Temples of Sri Lanka

හැමදාම අලුතින් හිතමු

අලුත් ජීවිතේකට ආසා කෙනෙක් පරණ අඩුපාඩු නම් ඉවත් කරගන්නම ඕනි. පරණ අඩුපාඩු එහෙම්ම තියාගෙන ජීවිතයක් අලුත් කරගන්නෙ කොහොමද? වසරේ අවසාන දිනයේ තිබුණු අඩුපාඩු ටික එහෙම්ම තියාගෙන නම්, ඊළඟ වසරේ පළමු වෙනිදාත් ඉන්නේ, අලුත් වර්ෂයක් ලැබුවා කිව්වට මොකක්ද එයාගේ ජීවිතේ වුණ අලුත් වීම.

ඒ නිසා බුද්ධිමත්ව තේරුම් ගන්න. දිනයකට, වෙලාවකට, නැකතකට ඔබේ ජීවිතේ අලුත් කරලා දෙන්න බෑ. ඔබ යම් මොහොතක පරණ වැරදි හදාගන්න ඕනි කියලා හිතට ගන්නවා ද අන්න ඒ මොහොත තමයි ඔබේ ජීවිතේ අලුත් වෙන මොහොත.

‘අනික් උදවිය ප්‍රාණඝාත, සොරකම්, සල්ලාලකම්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ආදී නොයෙක් අඩුපාඩු කරමින් ඉඳීවි. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. මම නම් ඒ වැරදි කරන්නේ නෑ’ කියලා හිතක් උපද්දවන්න. ‘බොරු, කේළාම්, හිස් වචන, ඵරුෂ වචන, නින්දා ගැරහිලි අපහාස වලින් සතුටු වෙන පිරිසක් මැද මම නම් වචනේ රැකගෙන ඉන්නවා’ කියලා හිතක් උපද්දවන්න. ‘ලෝභකම්, මසුරුකම්, ක්‍රෝධ අමනාපකම් හිතේ පුරවාගත් අය ඉන්නවා. නමුත් මම නම් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ආදී උතුම් හිතුවිලිවලින් හිත පුරවාගන්නවා’ කියලා හිතක් උපද්දවන්න.

ඔව්! පරණ වෙවී පල් වෙන පිරිසක් මැද්දේ ඔබේ දුර්වලතා, අඩුපාඩු, පව්, අකුසල් අයින් කරගෙන ඔබ පරණ නොවී අලුත් වෙන්න.

හිතවත්කම් වලට පරණ වෙන්න දෙන්නත් එපා!

බොහෝ දෙනෙක්ගේ හිතවත්කම් කල් යනකොට පරණ වෙනවා. අන්තිමට ඇති කරගත්ත හිතවත්කම් ජීවිතේට මහා වධයක් වෙලා.

මේකට හේතුව නුවණින් තොරව හිතවත්කම් පැවැත්වීම. ඔබ හොඳ හිතවත්කම්, ඉවසිලිවන්ත හිතවත්කම්, අවංක හිතවත්කම්, මිත්‍රශීලී හිතවත්කම්, ඔබව තේරුම්ගත්ත හිතවත්කම් පතන කෙනෙක් නම් ඔබ තාම පරණයි!

අලුත් වෙන්න මේ විදිහට. ඔබේ හිතවත් අයට ඔබ පුළුවන් තරම් හොඳ හිතවතෙක් වෙන්න. ඔබ ගොඩාක් ඉවසීමෙන් හිතවතුන් එක්ක කටයුතු කරන කෙනෙක් වෙන්න. ඔබේ හිතවත් අයට ඔබ අවංක හිතවතෙක් වෙන්න. ඒ අයව පිනට කුසලයට යහපතට ධර්මයට යොමු කරන, ඒ අයව පවෙන් අකුසලයෙන් අයහපතෙන් අධර්මයෙන් බේරාගැනීමට කටයුතු කරන මිත්‍රශීලී හිතවතෙක් වෙන්න. ඔබ හිතවතුන්ව තේරුම් අරගෙන ඒ අයට පහසුවක් වෙන විදිහේ හිතවතෙක් වෙන්න.

කෝටි අටසියයක් වගේ මහා ජනකායක් මේ ලෝකෙ ජීවත් වුණාට අපිට අපේ ජීවිත කාලෙම ඇසුරට ලැබෙන්නේ කොතරම් පොඩි පිරිසක් ද. ඒ පිරිස පවා ඇසුරු කරන්න අපිට ලැබිලා තියෙන්නේ කොයිතරම් පොඩි ජීවිත කාලයක් ද. ඒ නිසා හොඳ නුවණින් යුක්තව හිතවත්කම් පරණ වෙන්න නොදී ඔබ අලුත් වෙන්න.

ගුණදම් පරණ වෙන්න දෙන්න එපා!

ඔබේ ජීවිතේ තුළ මේ වෙද්දී උපදවාගත් යම් ගුණවත්කම් තිබෙනවා නම් මොනම හේතුවක් නිසාවත් ඒ ගුණදම් දශමයක්වත් වැනසෙන්න දෙන්න එපා! ගුණධර්ම කියන්නේ ඔබේ ජීවිතේ ඔබට තිබෙන වටිනාම දේ කියලා තේරුම් ගන්න. වටිනා දේක වටිනාකම තේරුම් නොගත්තොත් ඒක සැහැල්ලුවට ගන්නවා. අවසානේ ඒ වටිනා දේ වටිනාකම බාල වෙලා යනවා.

අපි කඩේකින් වටිනා දිලිසෙන පිත්තල පහනක් අරගෙන ආවා කියලා හිතන්න. ඒ පහන ගොඩාක් වටිනවා කියන හැඟීම අපේ හිතේ තිබුණේ නැත්නම් ඒක ඔහේ මුල්ලක දානවා. අවධානයක් යොමු කරන්නේ නෑ. පස්සේ ටික දවසක් ගත වෙද්දී අර පහනේ නොයෙක් මැලියම්, ඔක්සයිඩ් ආදිය බැඳිලා අර මුලින් තිබුණ බැබළීම නැති වෙලා යනවා.

ඉතිං ඒ වගේමයි අපි වුණත් අපේ මනුස්සකම්, ගුණවත්කම්, සිල්වත්කම්, යහපත් අදහස් ආදිය ගැන ලොකු වටිනාකමක් දුන්නේ නැත්නම්, අපිටත් නොදැනීම ඒවා දියාරු වෙලා යාවි. ඔහේ පරණ වෙලා යාවි.

කඩේකින් ගෙනාපු වටිනා දිලිසෙන පිත්තල පහනක් කෙනෙක් ගොඩාක් අවධානෙන් නිතර පිරිසිදු කරමින් පවත්වා ගන්න මහන්සි වුණොත් එයාට හැමදාම වටිනා භාණ්ඩයක්ම තියෙනවා. සමහර විට නිතර පිරිසිදු කිරීම නිසා කඩෙන් අරගෙන ආවාටත් වඩා දිලිසෙන ලස්සන පහනක් එයාට ලැබෙනවා.

ඉතිං ඒ විදිහටම තේරුම්ගන්න ඔබේ ගුණදම් ගැනත්. වටිනාකම තේරුම් අරගෙන අවධානයෙන් යුක්තව රැකගත්තොත් ඔබේ ගුණදම් පරණ වෙන්න නොදී ටිකෙන් ටික නමුත් අලුත් කරගන්න පුළුවන් වේවි.

මේ පසුවිපරමට කාලයයි!

නොතිබුණු ගුණදම් උපදවා ගන්නත්, තිබෙන ගුණදම් රැකගෙන දියුණු කරගන්නත්, ගොඩාක් උපකාර වෙනවා පසුවිපරම. පසුවිපරම කියන්නේ කරපු කියපු හිතපු දේවල් පිළිබඳව තමන් තමන් ගැනම අවධානයකින් විපරම් කරලා බැලීම.

මේක දිනපතා ඔබ කරන්න පටන් ගන්න. සෑම දිනයක්ම අවසන් කරන්න පෙර තමන් දවස ගත කරපු ආකාරය ගැන යම්කිසි නිදහස් විපරමක් කරන්න. ඒක බොහොම විවෘත අවංක විපරමක් වෙන්න ඕන. මං මොන වගේ දේවල් කරමින් ද අද කාලේ ගෙවා දැම්මේ? උදේ සිට මේ දක්වා මොන වගේ දේවල් ද මම කථා කළේ? මට අද දවසේ තිබුණු අදහස්, ආකල්ප, සිතුම් පැතුම් මොනවද? කියලා තමන් ගැන යම්කිසි විපරමක් දිනපතාම කරන්න.

හරියට බාහිර කෙනෙක් ඔබ ගැන අවධානෙකින් ඉදලා මේ මනුස්සයා මේ මේ විදිහටයි අද දවස ගත කළේ කියලා සිහි කරනවා වගේ ඔබ තමන් ගැනම විපරම් කරන්න.

ඔබට පෙනෙන්ට ගනීවි ඔබේ කුඩා මහත් අඩුපාඩු. ඒ දේවල් ජීවිතෙන් ඉවත් කරන්න හිතට ගන්න. ඔබට පේන්න ගනීවි මේ දක්වා නොතිබුණු අඩුවක් අද දවසේ මගේ ජීවිතේට එකතු වෙලානේ කියලා. ඒක දුටු වහාම ඉවත් කරන්න. ඔබට පෙනේවි ඔබේ මෛත්‍රිය. ඒ ගැන සතුටු වෙන්න. තව තවත් වැඩි දියුණු කරගත් මෛත්‍රියකින් ජීවත් වෙන්න හිතට ගන්න. ඒ වගේ ලස්සන ගුණදම්, ඔබේ සීලය, ඔබේ මනුස්සකම් ඔබට පෙනෙද්දී ඔබ සතුටු වෙන්න. තව තවත් ඒ දේවල් වැඩි දියුණු කරගැනීමට හිතට ගන්න.

ඔබටම සිතේවි මට මේ මේ වගේ ගුණධර්ම හදාගන්නත් තිබ්බා නම් තව හොඳයි කියලා. ඒ උදෙසාත් ඔබ මහන්සි වෙන්න. මතක තියාගන්න ගුණධර්මයක් දියුණු කරගන්න ඕනි කියලා ඔබ හිතන හිතුවිල්ල පවා ඔබට මහා යහපතක්.

ඉතිං ගුණධර්මත් පරණ වෙන්න දෙන්න එපා! ටිකෙන් ටික හෝ පුළුවන් තරම් ඒ ගුණදම් දියුණු කරගෙන ඔබ අලුත් වෙන්න. මේ වටිනා කරුණු සිත් දරාගෙන අපිත් පරණ නොවී අලුත් වෙමු.

තෙරුවන් සරණයි!

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X