ඉන්ද්රිය සංවර කර ගැනීම ම භාවනාවක්
භාවනාවට පදනමක් අවශ්‍යයයි..ඉන්ද්රිය සංවර කර ගැනීම ඊට හොඳම පාදමයි..
අපි කවුරුත් සතර සතිපට්ඨානය ගැන කතා කරනවා. නමුත් මේක නිකම් කතාබස් කළ පමණින් පුරුදුවෙන එකක් නෙවෙයි. කතාබස් කළ පමණින් හිතට වැටෙන එකක් නෙවෙයි. ඒකට වුවමනා කරන මූලික පදනමක් තියෙනවා. හොඳ පදනමක් නැති භූමියක ලොකු ගොඩනැගිල්ලක් පවා හදන්න බෑනේ. හයිය නැති නිසා ..ඒ ගොඩනැගිල්ල කඩාගෙන වැටෙනවා. හේතුව, පදනම ශක්තිමත් නැති වීමයි.
අන්න එනිසා සතර සතිපට්ඨානය වැඩෙන්න නම් හිතට පදනමක් තිබිය යුතුයි. පළමුවෙනි එක තමයි සිල්වත් වීම. සිල්වත් වීම කියන්නේ කයයි, වචනයයි සංවර කර ගැනීම. ඊ ළඟට හිතත් සිල්වත් කරන්න ඕන. කය සිල්වත් කරන එක තරමක් ලේසියි. නමුත් හිත සිල්වත් කිරීම අමාරුයි. හිත සිල්වත් කරන ක්‍රමයට කියන්නේ ඉන්ද්රිය සංවරය කියලා.
අපි දන්නවා යමෙක් ප්‍රාණඝාතයෙන් වෙන්වුණහම, සොරකම් කිරීමෙන් වෙන්වුණහම, කාමය වරදවා හැසිරීමෙන් වෙන්වුණහම, මත්පැන් පානයෙන් වෙන්වුණහම එයාගේ කය සිල්වත්. බොරුවෙන්, කේලාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් වචනයෙන් වෙන්වුණහම එයා වචනයෙන් සිල්වත් වෙනවා. එතකොට තමාගේ ජීවිතයට තමාගේ අතින් සිද්ධ වෙන්න තියෙන වැරදිවලින් චෝදනා කරන්නේ නෑ. ඊ ළඟට අපි හිතත් සිල්වත් කර ගන්න ඕන. ඒකට මුලින් ම කරන්න ඕන ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන ඉන්ද්රියයන් ඔස්සේ සිතට එන දේ සිතේ පෝෂණය වෙන්න නො දී සිටීමයි
ඉන්ද්රිය සංවරය කියලා කියන්නේ ඒකට . අපි කියමු තමාට අහිත දෙයකට තමා කැමතියි. තමාට අහිත පිණිස, දුක් පිණිස පවතින දෙයක්. නමුත් තමා ඒකට කැමතියි. අන්න එතකොට ‘මම මේකට කැමති වුණාට මට මෙය සසරේ දුක් පිණිස පවතියි’ කියලා සසර ගැන භය උපදවාගෙන අකුසලයට යටවෙන්නේ නැතුව එයින් වළකින්න ඕන.
අන්න එතකොට තමයි සතර සතිපට්ඨානය වඩන්න පදනම සැකසෙන්නේ. සාමාන්‍යයෙන් අපි ‘භාවනාව, භාවනාව’ කියපුවාම හිතෙනවා ‘මේක බොහොම ලේසි විෂයක්’ කියලා. මොකද, සාමාන්‍යයෙන් විෂයක් හදාරනකොට අපි දන්නවා, පොතක ලකුණු කර ගත්තා, එය බලාගෙන කළා. මේක එහෙම එකක් නෙවෙයි. නොමඟට වැටුණු හිතක් තමා ගාව තියාගෙන, අමුතු ම පිළිවෙළින් හිතලා හිතලා අමුතු ම ලෝකයක් හදාගෙන, පුද්ගලික මතවාද රාශියක් තියාගෙන තමයි අපි මේකෙන් මිදෙන්න හදන්නේ. ඒක ලේසි වැඩක් නෙවෙයි.
අපි දන්නවා කොතෙකුත් දෙනා භාවනා කරනවා. නමුත් අපට පෙනෙන හැටියට ඒ විදිහට කොතෙකුත් භාවනා කළාට ගැඹුරට හොයලා බැලූවොත් කැරකිලා ඇවිල්ලා තියෙන්නේ සිටිය තැනට ම යි. මේ නිසා අපට පෙනෙනවා මේක අමාරු වැඩක්. මොකද, හිත කියන්නේ නිරන්තරයෙන් නොමඟ ගිය එකක්. මුළාවුණු දෙයක්. කැළඹුණු දෙයක්. විසිරී ගිය දෙයක්.
එ නිසා අපි ඉන්ද්‍රියන් සංවර කර ගන්න ඕන. බොහොම වටිනා එකක් ඒක.. දැන් අපේ හිතට රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ ආවොත් තමන් හොඳට දැනගන්න ඕන. ‘මේක මට අහිත පිණිස, අනුන්ටත් අහිත පිණිස පවතින එකක්. මම මේකෙන් මිදෙන්න ඕනේ’ කියලා තමන් කාරණේ ඉන්න ඕන. ඉඳලා සිතට ඉඩ නො දී සිතෙන් බැහැර කරන්න ඕන. එහෙම තමයි සිත සංවර කරන පිළිවෙළ.
ඉතින් මේ දහම් කරුණු ඔබටත් සිත සංවර කර ගැනීම පිණිස ම උපකාර වේවා!
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood