Temples of Sri Lanka

වැරදුණු තැනක් ඇත්නම් නිවැරදි කරමු… දහම් මගේ ගොස් නිවැරදි ලෙස දකිමු…

වරද කොතැනද කියා සොයමු…

අපි ජීවිතය ගැන කල්පනා කරන හැම මොහොතකම අපට හිතෙන්නේ බොහෝ දේ ජය ගන්න මේ දහම පිළිබඳව ඇති ශ්‍රද්ධාව උදව් වුණා කියලයි .

එදා බුදුරජාණන් වහන්සේ පැවිද්ද සුවයක් කියලා දේශනා කළා නම් , බුදු හාමුදුරුවෝ දෙසූ දේ සත්‍ය නම්, මේ සියලු කල්හි සියලු දෙනාට “එව බලව” කියලා කියන්නට සුදුසු දහමක් නම්, ඇයි අද අපට ඒ දහමේ පිහිට ලබන්නට බැරි ?.

තේරෙනවද ඔබට, අපට කුමක් හෝ තැනක වැරදීමක් වෙලා කියලා .

බලමු අපි අපිට වැරදුනේ කොතනද කියලා ….බලමු අපි මේ දේ හරියට කරන්නේ කොහොමද කියලා….අන්න ඒ උත්සාහය යි අපට මඟ නොමඟ හඳුනා ගෙන ඉදිරියට යන්න උදව් කරන්නේ…

අප සියලු දෙනාටම සත්‍ය වශයෙන්ම සිදු කිරීමට හැකි දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ .කළ නොහැකි දෙයක් බුදුන් වහන්සේ දේශනා කර නැහැ .ඒ වගේමයි සිද්ද නොවෙන දෙයක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලත් නැහැ .

ඕනෑම දෙයක් සිදු වෙන්නට හේතු තියෙන දෙයක් වගේම ,ශ්‍රද්ධාවෙන් එය දකින්න පුළුවන් දෙයක්. වීරිය ජනිත වන දෙයක්. ද්වේශය රාගය ඊර්ෂ්‍යාව වෛරය වගේ මූලයන් වගේම හේතුවක් ඇතිව උපදින හැම දෙයක්ම හේතුවක් සහිත ඵලයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

මේ අනුව ඒ සෑම දෙයකම හේතුව හඳුනා ගත්තොත්, එය ප්‍රහාණය කරන්න අපට පුළුවන් ශක්තියක් ඇති බව බුදුන් වහන්සේ දේශනා කළා. අපි මේ දේවල් ප්‍රහාණය කිරීමට අපොහොසත් වෙලා තියෙන්නේ කොහේ හරි තැනක පැටලැවිල්ලක් තියෙන නිසයි .අන්න ඒ තැන අපි බුද්ධිමත්ව, සොයාගත යුතුයි .ඒ දේ සොයා ගන්නට අපි, අපි වෙතට නැඹුරු වෙන්නේ ශ්‍රද්ධාව අපි ලග තිබුණොත් පමණයි .

ශ්‍රද්ධාව නැතිතාක් ,පුද්ගලයා පැටලැවෙන්නේම, බාහිර ලෝකයත් එක්ක.එතකම් ම මිනිසා තවත් අයෙකුගේ වචන, නොහොබිනා වැඩ, නිසා තරහ ලඟා කරගන්නවා .එක් එක් පුද්ගලයාගේ අසාධාරණ කටයුතු දැක තමාගේ මනස ඉතා වියවුල් තත්ත්වයකට පත්කර ගන්නවා.තමාගේ කිසිදු වරදක් නොමැති වත් අහල පහළ ඉන්න මිනිස්සු නිසා තමාගේ සිත තුළ වෛරී සිත් ඇති කර ගන්නවා .මේ නිසා තමන් වෙනුවෙන් ක්‍රියා කරල තියෙන්නෙ අනුන් .කොහෙවත් ඉන්න පුද්ගලයන්ගේ වචන ක්‍රියාකාරකම් වෙනුවෙන් තමන්ගේ ජීවිතය ක්‍රියාත්මක කරන්නට පටන් අරන් .

ඇයි මේ ..?

අපි බලමු මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා .

අපි අතින් ශ්‍රද්ධාව ගිලිහිලා ගිහිල්ලා .මේවා හේතුඵල ධර්ම .අවශ්‍ය නම් වෙනස් කරන්න අපට පුළුවන්. චතුරාර්ය සත්‍ය කියන්නේ ඒවා වෙනස් කරන ක්‍රමවේදය. ගැටලුව… ගැටළුවට හේතුව …ඉන් නිදහස් වීම… ඒ සඳහා මාර්ගය… මේ දහමේ මූලික හදවත.මේ ප්‍රධාන මූලයන් ගැන අපට වැටහීමක් තියෙනවා නම්, විශ්වාසයක් තියෙනවා නම් ,අපි කවදාවත් තමන්ගේ හදවතේ පාලනය තව කෙනෙක් හරහා ගොඩනගා ගන්නේ නැහැ .පැහැදිලිවම කියනවා නම් , තමාගේ භාරකාරත්වය වෙනත් කෙනෙකු මත පදනම්ව කටයුතු කරන්නට අප ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්නේ නැහැ .

අප හිතාගෙන ඉන්නවා, අපි ගාව ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා කියලා. නමුත් මේ විදිහට කරුණෙන් කරුණ විමසන කොට අපේ ශ්‍රද්ධාව කොපමණ දුර්වල ද කියලා අපට වැටහෙනවා .

ඒ වගේම අප පුරුදු වෙලා ඉන්නවා, බුදුරජාණන් වහන්සේ ගැන කියනකොටම, ධර්මය අහන කොටම, අපේ මනසේ සැනකින් ගෞරවයක් මතුවෙනවා නම් ,ස්වාමීන් වහන්සේ නමක් දකිනකොටම, දොහොත් නගා වදින්නට පුලුවන්නම් ,අපි බොහොම ශ්‍රද්ධා වන්තයි කියල .

නමුත් අපිට මේ ශ්‍රද්ධාව, නිර්වාණ මාර්ගය තුළ වැඩෙන්න හෝ අකුසල පාප ධර්මයන් ප්‍රහාණය කරන්න, ප්‍රමාණවත් සාධකයක් බවට පත්වෙන්නේ නැහැ .

ධර්මය තුළින්ම ගොඩනැගුණු යථාරූපී සහේතුක ශ්‍රද්ධාවක් අප තුළ වැඩීමට අවශ්‍ය වෙනවා .මේ විදියට දිගින් දිගටම පුරුදු කරන්නට අපේ ජීවිතය අපි සමත් වුවහොත්, එහෙම පුහුණු වෙන පුද්ගලයෙක් තුළ ක්‍රමයෙන් වැඩෙන හා නොවෙනස් වන අචල ශ්‍රද්ධාවක් යම්කිසි දවසක අපේ මනසේ තහවුරු වෙන්නට ආරම්භ වෙනවා.

පුහුණුව හා සතත අභ්‍යාසය ඉතාමත් වැදගත් දෙයක් .

ටිකෙන් ටික පුහුණු කිරීමෙන්, පින් කටයුතු තුළ රැඳීමෙන්, ස්ථාවර තත්ත්වයකට අපට කෙමෙන් කෙමෙන් ළඟා වීමට හැකියාව ලැබෙනවා .

අවශ්‍යම කරන හේතු සම්පාදනය කරන්නේ නැතුව භවයෙහි උපදින එක නවත්වන්නට අපට බැහැ .ඒක අර්බුදකාරී තත්ත්වයක් බවට පත්වෙනවා .

භාවනා කරන අයට සිහිය පුහුණු කිරීම, මනසේ තියෙන දුර්ගුණ බැහැර කිරීම, තමන්ගේ මනස දිහා බලමින් කටයුතු කිරීම, යහගුණ ප්‍රගුණ කිරීම, අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු දේවල් ..ඒ වගේම ලේසියෙන් කිරීමට නො පුළුවන් දේවල් .

නියමිත දුර දුවගෙන ආ පුද්ගලයාට කඩඉම පනින එක අපහසුවක් නෙමෙයි .ආරම්භයේ පටන් පියවරෙන් පියවර පසු කරගෙන යාමයි දුෂ්කර. එතනයි අර්බුදය.

අතරමග ඇද වැටෙන්නේ නැතිව මග ගෙවා දැමීමයි දුෂ්කර. අවශ්‍ය හේතු සියල්ල ගොනු උනාට පස්සේ ප්‍රතිඵලයට පැමිණෙනවා කියන එක ස්වභාවිකවම සිද්ධ වෙන දෙයක් .

එනිසාම පුද්ගලයෙක් මේ ශ්‍රද්ධාව උදෙසා අත්‍යවශ්‍ය හේතු හඳුනාගත්තොත්, අනුක්‍රමණ යෙන් ඒ ගුණ පුරුදු පුහුණු කරලා ඒවා තහවුරු කරගන්නට පුළුවන් .

මේ නුපුළුවන් දෙයක් නොවෙයි. මෙය කළ හැකි දෙයක්. කිරීමට තවමත් බැරි වන්නේ ධර්මයේ දෝෂයක් හෝ වෙනත් කෙනෙකුගේ දෝෂයක් නොවේ. අපේ පුහුණුව තුළ හා අපේ ප්‍රතිපදාවන් තුළ තියෙන දෝෂයක්.

එහෙම නම් ඒ දෝෂය ඇති වුණේ කොතැනද කියලා ආපසු හැරිලා තමන්ගේ මනසත් එක්ක කතා කරමින් බැලීමට හැකියාවක් ලැබුනොත්, ඒ සඳහා ශ්‍රද්ධාව තිබුණොත් එය මහා වාසනාවක්.

අන්න ඒ නිසයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ, මහණෙනි…. යම් කෙනෙකුට ශ්‍රද්ධාව පහළ වුනොත්, එහිදී අකුසලය ප්‍රහාණය වෙනවා. යම් මොහොතක ශ්‍රද්ධාව දුරු වෙලා … අශ්‍රද්ධාව සැකය අවිශ්වාසය මතු වුනොත් , අකුසලයම තහවුරු වෙනවා කියා.

ධර්මය පිළිබඳව අවිශ්වාසය පවතින තාක්,එය ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් බවට තහවුරු කර නොගන්නා තාක්, එය පැහැදිලිව හදුනාගැනීමේ වැදගත්කම සාක්ෂාත් කර නොගන්නා තාක් ශ්‍රද්ධාව තමා වෙතින් දුරස් වෙනවා.

වැදගත්ම දෙය වන්නේ වරද සිදු වූ ස්ථානය සොයා ගොසින් ශ්‍රද්ධාව සඳහා කෙමෙන් කෙමෙන් ළඟා වීමයි .නිරාමිස සතුට විඳ ගැනීමට ඒ ශක්තීන් ඔබෙන් වැඩි ඈතක නොවේ .

ධෛර්යයෙන් කටයුතු කිරීමට, අවැසි ශක්තීන් වර්ධනය වීමට ඔබට ආශිර්වාද ගෙන එන්නෙමු…

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X