තිලොවග සදහම් මුණි ගුන බැබලෙන, උතුම් උඳුවප් පෝදා අදයි….
සූර්යයා උඳුවප් මාසයේ ධනු රාශියේ ගමන්කරමින් සිටිනා බව ජෝතිෂ්‍ය මතයයි .
ගොවිතැන ජීවනෝපාය කරගත් ජනතාවට උඳුවප් නොහොත් දෙසැම්බර් මාසය ඉතා වැදගත් මාසයක් වෙයි.
උඳු පමණක් නොව වෙනත් බොහෝ ධාන්‍ය වර්ග ද විශේෂයෙන් වී ගොවිතැන ද මේ කාලයෙහි සශ්‍රීක වන්නේ කලට වැසි ලැබීම හේතු කර ගෙනයි .
මෝසම් වැසි බලාපොරොත්තුවෙන් මහ කන්නයේ වපුරන ගොවියාට උඳුවප් මාසය භාග්‍ය ගෙන දෙන්නේය. උඳු නම් ධාන්‍ය වර්ගයක් වැපිරෙන මාසය උඳුවප් යැයි සමහරු කීවත් ඒ පිළිබඳව තවත් මතයක් ඇත.
උඳු යනු වියලි යන්නයි. වප් යනු බීජ යන්නයි. මේ නිසා වියළි බීජ වපුරන මාසය උදුවප් ලෙස හැඳින්වීම ද තවත් අදහසකි.අතීතයේ මහපොළොව පුරා බිම් මල් පීදෙන කාලය ද මේ යයි අදහසක් ඇත .
සශ්‍රීක වෙමින් පවතින ගොවිබිම් දෙස බලමින් සතුටු වන ගොවි ජනතාව ආහාර පිළිබඳව මෙන්ම, ආධ්‍යාත්මික ගුණ දහම් පෝෂණය ගැන ද සිත යොමු කිරීම මෙරට සංස්කෘතියේ වැදගත් අංගයක් ලෙස සැලකූහ .
මහින්දාගමනයට පෙර බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩි බව පොත-පතෙහි සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ යුගයේ මෙරට පාලකයන් ව සිටියේ ස්වදේශික යක්ෂ සහ නාග රාක්ෂස දේව ආදී ගෝත්‍රික ජනයා යි. ඉන්දියානු ආක්‍රමණිකයන් හෝ සංක්‍රමණිකයන් ඇතුල් වූ පසු ස්වදේශිකයන්ගේ බලය බිඳී ගියේය. ඉන්දියානු රාජකීයයෝ මේ රටෙහි පාලකයෝ වූහ. ඒ නිසා ඉන්දියානු රාජ්‍ය පාලකයාට සමාන රාජ පාලකයෙක් මෙරට සිංහාසනාරූඪ වීම ඉන්දියාවට ඉතා සුබ ලකුණු ගෙන දෙන්නක් විය.
එසේ ඉන්දියානු සුභ පැතුම් මැද දේවානම්පියතිස්ස රජතුමාගේ රාජාභිෂේක මංගල්‍යය දෙවන වරටත් සිදු කරන ලදී.
දේවානම්පියතිස්ස රජතුමා මෙහි පාලකයාව සිටි කාලයේ ඉන්දියාව පාලනය කළේ ධර්මාශෝක රජතුමායි. එතුමා මුල් කාලයේ රාජ්‍ය බලය ලබා ගැනීමට බොහෝ යුද්ධ කළ ද පසුව ධර්මය පතුරුවා ධර්මයෙන් ජනතාව දිනා ගැනීමට උත්සාහ කළේය.
එම උත්සාහය ධර්මවිජය නමින් හඳුන්වමු. බෞද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීමක් වූ තුන්වැනි ධර්ම සංගායනාව පැවැත්වූයේ ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහය ඇතිවයි.
ධර්ම සංගායනාවෙන් පසුව රට රටවල ධර්ම ප්‍රචාරය සඳහා ධර්ම දූතයන් ලෙස භික්ෂූන් වහන්සේලා පිටත් කර යැවීය. ඒ අනුව පොසොන් පොහෝ දිනක ශ්‍රී ලංකාවට වැඩම කළේ මහින්ද මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිසයි.
මහින්ද මහරහතන් වහන්සේ ධර්මාශෝක රජතුමාගේ පුත්‍රයෙක් යයි සඳහන් වෙයි. මහින්ද මහ රහතන් වහන්සේගේ ධර්මයෙහි පැහැදුණු මනුෂ්‍යයෝ දහස් ගණනින් පැවිදිබිමට ඇතුළත් වූහ. එහෙත් ඒ පිරිමි පමණි. ස්ත්‍රීන් ටත් පැවිදි වීමට අවශ්‍ය වුවත් භික්ෂූන් වහන්සේලා ස්ත්‍රීන් පැවිදි කිරීම නොකළ යුතුය.
මෙනිසා අනුලා දේවිය ප්‍රමුඛ ස්ත්‍රීන් පැවිදි කිරීම සඳහා තම සොහොයුරිය වූ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ කැඳවන්නැයි මිහිඳු හිමියෝ දේවානම්පියතිස්ස රජතුමාට උපදෙස් දුන්හ. අනුලා දේවිය රජතුමාගේ සහෝදරයෙකුගේ බිසව වූවාය. එවිට රජ්ජුරුවෝ සඟමිත් තෙරණියගේ පැමිනීම අවශ්‍ය බව අයදිමින් ධර්මාශෝක රජුට පණිවිඩ යැවීය.
සංඝමිත්තා තෙරණින් වහන්සේ තවත් භික්ෂුණීන් වහන්සේලා එකොළොස් දෙනෙක් ද ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ද රැගෙන ලංකාවට වැඩම කලේ මේ උඳුවප් පුර පසළොස්වක පෝ් පෝ දින වූ අද වන් දින කයි.
ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට උඳුවප් පෝය සුවිශේෂී පෝය දිනයක් වන්නේ එසේ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ භික්ෂුණී ශාසනය පිහිටුවීමට මෙරටට වැඩම කළ දිනය නිසාත් ලෝකයේ පැරණිම වෘක්ෂය ලෙස සැලකෙන දක්ෂිණ බෝධි ශාඛාව ශ්‍රී ලංකාවට රැගෙන ඒම නිසාත් විය.
මෙම උතුම් වෘක්ෂය ගෞතම බුදුරජාණන් වහන්සේට බුදුවීමට සෙවණ දුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්. ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයා පමණක් නොව ලෝක බෞද්ධ ජනයාද අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට අප්‍රමාණ වූ අනුපමේය වූ ගෞරවනීය භක්තියකින් විවිධ පූජා පවත්වමින් වන්දනාමාන කරති.
සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ද රැගෙන ශ්‍රී ලංකාවට එන විට විවිධ රැකියා වල නියැලී සිටි කුල දහඅටක ශිල්පීන් සමූහයක් ද පැමිණ ඇත.
එම ශිල්පීන් අතර ….රෙදි වියන්නෝ, වලං තනන්නෝ, රත්තරන් බඩු සාදන්නෝ, කැටයම් කලාවෙහි නිපුණ වූවෝ , විවිධ කලා ශිල්ප ප්‍රගුණ කළ ගෘහ නිර්මාණ ශිල්පීහු ආදී අය වූහ.
එසේ පැමිණි පිරිස ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි වෙමින් තම තමාට හුරු පුරුදු කර්මාන්ත ඉටු කරන්නට පටන් ගත්හ. එයින් රට තුළ විවිධ කර්මාන්ත අලුතෙන් ඇති වූවා සේම පැවති කර්මාන්ත වඩාත් පෝෂණය වීමට ද හේතුවක් විය.
බෝධීන් වහන්සේට වැඳුම් පිදුම් කිරීම පමණක් නොව, සතුටේදී දුකේදිත් සරණ පතා බෝධි පූජා පැවැත්වීමද අද සමාජයේ බහුලව පවතී. එහි ආරම්භය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ උඳුවප් පුර පෝ දිනෙන් සිදු වූ බව පිළිගැනේ .
උදුවප් පුර පසළොස්වක දිනට සංඝමිත්තා තෙරණින් වහන්සේගේ පැමිණීමත් දක්ෂිණ බෝධි ශාඛාව ගෙන ඒමත් මුල්කොට අනුරාධපුරයේ වෙහෙර විහාර වල පවත්වනු ලබන පුද පූජා බොහෝයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල සංඝමිත්තා පෙරහැර පවත්වනු ලබන්නේ එතුමියගෙන් ලංකාවේ බුද්ධ ශාසනයටත් සාමාජික ආර්ථික සංස්කෘතික ආදී විවිධ ක්ෂේත්‍ර වලටත් සිදු වූ මෙහෙය සිහිපත් කිරීමටයි
ලාංකීය අපට උදුවප් පෝය දිනේ සිදු වන තවත් වැදගත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද ශ්‍රී පාද වන්දනා සමය මෙම පෝය දිනයෙන් ආරම්භ කිරීමයි .
පැල්මඩුල්ලෙ සිට සමන් දේවාභරණ පෙරහැර ගෙන සිරිපා මළුවට රැගෙන ගොස්, තැන්පත් කරන්නේ එදිනටය.ඉන් පසු ඇරඹෙන සිරිපා සමය වෙසක් පොහොයට ආසන්න කාලයක් වන තුරුම පවතී .
මෙසේ ශාසනික වටිනාකමකින් යුත් කරුණු කාරණා රැසක් සහිත වූ උඳුවප් පෝදා බැති සිතින් තෙරුවන් ගුන සිහි කරමු.එළැඹෙන නව වසර සඳහා දහම් ආශිර්වාද ප්‍රාර්තනා කරමු…තෙරුවනේ අනන්ත ගුන බලයෙන් ඔබ සැමට උතුම් උඳුවප් පෝ දිනක් වේවා!
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood