අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය සහ ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන්නට යෙදුණු ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව -2024 (Asian Buddhist Summit) අද දින, එනම් නොවැම්බර් 05 දා සිට 06 වන දා තෙක් ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය.
පසුගිය වසරේ අතිසාර්ථකව සංවිධානය කළ ගෝලීය බෞද්ධ සමුළුවට (Global Buddhist Summit – 2023) පසු අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය සහ ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන දෙවන බෞද්ධ සමුළුව මෙයයි.
මෙම ආසියානු බෞද්ධ සමුළුවෙහි තේමාව වන්නේ “ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාරයයි”.
මෙම සමුළුව සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, මියන්මාර, ඇමෙරිකා එක්සත් ජනපදය, නේපාලය, වියට්නාමය, තායිලන්තය, ජර්මනිය, භූතානය, බංග්ලාදේශය, උස්බෙකිස්ථානය, කසකස්ථානය, ටිබෙටය, ජපානය, රුසියාව ආදී ආසියාතික මෙන්ම බටහිර රටවල්වලිනුත් මහා සංඝරත්නය වැඩම කළහ.
එමෙන්ම සමුළුවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ඉන්දියාවෙහි ජනාධිපතිතුමිය ගරු ශ්‍රීමත් දෲපදී මුර්මු මහත්මියයි.
එමෙන්ම ඉන්දියානු රජයෙහි ප්‍රභූවරුන් නියෝජනය කරමින් සංස්කෘතික හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ශ්‍රී ගජේන්ද්‍ර සිං සිකාවත් මහතා හා පාර්ලිමේන්තු කටයුතු සහ අන්‍යාගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු කිරෙන් රිජිජු මහතා ද, ඉන්දීය විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් ද මේ සඳහා සහභාගී වූහ.
එමෙන්ම අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි මහා ලේකම් ශාස්ත්‍රේ ජැන්ග්චුප් චෝඩ්න් හිමියන් හා තවත් ශාස්ත්‍රීය විද්වතුන් බොහෝමයක් මේ සඳහා සහභාගී වූහ.
ජනාධිපතිතුමිය විසින් බුදුන් වහන්සේට මල් පූජා කිරීමෙන් අනතුරුව සමුළුව ආරම්භ විය. අනතුරුව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරාධිත අමුත්තන් විසින් පහන දල්වන ලදී.
මෙහිදී පිළිගැනීමේ කතාව අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි මහා ලේකම් හිමියන් විසින් පවත්වන ලදී.
අනතුරුව සංස්කෘතික හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ශ්‍රී ගජේන්ද්‍ර සිං සිකාවත් මහතා විසින් සමුළුව අමතන ලදී. එහිදී මෙවන් කාර්යයන් තුළින් ඉන්දියාව සහ අන් රට වලට වෙන සේවාව ඇගයීමට ලක් කළ එතුමා තවත් මෙවන් කාර්යයන් සඳහා ඉන්දීය රජය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවට ප්‍රකාශ කළේ ය.
ගරු ජනාධිපතිතුමිය විසින් අනතුරුව අදහස් ප්‍රකාශ කරන ලදී. එහිදී එතුමිය සඳහන් කළේ “අද මෙම සමුළුවට ආසියාව පුරා මෙන්ම අන් රටවලින්ද සංඝරත්නය සහ විවිධ පුද්ගලයින් පැමිණිලා තිබෙනවා. බැලූ බැල්මට ඔවුන් විවිධ භාෂා කතා කරන විවිධ ඇඳුම් පැළඳුම් අඳින අය. නමුත් ඔවුන් අදහන දර්ශනය එකක්. එය බෞද්ධ දර්ශනයයි. එම නිසා ඔවුන් සියල්ලන්ම සාමකාමියි. එබැවින් මෙවන් ස්ථානයකට පැමිණීමට හැකිවීම පිළිබඳව මම සතුටට පත්වෙමි.
ඉන්දියාව යනු ආශිර්වාද ලත් දේශයක්. මෙහි විවිධ දර්ශනයන් තිබෙනවා. බුදුන් වහන්සේත් අතීතයේ ඉන්දියාවේ ඉපදී යථාර්ථය සොයා ගිය උතුම් මනුෂ්‍යයෙක්.
උන්වහන්සේ තමා විසින් අවබෝධ කරගත් ධර්මය ගම් දනව් සිසාරා ගිහින් ප්‍රචාරය කළා. උන්වහන්සේගේ තේමාව වුණේ “බහුජන සුඛාය බහුජන හිතාය” යන්නයි. එය අද සමාජයට කාලීන තේමාවක්” ලෙසයි.
මෙම සමුළුවේදී දකුණු ආසියාව, මධ්‍යම ආසියාව, අග්නිදිග ආසියාව, නැගෙනහිර ආසියාව හා සමස්ත ආසියාව ලෙස සාකච්ඡා වාර කිහිපයක් පවත්වන අතර එහිදී විවිධ රටවල භික්ෂූන් වහන්සේලා හා බෞද්ධ විද්වතුන් අදහස් ප්‍රකාශ කිරීමට නියමිත ය.
මෙහිදී අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝද ය නිකායෙහි මහා නායක ධුරය දරන අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංස මහානායක හිමි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුව ඇමතීමට නියමිත ය.
එමෙන්ම අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි නියෝජ්‍ය මහා ලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා සහ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි ධර්ම ලේකම් ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කරන ආරාධිත විද්වතුන් ලෙස සමුළුවට සහභාගී වේ.
එමෙන්ම කෙටි චිත්‍රපට තිරගත කිරීම් ද, ප්‍රදර්ශන ද සමුළුවට සමගාමීව පැවැත්වේ.