මේ මම.. ම..ද?
මේ මම.. ම..ද?
මා නොවේ..ම..ද?
කවුද මේ…මම නොවන මම?
සර්වඥතා ඥාණයකින් යුතු බුදුවරු සියල්ල පිරිසිඳ දැක දේශනා කළේ, ” අසුර ගසන ක්ෂ්ණයක කාලයක් තරම්වත් භවයේ රැඳී සිටීම වර්ණනාවකින් නොකරන බවයි”.
“හිස ගිනි ගත්තද එම ගින්න නොනිවා අවබෝධ නොකළ ධර්මය අවබෝධ කොටගෙන සසරින් නික්මෙන ලෙසයි”.
මෙසේ අති දීර්ඝ වූ සසරක මනුෂ්‍ය උපතක් ගැන උන් වහන්සේ දේශනා කළේ, ” කණ කැස්බෑවකු විය සින්දුරින් අහස බලන්නාක් මෙන්” ඉතාමත් දුර්ලභ බවයි.
එක් ඇසක් පමණක් පෙනෙන, වසර 100 කට වරක් ජලයෙන් උඩට එසවෙන කැස්බෑවකුට, මහා සාගරයට විසි කරන ලද හීයක සිදුරෙන්, පසළොස්වක දාට පමණක් පායන සඳ දැකිය හැකි සම්භාවිතාවය කොපමණ දැයි ඔබට නුවණින් සිතා බැලිය හැක.
ඇත්තටම එය සිදු නොවන අහඹු දෙයක් මෙනි. සත්වයාගේ මහගෙදර සතර අපාය ලෙසින් හඳුන්වන්නේ එහෙයිනි. පසුකරන් ආ අති දීර්ඝ සසර පුරාම අප සිටියේ තිරිසන්, ප්‍රේත, අසුර, නිරය ආදී සතර අපායන්හිමය. ඉතාමත්ම කලාතුරකින් මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම උපතකට ගියෝය. සතර අපායන්හි දුක් විඳින සත්වයන්ගේ එම අඳෝනා විලාප බුදු පියාණන්ට ශ්‍රවණය කළ හැක. අපටත් වඩා අප ගැන කරුණාව ඇති බුදු පියාණන් මේ සසර දුක දත යුතු පරිදිම දැක, එක අනුමාත්‍රයක සැපයක් නොදකින හෙයින් , වහා එයින් මිදී යන ලෙස දේශනා කළ සේක. දුක්ඛ සත්‍ය යනුද එක් එක් අයගේ ප්‍රඥාවේ පමණටම අවබෝධ වන බැවින් එය පුළුල් ලෙස දත යුතුය.
මෙය යම් හැඳින්වීමක්ම පමණි.
දෙවන චතුරාර්‍ය සත්‍යයෙන් එම දුක් ඇතිවීමේ හේතුව වූ, තෘෂ්ණාව පිළිබඳව අති පෘථුල ලෙසින් විස්තර කරයි. තෘෂ්ණාව යනු අතු පතර විහිදී ගිය දෙයකි. එක් වචනයකින් මෙලෙස කැටි කොට දක්වන තෘෂ්ණාව, සත්වයාගේ සියොලඟ වෙළා ගත් සර්පයකු මෙනි. තෘෂ්ණාවට දාසයකු වෙමින් සත්වයා කල් ගෙවයි. තෘෂ්ණාව සැපයක් ලෙසින්ද ඇතැම්හු දකියි. අල්ප වූ ආශ්වාදයක් හේතුවෙන් එසේ බොහෝ දෙනා මුලාවී ඇත. තණ්හාව යනු නොසිඳී පවත්නා උල්පතක් මෙනි. නොනවත්වා ගලයි. එක් දෙයකින් තෘප්ත වූ කලි, වෙනත් දෙයක් කෙරෙහි සිත ඇලෙයි. ඇතැම් දේවල් කෙරෙහි සසර පුරාම ඇලී සිටියි. මෙසේ සුළුවෙන් විස්තර කර නොහැකි තෘෂ්ණාව සිඳලූ විට උදාවන නිර්වාණය නැමැති සත්‍යද, ඒ සඳහා අනුගමනය කළයුතු මාර්ගයද , තෙවන හා හතරවන චතුරාර්‍ය සත්‍ය ධර්මයෙන් විස්තර වේ.
සසර ගමන නිමා කළ යුත්තේ ඇයි යන නිවැරදි අවබෝධයත්, එසේ සසරක සත්වයන් නොනැවතී ඉපිද මැරෙමින් යන්නේ ඇයි යන හේතුවත්, එම දුක්ඛිත සසර නවතාලමින් නිවනින් සැනසිය හැකි බවත්, ඒ සඳහා කළ යුතු දෙයත් , මුල , මැද , අග සුපැහැඳිළිව, කුමන කාලයටත් ගැළපෙන , අකාලික ලෙසින්, ඕනෑම කෙනකුට ආරම්භ කළ යුතු මූලීකම තැන පටන් ඉතාමත් නිරවුල්ව උන් වහන්සේ දේශනා කොට සේක.
ලොව දුලභ ලෙසින් පහළ වන සෑම බුදුවරයකුගේම බුද්ධ කෘත්‍යය එය වේ. එලෙසින් දේශනා කොට වඳාරණ ධර්මය අනුව කටයුතු කොට සූවීසි අසංඛ්‍ය ගණන් සත්වයන් එක් බුදුවරයකු විසින් සසරින් එතෙර කරවන බව ධර්මයේ සඳහන් වේ. එය සාමාන්‍ය ව්‍යවහාරයේ බුද්ධාගම ලෙසින් හැඳිවූවද ඇත්තෙන්ම මෙය ලොව පවත්නා සත්‍ය විඳහා දක්වනකි. එයට සම්මුති වශයෙන් දර්ශනයක් ආදී ලෙසින් කුමන ආකාරයකින් හැඳින්වූවද, ඇත්තෙන්ම එය පරම සත්‍යය විවරණය කිරීමකි.
බුද්ධ දේශනාවේ මාර්ග සත්‍ය යනු, නිර්වාණය දක්වා කළ යුතු, වැඩිය යුතු මාර්ගයයි. උදාහරණයක් ලෙසින් දැක්වූවොත් ඔබ පළමු වසරට ඇතුළත් වී අධ්‍යාපනය හඳාරයි. ඔබගේ අභිලාෂය, ගමන්නන්තය විශ්ව විද්‍යාලයට ප්‍රවිශ්ඨ වීම නම්, එක වසර සිට ඒ දක්වා ඔබ ඉගෙන ගනිමින්, කරනා සියළූම වැඩ කටයුතු ඒ කාරණාවේදී, මාර්ගයයි. නිවන නම් වු සත්‍ය ස්ථානයට යෑම සඳහා ඔබ කරන සියළූම දේ මාර්ග සත්‍ය වැඩීමයි. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය සත්‍ය යනුවෙන් එය හඳුන්වයි. ඔබේ ගමනාන්තය, සියළු කෙලෙසුන්ගේන් මිදුණු උතුම් ආර්‍ය තැනකි. එහෙයින් එය “ආර්‍ය සත්‍යයි”.
මුළු බුද්ධ දේශනාවේ සියළූම ඉගැන්වීම් වල ඉලක්කය සිතයි. මන්දයත් මේ සසර පැවතීමට හේතුවන සියළුම කෙලෙස් ජනතිවන තැන සිතයි. සදාකාලිකවම දුකෙන් නිදහස් වීමට නම් සිතෙන් නිදහස් විය යුතුය. යම් යම් සැපතවල්, ප්‍රීතියවල් ලබා ගත හැකි ආකාර උගන්වන ක්‍රම ලොව බොහෝ ඇත. ආගම් , දර්ශන ලෙසින් ඒවා හඳුන්වයි. නමුත් මේ දර්ශනයන් තුළින් ලබා දෙන සහනය, සුවය, දුකෙන් නිදහස් වීම තාවකාලිකය. යම්කිසි කාලයකට සිදු කරන යටපත් කිරීමක්ය. පාලනය කිරීමක්ය. සදාකාලික වශයෙන්ම දුකෙන් නිදහස් වීමේ මාර්ගයක් කියා දෙන එකම ධර්මය දේශනා කරන්නේ බුදුවරයකු පමණි. අන් සියළු ශාස්තෘවරයන් විසින් එදා සිට අද දක්වා යම්කිසි දහමක් විස්තර කරයිද, ඒවා සියල්ල තාවකාලික සැනසුම් පමණි.
කල්ප ගණන් පුරා රාගයට, ද්වේශයට, මෝහයට යටවෙමින් ඒවා පසුපසම දිවූ සිත, රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් තොර කිරීම ලොව ඇති අසීරුතම කාර්‍යයි. සිත දමනය කිරීම යනු පියවරෙන් පියවර කළ යුතුය. එය නොහික්මුණු කුළු හරකෙකු වැනිය. අයාලේ යයි. විනාශයට ඇඳ දමයි. එක් වරම කුළු හරකා හීලෑ කිරීමට නොහැකිය. අදියරෙන් අදියර එය කළ යුතුය.
සසර පුරා මේ දීර්ඝ ගමන තුළ ඔබටත් මටත් හමුවී ඇති බුදුවරු ගණනද අසීමිතය. අප විසින් සෘධි බලයන් වඩවාගෙන අහසින් ගොස් ඇති වාර ගණන අසීමිතය. මෙත් සිත් වඩා, ධ්‍යාන උපදවා, දිව්‍ය සම්පත් විඳි වාර ගණන අසීමිතය. බොහෝ වූ පින්කම් කොට සක්විති රජ පදවි ලැබූ වාර ගණන අපමණය. කඩි රැළක් පෙන්වා, බුදු හිමියන් ආනන්ද තෙරුන්ට පැවසූයේ, ” ආනන්ද මේ කුහුඹුවන් අතරින්, සක්විති රජ නොවූ එකදූ කුහුඹුවෙක්වත් නොදකිමි ” ලෙසිනි. එසේ නම් ඔබත් මමත් බොහෝ උස් පහත් ස්ථාන වල හිඳි වාර ගණන ගණනකින් සීමා කොට දැක්වීමට අප නොදනිමු. එසේ හෙයින් අප නිවන් මාර්ගය ආරම්භ කරන්නට ඇත්තේ මේ ජීවීතයේදීම පමණක් නොවේ. අනන්ත වාරයක් ගුණ දහම් පුරමින්, බණ භාවනා කරමින් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඇත. නමුත් සෝවාන් මාර්ග සිතවත් උපදවා ගන්නට නොහැකිව යළි සතර අපායන්හි , දිව්‍ය, මනුස්ස ලෝකයන්හි ගත කරන්නට ඇත. “නියත ගති පරායනය” ලෙසින් බුදුවරයකු දක්වන්නේ අවම වශයෙන් සෝවාන් මාර්ග සිතවත් උපදවා ගත් කෙනකුය. නියත වශයෙන්ම ඔවුන් සතර අපායෙන් මිදුණාහුය. උපත් 7 ක් ඇතුළත් සසර නිම කරයි. එසේ නොවූ කිසිවකුත්, කොතෙක් පින්කම් කලද, කොතෙක් බණ භාවනා කළද සතර අපායෙන්, සසර දුකින් මිදී නැත.
එහෙයින් අප එක් එක්කෙනාගේ ඒ ජීවීතය තුළ ධර්ම මාර්ගයේ ගමන එකිනෙකාගෙන් වෙනස් වේ. විවිධ වූ ක්ලේෂයන්ගෙන් යුත් සත්ව ප්‍රජාව, බුදුවරයකුට එක් ක්ෂණයකදී වර්ග කොට බෙදා දක්වා බැලිය හැක. සෑම දෙනාටම අනුගමනය කළ හැකි මූලීකම තැන සිට උන් වහන්සේ මාර්ගය පෙන්වූයේය.
අප මාර්ගය අනුගමනය කරගෙන යත්ම අප සසරෙහි වඩා ඇති ධර්මයන් අප කෙරෙන් මතුව එයි. කෙනෙක්ට අවුරුදු පහකින් වැඩෙන සමාධිය ඇතැමෙක්ට සති දෙකකින් උදා කර ගත හැකි වනු ඇත. කෙනෙක්ට මේ සසර පිළිබඳ ඇතිවන බය, විරාගය තවත් කෙනෙක්ට ඇතිවීමට තවත් කාලයක් ගත වෙනු ඇත. එක බණ පදයක් අහද්දී මාර්ගඵල ලැබූ උතුමන් බොහෝ මේ ශාසනයේ හිඳ ඇත. නමුත් සෑම දෙනාටම එසේ නොහැක. වඩන ලද මහත් පාරමී බලයෙන් එසේ වෙයි.
මේවා ඉතාමත් සරල කරුණුය. එකම කරුණ විවිධ අය අවබෝධ කරගන්නේ එක් එක්කෙනාගේ ප්‍රඥාවෙ පමණටය. එකම පංතියේ ඉගෙනුම ලබන ළමයින් ගත් කළ සැම දෙනාම එකම දක්ෂතාවයකින් යුක්ත නොවේ. පංතියේ පළමුවෙනියා දක්ෂය. අන්තිමයා ඊට වඩා දුර්වල බව අප දනිමු. ධර්මයේදීද මෙලෙසින්මය. අවාසනාව නම් අප විසින් පෙර වඩන ලද ධර්මයන් දැකිය හැකි ඉන්ද්‍රිය පරෝපර්යප්ති ඥාණයෙන් හෙබි බුදු පියාණන් දැන් නොමැත. යම්කිසි හෝ ලෙසකින් අප වඩන ලද පාරමී ශක්තිය බලන්නට හැකි උතුමන් ගණන අල්පය. එසේ අය අපට හමුවීම ඊටත් වඩා අල්පය. එසේ හෙයින් අප කළ යුත්තේ මාර්ගය පිළිවෙළින් වැඩිමය. උදාහරණයක් ලෙස විශ්ව විද්‍යලයට යෑමට නම් ඔබ 1 වසරේ සිට උගත යුතුය. ඔබ 10 වසරෙන් ඇරභීම ඔබව අවුල් කරවයි. ඔබ දක්ෂ නම් ඔබ කඩිනමින් දේවල් ඉගෙන, මාර්ගය පූරණය කරයි. මෙය මෙසේ දැක්වූයේ ඇතැම් අය “භාවනා කරන්නට අවශ්‍ය නොවේ, සෝවාන් වන්නේ මෙසේයි” ආදී ලෙසින් කියනා දේවල් අසන්නට දකින්නට ලැබෙන හෙයිනි. බුදු පියාණන් සෝවාන් වීමට වෙනම මාර්ගයකුත්, එතනින් එහා මාර්ග ඵල සඳහා වෙනම මාර්ගයකුත් දේශනා කළේ නැත. අනෙක් අතට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අර්හත් යනුද සම්මුතියෙන් යෙදූ නාමයන්ය.. ඔබ ගමේ සිට කොළඹ එද්දී පසුකරගෙන ආ අනෙකුත් නගර වැනිය. ඔබේ ඉලක්කය කොළඹය. එලෙසින්ම ඔබේ ඉලක්කය සසරින් මිදීමය. එයට පිළිපැඳිය යුතු එකම මාර්ගය ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood