Temples of Sri Lanka

කල්‍යාණ මිත්‍රයින්ගේ ඇසුර මනාය…

අපට අපේ දුකසැප බෙදා හදා ගැනීමට දැනුම ලබා ගැනීමට දැනුම බෙදා දීමට , හුදෙකලා බව හා පාළුව, කාන්සිය මගහරවා ගැනීමට ආදී සියළු දෑ සදහා මිතුරන් අවශ්‍ය වේ. මේ සංකීර්ණ සමාජයේ යහපත් කල්‍යාණ මිත්‍රයින් සොයා ගන්නේ කෙසේද? යන්න ගැටළුවකි. බුද්ධ දේශනාවට අනුව කල්‍යාණ මිත්‍රයින් හා පාප මිත්‍රයින් හදුන්වා දී ඇත. ඊට අනුව කල්‍යාණ මිත්‍රයින් මෙසේය.උපකාරක මිත්‍රයා, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා,අත්ථක්ඛායි මිතුයා, අනුකම්පක මිත්‍රයාය. එසේම පාප මිතුරන් ලෙස අඤ්ඤදත්ථුහර, වචී පරම,අනුපියභාණි, අපායසහාය මිත්‍රයන් දක්වා ඇත.

අපට උපදෙස්දීමට කල්‍යාණ මිත්‍රයකු සිටී නම් එය මහත් භාග්‍යකි.අද සමාජය දෙස බලන විට ඕනැම කෙනෙකුට මිතුරන් ඇති බව පෙනේ.එහෙත් බොහෝ අය මිතුරන් ඇසුරු කරන්නේ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙනි.
නැතිනම් අවස්ථාවාදී ලෙසය. අද සමාජයේ මිතුරන් නිසා නරක් වූයේ යැයි කියන, විපතට පත්වූ බව කියන බොහෝ අය වෙති.එසේ වන්නේ ඇයි දැයි අප සිතා බැලිය යුතුය. නරක මිතුරන් නිසා විනාසයට පත් වු අය අද සමාජයේ බොහෝ ඇත. සමහරු මිතුරන් නිසා මත්පැන් පානයට හෝ මත්ද්‍රවය භාවිතයට ඇබ්බැහි වෙති. තවත් සමහරු සොරකම් දූෂණ මංකොල්ලකෑම් මිනී මැරුම් ආදියට පවා පෙළඹෙති.මෙවැනි වැරදි වලට පෙළඹි විනාශයට පත් වුවන්ගේ සිරිත වන්නේ අනෙක් අයද කෙසේ හෝ මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වයට ඇද දැමීමයි. එබැවින් ඔවුන් ඉතා හොද මිතුරන් ලෙසින් පෙනී සිටිමින් සාපරාධි දේ වලට අනු අය පොළඹවා ගනී එම නිසා අප නිතරම කලණ මිතුරන් කවුදැයි වටහා ගෙන ඔවුන් ඇසුරු කළ යුතුය.
අප යමක් සිතාගන්නට, තීරණය කරගන්නට ශක්තිය ඇති අය බවට පත්විය යුතුය.ඒ සදහා බුද්ධිය මෙහෙයවා හොදින් ‍ඉගෙන ගත යුතුය. ඉක්මණින් සතුටුවිය හැකි ලාභදායි දේ පසුපස හඹා යාමෙන් වැලකී සිටින්නට අප දැනුවත් විය යුතුය. එවිට අන් අයගේ මුසාබසකට අප නොරැවටෙනු ඇත. කෙසේ වෙතත් කිව යුතුව ඇත්තේ කල්‍යාණ මිත්‍රයකු ඇසුරට පත්වීමට පෙර අප කල්‍යාණ මිත්‍රයකු බවට පත් විය යුතු බවයි. හොඳ බුද්ධියක් යහපත් සිතක් අවංක චේතනාවක් සහ උදාර පරමාර්ථයන් සහිත විශ්වාසවන්ත පුද්ගලයකු ලෙස තමා හැඩ ගැසුණු විට තමන්ටත් එවැනි මිතුරන් හමුවෙනු ඇත. කල්‍යාණ මිත්‍ර සැපය ඉතා උදාර සැපයක් වන හෙයින් අප ද එවැනි ප්‍රාර්ථනා කරමු.

හොඳට නරකට මිතුරු ඇසුර
මිනිස් ජීවිතයක් ලබා ගෙන මෙලොව උපදින අපි මුලින්ම මවුපියන් ඇසුරින් හොඳ, නරක, යහපත් දෙය, අයහපත් දෙය පින්,පව් හඳුනා ගනිමු. ඉන් පසු පාසල් අවධියේදී ගුරුවරුන්ගේ ඇසුර ලබමින් තවදුරටත් දැනුම පුළුල් කර ගනිමු. පාසල් ජීවිතයේ දී මිතුරන්ගේ ඇසුරට පත්වෙමු.

ඒ අය නිසා අප තුළ ඇති හොඳ සිරිත්, විරිත් ටිකෙන් ටික ඈත් වන්නේ නම්, ඒ ඇසුර හොඳ ඇසුරක් නොවේ. ඒ අයගේ ගති පැවතුම්, සිතුම් පැතුම් අදහස් චරිත ස්වභාවයන් නිසා අප තුළ පැවැති ශ්‍රද්ධාව, සිල්වත් බව, කීකරු බව, සංවර බව ටිකෙන් ටික ඈත් විය හැකියි. සමහරවිට ඉතාම ගුණ යහපත් අවංක, සංවර පුද්ගලයෙක් අසංවර, නොහික්මුණු, දුශ්ශීල පුද්ගලයකු වන්නට ද හැකියි.

සතුන් මැරීම, අන් සතු දේ නොදන්වා ගැනීම, කාම මිත්‍යාචාරය, සුරාපානය ආදියේ යෙදෙන කෙනෙකුගේ ඇසුර නිසා ඒ අයගේ අයහපත් කායික, වාචසික, මානසික ක්‍රියාවන්ට පෙළඹෙන පුද්ගලයකු බවට ද පත්විය හැකි ය.

බොරු කියන, අනුන් හෙළා දකින, වැඩකට නැති අනවශ්‍ය වචන කතා කරන, කේලාම් කියන, අනුන් භේද කරන අයගේ ඇසුරට පත්වීමෙන් එවැනි වචී දුෂ්චරිතයන්ට ඇබ්බැහි විය හැකි ය. ඊර්ෂ්‍යාව, ගුණමකුකම, කුහකකම, තණ්හාව, මානය, ලජ්ජා නැති බව, ආදී මනෝ දුෂ්චරිත ඇත්තවුන් හා එක්ව කටයුතු කිරීම නිසා එවැනි අයගේ අදහස් තමාගේ සිත තුළ ද වර්ධනය වීමට ඉඩ ඇත.

මෙවැනි කාය වංක, වචී වංක, මනෝ වංක අයගේ ඇසුරින් තමාගේ සිල්වත් බව, ප්‍රඥාව, ගුණවත් බව, ලජ්ජාශීලි බව,පරිත්‍යාගශීලි බව, මෛත්‍රී සහගත බව, දිනෙන් දින පිරිහී යන්නේ නම්, තමා නොදැනීම ටිකෙන් ටික අපායගාමී පුද්ගලයකු වනු නොඅනුමාන ය. ඊට අමතරව තමාගේ ලෞකික දියුණුව, කීර්තිය, සමාජ ගෞරවය, කෙලෙසා ගනිමින් අපකීර්තිය, පරිහානිය සහ සමාජයෙන් ගැරහුම් ලබන කෙනකු බවට පත් වනු ඇත.

බුදුරජාණන් වහන්සේ කිහිප තැනකම පාප මිත්‍ර සේවනය ගැන දේශනා කළහ. ඒ පිළිබඳ ධම්මපදයේ මෙසේ දැක්වේ.

එරංච නාධිගච්ඡෙය්‍ය
සෙය්‍යං සදිස මත්තනො
එක චරියං දල්හං කයිරා
නත්ථි බාලේ සහායතා

තමන්ට කල්‍යාණ මිත්‍රයකු ලෙස ආශ්‍රය කිරීමට තමාට වඩා ගුණවත් අයකු හෝ තමන් හා සමාන ගති ඇත්තකු හෝ නැත්නම් පාප මිතුරන් ඇසුරු කිරීමට වඩා තනිව විසීම ශ්‍රේෂ්ඨ ය.

න භජේ පාපකෙ මිත්තේ – නභජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණෙ – භජෙථ පුරිසුත්තමේ

පාප මිත්‍රයන්, අධමයින් ආශ්‍රය නොකරන්න. කල්‍යාණ මිත්‍රයන්, උතුම් පුරුෂයන් ආශ්‍රය කරන්න.

අසේවනාච බාලානං – පණ්ඩිතානංච සේවනා

ආදි වශයෙන් මංගල සූත්‍රයේ පණ්ඩිතයන් ආශ්‍රය කිරීමත්, බාලයන් ඇසුරු නොකිරීමත් දෙලොව වැඩදායක මංගල කරුණු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

තවත් සූත්‍ර ගණනාවක බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්‍රත්වයේ අගයත්, පාප මිත්‍ර සේවනයේ ඇති ආදීනවත් පෙන්වා දුන් සේක.

එනිසා තමන්ගේ ගති පැවතුම් හා සමාන කෙනකු හෝ ඊට වඩා උසස් ගුණ ධර්ම ඇත්තකු සමඟ තමන්ගේ මිත්‍රත්වයක් ගොඩනැඟෙයි නම්, එය මෙලොව පරලොව දෙකෙහි ම හිත සුව පිණිස පවතින බව දැනගත යුතු ය.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ කල්‍යාණ මිත්‍ර සේවනය මත බව වදාරා ඇත. සෝවාන්, සකෘදාගාමී, අනාගමී, අර්හත් යන සතර මාර්ග ඵලයන් සාක්ෂාත් කිරීමට කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ සේවනය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම සහ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

ලෞකික ජීවිතය අර්ථවත්ව ගත කිරීමට යහපත් ආශ්‍රය බලපෑම් කරන අතර මේ සංසාර ගමනින් නිදහස් වී නිවන් දැකීමටත් කල්‍යාණ මිත්‍ර සේවනය අත්‍යවශ්‍ය ය.

කලණ මිතුරු ඇසුර තමන් ළඟ ඇති නූපන් කුසල් උපදවා ගැනීමට උපකාර වෙයි. තමන් ළඟ ඇති ගුණවත් බව ප්‍රඥාව වැඩිදියුණු කර ගැනීමට උපකාර වෙයි. ඔහු තමා දස කුසලයෙහි යොදවයි.

ශීල සම්පන්න වීම පිණිස පංචශීලය, අට සිල්, දස සිල් ආදිය ආරක්ෂා කිරීමට පොළඹවයි. නිවන් මාර්ගය පෙන්වා දෙන ධර්ම දේශනා ඇසීමට උනන්දු කරවයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ශ්‍රී සද්ධර්මය කෙරෙහි, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීමට අවශ්‍ය පසුබිම සපයා දෙයි. එවැනි කෙනකු ඔබේ ඇසුරට ලැබෙයි නම් ඔබ තුළ නැති ශ්‍රද්ධාව ඇති වෙයි. ඇති ගුණ ධර්ම සිත තුළ වර්ධනය කරගැනීමට හැකි වෙයි.

කුසල් කිරීමට ඇති මැලිකම උදාසීන බව දුරුවී වීර්යය ඇති වෙයි. ඒ අනුව උපන් කුසල් දියුණු කර ගැනීමටත්, නූපන් කුසල් උපදවා ගැනීමටත් උත්සාහයක් ගනියි. යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සිහිය උපදවා ගෙන පවින් වැළකී කුසලයෙහි යෙදීමට කැමැත්තෙන් ධර්ම මාර්ගයට පැමිණෙයි.

එවිට කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා නිවන් මාර්ගයට පැමිණෙන ඔහු තුළ ඇති වන්නේ සම්මා දිට්ඨියයි. නිවැරැදි දැකීම නිසා නිවැරැදි සංකල්පය ඇති වෙයි. කයින් කෙරෙන වැරදිවලින් වැළකී, කය සංවර කර ගනියි. නිවැරැදි මාර්ගයකින් ජීවනෝපාය මාර්ගය සලසා ගනියි.

ජීවිතයේ යථාර්ථය දකින ඔහු සසරින් මිදීමේ ඇති කැමැත්ත නිසා ඒ සඳහා උත්සාහ ගනියි. භාවනා මාර්ගයට පිවිසෙන ඔහුට ලෞකික ජීවිතය සැනසිලිදායක ව ගත කිරීමට අවශ්‍ය මානසික පසුබිම මෙන්ම සසරින් නිදහස්ව ලබන ලෝකෝත්තර සුවයෙන් ද සැනසීමට කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා හැකි වනු ඇත.

ඒ අනුව මෙලොව ජීවිතය යහපත් ආකාරයට නිරවුල් ව සාමකාමී ව ගත කිරීමටත්, නිවනින් සැනසීම උදාකර ගනිමින් සසර දුකින් මිදීමටත් කල්‍යාණ මිත්‍රයකුගෙන් ලැබෙන උපකාරය උතුම් ය.

බෞද්ධයන් වන අපට සිටින ඉහළ ම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වන්නේ බුදුරජාණන් වහන්සේයි. ඊළඟට අපට නිවන් මාර්ගය පෙන්වා දෙන ආර්යයන් වහන්සේලා අපේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා වන බැවින් එවැනි සාමීචි පටිපන්න ගුණයෙන් යුතු වූ ස්වාමීන් වහන්සේලාගේ ඇසුර ලබා ගැනීමට අපි උත්සාහ කරමු.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X