Temples of Sri Lanka

සමුගෙන ගියත්… සිසිලස බෙදමු…

මැරුණු පුද්ගලයෙක් වෙනුවෙන් අර්ථවත් දෙයක්…

අපේ ළඟම ඥාතියෙක් පවුලේ කෙනෙක් අසල්වාසියෙක් අප අතරින් සමුගෙන මියපරලොව ගිය අවස්ථාවකදී අපට ඉවසාගත නොහැකි දොම්නසක් ඇති වෙනවා .

ඒ එක්කම අපට හිතට හිතෙන දෙයක් තමයි මොනවා හරි මේ කෙනා වෙනුවෙන් දෙයක් කරන්න තිබ්බ නම් කොච්චර හොඳද කියල. මේ කාරණය නිසා ලෝකයේ නොයෙක් පුද්ගලයින් නොයෙක් දේවල් කිරීමට පෙළඹෙනවා. මරණයේ ස්වභාවය ගැන යන්තම් වත් නොතේරෙන පුද්ගලයින්ට නම් හඬා වැලපීම ඇරෙන්න වෙනත් දෙයක් හිතෙන්නේ නැහැ .මියගිය කෙනාගේ මරණයට හේතු වුණ කෙනෙක් ඉන්නව නම්, ඒ කෙනාගෙන් පළිගන්න ක්‍රෝධ සිත් ඇති ව විලාප තියමින් දොස් පවරන්න තමයි ඒ අය බලාගෙන ඉන්නේ.

තවත් සමහර අය වියෝව දරා ගන්නට නොහැකිව නොයෙක් ආකාරයට සිහිවටන ස්මාරක ආදියෙන් මැරුණු පුද්ගලයව සිහිගැන්වීමට නිර්මාණයන් කරනවා .

ටජ් මහල් කියන්නෙත් ඒ වගේ මැරුණු කෙනෙක් වෙනුවෙන් සිහිපත් කිරීමට සාදන ලද උදාහරණයක් .

මේ කුමන දේ කළත්, අප නිකමටවත් හිතුවද ?මේ කරන සෑම දෙයක්ම තමන්ට, අනුන්ට, මිය ගිය කෙනාට ,කුමන හෝ ආකාරයකින් ප්‍රයෝජනවත් හා යහපත් වන දෙයක් වෙයි කියලා ..

කිසියම් පුද්ගලයකුගේ අභාවයෙන් මිය ගිය අයටත් ඒ මැරුණු පුද්ගලයාගේ සමීපතමයන්ටත් ආදරණීයයන්ටත් අන් සියලු දෙනාටත් යහපත සැලසෙන ප්‍රතිපදාවක් තුල අප කාටත් ක්‍රියා කරන්නට පුළුවන් නම්, මොනතරම් ප්‍රතිඵලදායක දෙයක්ද …

බුද්ධ දර්ශනයට අනුව පෝෂණය වන අප රටේ , යම් පුද්ගලයෙකුගේ මරණයක දී ක්‍රියා කරන සමස්ත ආකාරය පිළිබඳව ඉතා විධිමත් වැඩපිළිවෙළක් අපට දක්නට ලැබෙනවා.

විශේෂයෙන්ම මියගිය ඥාතීන්ගේ පරලොව ජීවිතය සුවපත් කිරීම පිණිස දන් පැන් දී මියගිය අයට පින් පෙත් අනුමෝදන් කිරීම බොහෝ දෙනෙක් විසින් ඉතා ඕනෑ කමින් හා සතුටින් සිදුකරන කාරයක්. ඒකෙදි මියගිය අයට වගේම දන් පැන් පූජා කරන අයගේ ජීවිත වලටත් බොහෝ පින් රැස්වෙනවා .

ඒ වගේම අපේ සමාජයේ තියෙන තවත් විශාල පින්කමක් තමයි මරණයට නියම වෙලා තියන සතුන්ට අභය දානය දීම. එමගින් එම පින් මියගිය අයට අනුමෝදන් කිරීමත් සිදු කරන තවත් එක් වැදගත් ක්‍රියාවලියක්.

ඉතින් මෙවැනි කටයුතු වලින් සියල්ලන්ටම දෙලොවම යහපත පිණිස පවත්නා පින්කම් කරන්නට අවස්ථාව උදා වෙලා තියෙන්නේ, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුළින් ලබන ලද පන්නරය හා සාරවත් සංස්කෘතියක් මතින් වූ ජීවන සම්ප්‍රදායක් අපට දායාද කර තිබූ නිසයි .

මළගිය ඇත්තන් උදෙසා සොහොනක් වෙනුවට , සමාජ හිතකාමී සත්කාරයක් වෙනුවෙන් දායකත්වය ලබාදෙමින් මළ ගිය පුද්ගලයාට පින් පැමිණ වීමට අපට හැකියාවක් තිබෙනවා නම්, එය උත්තම සමාජ මෙහෙවරක් ලෙස ඉදිරි පරපුර වෙත අදහස් බල ගැන්වීමක් ද සිදු කිරීමට සමත් ක්‍රියාවලියක ඇරඹුමක් වේවි .

බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවක පින කියලා කියන්නේ “දුර ගමනක් යන කෙනෙකුට බත්මුලක් වගේ” ,නිවන් දකින තුරු අපිට සුවපහසුව ඇති කරලා දෙන දෙයක් කියල දේශනා කරලා තියෙනවා.

අපි දන්නවා, අප අවට පරිසරය පිරිසිදුව,බොහෝ දෙනාගේ හිත සුව පිණිස සුන්දරත්වයෙන් අනූන තැනක් බවට පත් කර ගැනීමෙන් දෙවියන්ගේ උපකාරයත් රැක වරනයත් නිරන්තරයෙන් ම අපට ලැබෙන බව.මේ නිසා ම ස්වාභාවික විපත් අඩු වෙලා නිසි කලට වැසි ද වහින බව.

ස්වභාවික සම්පත් විනාශ වෙමින් යන මෙවන් අවස්ථාවක මළගිය ඇත්තන් උදෙසා සොහොනක් වෙනුවට ගස් සිටුවීමක් සිදු වුනොත්…

එවැනි පින්කමක් මගින් පරිසරය සුවපත් කරනවා. පරිසරය සුවපත් වන විට වඩා සුවපත් වන්නේ පරිසරය රැකවරණය ලබන මිනිසුන් වන අපි මයි.

මේ වන සම්පත කියලා කියන්නේ සත්වයින්ට දිවා රෑ දෙකේම ප්‍රයෝජනයට ගන්නට තියෙන සම්පතක්. එක අතකින් වායුගෝලයේ පිරිසුදු වෙනවා. තවත් පැත්තකින් පොළොවේ ජල සම්පත සුරැකෙනවා. තවත් පසකින් පරිභෝජනයට පලවැල ලබා දෙනවා. මේ ආකාරයෙන් නොයෙක් ආකාරයෙන් ප්‍රයෝජනය ගන්න ඒ ඒ වගාවට මුල් වූ අයට දිවා රෑ දෙකෙහිම අප්‍රමාණව පින්කම් රැස්වෙනවා.

ඒ සිහිකරමින් ම දිවා රාත්‍රී සතුටින් වාසය කරන්නට අපට අවස්ථාව උදා වෙනවා. මේ බොහෝ දෙනෙක් සුවපත් කරන දිවා රාත්‍රී පින් රැස්වෙන පින්කම් ගැන අපට බුදුරජාණන් වහන්සේගේ වචන වලින්ම අසන්නට ලැබුණ අවස්ථාවක්.

සක්‍ර දේවේන්ද්‍රයා මඝ නම් මාණවකයකු සිටි කාලයේ නොයෙක් ආකාරයේ මෙවැනි පින්කම් සිදු කළා. පොදු ජනයාගේ සුව පහසුව පිණිස පිරිස එකතු කරගෙන මංමාවත් , ගිමන්හල්, පැන් පොකුණු,වන උද්‍යාන, ආදිය නිර්මාණය කරමින් ඒ තුළින් දවල් රෑ දෙකෙහිම බොහෝ සෙයින් පින් රැස් කර ගත්තා .

පුද්ගලයකුට හිතෙන්න පුළුවන් ආමිසයෙන් පින් රැස් කරන්නට බොහෝ මිල මුදල් වියදම් කරන්න ඕන කියලා.

ඒත් මේ වගේ වෘක්ෂ සම්පත් හිටුවන්නට, මංමාවත් පිළිසකර කරන්නට, ඉතා පහසුවෙන් පුළුවන්. අපට පුළුවන් තවත් බොහෝ පිරිස එකතු කරගෙන මෙවැනි පින්කම් කරන්නට. එවිට ඒ කටයුතු ඉතා පහසුවෙන් මහා පරිමාණයෙන් සිදු කර ගන්නත් අපට අවස්ථාව සැලසෙනවා .

මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් හඬා වැළපීම හා ස්මාරක ගොඩනගමින් පරිසරය තව තවත් හානි සිදුකරනවා වෙනුවට ගසක් දෙකක් හිටවමින් පරිසරයට හිතකාමී කාර්යයක නියැලීම, වඩාත් සුදුසු බව ඔබ වටහා ගත්තාද ..

වත්මනේ ජීවත්වන අපට මෙන්ම අනාගත පරපුර සඳහා ද යමක් ප්‍රදානය කිරීමට මෙමගින් අපට අවස්ථාව උදා වෙනවා .සොබාදහම රැකගැනීම තුළින් ස්වභාධර්මයේ ආස්වාදය, හිතෛෂී බව, අප වෙත ළඟා වීමේ වැදගත්කම වර්තමාන සාධක තුළින් ම අපට පසක් වනවා ඇත .

පින්කම් හා එක්වෙමින් දිවා රාත්‍රී දෙකෙහිම සිත සිතාම පින්කම් මත්තෙහි රැඳීමට සහ එමගින් පින් රැස් කර ගැනීමට ඔබේ සිත් සතන් පහල වේවා !!!

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X