට ප්‍රකාරව පැවිදිවීමක් හා උපසම්පදාවක් ගැන සඳහන් වන්නේ මහින්දාගමනය සිදුවූ දින සවසය. එදින මිහිඳු හිමියන් සමග පැමිණි දූත පිරිසේ සිටි එකම ගිහියා වන භණ්ඩුක කුමාරතෙම ග්‍රාම සීමාවෙහිම පැවිදිකොට උපසම්පදා කළහ.මිහිඳු හිමි ලක්දිව ගෙවූ පළමු වස් කාලයේ දී අරිට්ඨ කුමාරයා ඇතුළු ඔහුගේ ජ්‍යෙෂ්ඨ සොයුරන් පනස් පස් දෙනෙක් පැවිදි බිමට පිළිපන්හ. මේ වන විට අරිට්ඨ කුමරු දුමින්දාගමනය ඇතුළු බුද්ධාගම ලක්දිවෙහි පිහිටුවීම සඳහා යෙදුණු සියලු දූත ප්‍රයාම සාර්ථකව නිමා කර සිටියේ ය.
මහාඅරිට්ඨ තෙරුන් සහිත පනස් පස් නම මිහිඳු මා හිමියන් සමඟ එක්ව මුල්ම වස් කාලය සෑගිරියෙහි ගත කළහ.ලෙන් හැට අටක් දෙවනපෑතිස් රජ විසින් සකස් කර දුන්නේ ය. දේවානම්පියතිස්ස රජුගේ ලෙන් පූජාව පිළිබඳ සනාථ වන එම රජුගේ නම සඳහන් පූර්ව භ්‍රාමී ශිලා ලේඛනයක් හමුවී තිබේ.
අදටත් ජීවමාන ලක්දිව උතුම් සංඝ සමාජයේ ආරම්භක අවස්ථාව එය ය. විටෙක අභාවයට යමින් යළිත් උපදිමින් පැවතුණු ලක්දිව සංඝ සමාජය අදත් රටට ඉටු විය යුතු සමාජ සාමයික වගකීම් ඉටු කරමින් සිටීයි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood