Temples of Sri Lanka

මුසාව රජ කරන බොහෝ තැන්වලින් සත්‍යය සොයා යමු…

සත්‍යය කියන එක පුදුම දෙයක්. සත්‍යය කියන එක හැමදාම ලෝකයේ තිබෙන දෙයක්. සත්‍යය කියන එක අනවබෝධයෙන් වැහිලා යනවා. නමුත් ඒක තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේ වදාළා මේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ සිත සහිත, විඤ්ඤාණය සහිත, සඤ්ඤා සහිත බඹයක් පමණ වූ මේ ශරීරයේ කියලා. ඒක පාප මිත‍්‍රයෝ නිසා වැහිලා යනවා. ඒ වගේ ම තමන්ගේ සසරේ තියෙන වැරදි පුරුදු නිසාත් වැහිලා යනවා. තමන්ගේ දුෂ්ටකම් නිසා, තමන්ගේ අවිද්‍යාව නිසා, තමන්ගේ මෝඩකම නිසා, තමන් නුවණින් කල්පනා නොකරන නිසා, තමන් තුළින් ම මතුකර ගන්න තිබෙන දේ තමන්ට නො ලැබී යනවා.

ඒ චතුරාර්ය සත්‍යය තුළ තමන් ගැන තමන්ට අවබෝධය ලබාදෙනවා. තමන්ගේ ජීවිත රටාව තමන්ට හඳුන්වලා දෙනවා. තමන්ගේ ජීවිත ගමනේ විමුක්තිය තමන්ට පෙන්වා දෙනවා. ඒසඳහා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමන් තුළ උපදවා ගන්න ඕන බව තමන්ට තේරුම් කරලා දෙනවා.

ඒක බාහිරින් ගන්න බෑ. ඇඳුමක් නම් බාහිරින් ඇඳගන්න පුළුවන්. චතුරාර්ය සත්‍යය ඇඳුමක් නෙවෙයි. පාරක් නම් බාහිරින් කපාගෙන යන්න පුළුවන්. චතුරාර්ය සත්‍යය බාහිරින් කපාගෙන යන පාරක් නොවෙයි. සැරසිල්ලක් නම් (ඒකියන්නේ මාලයක්, කරාබුවක් නම්) බාහිරින් පලන්දගන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම පලන්දවගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් මෙන්න මේ අවබෝධය තමා විසින් ම හිතාමතා තමා තුළ ම දශමය දශමය හරි ඇතිකර ගන්න ඕන දෙයක්.

චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්න අපට වුවමනා වන ප‍්‍රධාන දෙයක් තමයි පටිච්චසමුප්පාදය ගැන තේරුම් ගැනීම. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ අපි ඉපිද ඉපිද, මැරි මැරී ආපු ගමනේ දී මේක සිදුවීම් මාලාවක් හැටියට ආවා කියලා ඇතිකර ගන්නා අවබෝධයයි. බුදුරජාණන් වහන්සේ ඒක සම්පූර්ණයෙන් ම හෙළිදරව් කරලා තියෙනවා. උන්වහන්සේ ඒක සම්පූර්ණයෙන් ම පෙන්වා දෙනවා, පැහැදිලි කරලා දෙනවා. ඔබ ඒක ටික ටික අවබෝධ කර ගන්න ඕන.

ඉපදුණා කියන්නේ මොකක්ද? භවය කියන්නේ මොකක්ද? උපාදාන තියෙනවා කියන්නේ මොකක්ද? ඔබ තුළ තණ්හාව ඇතිවෙන්නේ කොහොමද? ඔබ තුළ සැප, දුක්, උපේක්ෂා විඳීම් ඇතිවෙනවා නම්, ඒක කොහොමද ඇතිවෙන්නේ? ඔබ ලෝකය හඳුනාගන්නවා නම්, ඒ කොහොමද? ඔබ තුළ විඤ්ඤාණය තියෙනවා නම්, එ් විඤ්ඤාණය කොයි විදිහට ද වැඩ කරන්නේ? ඔබ තුළ අවිද්‍යාව තියෙනවා නම්, ඒමොන වගේ එකක් ද? එතකොට මේ කවුරු තුළ තියෙන එකක් ද හොයන්න යන්නේ? තමන් තුළ තියෙන එකක්. තමන් ගැනයි මේ හොයන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ දේ තුළින් තමන් ගැන හොයන්න යන කොට ඒක සදාකාලික සත්‍යයක් කියලා තමන්ට ම තේරුම් යනවා. එවගේම මේ ජීවන රටාව අපිට නවත්වන්න බැරි වේගයකින් දිගට ම උපතක් කරා යනවා.

හරක් පැටියා මව් වැස්සියගේ තන බුරුල්ලේ එල්ලෙනවා වගේ තමයි අපි මෙහෙන් මැරෙන කොට කර්මානුරූපව ආයෙ උපතක් කරා යන්නේ. එම නිසා මේ යන රටාව අපට තේරුම් ගන්න, අප බුද්ධිය මෙහෙයවන ආකාරය අතිශයින් ම වැදගත්. මේ බුද්ධිය මෙහෙයවීමට නම් මේ ජීවිතයේ බුදු කෙනෙකුගේ ධර්මය ම ලැබෙන්න ඕන. වෙන කෙනෙකුගේ ධර්මයකට මේක කරන්න බෑ. වෙන කෙනෙකුගේ ධර්මයකට බුද්ධිය මෙහෙයවලා දෙන්න බෑ.

එම නිසා අප සියලූදෙනාටත් තමා තුළ තිබෙන්නා වූ සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ගේ නිර්මල ධර්මය ම උපකාර වේවා!

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!
තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X