සංසාර දුක දුරලමු
මිනිසාට බලපාන භය සතරක් පිළිබඳ අපි දහමින් ඉගෙන ගන්නවා.
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන අවධියෙහි භික්ෂු පිරිසක් අමතා ඊට ආදාල මෙම සූත්රය දේශනා කළ සේක.
එහි සඳහන් ආකාරයට ඒ බිය සතරට හසු වී බියපත් මිනිසා සසර ගමන දිගු කර ගනිමින් දුගතියට පත්ව දුකේම ගැලෙනවා. නුවණනැති පුද්ගලයා මේ බිය සතර මනාව හඳුනාගෙන ඉන් මිදී සසර දුක ද ජය ගන්නවා.
‘දුක්ඛේ පතිට්ඨිතො ලොකො’ යන්නෙන් ප්රකාශ වන්නේ මෙලොව දුක මතම පිහිටි බවයි. ඒ දුකෙන් දුක තව දුරටත් වැඩි වන්නේ මෙකී භය සතරින් වෙළී ගැලී සිටින පුද්ගලයන්. සසර ගමන දිගු වන්නේ සසර දුක වැඩි වන්නේ මේ භය සතර නිසා.
ඒ භය සතර කුමක්ද?
අත්තානුවාද භය
පරානුවාද භය
දණ්ඩ භය සහ
දුග්ගති භය
යනු එම සසර දුක වැඩි කරවන භය සතරයි.
අප සඳහන් කරන භය සතරින් පළමුවැන්න අත්තානුවාද භය යන්නයි. තම සිතට විරුද්ධ, තම අදහන ආගම ධර්මයට පටහැනි ලෝක ධර්ම විරෝධි යම් වරදක් කළ විට තම සිතේ ඇති වන බිය සුළුගතිය අත්තානුවාද භයයි. සියලු දෙනාටම වසං කර හොර රහසේ යම් පවක් කළ විට එය කිසිවකු නොදැක්කා යැයි සිතූවද පව කරන ඔබේ සිතට එය වසං කළ නොහැක. ඔබ කරන හැම දෙයටම මුල් වන්නේ සිතයි. එම නිසා සිතට හොරෙන් කිසිවක් කළ නොහැක. හොර සිතින් දෙයක් කළ විට ඉන් ඇති වන පසුතැවීම දෝෂාරෝපණය අතිවිශාලයි. තම හෘදය සාක්ෂීයට එකඟ නොවන දෙය පවක් වන අතර එවැනි පවක් සිදුවුවහොත් ඉන් ඇති වන්නේ මෙකී අත්තානුවාද භයයි.
හෘදය සාක්ෂීය යනු තම ආගම ධර්මය, තම සිත, ලෝක ධර්ම යන මූල ධර්මවලින් සැදුණු යටිසිත් ස්වභාවයකි. මෙහි ඇති වන සිතිවිල්ල තදින් කිඳා බසින ස්ථාවරයට පත් වන්නකි. එය නිතර නිතර සිහි ගැන්වෙන අතර එම පාපී සිතිවිල්ලෙන් මෙකී භය ගොඩනැඟෙයි.
එහි ඇති වන පාපී චේතනාමය භය නිතර සිතමින් තව තවත් වැඩි කර ගනියි.
‘කතමං ච භික්ඛවේ පරානුවාද භයං’ පරානුවාද භය මෙහි දෙවැන්නයි.
පුද්ගලයා කරන කියන සමාජ හිංසක ක්රියා දැක සමාජගත පුද්ගලයෝ බොහෝ විට විවේචනය කරති. සමාජයෙහි සිටින, ප්රභූ ජනයාද යහපත් මඟට පිළිපන් අයද දෝෂාරෝපණය කරති.
මේ පිළිබඳ ඇතිවන බිය පරානුවාද භයයි. යම් දෙයක් කරන්නට පෙර මින් බාහිර ලෝකයා කුමක් කියයිද කුමක් සිතයි දැයි බැලිය යුතු ය. එසේ සිතා බලා අකුසලින් වෙන්විය යුතු යි. ‘අප අප ගැන නොමදන්නේ පැටවුන් හරියට දන්නේ.’ යන කියමනට අනුව අප ගැන අප කරන වැඩ ගැන මනාව දැන ගන්නේ බාහිර ලෝකයායි. සමහරු ප්රදේශවල අන් අය ගැන ඇහැගහගෙන සිටින, ගමේ වචනයෙන් හඳුන්වා ඇති පරිදි ඕපදූප සොයන මිනිසුන් ද යම් සමාජ ශෝධනයක් කරන බව වැටහෙයි. ඇයි? එවන් ඕපදූප සොයන අය ඉදිරියෙහිදීවත් අප ප්රවේශම් වන්නට උත්සුක වෙයි. අකුසල් කිරීමට ලජ්ජා වෙයි. මේ පරානුවාද බිය දැන අප කළ යුත්තේ ද අකුසලින් වෙන්වීමයි. සුචරිතයෙහි යෙදීමයි.
තුන්වන භය දණ්ඩ භයයි.
රටේ නීති විරෝධි වැඩ කළහොත් රජය මගින් දඬුවම් පමුණුවයි. රජ කාලයෙහි මේ දඬුවම් ක්රම ඉතා තදින් ක්රියාත්මක කොට ඇත. සොරකමට මිනීමැරුමට මං පැහැරීමට දරුණු දඬුවම් නියම වී තිබුණි. හිස ගසා දැමීම, උල සිටුවීම, අත් පා කපා දැමීම, හිස් කබල ගලවා එහි බොරළු දමා කෙටීම, සුනඛයන් ලවා කැවීම ආදී කෲර දඬුවම් පනවා තිබුණි.
මේ නිසාම එකල මහජනතාව මේ දණ්ඩ භය දැන වරදින් මිදුනි. දුසිරිතෙහි යෙදී සිටි අය මේ දණ්ඩ භයින් බියපත් වී වරදට පෙළඹීමට අකැමැති විය. සුචරිතයෙහි යෙදුනි.
බුදුදහම නීති පනවන, දඬුවම් කරන දහමක් නොවේ. මෙහි ඇත්තේ ස්වයං විනයකි. මේ නිසාම සමහර බෞද්ධයෝ දහම අදහම කරගෙන විවිධ අකුසල ක්රියා, අපරාධ සිදු කරති. සමහරු සිය නිල බලය, ධන බලය නිසා නොමඟ ගොස් සමාජද්රෝහී අපරාධ කරති. නීතියේ හිදැස්වලින් පැන සැඟ වී කටයුතු කරති. මේ නිසාම සමාජ අපරාධ මං කොල්ලකෑම් වර්ධනය වෙමින් පවතියි. සොරමැරකම් ආදී දූෂණ ක්රියා සමාජගත වී ඇත.
මෙහිදී දණ්ඩ භය ඇති වන ලෙස නීති පැනවීම ගැන කතා කෙරෙන අතර වරදට නිසි දඬුවම් ද තිබිය යුතුයි. එවිට සදාචාරවත් සමාජයක් ගොඩනඟා ගත හැක.
හතරවන භය දුග්ගති භයයි.
ඉහත සඳහන් කළ අන්තානුවාද, භය, පරානුවාද භය, දණ්ඩ භය යන බියට පත්වෙන විවිධ අපරාධ කළ අය නිතර නිතර කළ දුසිරිත් ගැන සිතමින් පසුතැවිලි වෙමින් සිටින අතර අවසන් හුස්ම හෙළන මොහොතෙහි ඉන් බියට පත් වෙයි. ඒ සමඟ කළ පාපක්රියා අනුව ඔහු මරණින් පසු උපත ලබන දුගතිය දර්ශනය වෙයි. අන්න ඒ අවස්ථාවේ ඇතිවන භය, තැති ගැනීම දුග්ගති භයයි. පව් කළ අය මරණයත් සමඟ උපත ලබන දුගතිය දකියි. අපායේ ගිනි දලු, අඳුරු ලෝක, විකෘති දේ දකින අතර ඉන් බියපත් වන සමහරු අවසාන මොහෙතෙහි හඬමින්, බිය වී කෑගසමින් අතිශය බියටම පත්වෙති.
මේ අවස්ථාවෙහි සමහරු ආසන්න බණ පිරිත් කියවා ගනිති.
පින්වත් ඔබ මේ භය හතර මනාව දැනගෙන එවැනි බිය ගෙන දෙන කිසිඳු අකුසලයක් පාප කර්මයක් සිදු නොකොට පිනට දහමට සිත යොමු කරන්න.
මෙකී සතර බියෙන් මිදී සසර දුකෙන් නිමාව ලබන උතුම් නිවනින් සැනසුම උදාකර ගැනීමට ඔබ සැමට හැකි වේවා!!!
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood