Temples of Sri Lanka

බ්‍රහ්ම චරියාවෙන් ලැබෙන මහා ධාර්මික ශක්තිය….

විශ්වය කියන්නේ සමතුලිතයක්. එය සමතුලිත වෙන්න හදන ප්‍රයත්නය තුළම ඊළඟ මොහොතේ අසමතුලිත වෙනවා. ඒ අසමතුලිතය තුළ නැවත සමතුලිතය කරා යොමු වෙනවා. මේ ක්‍රියාවලිය තුළ තමයි විශ්වයේ ගලනය තියෙන්නේ. ඔබ කියන්නේ මේ විශ්වයේ අණු කොටසක්. ඉතින් ඔබත් මේ සමතුලිත න්‍යායට යටත්. ඔබගේ මනසට මේ සමස්ථ ක්‍රියාවලිය සමස්ථ වපසරිය ගෝචර නොවුණාට, එහි බලපෑම ඔබ වෙත නිරන්තරයෙන් එල්ල වෙනවා.

සාමාන්‍යයෙන් සත්වයාගේ පැවැත්ම මූලිකව පදනම් වෙලා තියෙන්නේ කාන්තා හා පුරුෂ සම්බන්ධය කියන කාරණය මත. එහෙම දෙදෙනෙකු එකතු වෙලා ඇතිවන පැවැත්ම මත. ඔබ ඉගෙන ගන්නේ, රැකියා කරන්නේ, ගෙවල් හදන්නේ සියල්ල කරන්නේ මේ සඳහා තමයි. සමස්ථයක් විදියට සත්වයාගේ සාමාන්‍ය දිශානතිය යොමු වෙලා තියෙන්නේ මේ ආකාරයෙන් ගොඩනැඟෙන පැවැත්මක් සඳහායි.

 

මේ පැවැත්ම තුළ සත්වයාගේ සමතුලිතය ගොඩනැගෙන ආකාරය විමසා බැලුවොත් දකින්න පුළුවන් දෙයක් තමයි දුක හා සතුට ඒ පැවැත්ම තුළ සමබරවන්නේ කෙසේද කියන කාරණය. ඒක බොහෝ දෙනෙක්ට ජීවිතාවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන් කාරණයක්. කාමුක ජීවිතය තුළ ලැබෙන සතුට, ඒ වටා ගොඩනැගෙන තවත් කාරණා බොහොමයක් එක්ක බැඳී තිබෙන වෙහෙස සහ දුක සමග සමබර වන බව හොඳින් බැලුවොත් පෙනෙන්න තිබෙන කාරණයක්. සතුට සෙවීම කේන්ද්‍ර කරගත් කාමුක ජීවිතය කියන ක්‍රියාවලිය තුල ආස්වාදය ලැබෙනවා වගේම, ඒ හරහා ඇතිවන ප්‍රතිඵල තුළ වෙහෙසකාරී සංකීර්ණ ජීවන රටාවක්ද ගොඩනැගෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු, ව්‍යායාම, වාසස්ථාන ඉදිකිරීම ආදී මේ සියල්ල සඳහා වෙහෙසෙන ක්‍රියාවලියේ මුලික අරමුණ සැපවත් හා ආස්වාද ජනක කාමුක ජීවිතයක් ගතකිරීමයි. ඒ ක්‍රියාවලිය හා බැඳී තිබෙන දුක හා වෙහෙස බොහෝ දෙනෙකුට නොපෙනෙන්නේ ඔවුන්ගේ අවධානය හුදෙක් සැපවත් කාමුක ජීවිතයක් ගතකිරීම කියන බලාපොරොත්තුව මත කේන්ද්‍ර ගතවෙලා තිබෙන නිසා. ඒ ජීවිතය තුළ සතුට ලබන ක්‍රියාවලිය හරහා ඇතිවන ප්‍රතිඵලයන් වන දූදරුවන් සහිත පවුල් ජීවිතය තුළ ඊට අවශ්‍ය කාරණා නඩත්තු කිරීම සඳහා නැවතත් වෙහෙස, දුක සහ ආදීනව සහිත ක්‍රියාවලියක මියයන තුරුම නිරත වන්නට බොහෝ දෙනෙකුට සිදුවෙනවා.

සමහර අවස්ථා තියෙනවා කාන්තාවයි පිරිමියයි එකට ඉන්නවා හැබැයි දරුවන් හදන්නේ නෑ. නමුත් ධර්මතාවය හැදිලා තියෙන්නේ ඒ එකට ඉඳීම තුළ වර්ගයා බිහිවීම සඳහායි. ඒ ධර්මතාවය හිතාමතා ඉක්මවා යනවා නම්, ඒක කොහෙන් හරි සමානුපාතික වෙන්න ඕනා. එතන සතුට ලබනවා. නමුත් දෙයක් නෑ වගේ දෙයක් තියෙන්නේ. එතකොට ඊට අනුරූපව ගොඩනැගෙන තවත් කුමක් හෝ දේක ප්‍රතිඵලයක් තුළින් ඒක තුලිත වෙන්න ඕනා. මේ ලෝකේ කාටවත් සදාකාලික සතුටක් හෝ සදාකාලික දුකක් නැහැ. සොබාදහමේ සමතුලිතය කියන ධර්මතාවය ඉක්මවා යන්න බෑ. කවුරු හරි දෙන්නෙක් එකට ඉන්නවා සහ එක දරුවෙක් හරි ඉන්නවා නම්, ඒකෙන් අර කර්ම ටික තුලනය වෙනවා.

යම් කෙනෙක් මේ පැවැත්ම අතහරින්න ගියාට, එහෙම එකපාරම ඒක අතහරින්න බෑ. නිවන් දකින්න යන කෙනෙක් එයාගේ පැවැත්ම අතහරිනවා. හැබැයි එයා අතහරින්න යන මේ කරුණු කාරණා එයා තුළ පූර්ණ වෙලා නැත්නම්, අඩුවක් තියෙද්දි එයා ඒ පැවැත්ම අතහැරියොත් එයාට නිවන් දකින්නත් එක බාධාවක් වෙනවා. මොකද ඊට පස්සේ ජීවිත කාලෙම එයා කරන්නේ පැවැත්ම තුළ කාරණා පූර්ණ නොවී අතහැරීම නිසා ඇතිවන පීඩනය හා මානසික අවුල වෙනුවෙන් වැඩ කටයුතු කරන එකයි. ඒ නිසා මේ පැවැත්ම ස්වභාවයෙන් අතහැරෙන්න ඕන එකක්. අඹු සැමි විදියට ඉන්න දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් එයාගේ පැවැත්ම අතහැරියොත්, අනිත් කෙනාටත් එහෙම වෙන්න ඒ අනිත් කෙනා තුළත් සැකැස්ම හැදිලා තියෙන්න ඕනේ. නැතිනම් එතන සමතුලිතය බිඳෙනවා. ඒකේ ප්‍රතිවිපාක පසුවටත් ගොඩනැගෙනවා.

රාගයෙන් ඔබ පිනවෙනවා නම්, ඔබ රාගයට අහුවෙලා ඉන්නේ. පින වෙනවා නම් එතන අවිද්‍යාව තියෙනවා. අනිත් පැත්තෙන් රාගය ප්‍රහීණ කරපු කෙනෙකුට රාගය කියලා දෙයක් නෑ. නමුත් ඒක ඵලය තුළ දැනෙන දෙයක් මිසක් මනසින් හදාගත්ත දෙයක් වෙන්න බෑ. කෙනෙක්ට රාගය ප්‍රහීණ වෙලා, පිනවීම කියන එක අයින් වෙලා ගියාට පස්සේ ඉතිරි වෙන්නේ කායික සහ මානසික කාරණයක් විතරයි. රාගය ඵලය තුළ ප්‍රහීණ කරලා, කෙනෙක් එය කායික හා මානසික කාරණයක් ලෙස පරිහරණය කරනවා නම් එයාට ඒක ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. ප්‍රශ්නයක් වෙන්නේ එහෙම නොවන කාරණාවලදී තමයි. මොකද එතන කර්මයක් හැදෙනවා. වේදනාව, දුක වර්ධනය වෙනවා.

එතකොට රාගයේ දෙපැත්තක් තිබෙනවා. එකක් තමයි අවිද්‍යාව තුළ රාගයෙන් පිනවීම. අනිත් පැත්ත තමයි රාගය ප්‍රහීණ කරපු අයට පුළුවන් කායික සහ මානසික කාරණා සඳහා අවබෝධයෙන් එය පරිහරණය කරන්න. කෙනෙක් රාගය ප්‍රහීණ කිරීම දක්වා යන්න නම් රාගය අතහැරෙන්න ඕන. රාගයත් එක්ක ඔට්ටු වෙන්න හෝ රාගය යටපත් කරන්න ගිහිල්ලා හරියන්නේ නෑ. රාගය තේරුම් කරගෙන ඉවර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අතහරින්න තියෙන එකක්

රාගයක් රාගයක් කියලා හිතන කාලයක් එය රාගයයි. එය ධර්මතාවයක් කියලා හිතන කාලයක් එය ධර්මතාවයක්. එය විද්‍යාවක් කියලා හිතන කාලයක් එය විද්‍යාවක්. ඔබ ඒකට අන්දන, දාන වෙස්මුණ ඇදුම මත තමයි ඒක නිර්මාණය වෙන්නේ. වෙස්මුණ සහ ඇදුම අන්දන්නේ අපි

මූල ස්වභාවය සැලකුවාම රාගය කියන්නේ සිතුවිල්ලකුත් නෙවෙයි, ධර්මතාවයකුත් නොවෙයි, ඒක energy line එකක්. සත්වයාගේ පැවැත්ම සඳහා විවිධාකාර පැතිකඩයන් මේ energy line හරහා ක්‍රියාත්මක වෙනවා. ගස්වල මල් පිපෙනවා, ගෙඩි හට හටගන්නවා, ප්‍රජනනය වෙනවා. මේ සියල්ල රාගය කියන energy line එක හරහා සිදුවන දේවල්. කවුරුහරි කෙනෙක් sex නතර කරොත්, ඒ energy line එක කෑම ජාති පස්සේ යන්න, අධික ලෙස මත්පැන් බොන්න වැනි දේකට තල්ලු වෙන්න පුළුවන්.

මේ Energy line එකක තියෙන්නේ frequency එකක්. ධර්මතාවය කියන එකේ ප්‍රතික්‍රියා තියෙනවා. ඒක ස්වභාවයක්. වතුර ගලන එක අපි frequency එකක් කියන්නේ නෑ. ඒක ධර්මතාවයක්, ස්වභාවයක්. Energy line හරහා ධර්මතා ගණනාවක් හැදෙන්න පුළුවන්.

සමහර පිරිමි අය ඉන්නවා පිරිමින්ට කැමති. ගැහැණු අය ඉන්නවා ගැහැණුන්ට කැමති. ඒකට හේතුව අර energy line එක ඒ විදිහට set වෙලා. සමහරු කෑමට පෙරේතයි. සමහරු ඇඳුම්වලට. සමහරු තමන්ගේම රූපයට. මොකක් හරි දේකට ඒ විදියට අහුවෙනවා. බැඳපු නැති පිරිමි ගෑණු බොහෝ විට එහෙමයි. මොකක් හරි එහෙකට ඒ වගේ අහුවෙනවා. එයාගේ පැවැත්ම හැදෙන්නේ ඒකෙන්.

කෙනෙක්ට Sex life එකක් නැති වුණොත් එයා වෙන මොනවා හරි එකකට අහුවෙනවා. පන්සල්වල හාමුදුරුවොත් එහෙමයි. එක්කෝ මල් හිටවනවා, පන්සල හරි හදනවා. ඒ energy line එක කොහෙන් හරි ක්‍රියාත්මක වෙනවා. Sex life එක තුළ තෘප්තිමත් වුණ අයගේ ජීවිතය එච්චර serious නෑ. ඒ අය ඔහේ ජීවත් වෙනවා. අනිත්වා එච්චර වැදගත් නෑ.

රාගය කියන්නේ එක energy line එකක්. ඒක විහිදලා යන එක පැතිකඩක් විතරයි sex කියන්නේ.

යම් කෙනෙක්ට ඍද්ධිපාද චිත්තය තියෙනවා නම්, ඒ energy වැඩෙනවනම්, ඒ කෙනා අනිවාර්යෙන්ම sex කළ යුතුයි. ඒ අයට අර වගේ බාධාවන් එන්නේ නෑ. ඒ අය කාලා බීලා සාමාන්‍ය කෙනෙක් කරමින් ඉන්න දේවල් කරන එකට බාධාවක් දානවා කියන්නේ ඔවුන්ගේ බුද්ධිය විනාශ වෙනවා කියන එකයි. ඒක හරියට මහා ගසක් වැඩෙන ගමන් තියෙන්නේ, ඒ නිසා වැඩෙන energy balance වෙන්න ඒ දේවල් ඕන වෙනවා වගේ දෙයක්. ඒකට හොඳම උදාහරණය තමයි බෝසතා. බෝසතා තවුස්දම් පිරුවට බ්‍රහ්මචාරීව හිටියේ නෑ. අත ඇරලා ගියාට ආපහු එනවා. නැත්තං ඒක බාධකයක් වෙනවා. ඒක බෝසතාට ආහාර වගේම ඕන දෙයක්. මොකද ඒ හැම දෙයක් තුළම එයාගේ බුද්ධිය වැඩෙනවා. බෝසතාගේ අවසාන භවයෙත් සහකාරියක් ඉන්නවා. ඒ තමයි එයාගේ පැවැත්ම. ඒක අතහැරියොත් ලෝකයේ ඉන්න කාරණයක් නෑ. ඒකත් එක්ක ගැට ගැහිලා තමයි අවසාන භවය දක්වා එන්නේ. අවසාන භවයේත් බිරිඳක් සිටියා කියන්නේ ඒක ප්‍රතික්‍ෂේප කරන්න බෑ කියන එකයි

බුදු වරයෙක් යම් කාල වකවානුවක රාගය පිළිබඳ සියල්ල අවබෝධ කරන අවස්ථාවක් පසු කරනවා. ඒ කාළය තුළ රාගය රාගය ලෙස විඳිනවා. පරිශීලනය කරනවා. තෘප්තිමත් වෙනවා. රාගය තුළ සිටිද්දි, තවත් වෙනම ඇවටා ස්වභාවයක ඉඳන් සත්වයා තුළ ධර්මතා හැදෙන විදිය, සත්වයා මේ විෂයය තුළ සහ රාගය තුළ ගොඩනැගෙන විදිය පිළිබඳව දකිනවා. ඒක වෙනම පෙනෙන අතර සමාධියක වගේ sex වලත් ඉන්නවා.

ඒ තුළ හැමවෙලාවෙම දහමක් තේරෙනවා. කාන්තාව පිරිමියා දකින විදිය, කාන්තාවක් පිරිමියා දකින කොට ඒක අත්විඳින විදිය, ලිංගික සේවනයේ දී වෙනම කෙනෙක් ඒක දකිනකොට අත්විඳින විදිය, කාන්තා සහ පිරිමි මනස සහ ශරීරය වැඩ කරන විදිය, කර්මය හැදෙන විදිය, හෘදය වැඩ කරන විදිය, කෙලෙස් සිතිවිලි වැඩ කරන විදිය, කාන්තා කාන්තා සම්බන්ධතා , පිරිමි පිරිමි සම්බන්ධයන් වලදී ඒවා ගොඩනැගෙන විදිය Sex වල ඉන්න එක තුලදී හා ඉඳලා ඉවර වුණ අවස්ථාවල ස්වභාවයන් ආදී විශාල වපසරියක දහමක් තේරෙනවා. ඒ හැම සිද්ධියක්ම ආපහු අනුලෝම ප්‍රතිලෝම විදියට විමර්ශනය කරලත් බලනවා. ඒ අවධිය පූර්ණ වන විට, ඊට පස්සේ දැනෙන්න පටන් ගන්නවා:

“ රාගය පිළිබඳව සියල්ල අවබෝධ කර ගත් සේක” කියල

“ කෙලෙස් ප්‍රහීන කළ සේක” කියලා දැනෙන තැනකුත් එනවා.

කෙලෙස් ප්‍රහීණ කරනවා කියන්නේ වෙනම එකක්. පොඩි කාලේ සෙල්ලම් කාර් එකක් පදිනකොට ඒකට අපි මාර ආසයිනේ. වැඩිහිටි කාලයේදීත් අපිට සෙල්ලම් කාර් එකක් හම්බවෙලා කියලා හිතන්න. හැබැයි වටිනාකමක් නෑනේ. නමුත් ඒක පදින්නත් පුළුවන්. කෙලෙස් ප්‍රහීණ කරා කියන්නේ කෙලෙස් නැති කරා කියන එක නෙමෙයි, කෙලෙසය අභික්‍රමණය කරා කියන එකයි

සිතුවිලි continue වෙන්නේ නැති වුණාම Sex කරත් ශුක්‍රාණු පිටවෙන්නේ නෑ. ස්වයං වින්දනය සිදුකරන්නත් අමාරු වෙනවා. එතකොට manually සිතුවිලි create කරගෙන සිතුවිලි දිගටම බිහි කරගෙන ගියොත් පමණක් එය පුළුවන් වෙනවා.එහෙම නැත්නම් බෑ. එය වෙහෙසකර කාරණයක්. කායික මානසික කරුණාවලදි වුණත් ඒක ඕනාට වඩා sex මත ගොඩනැගුනොත් ඒක වදයක් බවට පත් වෙනවා.

පොඩි දරුවෙක් ඉපදුන දවසේ ඉඳන් sex කියන එක එයා තුළ තියෙනවා. පුතෙක් අම්මාගෙන් කිරි බොන විදියත් දුවෙක් අම්මාගෙන් කිරි බොන විදියත් වෙනස්. දුව තාත්තාට sence වෙන විදියත්, පුතා අම්මාට sence වෙන විදියත් දෙකක්. එතකොට ඒ පොඩි දරුවට ලැබෙන දෙමව්පියන්ගේ උණුසුම ආදී සියල්ල එයා ලබන්නේ අර කිව්ව sense වන ස්වභාවයත් එක්කමයි. එතනින් පටන් ගත්තම මෙයාගේ කායික මානසික ස්වභාවයන් සහ හිතන විදිය ක්‍රමයෙන් වර්ධනය වෙන කොට මෙයාගේ රාගික ස්වභාවයන් සහ එයා ඒවා පරිහරණය කරන විදියද වෙනස් වෙනවා. පරිණතභාවය ක්‍රමයෙන් වර්ධනය වෙන කොට, ස්නායුත් ඇතුළුව අපි දේවල් පරිහරණය කරන විදිය වෙනස් වෙලා යනවා. දරුවාගේ ඉපදුන තැනේ ඉදන් රාගය තියනවා. එයාගේ ස්නායු වැඩෙන එක, මනස වැඩෙන එක, හිතන්න පුලුවන් විදිය වැඩෙන එක, හෘද ස්පන්දනය වැඩෙන එක ආදී මේ සියල්ල වයසත් එක්ක වෙනස් වෙලා යනවා. එතකොට මේ රාගික ස්වභාවයන් පරිහරණය කරන්න පුලුවන් හැකියාවද වෙනස් වෙනවා. ඒ සඳහා අවකාශයන් ලැබෙන විදිය ද එයාගේ අත්දැකීම් වලට බලපානවා. එතනයි වෙනස තියෙන්නේ.

හැබැයි රාගය කියන එක ගත්තහම රාගය කොහොමත් එකයි. උදාහරණයක් විදියට වතුර ටික වීදුරුවක දාලා බිව්වත්, අතට දාගෙන බිව්වත්, රත්තරන් කෝප්පයකට දාලා බිව්වත්, වතුර වතුරමනේ. හැබැයි බොන විදිහ වෙනස් වෙලා තියෙනවා.

රාගය කියන එකේ අපේ මනසේ හැසිරෙන විදිය එක එක්කෙනාට වෙනස්. හැබැයි රාගය කියන එක, ඉපදුනාට පස්සේ මව්කිරි බොන තැනේ ඉදන්, සුළං පාරක සුවය විඳින තැන පවා තියෙනවා. ඒකත් එක්ක දැනෙන පහසත් හරහා දැනෙන රාගයේ ඉදන් රාගයේ උපරිමය මොකක්ද කියලා ඇහුවොත් උපරිමයක් නැහැ. හැම තැනම උපරිමය තමයි..

හිතන්න කවුරුහරි වොලිබෝල් ක්‍රීඩා කරනවා කියලා. වොලිබෝල් ගහද්දි එතන රාගය තියනවා. රාගය නැත්නම් වොලිබෝල් ගහන්න බැහැ. කායික ජව ශක්තිය නැති වෙලා යනවා. ගෞතම බුදුන් තණ්හා, රති, රගා එළියේ හදාගන්නවා. ඒවා ඇතුලේ නැති වුනහම තණ්හා, රති, රගා බාහිරින් හදනවා. ඇයි ඒවා බාහිරින් හැදුවේ? රාගයෙන් තමයි මේ system එක අල්ලගන ඉන්නේ. ඒක නිසා තමයි එළියේ ගොඩනගන්නේ.ගොඩනැගුවට පස්සේ ඒක මත පවතින්න පුළුවන්. ඔබලාගේ ඇතුලේ තියනවා රාගය. රාගය නැතිවුනා නම් ඔබලාට මොකුත් කරන්න බැහැ. රාගය කියන්නේ energy line එකක්. ඔබලාගේ නියුරෝන වල තොරතුරු එකිනෙකට සම්බන්ධ කරලා අරගෙන යන්නේ, කට තෙත් වෙන්න කෙළ එන්නේ, කනේ තෙත් ගතිය හැදෙන්නේ, අපේ දත් එන එක, කොන්ඩේ එන එක, රැවුල එන එක, අපේ ශරීරයේ දහඩිය පිටවීම, ආහාර ජීර්ණය වෙන්නේ මේ සියල්ල වෙන්නේ රාගය මත.

හෘද ස්පන්ධනය තියෙන්නේ හදවතේ. ජීව ස්පන්ධනය කොහෙද තියෙන්නේ, පෙකණියත් එක්කම කෙලින් පිටුපස කොන්දේ තියනවා තැනක්. එතන තමයි ප්‍රාණය තියෙන්නේ. ප්‍රාණය තුල තියනවා ජීව ස්පන්ධනය. කෙනෙක් මැරෙනකොට මැරෙන්නේ එතනින්. අනිත් තැන් වලින් මැරෙන්නේ නැහැ. ඒක තමයි සංසාර චක්‍රයේ අර සිඳලුවා කියන්නේ. ඒක ජීවයත් එක්ක සම්බන්ධයි. එතන තියනවා ස්පන්දනය. Heart එක punch කරන්නේ රාගය කියන energy එකෙන්. ශරීරය තුල අයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව , හැදෙන්නේ එකෙන් තමයි.

එතකොට හුස්ම ගන්න එක වෙන්නෙත් රාගයෙන්ද? ඇත්තටම හුස්ම ගන්නවා නෙවෙයි. හුස්ම ගැනෙනවානේ. ඔබ හුස්ම ගත්තොත් රාගයෙන් නෙවෙයි. හුස්ම ගැනෙනවා නම් රාගයෙන්.

බුදු හාමුදුරුවෝ රාගය එපා කිව්වා කියන එක ගෙඩි පිටින් ගිලලා මිනිස්සු වරද්දගෙන තියෙන්නේ. රාගය කියන එක අත් හරින්න ඕන දෙයක්. රාගය කියන්නේ කෙනෙක්ගේ පැවැත්මනේ. කෙනෙක් රාගය අතහැරියම එයාට ඒ arrears එක වෙනුවෙන් ගොඩක් සම්පත් ලැබෙනවා. රාගය අතහැරියොත් රාගය හැර සියල්ල ලැබෙනවා. රාගය ගත්තොත් අනිත් ඒවා ලැබෙන සම්භාවිතාවය අඩු වෙනවා. එතන Energy Balance එකක් තියෙන්නේ. පරණ පැවැත්ම අතහැරපුවම, වෙන පැත්තකින් නව පැවැත්මක් හැදෙනවා. ගෞතම බුදු හාමුදුරුවෝ රාගය අතහරින්න කිව්වේ මේ නිසා. එතකොට තමයි චීවර, සේනාසන, පිණිඩපාත, ගිලානප්‍රත්‍ය හම්බ වෙන්නේ. ඇදුම් අදින්නේ විළි වහගන්න. කෑම කන්නේ, තමන්ගේ ශරීරය පවත්වා ගෙන යෑමට, එතනින් රසය ඉල්ලන්න බැහැ. ඉන්න තැන අවශ්‍ය වෙන්නේ නිදගන්න,මැසි මදුරුවන්ගෙන් ආරක්ෂාවට

බුදුන් වහන්සේ මූලික වශයෙන් භික්ෂූන්ට බ්‍රහ්මචාරී වීම කියලා දෙයක් දේශනා කෙරේ මේ සමතුලිත ධර්මය පිළිබඳ න්‍යාය මත පදනම් වෙලයි. ඒක ගොඩනැගෙන්නේ මෙහෙමයි.

බ්‍රහ්මචාරී වෙනවා කියලා කියන්නේ සිවුරක් දාගන්නවා කියන එක නෙවෙයි. කය පැවිදි කරනවා කියන එකත් නෙවෙයි. ගිහි ජීවිතයක ඉඳලා වුණත් බ්‍රහ්මචාරී වෙන්න පුළුවන්. බ්‍රහ්මචාරී පැවැත්ම තුළ රාගය හෝ ලිංගිකත්වය විඳිමින් පිනවීමක් ලබන්නේ නෑ. දරුවන් හදන්නේ නෑ. ගිහි ජීවිතය තුළ ඉන්නවා වගේ පෙනුනත් ඒක තුළ නෑ. ගිහිව හිටියත් ජීවිතයක් තියෙනවානේ. නමුත් ඒක අත ඇරලා ඉන්නේ. මේක ප්‍රගුණ කිරීම තුළ බ්‍රහ්මචාරී වීම කියන එකට එනවා. ඒක තුළ balance එක හැදෙනවා.

කෙනෙක් රහත් වෙලා අධ්‍යාත්මික balance එකත් හොඳින් තියෙනවා කියලා හිතන්න. එහෙම කෙනෙක් බ්‍රහ්මචාරීව ඉන්න එක හොඳයි. එතකොට එයාගේ පැවැත්ම හොඳින් නිර්මාණය වෙනවා. තව කෙනෙක් ඉන්නවා රහත් වෙලා ඒත් බ්‍රහ්මචාරීව ඉන්නේ නෑ. එතකොට බ්‍රහ්මචාරී නොවීම එකත් එක්ක තියෙන life style එක තුළ ඇතිවන මානසික ආකූලතා, ව්‍යාකූලතා, ජීවිතයේ පීඩා ආදිය ඇතුළත් වෙමින් තමයි එයාගේ balance එක හැදෙන්නේ.

පැවැත්ම සහ කාමුක ජීවත් වීම කියන්නේ දෙකක්. කාමුක ජීවිතය පැවැත්මට අදාල නෑ. කාලා බීලා ඇඳලා නිවහනක සිටියත්, එහෙම ඉන්නකොට බ්‍රහ්මචාරීව සිටියොත් ඒ වෙන අසමලිතතාවයට අනුව ඒ කෙනාගේ පැවැත්ම හැදෙනවා. එයාට මිනිස්සුන්ගෙන් ප්‍රශංසා, ගරු නම්බු, කෑම බීම, ප්‍රත්‍ය පහසුකම් හම්බවෙනවා, වන්දනා කරනවා. ඒක වෙන්නේ පැවැත්ම තුළ තිබෙන දෙයක් එයා අතහැරලා තියෙන නිසා. බ්‍රහ්මචාරීව නොසිටියොත් ඊට සාපේක්ෂව හා අනුරූපව කරදර එනවා, බාධක එනවා. බ්‍රහ්මචාරීව නොසිටියොත් ඒක ඔහුගේ පැවැත්ම බවට පත්වෙනවා. එතකොට පවතින්න ඕන කාරණා නිර්මාණය කරගැනීමේ දුෂ්කරතාවයට මුහුණ දෙන්න වෙනවා. බ්‍රහ්මචාරීව හිටියොත් ඊට සාපේක්ෂව පැවැත්ම රැකෙනවා. ප්‍රවෘජාව තුළ නැතුව වෙන life style එකක් ඉන්න ගමන් ඵලයට පත්වුණාම එයාට පැවැත්ම තියෙනවාද කියන එක අදාල නෑ, හම්බ කරගෙන, දුක් විඳගෙන උපයා සපයාගෙන ඉන්න ඕනේ

ඒ නිසා ගෞතම බුදුන් පැවසුවා ඔබ තපස තුළ බ්‍රහ්මචාරීව ඉන්නවද, එවිට ඔබ යම් අධ්‍යාත්මයක් ධර්මයක් ප්‍රගුණ කරනවාද, ඒ තුළ ඔබේ පැවැත්ම හැදෙනවා කියලා. එතකොට ඔබේ ආධ්‍යාත්මයට ගැලපෙන පහසු පැවැත්මක් හැදෙනවා කියලා.

මෙහිදි බ්‍රහ්මචාරීව ඉන්න කියන්නෙත් නෑ. එපා කියන්නෙත් නෑ. දරුවන් හදන්න කියන්නෙත් නෑ. එපා කියන්නෙත් නෑ. න්‍යාය පැහැදිලි කිරීම පමණයි කරන්නේ. කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු කාරණයක් තමයි මේ කියන්නේ.

දෙන කෙනාට ලැබෙනවා. නොදෙන කෙනාට ලැබෙන්නේ නෑ. තමන් වපුරපු බීජ වලට අනුව තමයි තමන් අස්වැන්න විදියට යමක් නෙළන්නේ. ඒකත් මේ ධර්මතාවයටම අදාල කාරණයක්.

ගෞතම බුදුන් කියනවා භික්ෂූන්ට බ්‍රහ්මචාරී වෙන්න කියලා. ඒකට හේතුව එතකොට සිව් පසය ලැබෙනවා. සමහරු ඒකටත් අහුවෙන එක වෙනවා. නමුත් ඒකෙන් දහමේ පැවැත්ම හැදෙනවා. Sex වගේ දෙයකට අහුවුණාම සිව්පසය වගේ දේකට අහුවුණාට වඩා ගැලවෙන්න අමාරුයි

බ්‍රහ්මචාරී කියන එක හැමෝටම අදාල සිල් පදයක්. මම නම් දකින්නේ බ්‍රහ්මචරියාව කියන්නේ තමන්ගේ කර ගෙන පරිශීලනය කරන්න එපා කියන එකයි.

ආරණ්‍යවල තියෙන දහම තව කාළයක් යනකොට බොහෝ දුරට බිඳ වැටෙනවා. මොකද ඒක ප්‍රායෝගික නෑ මනුෂ්‍යයාගේ මොලේ පරිණාමයත් එක්ක. කලාතුරකින් කිහිප දෙනෙක් ඇරෙන්න Gen Y පරම්පරාවෙන් පස්සේ අයට ගිහිල්ලා එහෙම ඉන්න බෑ. සංගීතයක්, Rhythm එකක් ඇහෙනකොට කකුල හරි හොලවනවා. phone එකේ මොනවා හරි හෝ කර කර ඉන්න ඕනේ ඒ අයට. එතකොට කාලයක් යනකොට කඩාගෙන ආපහු එළියට එනවා.

කෙනෙක් පැවිදි වෘතයට එනවා නම් ඒ තුළ බ්‍රහ්මචාරී වෙමින් යම් දහම් වැඩ පිළිවෙළකට ප්‍රවේශ වෙනවා. සාමාන්‍ය සත්වයා ගේ පැවැත්ම sex කියන එක මූලික වෙලා තියෙන්නේ. පැවිදි වුණාට පස්සේ ඒ පැවැත්ම මෙයා අත හරිනවා. සීල සමාධි ප්‍රඥා වඩාගෙන යනවා. වඩාගෙන යද්දි මෙයාට ඒ තුළ දියුණු වෙලා ඒකේ පැවැත්ම හදාගන්න නම් sex අතහරින්න ඕන. දැනුවත් භාවයෙන් අතහරින්න ඕන. Feelings නෑ කියන එක නොවෙයි මේ කියන්නේ.

දහම තුළ පැවැත්ම ඇතිකර ගන්න යනකොට කෑම, බෙහෙත්, ඉන්න හිටින්න තැන්, සිවුරු ආදී ගොඩක් දේවල් පැවැත්මට ඕන වෙනවා. විශ්වයේ සමතුලිතය නිසා ලිංගිකත්වය මත තිබූ පැවැත්ම මේ සිව් පසය වැනි කාරණා ගොඩනැගීම පැත්තට හැරෙනවා..

කෑම බීම, ගෞරවය, නම්බුව, උසස් වීම් හම්බවෙනවා. ඉන්න තැන් කන්න බොන්න හම්බවෙනවා. ඒවා පැවැත්ම විදිහට ලැබෙනවා. ඒක සත්වයාගේ balance එක හැදෙන විදියක්.

දන් දෙනකොට ලැබෙනවා වගේ අර සාමාන්‍ය ගිහි පැවැත්ම අතහරින විට නව පැවැත්මක් ගොඩනැගෙනවා. ඒක සාමාන්‍ය සාමණේර හෝ පැවිදි වීම් පිළිබඳ කාරණාය. බුදුහාමුදුරුවෝ බ්‍රහ්මචාරී වෙන්න කියන්නේ, බ්‍රහ්මචාරීව සිටියොත් පැවැත්ම හැදෙන නිසා.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X