Temples of Sri Lanka

ජීවිතයේ හොඳම සූදානම මරණයයි…

මරණය යනු බොහෝ දෙනකු අසන්නට, කතා කරන්නට පමණක් නො ව හිතන්නටත් අකැමැති විෂයයකි. එසේ වන්නේ ඇයි?

අප කැමැති වුවත් නැතත් අප කවුරුත් කිසියම් දිනෙක මිය යා යුතු ම ය. අපේ ම මරණයට මුහුණ දෙන්නට පළමු ව, බොහෝ විට අපට අපගේ නෑ හිතවතුන්, කාර්යාලයීය සගයන්ගේ මරණවලට මුහුණ දෙන්නට සිදු වනු ඇත. මරණය යථාවකි; ජීවිතය පිළිබඳ සැබෑවකි. එබැවින් එය විවෘත මනසින් පිළිගැනීමත් භාරගැනීමත්, ඊට භය වීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ වඩා යහපත් නො වේ ද?

ඇතැම් විට අපට මරණය ගැන තිබෙන නො රිස්සුම් ගතියට හේතු වී ඇත්තේ, එය දුෂ්කර, වේදනාකාරී සහ අඳුරු දෙයක් බවට වන විශ්වාසය ය. එහෙත් එය එසේ විය යුතු නැත. මරණය අලු‍ත් උගැන්මක් ලබන අවස්ථාවක් විය හැකි ය. වර්ධනීය අවස්ථාවක් විය හැකි ය. අපගේ දයාව ගැඹුරු තලයකට ගෙන යන මොහොතක් – ජීවිතයේ වටිනා දේ මොනවා දැ යි අපට ගැඹුරු අවබෝධයක් ලබා දෙන මොහොතක් විය හැකි ය. ආධ්‍යාත්මික විශ්වාසයන්ටත් පුහුණුවටත් අපගේ ඇති භක්තියත් කැපවීමත් තීව්‍ර කරන මොහොතක් විය හැකි ය.

අපගේත් විශ්වයේ සියලු‍ දේවලත් යථා ස්වභාවය අවබෝධ කරවන – අප දුකෙන් මුදවාලන අසිරිමත් මොහොතක් ද විය හැකි ය.

ඕස්ට්‍රේලියාවේ බි්‍රස්බේන්හි බෞද්ධ මධ්‍යස්ථානයක අධ්‍යක්ෂවරියක වූ ඉන්ටා මැකිම්ගේ මරණය නිදසුනකට ගනිමු. පෙනහළු පිළිකාවකට ගොදුරු ව ඇය මිය ගියේ 1997 අගෝස්තු මාසයේ ය. මරණයට මාස දෙකකට පෙර ඈ සිය ආධ්‍යාත්මික ගුරුතුමන් වූ සෝපා රින්පොචෙ තෙරණුවන් හට මෙසේ ලියා ය “මිය යමින් සිටින මුත් මා මේ ගෙවන්නේ ජීවිතයේ ප්‍රීතිමත් ම කාලයයි! බොහෝ කාලයක් තිස්සේ ජීවිතය දැනුණේ දුෂ්කර සහ වෙහෙසකර දෙයක් හැටියට ය. එහෙත් මරණය හඳුනාගත් විට එය මහා ප්‍රීතියකට හැරෙයි. තමන්ගේ මරණය යනු කිසිවකු විසින් හෝ අතපසු නො කොට ලැබිය යුතු අපූර්ව අත්දැකීමකි. අනියත බවත් මරණයත් හඳුනාගත් විට දැනෙන ප්‍රීතිය මඟහැර නො යා යුතු ය. මෙය විස්මයජනක, අනපේක්ෂිත අතිශය ආනන්දජනක අත්දැකීමකි. එය මා ජීවිතයේ ලද මහත් ම ප්‍රීතිය ද, කළ හොඳ ම වික්‍රමාන්විතය ද, පැවැත්වූ මහාර්ඝ ම සාදය ද වෙයි.”

ඉන්ටා ජීවිතයේ අන්තිම මාස කිහිපය ගත කළේ ආධ්‍යාත්මික පුහුණුවට සිය මුළු ශක්තිය යොදවමිනි. අවසාන මොහොතේ ඇගේ මනස ඉතා පැහැදිලි වූ අතර, නෑ හිතමිතුරෝ ඇය වටා එක් ව සජ්ඣායනයෙහි යෙදුණ හ. මෙසේ ශාන්ත ලෙස ද උදාර ලෙස ද මරණය හමුවට ගිය ලාමාවරුන්, භික්ෂු-භික්ෂුණීන්, යෝගීන් ගැන කථා පුවත් අසන්නට ලැබේ. ඇතැම් විටෙක මරණින් පසු පවා භාවනායෝගී ඉරියවුවෙන් වැඩ හිඳීම් ගැන අසන්නට ලැබේ. නිසි පුහුණුවකින් සහ සූදානමකින් යුක්ත වේ නම්, අප කාටත් සාමකාමි වූත් යහපත් වූත් මරණයක් ලබාගත හැකි ය.

අප යථාවාදී දැ යි නීරෝගී දැ යි දැනගන්නට නම්, මරණයත් මිය යෑමේ ක්‍රියාවලියත් පිළිබඳ අපගේ සිතුවිලි, හැඟීම් සහ ආකල්ප විමසා බැලිය යුතු ය. අනපේක්ෂිත ලෙස හදිසියේ ම විශාල සමූහ ඝාතනයක් වූ පුවත අසන විට ඔබට හැඟෙන්නේ කෙසේ ද? ඔබේ පවුලේ කෙනකු මිය ගිය පුවත හෝ ඒ කාට හෝ පිළිකාවක් වැළඳී ඇති බව අසන්නට ලැබුණු විට හෝ ඔබට හැඟෙන්නේ කෙසේ ද? සුසානය කරා ඇදෙන අවමංගල රථ පෙරහැර දකිද්දී ඔබට හැඟෙන්නේ කුමක් ද? ඔබට සිතෙන්නේ මිය යෑම කෙබඳු යි කියා ද? මරණයේ අනෙක් පස මීළඟ ජීවිතයක් ඇතැ යි ඔබ සිතනවා ද?

මිනිසුන් අතර මරණය කෙරෙහි පවතින හානිකර ආකල්ප දෙකක් තිබේ. ‘එය භයංකර සහ වේදනාකාරි අත්දැකීමකි – එය සියල්ල අහෝසි වී යෑමකි,’ යන්න ඉන් පළමුවැන්න ය. මෙම බිය විසින් මරණය ගැන සිතීමෙන් හෝ කථා කිරීමෙන් හෝ කෙනකු වළක්වනු ලබයි. අප කවර දාක නමුත් මරණයේ මාවත හරහා යා යුතු බව සැලකිල්ලට ගත් විට, මෙය හොඳ ආකල්පයකැ යි සැලකිය හැකි ද? මරණයේ සැබෑව පිළිගෙන, ඒ කෙරේ ඇති බිය දුරු කොට ගෙන සූදානම් වීම වඩා හොඳ නො වේ ද?

මරණය කෙරෙහි වන දෙවැනි හානිකර ආකල්පය නම්, “මම නම් මැරෙන්ඩ බය නෑ! කවද හරි මැරෙන්න වෙන බව ඇත්ත – එදාට ඒක බලාගන්නම්,” වැනි දෙඩුම් තුළින් එළියට එන නො සැලකිලිමත් ආකල්පයයි. තරුණ කාලයේ මම ද මෙවන් ආකල්පයක් දරා සිටියෙමි. එහෙත් එක්තරා දවසක භූ කම්පනයක් සිදු විය. එවිට මා දුටුවේ මරණය මා අබිමුවට පැමිණ ඇති බවයි. ඒ මොහොතේ මට වැටහුණේ මා එතෙක් සිතා සිටි ආකාරය කොතරම් සදොස් ද යන්නයි. මරණය පැමිණ ඇත – කිසිදු පෙර සූදානමක් නැත!

“මිනිස්සු බොහෝ විට මරණය සැහැල්ලු‍වෙන් ගැනීමේ වරද කරති. ‘අයියෝ, ඕක කාටත් වෙන දෙයක් නෙ, ඕක ස්වභාවිකයි. කරදර වෙන්ඩ දෙයක් නෑ,’ යි සිතති. කෙනකු මරණයට මුහුණ ලා සිටගන්නා තුරු මෙය කදිම න්‍යායකි.”

ඔබ තුළ මෙ කී ආකල්ප දෙකෙන් කවරක් හෝ තිබේ නම්, මරණය යනු කුමක් දැ යි වැඩි වැඩියෙන් හැදෑරීම වටී. මරණය සහ මිය යෑමේ ක්‍රියාවලිය ගැන වැඩි අවබෝධයක් ලැබෙන තරමට මරණයට ඇති බිය තුනී වෙයි (අප බිය වන්නේ ආගන්තුක දේට – අප නො දන්නා දේට ය). මෙවිට මරණය ගැන අතිශය සැහැල්ලු‍ අදහස් දරන අයට මිදෙන මඟ කියා දෙන්නටත් මරණයට සූදානම් වන්නට උපකාර වන්නටත් ඔබට හැකි වනු ඇත.

මරණය යනු පෙර කළ වැරදිවලට දෙන දඬුවමකැ යි, පරාජයකැ යි, අත්වැරැද්දකැ යි යන හැඟීම ඇතැමුන්ට තිබේ. එහෙත් එය මේ කිසිවක් නො වේ. එය ජීවිතයේ ස්වාභාවික අංගයකි. හිරු උදා වී බැස යයි; ඍතූන් පැමිණ ඉක්ම යයි; පිපුණු මල් අවපැහැ ව පර වෙයි; මිනිස්සු ද අනෙක් සත්ත්වයෝ ද උපත ලැබ, යම් කලක් ජීවත් ව සිට මිය යති.

බුදුන් වහන්සේ විසින් අපට සොයා දෙනු ලැබූ දහමක් නම්, සියල්ල ම අනිත්‍ය වන බවයි. දේවල් වෙනස් වේ, වියැකේ. අනිත්‍යයෙහි ආකාර දෙකකි, රළු සහ සියුම් වශයෙන්. රළු ආකාරයට අදාළ වන්නේ, මිනිසුන් ඇතුළු සියලු‍ සත්ත්වයන්, ස්වභාවික වස්තූන් යන සියල්ල අභාවයට යෑම යි. බුදුන් වහන්සේ වදාළ පරිදි,

“උපන් සියල්ල මිය යයි.

එක් කළ සියල්ල වෙන් වෙයි.

රාශි වූ සියල්ල විසිරෙයි.

ගොඩනඟනු ලැබූ සියල්ල බිඳවැටෙයි.

උස් වූ සියල්ල මිටි වෙයි.”

තව ද,

“පැවැත්ම නම් සරත් සමයේ වලාකුළු සේ බිඳෙනසුලු ය.

උපතත් මරණයත් බලා හිඳීම නර්තන ලීලාවක් නරඹනු වැන්න.

ජීවිත කාලයක් යනු අහසෙහි කෙටෙන විදුලි එළියකි.

ඉක්ම යන්නේ සැණින්, මහත් බෑවුමකින් ඇදහැලෙන ජල ප්‍රවාහයක් සේ ය.”

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X