Temples of Sri Lanka

රෝග නිවාරනයට මග කියන භාවනාව

බෞද්ධ භාවනාවට වත්මන් සමාජය තුළ පවතින්නේ මහත් උනන්දුවකි. මෙම භාවනා පුහුණු කිරීමට ඇති අවශ්‍යතාව අංග දෙකක් ඔස්සේ විස්තර කළ හැකි ය.

එක් පිරිසක් බෞද්ධ දර්ශනයට අනුව චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීමට නිවන අරමුණු කරමින් සමාධිය වැඩීමට උත්සුක වෙති.

අනෙක් පිරිස නිවන හෝ අනිත්‍ය, දුක්ඛ, අනන්ත නම් වූ ත්‍රිලක්ෂණ අවබෝධය පිණිස නොව එදිනෙදා ජීවන පැවැත්මේ ගැටලුවලට මානසික සහනයක් ලැබීම හා ලෙඩ රෝග සුවකර ගැනීම් ආදී අහිමතාර්ථ ඉටුකරගැනීම් පිණිස ක්‍රියා කරන පිරිස ය.

මෙම කවර අරමුණක් මත පිහිටා වුව ද, සිත පිරිසුදු කිරීම් හෙවත් අරමුණක් ඔස්සේ චිත්ත සමාධිය වැඩීම අගය කළ යුතු ය.

එයට හේතුව වන්නේ සිත පිරිසිදු වීම සමස්ත පරිසරයේ ම සාමකාමී පැවැත්මකට හේතුවන බැවිනි.

මෙම ලිපිය ආරම්භයේ දී ම මහා සතිපට්ඨාන සූත්‍රයෙහි සඳහන් හැඳින්වීම සිහිපත් කරන්නට කැමැත්තෙමි.”
මහණෙනි, මේ සතර සතිපට්ඨානය චිත්ත පාරිශුද්ධිය පිණිසත්, ශෝක වැළපීම් ඉක්මවීමටත්, කායික මානසික දුක් දොම්නස් පහකිරීමටත්, ලෝකෝත්තර මාර්ග නුවණ ඉපදවීමටත්, නිවන අවබෝධ කිරීමටත් ඇති එකම මඟයි.

සතිය හෙවත් “සිහිය පිහිටුවීම” එනම් කායිකවූත්, මානසිකවූත් සියලු අවස්ථාවන්හි දී පවත්නා ක්‍රියාවට සිත යොමුකොට තබමින් ක්‍රියාකිරීම නිසා සත්වයා තුළ පාරිශුද්ධියක් ඇති කළ හැකි ය.
සාමාන්‍ය ජනයාට මෙම අවස්ථාව පැහැදිලි කොට දිය යුත්තේ සිහි නුවණින් කටයුතු කිරීම යනුවෙනි. සත්‍ය ලෙසින්ම සිහි නුවණින් යුතුව ක්‍රියා කිරීමෙන් තම සිත හා සිතුම් පැතුම් පිළිබඳ පරීක්ෂාකාරී ව සිටීමට පුද්ගලයාට අවස්ථාව සැලසේ.

පරීක්ෂාකාරී ව සිටින පුද්ගලයා හොඳ නරක සොයා බලයි. තම සිත තුළ ඇතිවන සිතිවිලි, සමාජ සම්මතයට හා ආගමික දර්ශනයට ගැළපේදැයි විමසුම් නුවණින් කටයුතු කරයි. මේ අනුව කායික ක්‍රියාවලියේ දි ඔහුගේ හෝ ඇයගේ හැසිරීම් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට ඔවුන්ට ම අවස්ථාව සැලසේ.

මෙම කායික ක්‍රියාවලිය බෞද්ධ දර්ශනයෙහි අවස්ථා හතරකට බෙදා ඇත. එනම් සතර ඉරියව්ව නම් වූ ගමන් කිරීම, සිටීම, හිඳගැනීම හා සයනය කිරීම යනුවෙනි.
මෙම සතර ඉරියව්වේ දී ම මනාව සිත පිහිටුවාගෙන ක්‍රියා කිරීම නිසා වැරැදි (පාප, අකුසල) අඩු කිරීමට හා නැති කිරීමටත් යහපත ( පින, කුසලය) වැඩි දියුණු කිරීමටත් පුද්ගලයා පෙළඹේ.

මෙහි ප්‍රතිඵල පිළිවෙළින් සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරයි. සිත පිරිසුදු වන විට සෝක කිරීම් පහවී දුක් දොම්නස් ඉවත්ව යයි. සචේතනික හා අචේතනික සියල්ලම අනිත්‍ය බව හෙවත් දිරාගෙන යාම, වෙනස්වීම, නැතිවීම අවබෝධය මඟින් දැනෙන්නට පටන්ගනී. යමක් වෙනස් වේ නම් එය දුක් සහගත බවත්, එම දුක් හටගන්නේ සංඛාර වස්තු කිසිවක් ස්ථිරව නොපවතින හා “මම – මගේ” යැයි නම් කරමින් සිතින් උපාදානය කර ගත නොහැකි නිසාත් ය. මෙය සියලු කායිකවූත්, මානසිකවූත් දුක්දොම්නස්වලට හේතුකාරක වු “අල්ලා ගැනීම” හෙවත් තෘෂ්ණාව නැතිකිරීම පිණිසත් – නිවන් මඟ පිණිසත් උපකාරිවේ ම ය.

දෙවනුව අප විසින් විමසා බලන්නේ සාමාන්‍ය ලෝකයා විසින් භාවනාව හෙවත් සිත පුහුණු කිරීමෙන්, සිතිවිලි ව්‍යාකූල වන්නට අවස්ථාව නොදී සන්සුන් කර ගැනීමෙන් ප්‍රතිඵල ලෙස බලාපොරොත්තු වන අරමුණු පිළිබඳයි. මෙම ලෞකික, එනම් මේ ජීවිතයේ “එදිනෙදා” සුභ සිද්ධිය පිණිස හේතුවන මානසික සුවය හා ලෙඩ රෝග සුවපත් කර ගැනීමට පිළියමක් ලෙස භාවනාව උපයෝගි කර ගැනීම පිළිබඳවයි.

සිත සමාධිගත වීම නම් සිත, සිතිවිලි සමඟ වීසිර යා නොදී එක් අරමුණක් කෙරේ තැන්පත්වීමට සැලසීමයි. දිනය පුරා ඇස, කන, නාසය, දිව හා ශරීරය ඔස්සේ අනේකවිධ සිතිවිලි “කැමති හා අකමැති” ලෙසින් අරමුණු ගැනීම නිසා සිත වෙහෙසට පත්වෙයි. සිත ව්‍යාකූලත්වයට පත්වෙයි. කැමැති දෑ ලබා ගන්නට සිත වෙහෙසෙයි. විටෙක ඒවා ලැබෙයි. තවත් වරෙක නොලැබී යයි. තවත් අවස්ථාවක ලැබූ දැය වෙනස්වී අත්හැරී යන විට සිත දුකට පත්වෙයි. තමා අකමැති දෑ පංචඉන්ද්‍රියන් මගින් සිතට හසුවන විට තරහව, අමනාපය, වෛරය ඇතිවෙයි. මෙහි අවසානයක් නැති ප්‍රතිඵල නම් දුක හා වේදනාව ය,
මෙම අවස්ථාව සාමාන්‍ය ජනයා ප්‍රකාශ කරන්නේ “මගේ ඔළුව අවුල්වෙලා” යනුවෙනි. මෙය, මානසිකව පීඩාකාරි ලෙස අඛණ්ඩව බලවත්වන විට මානසික ආතතිය හා දොම්නස් ස්වභාවය දක්වා වර්ධනය විය හැකි ය. මින් අනතුරුව, මෙම මානසික ආතති හා දොම්නස් ස්වභාවයේ අතුරු ප්‍රතිඵල ලෙස තරහව හා වෛරය ද තමා තුළ ඇතිවන හීනමානය ද තනිකම හා පාළුව ද, කුසගින්න නොදැනීම ද ආරම්භ වීමට පටන් ගනී. මෙහි භයානක ප්‍රතිඵලය වන්නේ “මට ජීවිතේම එපා වෙලායි” කියන මානසිකව අසරණ ස්වභාවයට පත්වූ විට සිය ජීවිතයට හානිකර ගැනීම තරම් මානසික තත්ත්වයකට පත්වීමයි. මෙසේ ඇතිවී මානසික ව්‍යාධීන් තව දුරටත් ක්‍රියාත්මක වෙමින් කායික පීඩාවන් හෙවත් කායික ලෙඩ රෝග දක්වා ව්‍යාප්ත වෙන්නට පටන් ගනී.

මෙම කායික රෝග මෙසේ විස්තර කළ හැකි ය. මාංශපේශිවල වේදනාව හන්දිපත් අමාරුව, හිසේ කැක්කුම යම් යම් හමේ රෝග, බඩේ අමාරුව සහ මළ පහ සිදුවිමේ වෙනස්කම් සහ අධික දහදිය වැගිරීම ආදි ලෙසිනි.
එමෙන්ම හෘද ස්ඵන්දනය අධිකවීම, හෘදයෙහි ක්‍රියාවලිය ඉක්මන්වීම, පපුවේ වේදනාව සහ බඩවැල්වල ගෙඩි හට ගැනීම ආදියට ගොදුරුවීමේ අවස්ථා වැඩිවනු ඇත.

ඉහත විස්තර කළ මනෝ විද්‍යාත්මක හා වෛද්‍ය විද්‍යානුකූල කරුණු අනුව, මනස පිරිසුදුව පවත්වා ගැනීම මඟින් සාමාන්‍ය ජීවිතයේ මුහුණ දිය හැකි බොහෝ ලෙඩ රෝග හෙවත් අසනීප වළක්වා ගත හැකි ය. පෙරදිග හෝ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පැහැදිලි කොට එළි දක්වන එම විද්‍යාත්මක සාධක හේතු හා ප්‍රතිඵල බෞද්ධ දර්ශනයට අනුව නව සොයා ගැනීමක් නොවේ.

ලෝකය මත ජීවිතය පවත්වා ගැනීමේ දි අපගේ ඉන්ද්‍රියන්ට හසුවන සියලු සචේතනික හා අචේතනික ( සංඛාර) වස්තූන් පිළිබඳ පැවතිය යුතු ආකාරය බුදුරදහු, අවස්ථා තුනකින් පැහැදිලි කළහ. පංච ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු සිතට හසුවීමේ දී පළමුව එහි පවත්නා සම්මුතිය ලෙසින් ඇති හඳුනාගැනීම, ඒ අනුව දැනෙන කායික හා මානසික සුවය හෙවත් සතුට අවබෝධ කර ගැනීම ය.

මීළඟට එම වස්තූන්වල ගැබ්ව දිරායාම හෙවත් වෙනස් වීමත් සම්මුතිය වෙතින් ලැබූ කායික හා මානසික සුවය හෙවත් සතුට දුකකට හෝ වේදනාවකට පත්විය හැකි ආකාරය දැකීමයි. මෙය ආදීනව අවස්ථාවයි. මෙම දැකීම මඟින් ඇතිවන අවබෝධය, ලෞකික හා ලෝකෝත්තර ලෙස සුවය ලැබීමට මර්ගයක් කර ගැනීමයි. එනම් අරමුණු ලෙස සිතට හසුවන කිසිවක් වෙනස් නොවන දෙයක් හැටියට අල්ලා නොගැනීමයි එනම් සිතින් අල්ලා නොගෙන අත්හැරීමයි. අරමුණු සිතින් අල්ලා නොගෙන, ඒවායෙහි ඇතිවීම හා නැතිවීම අවබෝධයෙන් දැකීමට පුරුදුවන විට සිත සන්සුන් වන්නට ආරම්භ වේ.
“සිත නිවිලා” යැයි පැවසිය හැක්කේ මෙම අවස්ථාවේ සිට ය. නිවුනු සිතට මානසික ආතතිය හෝ දොම්නස පැමිණීමේ අවස්ථා දුර්ලභ ය. මේ නිසා ඉහත විස්තර කළ ලෙඩ රෝගවලින් නිවාරණයක් ඇති නීමට අවස්ථාව සැලසේ.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X