සමස්ත ලෝකය පුරා විසිර පවතින ආගම් සම්බන්ධයෙන් විවිධ වූ පුද්ගලයන් අදහස් දක්වති.
තමන්ගේ අසහනයෙන් පිරි, පීඩාකාරී ජීවිත වලට යම් සහනයක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් මිනිසුන් මෙලෙස ආගමක් ඇසුරු කරයි. එවන් ආකාරයට ලෝ පුරා ප්‍රචලිත ආගම් අතර බෞද්ධාගමට අද්විතීය ස්ථානයක් ලැබේ. වර්තමානය වන විට මෙම බොහෝ අන්‍යාගමිකයන් පවා මෙම ආගම ඇදහීමට පෙළඹෙන ප්‍රවණතාවක් දැක ගත හැකිය. දාර්ශනික ඉගැන්වීම් පාදක කරගත් බුදු දහම බුදුවරුන් දේශනා කරන ලද සමස්ත ඉගැන්වීම් වලින් සුපෝෂිතව නිර්මිත වූවකි. නමුත් බුදු හිමිවරු විසින් දේශිත කරුණු සේම පසුකාලීන විද්වතුන් එක් කළ කරුණුද බුදු දහම තුළ පවතී.
කෙසේ වෙතත් බුදු සමය යනු කුමක්ද? ඒ අතරත් මුල් බුදු සමයක් පවතීද? එසේ නම් ඒ කුමක්ද යන්න මෙහිදී ගෙන හැර දක්වනු වටී. සියලූ ආගම්, ඉගැන්වීම් මතවාද ලෞකික ඒවා වූවද බුද්ධ ධර්මය ලෝකෝත්තර ධර්මයකි. කාලය ඇවෑමෙන් විවිධ නිකායන්ට බෙදී යාමත්, විවිධ බාහිර ඉගැන්වීම් ධර්මය තුළට පිවිසීමත් හේතුවෙන් ධර්මයේ විවිධ කොටස් බිඳී යාමක් සිදු වී ඇත. ඒ අනුව ”මුල් බුදු සමය” අද නොමැත. වර්තමානයේ පවතින විකෘති වූ නූතන බුද්ධාගම ”නිර්මල බුද්ධ ධර්මය” ලෙස උජාරුවෙන් හැඳින්වුවද එහි නියම බුදු දහම පවතින්නේද යන්න ගැටළුවකි.
මේ අතර මුල් බුදු සමය කුමක්ද යන පැනයට ආගමික වශයෙන් මෙන්ම දාර්ශනිකමය වශයෙන්ද පෙරඅපර දෙදිග දාර්ශනිකයින් හා ආගමික විද්වතුන් අදහස් දක්වා ඇත. නමුදු ඒවායේ කිසිදු ඒකමතිකත්වයක් නොමැත. බොහෝ දෙනෙක් මේ සඳහා පිළිතුරු දෙන්නේ මුල් කාලයේ ලිය වුණු බුදු දහම, බුදුරාජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මූලික දහම ඇතුළත් සමය මුල් බුදු සමය බවයි. නමුත් ඒ සඳහාද විවිධ විවාදයන් පවතී. අදටත් එවැනි විවාදයන් පවතින බව නොරහසකි.
ගෞතම බුදුන් වහන්සේ විසින් කරන ලද සම්බුද්ධ දේශනාවන් ඇතුළත් ධර්මය හැඳින්වීම සඳහා මුල් බුදු සමය යන්න යොදන බව බොහෝ දෙනා පිළිගනී. එහිදී එක් එක් නිකායන් තමන් සතු දහම බුදුරාජාණන් වහන්සේ දේශනා කළ ධර්මයම බව ප්‍රකාශ කරයි. එහෙත් එහි යම් යම් ගැටලූ ඇත. එහිදී බුද්ධත්වය ලබාම නිර්වාණය ලබාගැනීම මහායානය තුළත් ශ්‍රාවක ඥානයෙන් නිර්වාණය ලබාගැනීම හීනයානය හෙවත් ථේරවාදය තුළත් දක්නට ලැබේ. ථේරවාදය තුළදී සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් බුද්ධත්වය ලබාගත් ගෞතම බුදුරාජාණන් වහන්සේ පිළිබඳ පමණක් ඇදහීමක් සිදු කරන නමුත් මහායානය තුළදී එක් පුද්ගලයෙක්ට බුදු වීමට හැකි නම් අනික් සියලූ පුද්ගලයන්ටද බුද්ධත්වය ළඟාකර ගත හැකි බවට කෙරෙන විවරණයක් තර්කානුකූලව ඉදිරිපත් කර ඇත.
ථේරවාදය තුළදී තවත් භද්‍ර කල්පයකට පසු මෛත්‍රී බුදුහාමුදුරුවන් බුද්ධත්වයට පත් වී උන්වහන්සේගේ ශාසනය තුළ නිවන් දැකීම පිළිබඳව අන්තර්ගතය. මහායානය තුළ දී බුදු, පසේබුදු හා මහරහත් යන තුන්තරා බෝධීන් වහන්සේලා ත්‍රිත්වයෙන් අප කැමති බෝධියකින් විමුක්තිය සාක්ෂාත් කර ගැනීම පිළිබඳව අන්තර්ගතය. නමුත් තුන්තරා බෝධීන් අතරින් තෙවන බෝධිය වන මහරහත් යන්න පිළිබඳව පමණක් ථේරවාදය තුළ අවධානය යොමු කර ඇත. මෙවැන් ආකාරයට එකිනෙකට වෙනස් මතවාදවලින් හෙබි බුදුදහම තුළ මුල් බුදු සමය පිළිබඳ ස්ථිර අදහසක් ලබා ගැනීම කෙතරම් අපහසුද යන්න මෙයින් පෙනී යයි.
බොහෝ විද්වතුන්ගේ විවරණයකට අනුව ථේරවාදය මුල් බුදු සමයේ දහම ලෙස සලකයි. නමුත් තවත් පිරිසක් සඳහන් කරන්නේ එය මුල් බුදු දහමින් මතු වූ ගුරුකුලයක් පමණක් බවයි. එහෙත් ථේරවාදය ඓතිහාසික හා ධර්මානුකූල විග්‍රහයන්ගෙන් යුක්තව අඛණ්ඩව පැවත එන මුල් බුදු සමය යැයිද ථේරවාදයට වඩා මුල් බුදු දහමට සමීප වූ තවත් බෞද්ධ සම්ප්‍රදායක්, නිකායක් නොමැති බවත් දක්වයි. මෙම නිර්වචනයට බොහෝ පක්ෂ කරුණු සම්බන්ධ වේ. එහිදී සාර්ත්ථදීපනීය නම් කෘතියේ ප්‍රථම සංගායානාව, මහාකාශ්‍යප වැනි මහාස්ථවිරයන්ගේ මූලිකත්වයෙන් මෙහෙයවන ලද නිසා‘ථෙරීක’ ලෙස සඳහන් කරන බවත්, දෙවන සංගායානාවට පසු බිහි වූ බෞද්ධ ගුරුකුල ථෙරවාදය ආශ්‍රය කර ගනිමින් බිහි වූ බව හඳුනා ගත හැකිය.
පාලි සාහිත්‍ය ග්‍රන්ථයන්හි පවා ථේරවාදී යන්න නිර්මල වූ මුල් බුදු සමය ලෙස අර්ථ ගන්වා ඇත. නමුත් ඒ සඳහාද විවිධ මතිමතින්තර ඇති බැව් කිව යුතුමය.
ඊට අමතරව මුල් බුදු සමය පිළිබඳව දක්වා ඇති අර්ථකථනයන් කිහිපයක් පහත පරිදි ගොනු කර දැක්විය හැකිය.
1. ‘‘මහා කාශ්‍යප තෙරුන් මුල්වී කරන ලද පළමු ධර්ම සංගායනාවෙන් සංගෘහිත කරන ලද ධර්මය මුල් බුදු සමය ලෙස හැඳින්වේ.’’
නමුත් මෙම නිර්වචනයටද ගැටලූ ගණනාවක් මතු ඇති බව පෙනේ. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගත වූ කල්හි අජාසත් රජතුමාගේ අනුග්‍රහයෙන් මහා කාශ්‍යප තෙරණුවෝ මුලසුන හොබවමින් සිදුකරන ලද සංගායනාව ප්‍රථම සංගායනාව ලෙස හැඳින්වේ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් ශෝකයට පත් භික්ෂූන් වහන්සේලා හඬන කල්හි එතැන සිටි මහලූ කල පැවිදි බව ලැබූ සුභද්‍ර නම් භික්ෂුවගේ ප්‍රකාශය ඊට හේතු විය.
”ඇවැත්නි, ශෝක නොවන්න. නොවැළපෙන්න. ඒ මහා ශ්‍රමණයාගෙන් අප මිදුනෙමු. මේ දෙය කැපය මේ දෙය අකැප යැයි නීති පැනවීම නිසා මෙතෙක් කල් අපි පීඩා වින්දෙමු. දැන් අපට කැමති දෙයක් කළ හැකිය අකමැති දෙයක් නොකළ හැකිය.”
සුභද්‍ර භික්ෂුවගේ ඉහත ප්‍රකාශය ඇසූ මහා කාශ්‍යප තෙරණුවෝ ධර්ම සංගායනයට පත් ව මෙවන් අය මතුවටත් ඇතිවුවහොත් ඔවුන්ගෙන් ත‍්‍රිපිටක ධර්මයට පූර්ණ වශයෙන් හානි සිදුවිය හැකි යැයි සිතා විසිර පවතින ධර්ම කරුණු පොදු සංග්‍රයක් ලෙස සැකසීමේ අවශ්‍යතාව මතු විය. ඒ අනුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් තෙරුන් වහන්සේලා හාරසිය අනූ නව නමක් මෙම සංගායනාවට තෝරා ගන්නා ලදී. ඒ වන තුරුත් ආනන්ද තෙරණුවෝ රහත් ඵලයට පත්ව නොසිටි නිසා උන්වහන්සේගේ රහත් බව අපේක්ෂාවෙන් උන්වහන්සේට අසුනක් වෙන් කිරීමට මහා කාශ්‍යප තෙරණුවෝ තීරණය කළහ. මන්ද වඩාත් සමීපයෙන් බුදුරජාණන් වහන්සේව ආශ්‍රය කළ අයෙක් ලෙසටත් බුදුරාජාණන් වහන්සේ දේශනා කරන ලද බොහෝ ධර්ම කරුණු පිළිබඳ උන් වහන්සේට මනා අවබෝධයක් පැවති නිසාත් ආනන්ද තෙරණුවන්ගේ සහභාගිත්වය වඩාත් වැදගත් විය. ඒ අනුව සංගායනාවට පෙර දින රාතියෙහි ආනන්ද තෙරණුවෝ රහත් ඵලයට පත්ව සංගායනාවට සහභාගී වූහ.
මේ ආකාරයට රජගහ නුවර වේභාර පර්වතය පාමුල පිහිටි සප්තපර්ණි ගුහාවේ අභියස තැනූ මණ්ඩපයක සිදුකළ ප්‍රථම ධර්ම සංගායානාවෙන් සංගෘහිත කරන ලද ධර්මය මුල් බුදු සමය ලෙස හැඳින්වෙන බව මෙමඟින් ප්‍රකාශිත වුවද මෙහි ගැටලූ ලෙස පහත ආකාරයට ගොනු කර දැක්විය හැකිය.
කරුණු අනුව බලන කළ ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගත වූ කල්හිය. ප්‍රථම ධර්ම සංගායනාවෙන් සංගෘහිත කරන ලද ධර්මය මුල් බුදු සමය ලෙස හැඳින්වෙන්නේ නම් සංගෘහිත කරන ලද ධර්මයට බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ යම් යම් ආත්මීය අදහස්ද එකතු වී ඇති බවත් කිව හැකිය. මන්ද බුදුන් වහන්සේගේ පර්නිර්වාණය ඒ වන විටත් සිදුවී ඇති බැවිනි. එමෙන්ම බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයම එහි අන්තර්ගත බවට තහවුරු කිරීමක් සිදු කළ නොහැකිය. එසේ නම් එවැන්නක් අපට මුල් බුදු සමය ලෙස හැඳින්විය හැකිද යන්න ගැටලූවකි.
2. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මුල් බුදු සමය පිළිබඳව අපට කතා කළ නොහැකිය.
මෙම අදහස දැරූ පුද්ගලයන් ඒ අනුව පළමු ධර්ම සංගායනාවේදී සංග්‍රහ කරන ලද්දේ මුල් බුදු සමය නොවේ. මුල් බුදුසමය ආශ්‍රය කොටගෙන සමීප ශ්‍රාවකයන් විසින් එය කරවන ලද්දක් බව ඔවුන් දක්වති. එහිදී ඔවුන් අදහස් කරනුයේ මුල් බුදු සමය පිළිබඳව සඳහන් කරන්නේ නම් එය බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද ධර්මයම පමණක් අන්තර්ගත වූවක් විය යුතු බවයි. මන්ද බුද්ධ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේගේ ධර්මය මුඛ පරම්පරාගතව හෝ ව්‍යප්ත කරනුයේ උන් වහන්සේ නොව උන්වහන්සේගේ සමීප ශ්‍රාවකයන් විසිනි. එහිදී බුදුන් වහන්සේ දේශනා කරන ලද සමස්ත ධර්මයම උන්වහන්සේගේ සමීප ශ්‍රාවකයන් විසින් අවබෝධ කරගත් බවට තහවුරු කිරීමක් සිදු කළ නොහැක. ඒ සඳහා ඔවුන්ගේ යම් ආත්මීය ලක්ෂණද අන්තර්ගත නොවූ බවට යමෙකුට තහවුරු කළ නොහැකිය. නමුත් මෙම නිර්වචනය තුළද යම් යම් ගැටලූ ඇත.
බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මුල් බුදු සමය පිළිබඳව අපට කතා කළ නොහැකි නම් ඒ පිළිබඳව සාකච්ඡා කළ හැක්කේ බුදුන් වහන්සේ ජීවමාන අවධියේය. එසේ නම් බුදුන් වහන්සේගේ ජීවමාන වූ අවධියේ උන් වහන්සේ දේශනා කරන ලද ධර්මය මේ තාක් කාලයක් අඛණ්ඩව පැවතගෙන එන්නේ කෙසේද? එය මුල් බුදු සමය නොවේ නම් මොවුන්ට අනුව බුදුන් වහන්සේ ජීවමාන අවධියේ දේශනා කරන ලද ධර්මය බුද්ධ පර්නිර්වාණයෙන් පසුව වියැකී යයි.
එසේනම් නිවැරදිම මුල් බුදු සමය පිළිබඳව දැනගැනීමට බුදුන් වහන්සේ ජීවමාන කාලයේ ජීවත්වූ අයෙක් සිටිය යුතුය. එසේ නොමැති නම් බුදුන් වහන්සේ ජීවමානව මේ දක්වා ජීවත්ව සිටිය යුතුය. ඒ අනුව මෙම නිර්වචනයේද යම් යම් ගැටලූ නිර්මිත බවක් පෙනේ.
3. ප්‍රථම සම්බෝධිය හෙවත් බුද්ධත්වය ලබා ගෙන පළමු අවුරුදු විස්සක කාලය ඇතුළත බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය මුල් බුදු සමය වේ.
සංයුක්ත නිකායේ අන්තර්ගත ධම්මචක්කප්පවත්තන සූත‍්‍ර දේශනාවට අනුව බුද්ධත්වය හෙවත් බුදුවීම යනු, ”මහණෙනි යම් කලෙක මට චතුරාර්ය සත්‍යය මෙසේ තිපරිවට්ට හා දොළොස් අයුරකින් ඇති ඥාන දර්ශනය තතු සේ අවබෝධ වීද මහණෙනි එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ මහණ බමුණන් හා දෙව් මිනිසුන් සහිත ප්‍රජාව අතරේ උතුම් සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි ප්‍රතිඥා කරමි’’ යන්නයි. ඒ අනුව මෙයින් වසර දෙදහස් හයසිය හතරකට පමණ පෙර සිදුහත් බෝසතාණන් වහන්සේ භාරතයේ මධ්‍ය දේශයේ නේරංජනා නදිය අසබඩ ගයා ශීර්ෂයේදී ලොව්තුරා බුද්ධත්වයට පත් වූ සේක. එය වර්තමානයේ බුද්ධගයාව ලෙස හැඳින්වේ.
ඒ ආකාරයට ප්‍රථම සම්බෝධිය හෙවත් බුද්ධත්වය ලබාගැනීමෙන් අනතුරුව ගතවූ පළමු අවුරුදු විස්සක කාලය තුළදී බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද ධර්මය මුල් බුදු සමයට අයත් වන බව මෙම නිර්වචනයෙන් කියවේ. මෙහිදීද යම් යම් ගැටලූ මතු වේ.
බුදුන් වහන්සේ මෙලෙස ලෝක සත්ත්වයා කෙරෙහිම දායානුකම්පාවෙන් වීර්යය වඩමින් බුද්ධත්වයට පත් වනුයේ සමස්ත හුදී ජනයා දුකින් මුදවා ගැනීමේ තිර අධිඨනනින් යුතුවය. එලෙස බුද්ධත්වයට පත්ව වසර විස්සක කාලයක් පමණක් දේශනා කරන ලද ධර්මය පමණක් මුල් බුදු සමය ලෙස හැඳින්වන්නේ කවර පදනම්ක් යටතේද යන්න ගැටලූවකි. බුද්ධත්වයෙන් වසර විස්සකට පසු දේශනා කරන ලද ධර්මය එසේ නම් මීට අයත් නොවේද? යනාදී ගැටලූද මෙහිදී මතු වේ.
4. තෙවන ධර්ම සංගායනාව දක්වා කාලය එනම් නිකාය භේදය හට ගන්නා තුරු කාලය මුල් බුදු සමය ලෙස හැඳින්වේ.
මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මුලිකත්වයෙන් ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහයකත්වයෙන් බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවුරුදු 236 කට පසු පැළලූප් නුවර අශෝකාරාමයේදී පැවැත් වූ තෙවන ධර්ම සංගායානාව සඳහා භික්ෂූන් වහන්සේලා දහසක් සහභාගී වූ අතර ඒ සඳහා මාස නවයක කාලයක් ගත විය. මෙහිදී මෙම සංගායානාවේ ප්‍රතිඵල ලෙස දුසිල් මහණන් හැටදහසක් සසුනෙන් නෙරපීම, ශාසනික වත් පිළිවෙත් නැවත ඇරඹීම, කථාවත්ථුප්පකරණය ග්‍රන්ථය රචනා වීම, ත්‍රිපිටකය අංග සම්පූර්ණ වීම හා රටවල් නවයකට ධර්මය ප්‍රචාරය කරවීම ආදිය මෙන්ම නිකාය භේදය ඇතිවීමද දැක්විය හැකිය.
මෙම නිර්වචනයට අනුව එම තෙවන ධර්ම සංගායනාව දක්වා වූ කාලය එනම් නිකාය භේදය හට ගන්නා තුරු කාලය මුල් බුදු සමය ලෙස දැක්වේ. ඉහත දැක්වූ පරිදි බුද්ධ පර්නිර්වාණයෙන් අවුරුදු දෙසිය තිස් හයකට පසුව පැවැත් වූ මෙම ධර්ම සංගායනාව දක්වා කාලය මුල් බුදු සමයට අයත් වේ නම් එහිදීත් පෙර නිර්වචනයන්ගේ සඳහන් කළ සේම බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයම අයත් වේ යැයි කිව නොහැකිය. බුද්ධ පර්නිර්වාණයෙන් බොහෝ කලකට පසුව පැවැත් වූ නිසාවෙන් එය නිර්මල බුද්ධ දේශනාවන්ගෙන් පමණක්ම සුපෝෂිත බවට කිව නොහැකිය. ඒ අනුව මෙම නිර්වචනයේද ගැටලූ මතු වන බවක් පෙනේ.
මේ නිසාවෙන් නිරවද්‍යම අයුරින් මුල් බුදු සමය අර්ථ ගැන්වීම අතිශය අසීරු කටයුත්තක් බව පෙනේ.
කෙසේ වෙතත් මේ ආකාරයට කාලානුක්‍රමිකව මුල් බුදු සමය දක්වා පැවති අදහස් වල විකාශනයක් දැක ගත හැකි බව පෙනේ. මීට අමතරව මුල් බුදු සමය පිළිබඳව ඇති අදහස් කිහිපයක් මෙලෙස දැක්විය හැකි ය.
මුල් බුදුසමය පිළිබඳ තවත් පිරිසක් අදහස් දක්වන්නේ මුල් බුදුසමය හඳුන්වන්නේ අන්තර්ගතමය කරුණු ආශ්‍රයෙනි. එහිදී මුල් බුදු සමයේ අන්තර්ගතමය කරුණු අතරට චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය, කර්මය, පුනර්භවය, ත‍්‍රිලක්ෂණය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, කාලාම සූත‍්‍රය ආදිය ථේරවාදය, මහායානය, තන්ත්‍රයානය ආදී සියලූ නිකායන්හි පවතින වෙනස් නොවන ධර්ම කරුණු මීට අයත්ය. මෙවැනි ඉතා උසස් ධර්ම කරුණු සහිත සූත‍්‍ර ආදිය පවා මුල් බුදු සමයට අයත් වන බව මොවුන් දක්වති. තවද මෙවැනි ඉතා උසස් ධර්ම කරුණු බුදු කෙනෙකුට හැර අන් කිසිවෙකුට දේශනා කළ නොහැකි බවද බවද කිව යුතුමය. බුදු සමයේ උදාව මෛත‍්‍රී උපනිෂදයට වඩා දුරස්ථව සිදුවූවක් නොවන නමුත් එ් ඊට යම් තරමකින් පූර්ව සිදු වූ බව ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයේදී අවබෝධ වේ.
මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතාගේ අදහසද මේ හා සමානවේ. ඔහු මුල් බුදු සමය, අන්තර්ගතමය කරුණු සමග සංසන්දනය කර අප අවබෝධ කරගත යුතු දෙයක් ලෙස දක්වයි. එනම් මෙහි අදහස වෙනස් නොවන ධර්ම කරුණු සහිතව ප්‍රධාන සූත්‍ර ආදිය මුල් බුදු සමයට අයත් බවයි. මුල් බුදුසමය පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය කේ. එන් ජයතිලක මහතා එය පැවති කාල රාමුව පිළිබඳව අදහස් දැක්වුවද එම සමය පිළිබඳ කිසිදු අවස්ථාවක ප්‍රශ්න නැගීමක් සිදු නොකරයි. ඔහු මුල් බුදු සමය ලෙස සලකන්නේ ථේරවාදයයි. ථෙරවාදී ත‍්‍රිපිටකය ඇසුරෙන් මුල් බුදු සමයේ ඥානවිභාගය දක්වන ඔහුගේ පූර්ව නිගමනය මුල් බුදු සමය යනු ථේරවාදය යන්නයි. රාධක්‍රිෂ්ණන්ගේ අදහස මුල් බුදු සමයට ඉතා ආසන්නම දේ ථෙරවාදී ත‍්‍රිපිටකයට අයත් බවයි. අසිරිමත් ඉන්දියාව යන කෘතියේ රචකයා වූයේ එල්. බෂාම් මහතා ප්‍රකාශ කරන්නේ ධම්මචක්කප්පවත්තන දේශනාව පවා බුදුන් වහන්සේගේ ධර්මයක් ලෙස සැලකිය නොහැකි බවත් ඉන් ඔබ්බට ත්‍රිපිටකය ලෙස යමක් සැලකිය නොහැකි බවත්ය. බටහිර විද්වතෙකු වූ ඒ. ජේ තෝමස් මහතා පුළුල් අධ්‍යාපනයකින් පසුව ප්‍රාමාණික විද්වතුන් අතරින් මුල් බුදු සමය යනු කුමක්ද යන්න තෝරා බේරා ගත යුතු බවට මධ්‍යස්ථ මතයක් ඉදිරිපත් කරයි.
කෙසේ වෙතත් මුල් බුදු සමයට නිරවද්‍ය වූ එක් නිර්වචනයක් ඉදිරිපත් කිරීම මහත් අසීරු කාර්යයක් බව මේ තුළින් මනාව විෂද කෙරේ. මේ නිසා සම්බුදු වදන් නිසි ලෙස අවබෝධයෙන් ඒවා අප ජීවිතයට එක් කර ගනිමින් ජීවිතය ආලෝක කර ගැනීම වඩාත් සුදුසු බව පෙනී යයි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️Buddhist Brotherhood