ආරෝග්‍යා පරමාලාභා
මිනිසාට මෙලොව ඇති අමිල සුවය නිරෝගී සුවය යි. එසේ වන්නේ අන් කිසිදු සම්පතක් තිබුණද රෝගී වූ කල ඵලක් නොවන නිසා ය.
නිරෝගී බව උතුම්ම ලාභය බව බුදු දහමේ දක්වා තියෙනවා.
පරම ලාභය නම් වූ නිරෝගී භාවය ඔබේ දිවිමඟට සමීප කරන දහම් මඟ බුදු දහමයි.
නිරෝගී බව බුදුදහම අර්ථ දක්වන ආකාරය මදකට බලමු.
නිරෝගීභාවය පිළිබඳ ඉතා විශිෂ්ට අයුරින් සදහන් වෙන්නේ ධර්මයේමයි.
ආරෝග්ය මිච්චේ පරමංච ලාභං’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
නිරෝගී සම්පන්න බව මිනිස් දිවියට ඇති වැදගත්ම අගනාම සම්පත බවයි එමගින් පවසා සිටියේ
එය සත්ය වශයෙන්ම සැබෑම ලාභය යි.
මෙහිදී කායික නිරෝගී බව පමණක් නොවෙයි, මානසික නිරෝගී බවත් පුද්ගලයකු සතු විය යුතුයි.
මිනිසාට සමාජීය සත්ත්වයෙක් වශයෙන් කායික හා මානසික නිරෝගී භාවය ඉතාමත් වැදගත්.
වත්මන් සමාජයේ පරමායුෂ පිරිහීමට හා නැතිවීමට බලපෑ හේතු පිළිබඳ විමසා බලන විට ධාර්මික බව සමාජයෙන් තුරන් වී යාම හේතු වී ඇති බවක් පසක් කරනවා.
වර්තමාන සමාජය තුළ,මිනිසාගේ සෞඛ්ය සම්පන්න බව පිරිහී, ආර්ථිකය පහත වැටී මිනිස් ජීවිතවල සංහිඳියාව නැතිව ගොස් තිබෙනවා.
එය ලෝකයේ බොහෝ රටවලට සේම අපේ රටටද අදාළ ව ගිය බවක් වර්තමානය තුළ පෙන්නුම් කරනවා.
මේ සියල්ලෙන් මිදී යථා තත්ත්වයට ජීවිතය හැඩගස්වා ගැනීමට නම්…නිරෝගී සම්පන්න බව උදෙසා අනුගමනය කළ යුතු ධර්මෝපදේශයන් අනුගමනය කිරීමට අප පෙළඹිය යුතුයි.
බුදුරජාණන් වහන්සේ විසින් “සම්මා දිට්ඨි” විග්රහ කිරීමේදී ඉතා අගනා උපදේශයක් මේ සම්බන්ධව ලබාදී තිබෙනවා.
එහිදී උන්වහන්සේ දේශනා කරන එක් ප්රධාන කාරණයක් වන්නේ මිනිසා ආහාරය පිළිබඳ සම්මා දිට්ඨිය ඇතිකරගත යුතු බවයි.
මෙම කාරණාව අදටත් වලංගුයි. අනුභව කරන ආහාරවල තිබෙන ගැටලු නිසා විශාල පිරිසක් අකලට රෝගී වෙනවා.
ආහාර සංකල්පය පිළිබඳ ප්රශස්ත මට්ටමින් දේශනාකළ ශාස්තෘවරයෙකු ලෙස අප බුදුන් වහන්සේ, මිනිසා ආහාරය පිළිබඳ සම්මා දිට්ඨිය ඇතිකර ගත යුතු බව මනා සේ පෙන්වා දී තිබෙනවා.
“සබ්බේ සත්ථා ආහාරට්ථිතිකා” (සියලු සත්වයෝ ආහාර මත යැපෙන්නෝය) ආහාර මත අපේ නිරෝගීභාවය රඳාපවතින බව ඉන් පැහැදිලියි.
භික්ෂූන් වහන්සේට උදෑසන හා දිවා ආහාරය පමණක් අනුමත කරමින් රාත්රියෙහි ආහාර අනුභවයෙන් වළකින ලෙසින් අනු දැන වදාළේ සෞඛ්ය සම්පන්න බවට පූර්වාදර්ශයක් සපයමින්.
එදා කෘෂිකර්මාන්තය ප්රධාන ජීවනෝපාය වූ අප රට තුළ ප්රධාන ආහාරය වුණේ බත්.
බත් සමඟ අනුභව කරන ව්යාංජන ආදිය මඟින් ශරීරයට අවශ්යම වූ පෝෂණය ලැබුණා.
රෝගාබාධවලට ප්රතිවිරුද්ධ ප්රතිශක්ති කරණය ශරීරයට හොඳින්ම ලැබුණා.
ඒනිසාම නිරෝගී දිවිපෙවෙතකට එය ප්රබල හේතුකාරණාවක් වුණා.
අද අපේ ආහාරයේ රසය, එහි ගුණාත්මක බව ක්රම ක්රමයෙන් අඩුවෙලා තිබෙනවා.
පඨවි නම් ධාතුව පොළවේ රසය රසායනික පොහොර හේතුවෙන් නැතිවෙලා යෑම ඉතා බොහොම ශෝචනීය කාරණාවක්. මිනිස් ශරීරයට මනා පෝෂණයක් ඉහළ ප්රතිශක්තිකරණයක් ලැබෙන ශාඛමය ආහාරවලට කෘෂි රසායනික පොහොර අධික ව යොදමින් සිදුකරන ජාතික අපරාධයේ ප්රතිඵලයක් ලෙස අද මිනිස් ජීවිත නිරපරාදේ පෙර නොවූ විරූ ලෙස රෝගවලට ලක්වෙනවා.
අපේ ගෙවත්තේ වැවෙන ආහාර වර්ග ආහාරයට ගන්න පහසුවෙන් වගාකළ හැකි එළවළු පළාවර්ග, ගෙවත්තේ වගාකරගෙන ආහාරයට ගන්න හිතුවොත් නිරෝගී සම්පත්තිය ළඟා කර ගැනීම දුරකට යන්නෙ නැහැ.
අපේ ශාරීරික සෞඛ්ය කෙරෙහි මනස ද අනිවාර්යෙන්ම බලපානවා. පුද්ගලයෙකුගේ මනස ශාරීරික නිරෝගී බවට හේතුවක්..
සියල්ලටම වඩා පෙරටුවන්නේ සිතයි ඒ බව බුදුරජාණන් වහන්සේ බුද්ධ ධර්මය තුළින් ලෝසතුන්ට දේශනා කළා.
එහි යථාර්ථවාදී බව ප්රායෝගිකව සනාථ කරමින්මයි. “මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝ මයා” ලෙස බුදුන්වහන්සේ දේශනා කළේ …සියල්ලට ම මනස මූලික වන බව එහි අදහසයි. මානසික සුවපත් බව නිරෝගී බව හා ඍජුව සම්බන්ධ වෙනවා. එමනිසා ශරීරයට ලබාදෙන ආහාරය පිළිබඳ බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ පුද්ගල මානසික නිරෝගීභාවය සඳහා හේතුවන කරුණු කාරණා සහිතවයි.
සියලු ක්රියාකාරකම්වලට සිතම මුල් වන නිසා මනස නිරෝගී විට නිවැරදි සම්මා දිට්ඨිය තුළ ජීවිතය ජීවත් කරවීමට එයම හේතුවක් වෙනවා.
පුද්ගල ඇවතුම් පැවතුම්, කතාව, ක්රියාව, වගකීම දැරීම මෙකී සියල්ලේ එකතුව වූ පුද්ගල පෞර්ෂයට මනෝ සුවය හා ආහාරය හේතු වෙනවා. එය මොළයට ලබාදෙන ආහාරයයි. දැනුම හා රසවින්දනය දෙයාකාරයයි. එය සමබරව ලැබීමෙන් යහපත් පෞර්ෂයකින් යුතු පුද්ගලයකු බිහිවෙනවා.
එය නිසි සේ ඉටුනොවීම රෝගී සමාජයක් බිහිවෙන්න හේතු වෙනවා. ඊර්ෂ්යාව, වෛරය, ක්රෝධය, වැනි දුර්ගති හටගන්නේ හීන වූ පෞර්ෂයක් තුලින්. අද එකෙකු පරයා තවෙකෙකු නැගීසිටීමට දරන වෑයම, පළිගැනීමට දරන ප්රයත්න දැඩි ආවේගශීලි බව, කලකිරීම, පසුතැවීම ආදිය සුලබ මානසික තත්ත්වයන් බවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් ශාරීරිකව හටගන්නා රෝගාබාධ වලට මඟ හසර සකස්වීම වැළැක්විය නොහැකියි.
එමනිසා මිනිසුන් නිරන්තරයෙන් තම අධ්යාත්මික සංවර්ධනය වෙනුවෙන් ක්රියා පිළිවෙතක් අනුගමනය කිරීමට සිතට ගත යුතු කාලයක්…
මෛත්රි භාවනාව වැඩීම, ආනාපානසතිය වැඩීම ඉතා වැදගත්. එය තම මානසික සෞඛ්යය හා කායික සෞඛ්යයත් ඒ තුළින් නිරෝගී සම්පන්න බවත් උරුම කරගත හැකි මනා ක්රමවේදයක්…
ඊට ඇවැසි වටපිටාව නිර්මාණය කරගත යුතු වන්නේ තමාමයි…
බුදුන් වහන්සේ විඤාණ ආහාරය යනුවෙන් දේශනාකළේ එයයි.
ඉන් අදහස් වෙන්නේ නිවැරදි තෝරාගැනීමයි . සාර්ථක හරවත් දේ. තෝරාගනිමින් අසාර්ථක, අසාරවත් දේ බැහැර කිරීමේ ප්රඥාවබෝධය නිරෝගී බවඇති කර සුවය ගෙන දෙනවා.
කායික රෝගපීඩා හේතුවෙන් ඇතිවන ශාරීරිකවේදනාව මැඩපැවැත්වීමට බොජ්ජංග සූත්ර දේශනා සජ්ජායනා කරනු ලබනවා. එදා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ උදෙසා බොජ්ඡංග පිරිත සජ්ඣායනා කළ අවස්ථා ඇති බව ධර්මයේ සඳහන් පිරිතේ ශක්තියෙන් සිත නිවැරදිව පිහිටුවීම තුළින් ඉන් ඇතිවන මානසික සුවපත් බව, ශාරීරික වේදනාව මර්ධනය කිරීමට, නිවාරණය කිරීමට හැකියාව ලැබුනු බව නොරහසක්…
අද බොහෝමයක් රෝගාබාධ වලට මනස මුල්වන බවද මානසික සමබර හා ඒකාත්මික බව තුළින් මෙම රෝගාබාධ 50%ක පමණ ප්රතිශතයකින් සුවයක් ලද හැකි බවද වෛද්ය විද්යාත්මකව සනාථ කර තිබෙනවා.
රෝග වැලදෙන විධි ක්රම 8ක් බුදුන් වහන්සේ ගිරිමානන්ද සූත්රයේ දේශනා කොට තිබෙනවා. කර්ම විපාක ආබාධා ඉන් එකක්, තමන් යම් කර්මයක් සිදු කර ඇතොත් ඊට ප්රතිවිපාකයද අනිවාර්යයෙන්ම විඳිය යුතුයි.
පිළිකා රෝග, කුෂ්ඨ රෝග වැනි සුවකළ නොහැකි බොහෝ රෝග වලට එසේ කර්මය හේතු වෙනවා විය හැකියි. එය සිදුකරන අකුසල කර්මයට අදාළ ප්රතිවිපාකයක් ලෙස ධර්මානුකූලව අපට තහවුරු වෙනවා.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood