Temples of Sri Lanka

සෑහෙන දුරක් පැමිණි ඔබ

මෙතෙක් ඔබ සමඟ සකච්ඡා කළදේ අමතක නැහැනෙ. මා ඔබ සමඟ සාකච්ඡා කළ දේ වලින් මා ඔබට පැහැදිලි කළ දේවලින් ඔබ යහපත් දරුවෙකු, පිවිතුරු දැරිවියක, සොඳුරු මිනිසෙකු, සුන්දර තරුණියක, ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු, ශ්‍රේෂ්ඨ කාන්තාවක, ඔබ තුළින් සමාජයට බිහිවේයැයි ම සිතමි. ඒ අහස නිවැරදියි නේද?

 

බොරු කියන්න එපා… හරිද ඔව්. බොරු කියන්න එපා… හොදේ…

 

ඔව්…

 

“මුසාවාදා වේරමණී ශික්ෂාපදං සමාදියාමි”

 

“අසත්‍ය පැවසීමෙන් වැළකී‌මේ ශික්ෂාපදය සමාදමන් වෙමි” සරලව කියනවානම් බොරුකීමෙන් වැළකෙමි.

 

අසත්‍ය පැවසිය හැකි තැනැත්තාට නොකළ හැකි පාපයක් නැත. ඔනෑම වරදක් අනුන්ට හෝ තමන්ට හෝ අවැඩ සිදුවන දෙයක් සමාජවිරෝධී අපරාධයක් සිදු කර එය නොකළ බව දිවුර දිවුරා ප්‍රකාශ කළ හැකිය.

 

බොරු කීම හා එය සත්‍ය බව පවසා දිවුරීම, නිසා එම වරද දෙගුණ තෙගුණ වන බව නොදනීම, අහෝ අවාසනාවකි.

 

“අම්මා මගේ රත්තරන්

 තාත්තා මගේ රත්තරන්

 ඇත්ත කියන බොරු නොකියන

 පුංචි මමත් රත්තරන්”

 

පෙර පාසලේදී සුරතල් හඬින් ගායනා කළා නොවේද? ඒ අවදියට නැවතත් ගමන් කරන්න ඇත්නම් අපි නැවත එතැන් පටන් ඉදිරියට යමු. මෙතෙක් සිදුවූ දේවල් ගැන පසුතැවිලි නොවෙමු.

 

දහම් පාසල් ගිය කාලේ මතකද? කමක් නැහැ දහම් පාසල් නොගියා වෙන්නටත් පුළුවන් ඒත් විදාගම මෛත්‍රි තෙරුණ්වහන්සේගේ ලෝවැඩ සඟරාව පොතේ එන අපූරු කවියක් මා මතක් කර දෙන්නම්.

 

“ලබැදිව රජෙක් බොරු බස් කී            විගසකයා

 නැතිව සෘද්ධි බලයන් ඒ                    මිනිස්කයා

 පොළොව පලාගන ගොස්           වැටුනිනරකයා 

 මෙළොව සතුන් ඉන් බොරු          කීම නරකයා”

 

සෘද්ධි බලයක් ඇති රජකෙනෙක් හා තවත් එවැනිම සෘද්ධිමතෙකු අහසින් ගමන් කරන අවස්ථාවක රජ ගෙදර මිදුලේ සිටි ඔහුගේ සොයුරා පෙන්වා, වැඩිමල් සහෝදරයා වුවත්, ඔහු බාල සහෝදරයා ලෙස හඳුන්වාදීමේ අකුසලයෙන් සෘධි බලය පහවී, පොළොව මත පතිතව, ඉන්නොනැවතී පොළොව පලාගෙන ගොස්,  අපායේ වැටුනි,  මෙළොව සතුනි ඒ නිසා බොරු කීම අවැඩදායකය. යන්න මේ කවියේ සරල අරුතයි.

 

බොරුකීම අකුසලයක් වන අයුරු අපරාධයක් වන අයුරු අද ලොව පිළිබඳ තතු විමසන ඔබට අමුතුවෙන් කිවයුතු නැත. සමාජයට අවැඩ පිනිස කරන දෙය, වස විස, අවි ආයුධ, මත්ද්‍රව්‍ය මේ ආදිය, නිවමින්, අලවි කරමින් බොරු‌වෙන්, මුළු ලොවම රවටවමින් යුධ කොළාහල ඇතිකරමින් සමාජයේ සිටින බාල වියේ සිට, වැඩි මහල්ලා දක්වා අගතියට ගෙනයමින්, මුසාවෙන් ජීවත්වන අය අද කොතෙක්ද?

 

අප, ඔබ, මා කුමකටද ඒ පිරිස අතරට වැටෙන්නේ. එසේ වුවොත් අප කොහොමද සහනසීලි  සැහැල්ලු දිවියක් ගෙවන්නේ.

 

ඒ සැහැල්ලු වූ සරල දිවියට උරුමකම් කීමට නම් අප සත්‍යවාදී විය යුතු නේද? එසේ වීමෙන් අපට සෘජු මිනිසෙකු ලෙස සමාජයේ ඉදිරියේ හිස කෙළින් තබා ගැනීමට හැකිවේවි.

 

එපමණක්ද? මුසාවාදයෙන් වැළකී සිටිමේ ආනිශංෂ දාහටරකි.

 

  1. අතිශයින් ප්‍රසන්න ඉඳුරන් ඇත්තෙකු වීම.
  2. මනා මිහිරි කටහඬක් ලැබීම.
  3. සමානව පිහිටි සුදෝ සුදුවන් දත් දෙපළක් ඇත්තෙතු වීම.
  4. අශෝභන වූ මහත්වූ ශරීර ඇත්තෙකු නොවීම.
  5. අශෝභනවූ කෙට්ටු ශරීර ඇත්තෙකූ නොවීම.
  6. අශෝභනවූ මිටි ශරීර ඇත්තෙු නොවීම.
  7. අශෝභනවූ උස ශරීර ඇත්තෙකු නොවීම.
  8. සැප ස්පර්ශ ඇත්තෙකු වීම.
  9. දුඟදක් නැති මහතෙල් මල් සුවඳ මුඛයක් ලැබීම.
  10. සුවච කීකරු පරිවාර ජනයා ඇති බව.
  11. විශ්වාස කළ යුතු වචන ඇත්තෙකු වීම.
  12. නෙළුම් මල් පෙත්තක් මෙන් මෘදුව රත්පැහ දිවක් ලබන්නෙකු වීම.
  13. උඩඟු නොවන බව.
  14. චපල අදහස් නැත්කෙු වීම.

 

මුසාවාදයෙන් වෙන්වීම නිසා ලැබෙන මේ ආදරණීය ත්‍යාගයක් ලබාගැනීමට ඔබ, මම, අප, කවුරු අකමැති වේද?

 

මේ තරම් දේ ලැබේනම් බොරු නොකියා සිටීමට අපට එතරම් අපහසුවක්ද. මොනවට පමා වෙනවාද අපි ඇත්තම කියමු.

 

තවත් දේ කියවන්ට ඇත.

 

 

අභිධර්මාචාර්‍ය ඊ. ඉන්ද්‍රා විජයලතා වෙරළ

© Buddhist Brotherhood

 

 

You might also like
en English
X
X