පිවිතුරු සිතක් ලබමු
බුදුදහමේ දී සිතට ලබා දී ඇත්තේ ප්රමුඛස්ථානයකි. එයට හේතුව නම් සත්ත්වයාගේ සසර ගමන දීර්ඝ වන්නේ ද යම් භවයක උපත ලද විටෙක එහි පැවැත්ම තහවුරු වන්නේද රඳා පවතින්නේද සිතේ ක්‍රියාකාරිත්වය මත නිසාය. සසරෙහි දිගුව උදෙසා කර්ම රැස් කරන්නේද සසර කෙටි කිරීමට ප්රමුඛ වන්නේද සිතයි.
සිත පිළිබඳ පරිපූර්ණ විමර්ෂණයක් මුලින්ම සිදු කරන ලද්දේ සිදුහත් බෝසතාණන් වහන්සේ විසිනි. බුද්ධත්වයට පත්වීමෙන් පසු වුවද උන්වහන්සේ දේශනා කළේ සිතට සම කළ හැකි අන් එක ද වස්තුවක් හෝ ලොව නැති බවයි.
මුළු සංසාරයම පවත්නේ සිත නිසා බැව් මෙහිදී ප්රකාශිතය. විටෙක සිත ප්‍රභාස්වර වන බවත් තවත් විටෙක ආගන්තුකව පැමිණෙන උපක්කිලේස නිසා කිළුටට පත් වන බවත් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
සිත පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ සිත වහා පෙරළෙන සුළු ලක්ෂණයෙන් යුක්ත බව පෙන්වා දී ඇත.
“දුරංගමං ඒකචරං – අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති –මොක්ඛන්ති මාර බන්ධනා”
මේ ගාථාවෙන් පෙන්වා දී ඇත්තේ ද සිතෙහි ඇති ස්වභාවය පිළිබඳවය. සිත කෙතරම් වටින්නේ දැයි සඳහන් කරන්නේ නම් අප ඇසුරු කරන ශරීරයේ පැවැත්ම රඳා පවතින්නේ සිත එහි ඇති තාක් පමණි. ශරීරයෙන් සිත ඉවත් වූ විගස සිරුර වහා විනාශ වී පොළොවෙහි පස් වේ. යම් හෙයකින් සිත ගෝපනය නොකරන ලද්දාහු නම් එය පුද්ගලයාගේ අනර්ථය පිණිස පවතින බව අංගුත්තර නිකායේ අදාන්ත වග්ගයේ සඳහන් වේ.
මේ නිසා සිත දමනය කර ගැනීමේ වැදගත්කම, ඉහත ගාථා පාඨයෙන් පෙන්වා දෙන අතර ම එසේ නොකර ගන්නේ නම් එයින් සිදුවන විපත පරිහානිය පිළිබදව ද කදිම නිදසුන් සමාජය ඇසුරින්ම ප්‍රකට වේ. සිත නපුරට පෙළඹවීමෙන් ඇති කර ගන්නා වූ විනාශය පිළිබඳව පැහැදිලි කරන බුදුහිමියෝ සිත තරම්ම තමන්ට වෙනත් සතුරෙක් නැතැයි වදාළ සේක. සිත දමනය කිරීමට කෙතෙක් උත්සාහ කළද එය දියෙන් ගොඩ දැමු මත්ස්‍යයෙකු දියට නැවත පැනීමට දඟලන්නාක් මෙන් සිතට තමන් පිය කරන අරමුණු ඔස්සේ දිවයෑමට ,ඇසුරු කිරීමට දඟලන බව පෙන්වා දී ඇත.
එහිදී නුවණැත්තා ක්‍රියා කළ යුතු වන්නේ ඉතා සූක්ෂ්ම අයුරින් බව පෙන්වා දෙන බුදුහිමියෝ හී වඩුවා හියෙහි ඇද හැර ඍජු තත්ත්වයට පත්කිරීමට වෙහෙසෙන්නේ යම් සේද ඒ ආකාරයට වෙහෙසිය යුතු බව දේශනා කරති.
යම් හෙයකින් ඉහත සඳහන් කළ පරිද්දෙන් තම සිත මනා ලෙස පිහිටුවා ගැනීමට හැකි වන්නේ නම්, සමත් වන්නේ නම් තමා උසස් බවට පමණුවන බව පෙන්වා දුන් සේක. එම උත්තරීතර ස්වභාවය තමන්ගේ දෙමාපියන්ට හෝ ඥාතීන්ට හෝ අසල්වාසීන්ට ලබා දිය හැකි උසස් තත්ත්වයක් නොව තමන් විසින්ම උපදවා ගත යුත්තකි. නුවණැති තැනැත්තා සිත මනාව සංවර කරගන්නා අතර එහි ප්‍රතිඵල ලෙස සැප විපාක වින්දනය කරයි. බුදුසසුන තුළ අර්හත් මාර්ගඵල ලැබු භික්ෂූන් වහන්සේ හා භික්ෂුණීන් වහන්සේ බොහෝ විට එම උසස් තත්ත්වයන්ට පත්වඇත්තේ තත් ස්වභාවික පරිසරයෙන් ලබාගත් උපමාවන් ආශ්‍රය කරගෙන ධෛර්ය සම්ප්රයුක්තව වීර්යය වැඩීමෙනි.
පෘථග්ජන මිනිස් සිත වහ වහා ඇදී යන්නේ රාග ද්වේශ මෝහාදි අකුසල කර්මයන් ඔස්සේය. දෙව්දතුන් බුදුරදුන්ගේ ජීවිත හානිය සඳහා වෙහෙසෙ වූයේ ද්වේශය මුසු ආවේගයෙනි. බෝසත් අවදියේ සිටම බුදුන්ගේ පරම සතුරෙකු වශයෙන් ක්‍රියාකළ දෙව්දත්ගේ සිත ඒ සැම ආත්ම භාවයකදීම ද්වේශය මුසුවීම නිසා තමාටවත් ඒ සිත පාලනය කර ගැනීමට නොහැකි විය. ලෝකෝත්තර විමුක්තිය සාධනය කර ගැනීමට කොතෙක් හැකියාව තිබුණද ද්වේශ සහගත සිත නිසා එයට දොරගුළු විවර නොවිණි. ද්වේශ සහගත සිතක ක්‍රියාකාරිතාව පුද්ගලයාගේ අයහපත පිණිසම හේතුවන බව ප්‍රකට කෙරෙන සුදුසු කතා ප්‍රවෘත්තිය මෙයයි.
අක්කෝසක භාරද්වාජ බුදුන් සරණ යෑමට පළමුව බමුණු මත ගරු කළ අයෙකි. එසේම බුදුන් කෙරෙහි දැඩි කිපුනු බවින් ක්‍රියා කළ අයෙකි. බුදුරදුන් කෙරෙහි ශ්‍රද්ධා සම්පන්න කාන්තාවක වූ ඔහුගේ භාර්යාවගේ ක්‍රියාකලාපය ගැන කිපුණු ඔහු බුදුන් හමුවට ගොස් කිසිදු ගරු සරු බවක් නොපෙන්වා දිගින් දිගටම දෝෂාරෝපණය කළේය. බැනීමෙන් වෙහෙසට පත් ඔහු බුදුරදුන් ඔහුගේ දෝෂාරෝපණය ගැන කම්පා නොවී සිටීමෙන් මහත් පුදුමයට පත්විය. එහිදී බුදුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයට පත් ඔහු බුදුන් දේශනා කළ උපදේශය ඇසීමෙන් තවත් චිත්ත ප්‍රසාදයට පත්විය. එහිදී බුදුන් වහන්සේ ඔහුට පෙන්වා දුන්නේ ඔහුගේ දෝෂාරෝපණයන් තමන් භාර නොගත් බවත් යම්සේ නිවසට ආගන්තුක පිරිසක් පැමිණි විටෙක හෝ ඥාතීන් පිරිසක් පැමිණි විට ඔවුන් උදෙසා පිරිනමන භෝජනයක් යම් සේ ඔවුන් සුහදව ප්‍රතික්ෂේප කරන්නේද ඔවුන් නිවසින් ගිය විට තමන් එය අනුභව කරන්නේ කෙසේද එසේම භාරද්වාජගේ දෝෂාරෝපණයන් තමන් සුහදව ප්‍රතික්ෂේප කළ බවත් එය නැවත ඔහුටම පිරිනැමූ බවයි. උන්වහන්සේගේ ශාන්ත ස්වරූපයෙන් භාරද්වාජ වඩාත් ප්‍රසාදයට පත්විය.අවසානයේදී සසුනේ පැවිදිව අර්හත්වයටද පත්විය.
තමන්ගේ නැතිවුණු ගවයෙක් සොයා වනයේ සැරිසැරූ එක් බමුණෙක් ගසක් මුල ශාන්ත ලීලාවෙන් වැඩ සිටි බුදුන් වෙත පැමිණ තමාගේ දුක් ගැනවිල්ල ප්‍රකාශ කළේය. ඒ දෙස සාවධානව අසා සිටි උන්වහන්සේ නිසා ගිනිගෙන දැවෙනා වනයක් ක්‍රමයෙන් නිවී යන්නාක් මෙන් ඔහුගේ ඇවිලෙමින් තිබූ ශෝකය සහ දුක බුදුරදුන් ඉදිරියේ කියා පෑම නිසා මහත් සැනසිල්ලක් ලැබුවේය. දැවෙන මිනිස් සිත නිවා ගැනීම උදෙසා බුදුරදුන් දේශනා කර ඇති දේශනාවන් ඇසුරු කිරීමෙන් ශාන්තිය උදා කරගත හැකි අන්දම මේ කතාපුවත් තුළින් මනාව ප්‍රකට වේ. බුදුරදුන් ඒ සඳහා අනුගමනය කළ උපාය මාර්ගයන් අති ශ්‍රේෂ්ඨය.
මිනිසාගේ සිත දමනය කර ගැනීමට වෙහෙසීමෙන් පවිත්‍රත්වයට පත්විය හැකි අතරම සමාධිය කරා යොමුවීමේදීද වැදගත් වේ. කෙලෙස්වලින් සංසිදීමට යමෙක් සිත දමනය කිරීම උදෙසා වෙහෙස වේද අධිෂ්ඨානශීලිව කටයුතු කරයිද ඒ මිනිස් සිතෙහි සුන්දරත්වය ස්වභාව සුන්දරත්වය අභිබවා සිටීමට සමත්ය. සිත විමුක්තිය කෙරෙහි මෙහෙය වූ භික්ෂූන් වහන්සේලා අර්හත්වයට පත්වීමෙන් අනතුරුව ලොව ස්වභාව සුන්සදරත්වය දෙස බලා ඇත්තේ නිරාමිස පී‍්‍රතියෙනි. උතුම් අර්හත්වයට පත්වීමෙන් අනතුරුව උන්වහන්සේලා දේශනා කළ උදානයන් ආශ්රයෙන්ද ඒ බව මනාව ප්‍රකට වේ. මොහොතින් මොහොත වෙනස් වන සිත නිසා ඇතිවන බොහෝ විනාශයන් වළක්වා ගැනීමේ නිවැරදි මාර්ගය වෙන්නේ මිනිස් සිත පිවිතුරු කර ගැනීමයි. පිරිසුදු සිතකින් අනර්ථයක් කිසි ලෙසකින් හෝ තමන්ටත් අනුන්ටත් සිදු නොවන බව බුදුහිමියන් දේශනා කර ඇත. මිනිස් සිත සොඳුරු පරිසරය හා බද්ධ වීමෙන් පරිසරයේද සොඳුරු බව ඇති කරන නිසා බෞද්ධ ප්රතිපත්තීන්හි නියුක්ත අප ද සොඳුරු සිතක් ඇතිකර ගැනීම උදෙසා අධිෂ්ඨානශීල වියට්ඩ්ට් යුතුමය.
ඔබ සැමට තෙරුවන් සරණයි…🙏🙏🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood