අපේ ජීවිතේ එදිනෙදා උවමනාවන් ඉටු කර ගැනීමට ධනය මූලික අවශ්‍යතාවයක් වෙනවා. මෙලොව සැප ලබා දීමට ධනය අවශ්‍ය වගේම විපත් ලබාදීමටත් එයම හේතුවක් වෙනවා .එකිනෙකා අතර සමගිය, තාඩන පීඩන, නඩුහබ, අවුල් වියවුල්, යුද්ධ කෝලාහල, ආදී නොයෙකුත් විපත් ධනය නිසා ඇතිවීමට ඉඩකඩ තියෙනවා.
එසේම අප විසින් උපයා ගන්නා මේ ධනය රජ සොර සතුරු ආදීන් විසින් පැහැර ගනු ලබන අවස්ථාද තියෙනවා. ඒ වගේමයි ගින්නෙන් හෝ ජලයෙන් හෝ විනාශ වීමට ද ඉඩකඩ තියෙනවා. එසේ වීමෙන් ධනය ඇති අය දුක් වේදනාවන්ට ද පත්වෙනවා.
සාමාන්‍යයෙන් මිනිසුන් උතුම් ධන සම්පත් වශයෙන් සලකන මිල මුදල් ආදී වස්තුව එසේ පුද්ගලයව අසහනයට පත් කරනවා. මිල මුදල් ආදී ධනයේ ස්වභාවය එයයි. නමුත් එයට වඩා උසස් සැපතක් ලබා දෙන ධන හතක් තියෙනවා .ඒවා ආර්ය දාන නමින් හඳුන්වනවා. ගණන් වශයෙන් හතක් තියෙන නිසා මේවා සප්ත ආර්ය ධනය යැයි ද භාවිතා වෙනවා.
ජාති ජරා මරණ ආදී සංසාර දුක නැති කරලා සත්ත්වයාට සදා සැනසීමක් ලබාදෙන්නේ මේ ආර්ය ධනය. එය කිසිවකුටත් පැහැර ගැනීමට හැකියාවක් හෝ විනාශ කිරීමට හැකියාවක් නැහැ. එසේම ඒවා කිසිවිටෙකත් විපත පිණිස හේතු නොවන දේවල් .සැපතට මේවා හේතුකාරක වෙනවා.
මේ ආර්ය ධන හත මොනවාද යන්න බලමු ..
ශ්‍රද්ධා ධනය
සීල ධනය
හිරි ධනය
ඔත්තප්ප ධනය
සුත ධනය
චාග ධනය
පඤ්ඤා ධනය
නිශ්චල පැහැදිලි වූ ජලයෙහි සූර්යයාගේ පිළිබිඹුව මනාසේ වෙයි. තෙරුවන් ගුණ පිළිබඳව ඇති විශ්වාසය ද මෙවැනිමය. මේ ශ්‍රද්ධාව හේතුකොටගෙන තෙරුවන් ගුණ හා සීල ආදී ගුණයන් සිතෙහි මනා ලෙස පිහිටයි. ශ්‍රද්ධාව ඇති පුද්ගලයා ධනයෙන් මෙලොව පරලොව දෙලොව දී ම මානසික ප්‍රීතියත් සහනයත් ලබා ගනී. ශ්‍රද්ධාව වැඩු පුද්ගලයා තුළ පවිටු සිතුවිලි න් අපිරිසිදු වන සිත පිරිසිදු කරයි. සිල්වතුන් දැකීම බණ ඇසීම ප්‍රියකරයි එනිසාම ගුණ ගුණ දහම් සඳහා සිත උනන්දු කරවයි .මේ ශ්‍රද්ධා ධනය යි .
හික්මීමක් නොමැති වන විට නොයෙකුත් අකුසල් හා අකටයුතුකම් පුද්ගලයා තුළින් සිදුවේ. සීලයෙන් හික්මුණු පුද්ගලයා සමාජයට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් හැඳින ගෙන ඒවා ඉටු කරමින් යහපත් ලෙස ජීවත් වේ. සිල්වත්කම සමාජයට සෙත සලසන උසස් ධනයකි. සීලය තුන්දොර සංවර කරමින් හැසිරෙයි. සිල් රකින්නා සතුන් නොමැරීම පන්සිල් අටසිල් දසසිල් ආදී සමාදන් වීමෙන් සංවරකම ඇතිකර ගනී. මේ ශීලාචාරකම අගය කරන පුද්ගලයා සිත කය වචනය සංවර කොට ගනිමින් ජීවත් වේ.එය ධනය මෙන් ආරක්ෂා කර ගනී. මේ සීල ධනය යි
හිරි යනුවෙන් අදහස් වන්නේ සිත කය වචනය යන තිදොරින් සිදු විය හැකි පව්කම් පිළිබඳව ඇති ලැජ්ජාවයි. පව් පිළිකුල් කරන ස්වභාවයයි. තමන්ගේ ආත්ම ගෞරවය පරපුරේ ගෞරවය පාසලේ දහම් පාසලේ මවුපියන් ගේ ගෞරවය ගැන සිතමින් වැරදි ක්‍රියා කිරීමට ලැජ්ජාව මෙම පුද්ගලයා තුළ ඇත. තමාගේ වයස උගත්කම ආදියෙහි ගෞරවය ගැන සිතමින් නොගැලපෙන පහත් ක්‍රියාවන් වලින් වැළකීම හිරි නම් වේ. ආත්ම ගෞරවයට කැළලක් වන පරිදි ජීවත් ජීවත්වීමට අකමැති මේ පුද්ගලයන් තම දිවි යතත් ආත්ම ගෞරවයට හානියක් නොවන ලෙස කටයුතු කරයි. මේ හිරිය උතුම් ධනයක් ලෙස සිතීම හිරි ධනය ලෙස හඳුන්වමු .
සිත කය වචනය යන තිදොරින් පාපයන් කොතෙකුත් සිදු වෙයි .මේවා කෙරෙහි ඇති බිය ඔත්තප්ප යනුවෙන් හඳුන්වමු. ඥානවන්තයා පව් කිරීමෙන් තමාට පසුතැවීමට සිදුවන බව අනුන් ගෙන් එල්ල විය හැකි දෝෂාරෝපණ පිළිබඳව සහ දඬුවම, මරණයෙන් පසු ලැබිය හැකි දුක් විපාක යන මේ කරුණු නිසා පව් කිරීමට බිය වෙති. විපාක වලින් අප වලක්වාලන නිසා ඔත්තප්පය ද ධනයක් ලෙස සලකයි .මෙය ඔත්තප්ප ධනය නම් වේ.
යමෙක් ධර්මය අසමින් ශිල්ප ඉගෙන ගනිමින් බහුශ්‍රත තාවයට පත්වේ නම් එය සුත ධනය යි. ඇසිය යුතු දේ ධර්මය යි. එය සසර දුකින් මුදවාලයි.ශිල්ප හැදෑරීම යහපත් ජීවිතයකට අවශ්‍ය ය . බුද්ධිමතුන් වශයෙන් සමාජයේ ජීවත් වීමට බුද්ධිය අවශ්‍යයි. එසේ නොවූ විට අප මුසා බස්වලට රැවටී පිරිහීමට පත්වේ. සුත ධනය ලැබූ තැනැත්තා සමාජයේ උසස් තත්ත්වයකට පත්වන අතර මහ පිරිස් අතරට ගියද සැමගේ අවධානය හා පිළිගැනීම ලැබ බහුශෘත බව ධනයක් ලෙස සලකමින් ජීවත් වේ. එය සුත ධනය නම් වෙයි .
සිතේ පවතින ලෝභය නමැති අකුසල සිතිවිල්ල නැති කිරීමටුවිල්ල නැති කිරීමට පරිත්‍යාගය ක්‍රමයෙන් පුහුණු කළ යුතුයි. ලෝභය හෙවත් ආශාව නිසා මිනිස්සු නොයෙකුත් වැරදි ක්‍රියාවල නිරත වෙති. සමාජයෙහි විවිධ ආරවුල් ද හටගනී .ලොව විවිධ හේතු නිසා දුප්පත් වූවෝ ද අසරණ වූවෝ ද ජීවත් වෙති. අසරණ තත්ත්වයට පිහිටවීමට පරිත්‍යාග කිරීම උසස් මිනිස් ගුණ දහමකි. බුදුන් වහන්සේ බෝසත් අවධියේ දී ජීවිතය පවා පරිත්‍යාග කොට ඇත. පරිත්‍යාගශීලී පුද්ගලයා ප්‍රිය මනාපය බොහෝදෙනාගේ ඇසුරද ලබයි .පැතිරෙන කීර්ති ප්‍රශංසා ඇත්තෙකි. බිය සැකෙන් තොරව සමාජයේ ජීවත්වන මේ පරිත්‍යාගශීලී බව නිසාම අගනා ධනයක් රැස් කරගනිමු. එය චාග ධනයයි.
දියුණුකළ නුවණ හෙවත් පඤ්ඤා ,සියලු දුක් නැති කොට නිවන අවබෝධ කරගැනීමට මෙන්ම නිවහල් ජීවිතයක් ගත කිරීමට මග හදයි. ලොව විවිධ ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට අවශ්‍ය වන්නේ බුද්ධිය යි. දියුණු කළ නුවණ අවශ්‍ය වන්නේ ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමටයි. බෝසතාණන් වහන්සේ උතුම් බුද්ධත්වය ලබා ගැනීමට පවා උපකාර වූයේ මේ දියුණු කළ නුවණයි. රන්කරුවකු රත්තරන් වළල්ලක් දුටු විගස එය සෑදූ ක්‍රමය එහි බර වටිනාකම රත්තරන් වල තත්ත්වය ආදිය පිළිබඳ වහාම අවබෝධ කරගනී. එසේම දියුණු කළ නුවණැති පුද්ගලයා ලෝකය සහ ජීවිතය පිළිබඳ සියලු කරුණු තත්ත්වාකාරයෙන් අවබෝධ කරගනී. මෙසේ දෙලොවම ජය ගැනීමට උපකාරී වන මෙම ධනය පඤ්ඤා ධනයයි.
උක්ත කරුණු ලඝු කොට දක්වන කල්හි
තෙරුවන් පිළිබඳ විශ්වාසය
තුන්දොර සංවර කරගැනීම
පව් කිරීමට ඇති ලැජ්ජාව
පවෙන් සිදුවන විපාකයට ඇති බිය
හොඳ දේ අසා දැන ගැනීම
සුදුසු අවස්ථාවේදී පරිත්‍යාග කිරීම සහ
විදර්ශනා ඥානය යනු අප ලබාගත් සප්ත ආර්ය ධනය වෙයි …
අප රැස් කරන්නා වූ ධනයට වඩා බෙහෙවින්ම වෙනස් වූ මඟක දිවෙන මෙම ධනයන් අප විසින් රැස් කරගත යුතුම ධනයන් බවට හිතා ගත යුතුයි .දෙලොව හැඩ කරන මෙම ධනය දෙලොවම ධනවතකු සේ ජීවත් ජීවත්වීමට මග එළි කරයි. මේවා ජීවිතයට සමීප කර ගනිමින් දෙලොවම ධන්වත් ලෙස ගත කරමු.
තෙරුවන් සරණයි !!!
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood