මොකක්ද මේ නිවෙන තැන
අද බොහෝ දෙනෙක් බෞද්ධයන් හැටියට කියන දෙයක් තමයි ” නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං” ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හැර වෙන සරණක් නැත කියල.
නමුත් ඒ සමහර අයගේ ජීවිත දිහා බලනකොට ඒ අයට බුදුරජාණන් වහන්සේ හැර ඕන තරම් සරණවල් තියනවා.
ඒ අයට බුදුරජාණන් වහන්සේ මතක් වෙන්නේ අමාරුවේ වැටුණු වෙලාවට විතරයි. බුදුරජාණන් වහන්සේ ගැන අපිට සැබෑම ගෞරවයක් ඇති වුණොත් අපිට නිරන්තරයෙන් ම සෑම කටයුක්තකදීම බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙනවා. ඉතින් ඒක අපිට පින් රැස් කර ගැනීමට කවදා හරි සසරින් එතෙර වීමට හේතු වෙනවා. මේ සිද්ධිය ඒ පිළිබඳව යි.
මීට කල්ප අනූ හතරකට ඉහතදී ලෝකයට හරිම පින්බර කාලයක් උදාවෙලා තිබුණා. හේතුව බුද්ධ ශාසනයක් පැවැතුණු කාලයක්. ඒ කාලේ සිද්ධාර්ථ කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා පිං ඇති දෙව් මිනිසුන් ව සසර දුකෙන් එතෙර කරවමින් වැඩ සිටියා.
ඉතින් ඒ කාලේ වනයේ හැසිරෙන බොහොම ජවසම්පන්න වඳුරෙක් හිටියා. මේ වඳුරා ගහෙන් ගහට පනිමින් වනයේ හැසිරෙනකොට හොඳින් ඵල දරා ඇති තිඹිරි ගසක් දැක්කා. ඉතින් අර තිඹිරි ගෙඩි දකිනකොට මේ වඳුරට එක පාරටම බුදුරජාණන් වහන්සේ මතක් උනා. මෙතන දී අපිට පැහැදිලි වෙන දෙයක් තියෙනවා. ඒක තමයි මේ වඳුරා මීට කලින් වරක් හෝ බුදුරජාණන් වහන්සේ දැකලා තියෙන්නට ඇති. ඒකනේ මතක් වුනේ. දැකල විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කිසි පැහැදීමක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ අනෙක් මිනිසුන් වගේ නොවේ. ඊට වඩා වෙනස් කෙනෙක්. හොඳ කෙනෙක්. කාටවත් හිරිහැර නැති කරුණාවන්ත කෙනෙක්. හැමෝටම පිහිට වෙන කෙනෙක් කියලා.
ඉතින් මේ වඳුරා දවස් ගානක් බුදුරජාණන් වහන්සේ හෙව්වා තිඹිරි ගෙඩි ටිකක් පූජා කරන්න. නියම දවස උදා උනා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝ සතුන් ගැන බලන කොට තිඹිරි ගෙඩි පූජා කරන්න බුදුරජාණන් වහන්සේ හොයන මේ වඳුරාව දැක වදාළා. එදා බුදුරජාණන් වහන්සේ වෙන කාගෙන්වත් දානය ගත්තේ නෑ. මහරහතන්වහන්සේලා දාහක් පිරිවරාගෙන අර වඳුරා ඉන්න ප්‍රදේශයට වැඩියා. බලන්න වාසනාවක මහත බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙන්නට වඳුරෙකුට අවස්ථාව ලැබිලා. උන් වහන්සේ සියලු දෙනාම නිකෙලෙස්. අති පාරිශුද්ධයි. ඉතින් ඒ වඳුරාට හරීම සතුටුයි කියන්න බැරි සතුටක්. ඇයි තමන් සොයමින් සිටි උතුමන්වහන්සේ දැන් තමන්ගේ ඉදිරියේ වැඩ ඉන්නවා.
දැන් මේ වඳුරා තිඹිරි ගහට නැගලා ගෙඩි කඩාගෙන තමන්ගේ දෑතින් ම පූජා කර ගත්තා. බුදුරජාණන් වහන්සේ වඳුරා කෙරෙහි මහා කරුණාවෙන් එම තිඹිරි ගෙඩි පිළිගත්තා. එදා ඒ වඳුරාට තරම් වාසනාවක් අද සමහර මිනිසුන් ට නෑනෙ. ඇයි දැන් බලන්න සමහරු උදේ ඉඳන් රෑ වෙනකල් කරන්නේ තෙරුවන් ට ගරහන එක නින්දා අපහාස කරන එක. එයට හේතුව තමයි ඒ අයට ත්‍රිවිධ රත්නයේ ගුණ තේරුම් ගැනීමට බුද්ධියක් නැති වීම. අනේ පව් තුණුරුවන් ට අගෞරව කර කර ඉඳලා ඒ අය මරණින් පසු අපායේ යයි. ඔය නිරයේ ප්‍රේත ලෝකයේ තිරිසන් ලෝකයේ දුක් විඳින්නේ ඒ අය තමයි. දැන් ප්‍රේත ලෝකය නිරය සාමාන්‍ය අයට පේන්නෙ නෑනෙ. නමුත් තිරිසන් ලෝකය පේනවනේ. හැබැයි අපිට සතුටු වෙන්න පුළුවන් හේතුව තමයි අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගෙන එයට ගරු සත්කාර කරමින් පිං කරමින් කුසල් වඩමින් සසරින් මිදෙන්න උත්සාහ කිරීම ගැන.
ඊටපස්සේ අර වඳුරා මරණින් පසු දෙව්ලොව ඉපදුනා. ඒ විදියට දෙව් ලොව සැප සම්පත් විඳිමින් සසරේ එනකොට මීට කල්ප පනස් හතකට කලින් මනුස්ස ලෝකෙට ආවා හැබැයි නිකං නෙවෙයි සක්විති රජ කෙනෙක් ලෙස. ඊටපස්සේ ආයෙත් දෙව් ලොව ඉපදුනා මේ ගෞතම බුදධසාසනේ ට එනකම් අපායේ ගියේ නෑ. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී දඹදිව ඉපදිලා බුදු බණ අහල මහණ වෙලා උතුම් අරහත්වයට පත් වුණා. ඒ තමයි ” තින්දුදායක” මහ රහතන්වහන්සේ. දවසක් දා උන්වහන්සේ සමාධියට සමවැදී පුබ්බේනිවාස කියන ඥානයෙන් බැලුවා තමන්ට රහත් වෙන්නට පෙර කරපු පින්කම මොකක්ද කියලා එතකොට තමයි දැක්කේ කල්ප අනූ හතරකට ඉහතදී වඳුරෙක් වෙලා කරපු මේ පින්කම. බලන්න බුදු කෙනෙක් ලෝකයට පහළ වීම සැපක්මයි (සුඛෝ බුද්ධානං උප්පාදෝ) ඔබටත් මේ අනිත්‍ය වූ සසරින් වහ වහා නිදහස් වීමේ වාසනාව උදා වේවා.
තෙරුවන් සරණයි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood