නිවන් මගෙහි ප්‍රථම පියවර වූ උතුම් සෝවාන් ඵලයට පිය නගමු.
“සද්ධර්මය“ යනු යහපත් ධර්මයයි.
එනම් පුද්ගලයාගේ සසර ගමන කෙළවර කොට උතුම් නිවන් අවබෝධය පිණිස මඟ කියා දෙන ධර්මයයි.
මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ තෘෂ්ණාව ප්‍රහීණ කොට නිවන් අවබෝධය ලැබීමේ ක්‍රමවේදය ඉගැන්වෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අප පොදුවේ සද්ධර්මය ලෙස හඳුන්වමු.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි “පැවැත්ම“ සහ “නැවැත්ම“ යන කරුණු දෙක සඳහා වූ දහම් අවවාද සඳහන් වේ. ‘පැවැත්ම‘ නම් මෙලොව පරලොව යන දෙලොව ම දියුණුවයි. ‘නැවැත්ම‘ නම් නිවන් අවබෝධයයි. බුදුරජාණන් වහන්සේ යම් පුද්ගලයකුගේ ලෞකික දියුණුව උදෙසා ලබාදුන් ධර්මය අවවාද මෙලොව වශයෙන් මෙන් ම පරලොව වශයෙන් ද සුවය පිණිස හේතු වේ. නමුත් සෝතාපත්ති අංග යටතේ එන සද්ධර්ම ශ්‍රවණයට ගැනෙන්නේ සසර ‘නැවැත්ම‘ හෙවත් නිවන් පිණිස හේතුවන ධර්මය ශ්‍රවණය කිරීමයි.
ධර්ම ශ්‍රවණය පිණිස අවශ්‍ය වන ප්‍රධාන ගුණාංග දෙකකි. ඒ ශ්‍රද්ධාව හා ඉවසීමයි. ශ්‍රද්ධාව නම් බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් කෙරෙහි ඇතිවන ගෞරවය, විශ්වාසය සහිත පැහැදීමයි.
යම් පුද්ගලයකුගේ සිත ශ්‍රද්ධාවෙන් තොර නම් කෙතරම් ධර්මය ශ්‍රවණය කළත් ඉන් ප්‍රයෝජනයක් සිදු නොවේ. ඒ වගේ ම ශ්‍රද්ධාවෙන් තොරව ධර්මය ශ්‍රවණය කිරීමෙන් එම ධර්මය පිළිබඳ සැක ඇති කර ගැනීමත්, ඒ තුළින් ධර්මය මනාව අවබෝධ කර ගැනීමට ඇති හැකියාවත් නොලැබී යයි.
ඉවසීම ද ධර්මය ශ්‍රවණය පිණිස ඉතා ම අවශ්‍යයයි. යම් පුද්ගලයකු තුළ ඉවසීම නැති නම් ධර්මයෙහි විස්තර වන ධර්ම කරුණු පිළිබඳ නිවැරැදි අවබෝධයක් කිසිවිටකත් ඇති නොවේ. ඉවසීමෙන් මෙන් ම මනා සංයමයකින් ධර්මය ශ්‍රවණය කළ විට එය මනාව වටහා ගැනීමටත්, නැවත නැවත එම ධර්ම කරුණු පිළිබඳ පසුව මෙනෙහි කිරීමටත් යම් හැකියාවක් ලැබේ.
තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් දහම් මඟ අනුගමනය කරන නුවණැති ශ්‍රාවකයන් ලෙස අප නිරතුරුව නිවන් අවබෝධය පිණිස වෙහෙසිය යුතු ය. එකී නිවන් මඟෙහි පළමු චරණය නම් උතුම් වූ සෝතාපත්ති ඵලයයි. ඒ සෝතාපත්ති ඵලයට පත් වූවකු ක්ෂණයෙහි ම සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නම් ති‍්‍රවිධ සංයෝජන ධර්මයන් ප්‍රහීණ කොට නැවත සසර ගමනෙහි සතර අපායාදී නරකයන්හි ඉපදීමට ඇති ඉඩකඩ සපුරා නැති කොට දමා ඉදිරි භව සතක් තුළ ස්වකීය නිවන් අවබෝධය නිශ්චිත කර ගනී.
තෙරුවන් සරණයි.🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood