Temples of Sri Lanka

රෝග නිවාරණයට මනා ඔසුව බුදු දහමයි

මිනිසාගේ සිතේ ඇතිවන කෙලෙස් ලෙඩ මැනවින් හඳුනාගත් උත්තමයාණෝ බුදුන් වහන්සේ වහන්සේය.

රෝග නිධාන හොඳින් වටහාගෙන එයට සුදුසු ඖෂධ ගැලපෙන අයුරින් ලබා දුන් සේක.

එබැවින් උන්වහන්සේ සේල නමැති බමුණාට, බමුණ, මම සම්බුද්ධවෙමි. එසේම ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා ද වෙමියි පැවසූහ. බුදුරදුන්ගේ ශල්‍යකර්මය නම් මිනිසුන්ගේ සිත්තුළ ඇති රාගාදී උල් ඇද දැමීමයි.”

තවත් තැනක දී උන්වහන්සේ දේශනා කළේ ‘මහණෙනි, ධර්ම ඖෂධය තරම් වටිනා ඖෂධයක් වෙන නැත. එය පානය කරවු.’ යනුවෙනි.

මේ අනුව ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, සුවපත් කරන වෛද්‍යවරයකු ලෙස ද බුදුරදහු තමන් හඳුන්වා දී ඇත.

‘මහණෙනි, කායික හා මානසික වශයෙන් රෝගයෝ දෙකකි. මෙයින් කායික රෝගවලින් නොපෙළී අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, දහයක්, විස්සක්, තිහක්, පණහක්, සියයක් නිරෝගීව වාසය කරන අය සිටිති. එහෙත් මානසික රෝගවලින් එනම්, හිතේ ඇතිවන ලෙඩ වලින් එක මොහොතක් හෝ නොපෙළී, පීඩා නොවිඳ සිටින අය රහතන් වහන්සේලා හැර සොයා ගැනීම දුෂ්කර ය.

හිතේ ලෙඩට බෙහෙත් කිරීමට බුදුහාමුදුරුවන් තරම් දක්ෂ වෛද්‍යවරයෙක් ලොව ඉපදී නැත. බුදුරදුහු මිනිස් මනසේ ඇතිවන කෙලෙස් ලෙඩ හඳුනාගෙන එයට සුදුසු ඖෂධ දුන්හ. බුදු දහම ගැන විද්වතුන් විසින් විවිධ පර්යේෂණ පවත්වා ඇත. එහෙත් බුදුදහමේ වැදගත්කම ජීවන ක්‍රමය ප්‍රායෝගික වශයෙන් භාවිතයට ගෙන මිනිස් ජීවිතය සාර්ථක කර ගන්නට මෙතෙක් ගෙන ඇත්තේ අල්ප උත්සාහයකි. දිනෙන් දින අසහනයට පත්වන මිනිසාට බුදු සමයෙන් ලබා ගත හැකි පිටුවහල කවරේදැයි අප විසින් සොයා බැලිය යුතුව ඇත.

බුදු සමය සහමුලින් ම මනසට ප්‍රතිකාර ලබාදෙන මනෝ චිකිත්සක ක්‍රමයක් වශයෙන් මෙන් ම, සැනසිලිදායක මිනිස් ජීවිතයකට මග පෙන්වන උතුම් ම මාර්ගෝපදේශනයක් ද වෙයි.

බුදුදහම මිනිස් මනසට අවශ්‍ය ප්‍රතිකාර පෙන්නුම් කරන අතර, ඒ තුළින් මානසික හා ශාරීරික රෝග වළක්වා ගත හැකි අයුරු ද දක්වා ඇත. මානසික රෝග යන වචනය ඇසෙන විටම අපගේ මතකයට එන්නේ උමතුව, පිස්සුව යන හැඟීම් ය.

නමුත් මනෝවිද්‍යාත්මකව සොයා බැලීමේ දී අපගේ එදිනෙදා පැවැත්මෙහි, හැසිරීම් රටාවෙහි අසාමාන්‍ය ස්වභාවය මානසික රෝග යන්නෙන් අදහස් කර ඇත. අසාමාන්‍ය ස්වභාවය යනු මානසික ගැටලු, හැසිරීම් රටාවෙහි වෙනස්කම් හා පෞරුෂයෙහි දැකිය හැකි ආබාධයන් ය. මිනිසා මානසික ඌනතාවයකින් පෙළෙන බවත්, විවිධ මානසික ආබාධයන්ට ගොදුරුවන බවත්, බුදුසමය පිළිගනී. (සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා) මිනිසා ආශාව පසුපස ලුහු බැඳීම නිසා ඔහු ආශාවෙහි වහලෙකු බවට පත්වීම හේතු කොටගෙන අතෘප්තියට පත්වීමෙන් දුක් වේදනාවලට පත්වනු ඇත.

බොහෝ මානසික රෝගවලට පොදු ලක්ෂණය වන්නේ චිත්තවේගයන් ය. මෙම ආවේග නිසා මිනිසා නොසන්සුන් භාවයට පත්වේ. බුදු දහමට අනුව මිනිස් සිත කළඹන චිත්තවේගයන් අතර දැඩි ලෝභය, තරහ, කෝපය, ක්‍රෝධය, බද්ධ වෛරය, ඊර්ෂ්‍යාව, ගුණමකු බව, තද ගතිය, සැකය, මසුරුකම, නොසන්සුන්කම, චාටුබව, කපටිකම, මාන්නය, මත්වීම යන ඒවා දක්වන්නට පුළුවන. බටහිර මනෝ විද්‍යාවට අනුව මානසික රෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

1. සුළු මානසික රෝග (න්‍යුරෝසියා)

2. ප්‍රධාන මානසික රෝග (සයිකෝසියා) වශයෙනි.

සුළු මානසික රෝගයට පත් වූවන් තුළ මානසික වශයෙන් සුළු විකෘතිතාවයක් දැක ගන්නට පුළුවන්.

ඇතැම් සතුන් දැක ගැනීමට ඇති බිය, අත් පාවලට හේතුවක් නොමැතිව දහදිය දැමීම, පුද්ගලයකුට, සමාජයට, ප්‍රශ්නයකට මුහුණ දීමට ඇති බිය, අභියෝගයකට මුහුණ දීමේ දී ඇතිවන කැළඹිලි ස්වභාවය, භීතිකාව, අන්‍යන් නුරුස්නා ස්වභාවය, කාංසාව, පීඩාවට, තැවුලට පත් වූ මානසික ස්වභාවය, නින්ද නොයෑම, අමතක වීම, ඉච්ඡාභංගත්වය නොහොත් තමන් බලාපොරොත්තු වන දේ ඉටු නොවීම නිසා ඇතිවන මානසික පීඩනය, කළකිරුණු ස්වභාවය, පසුබට වීම, මානසික ආතතිය, කලබලයෙන් වැඩ කිරීමට ගොස් ඇතිවන පීඩාව, අවිවේකී බව, හේතුවක් නැතිව අධික ලෙස සිනාසීම හෝ හැඬීම, බලාගත් අත බලාගෙන සිටීම, වැනි ආබාධයන් ඇති වන්නට පුළුවන.

සිග්මන්ඩ් ප්‍රොයිඩ් වැනි මනෝවිද්‍යාඥයින් මනෝ ග්‍රස්ථි යනුවෙන් මානසික රෝගයක් ද දක්වා ඇත. එයින් අදහස් වන්නේ අමතක කළ නොහැකි ආකාරයට සිත තුළ බැඳී පවතින ආශාවකි. සමහරවිට ගායකයෙකුට, නළුවෙකුට ඇතිවන නිරර්ථක බැඳීම හා එවැනි අය අනුකරණය මෙයින් පෙන්නුම් කරයි.

සයිකෝසියාව මිනිසාට ඇතිවන ප්‍රධාන මානසික රෝගයකි. සාමාන්‍ය ජීවිතයේ දී පිස්සුව,
උමතුව ලෙස හඳුන්වන්නේ මෙයයි. මෙයින් ඒ පුද්ගලයාගේ පෞරුෂය බිඳ වැටේ. යම් කිසි දෙයක නියම ස්වභාවය, තත්ත්වය දැක ගැනීමේ හැකියාව මේ නිසා ඔහුට අහිමි වනු ඇත. ඔහු ක්‍රියා කරන්නේ මුලාවෙනි. උදාහරණයක් ලෙස ඔහු අගමැතිවරයෙකු ලෙස සිතන්නට පුළුවන. මුළු ලෝකයම වැරැදියි, තමා පමණක් හරියැයි ඔහු සිතනු ඇත.

මානසික රෝග බොහෝමයක් සිදුවන්නේ අසුබ ලෙස සිතීම, යථාර්ථයෙන් ඈත්වීම නිසා ය. නිවැරැදි අවබෝධය තුළින් මෙවැනි මානසික රෝගවලින් මිදිය හැකි බව බුදුසමය පෙන්වා දෙයි. බුදුසමයට අනුව රෝගයක් තිබේ නම්, රෝගයට හේතුව, රෝගය නැතිකිරීම, රෝගය නැතිකිරීමේ මාර්ගය යන කරුණු අවබෝධ කරගත් විට මෙම රෝගී තත්ත්වයෙන් අත්මිදිය හැකි ය. පස්කම් සැප විඳීමේ සීමාව ඉක්මවා ඊට ගොදුරුවීම නිසා ශාරීරික හා මානසික ආබාධ හටගන්නා ආකාරය බුදු සමය පෙන්වා දී ඇත.

ඒ ඒ වයස් සීමාවල දී තිබිය යුතු ඇවැතුම්, පැවැතුම් වලින් තොරවීම නිසා ඇතිවන ගැටලු මානසික රෝග දක්වා ව්‍යාප්ත වී යෑම වළක්වා එම තත්ත්වයෙන් අත්මිදීමට අවශ්‍ය මූලික ඉගැන්වීම බුදුසමයෙහි ඇතුළත් විය. මූලික බුදුසමය මිනිස් සිත සියුම් ලෙසත්, ගැඹුරු ලෙසත් විග්‍රහ කර ඇත. බුදු දහමෙහි මිනිස් සිතේ හටගන්නා ගැටලු විසඳීමට දක්වා ඇති ප්‍රවීනත්වයට නූතන මනෝ විද්‍යාඥයින්ට කිසිසේත් ළංවිය නොහැකි ය. මිනිසා කෙරේ බලපාන පෞද්ගලික මානසික ගැටලු ද පවුල් ජීවිත, තරුණ ජීවිත සම්බන්ධ ගැටලු ද විග්‍රහකරමින් ඒ ඒ චරිතයන්ට අනුකූලවන විසඳුම් බුදුසමය දක්වා ඇත. මෙතෙක් සමාජ විද්‍යාඥයින් පවා නොබැලූ දෘෂ්ටිකෝණයකින් සමාජ ප්‍රශ්න විග්‍රහ කරන බුදුදහම මානව වර්ගයා ඇතුළු සකල ලෝක සත්ත්වයා කෙරෙහි ම හෙළන නෙත විනිවිද ගිය එකකි. සමාජයේ විවිධාකාර ගැටුම්, යුද්ධ, අපරාධ, දේශපාලන හා රාජ්‍ය වියවුල් වැනි මිනිස් සන්තානය තුළ පැනනගින සියලු භෞතික ගැටලුවලට ද බුදුසමයෙන් පිළිතුරු සපයා ඇත.

සීල, සමාධි, ප්‍රඥා පෙරදැරි කරගත් ජීවිතය අගය කරන බුදු දහම ප්‍රතිකාර කරන්නේ ගැටලුවේ මූලික පදනමට විනා බාහිරව පෙන්නුම් කරන සාධකවලට නොවේ. කෝපය ඇති වූ විට වෛරය, ක්‍රෝධය, ආක්‍රමණශීලී බව, තමා හෝ අනුන් ඝාතනය කිරීමේ චේතනා පහළ වීම, පළිගැනීම ආදී වූ විවිධ සිත් පහළ වේ. මේ නිසා හැඟීම් යටපත් කරනවාට වඩා එම හැඟීම් ප්‍රහීණ කිරීමට, තුනී කිරීමට, පළමුව අවධානය යොමු කිරීම වැදගත් ය. වැරැදි හැඟීමක් සිතේ ඇති වූ විට ඊට ප්‍රතිවිරුද්ධ හැඟීම් මෙනෙහි කිරීමෙන් හා එම හැඟීමෙහි ආදීනව සිහිකර එයින් අත්මිඳීමට උත්සාහ කළ යුතු ය. වෙනත් අරමුණකට සිත යොමුකරලීමෙන් එම සිතිවිල්ල අමතක කිරීම මෙහි දී වැදගත් වනු ඇත. වැදගත්ම දෙය මූලික හේතුව සොයා එම දූෂිත සිතිවිල්ල ඉවත් කරලීමයි.

සිත පහන් කරලීම සඳහා මෛත්‍රී, බුද්ධානුස්සති, ආනාපානසති, කායගතාසති වැනි භාවනාවක යෙදීමෙන් මානසික සහනය ලබාගත හැකි ය. සති හා සම්පජඤ්ඤ යන සංකල්ප දෙක මෙහිදී ඉතා වැදගත් ය. සෑම දෙයක්ම සිහියෙන් හා නුවණින් බලා කටයුතු කිරීම මෙයින් අදහස් කරයි. බුදුසමයට අනුව මිනිසාගේ වර්තමාන ජීවිතයට ඔහුගේ අතීත ජීවිත ක්‍රියාකාරකම් ද සියුම් ලෙස බැඳී පැවතිය හැකි බව ද පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ හා අකාලරාවී භික්ෂුවගේ ඇවැතුම් පැවැතුම්වලින් තහවුරු වන බව පෙනේ.

කුඩා කල පටන් අප ඉන්ද්‍රියන් තුළින් ලබන අත්දැකීම්, ආකල්ප අනුව සැකසෙන සිතිවිලි අපගේ ජීවිතවලට බලපායි. මෙය තේරුම්ගෙන අධිෂ්ඨානපූර්වකව, නිවැරැදි චින්තනයකින් කටයුතු කිරීමෙන් මානසික රෝගයන්ට ඔරොත්තු දීමේ ශක්තිය අපතුළ ඇතිකරගත හැකියි. එක් එක් පුද්ගලයාගේ පෞරුෂය තේරුම්ගෙන ප්‍රතිකර්ම කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන බුදු සමය පෞරුෂය මැනීම සඳහා විවිධ ක්‍රම ශිල්ප භාවිත කර ඇත. ප්‍රශ්නෝත්තර ක්‍රමය, සාකච්ඡා ක්‍රමය, යොදාගත් පටාචාරා, කිසාගෝතමී වැනි චරිත නිදසුන් ලෙස දක්වන්නට පුළුවන. පෞරුෂය මැනීමේ දී පුද්ගල ආකල්ප හා අභිරුචි ගැන සැලකිලිමත් වීම වැදගත් වී ඇති බව නන්ද කුමරු හා ඡත්ත මානවක වැනි චරිත පෙන්නුම් කරයි. රාහුලෝවාද සූත්‍රය ප්‍රවීන අධ්‍යාපන මනෝවිද්‍යාඥයෙකුගේ මෙන්ම මනෝ චිකිත්සකයෙකු ගේ ක්‍රියාවලිය අපවෙත පෙන්නුම් කරයි.

බුදු දහමට අනුව අයහපත් මානසික ක්‍රියාකාරීත්වය මත පුද්ගලයාගේ අයහපත් හැසිරීම තීරණය වේ. එයට දස අකුසල් පදනම් විය හැකි ය.

යහපත් හොඳ පෞරුෂයක් ගොඩනැගීමට මෙන් ම නිරෝගී පුද්ගලයෙකු වීමට අවශ්‍ය කරන සප්පාය පහක් බුදු දහමෙහි සඳහන් ය.

1. ආහාර සප්පාය, (සුදුසු ආහාර පරිභෝජනය)

2. විහරණ සප්පාය (නිවැරැදි ඉඳුම් හිටුම් මෙන්ම නිවැරැදි හැසිරීම් රටාව)

3. උතුසප්පාය (ශරීරයට හිතකර සෘතු පරිහරණය)

4. පුග්ගල සප්පාය (සුදුසු පුද්ගලයන් ඇසුර)

5. අජ්ඣාසය සප්පාය (හොඳ අදහස් ඇතිකර ගැනීම)

නිරෝගි මනසකට ජීවත්වන පරිසරයත් යහපත් විය යුතු ය. අත්ථිසුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජසුඛය ඇතිවිට පුද්ගලයා තුළ අසහනය, අතෘප්තිය, ආතතිය වැනි මානසික කැළඹීම් හා ආවේග සමනය වනු ඇත. කෙටියෙන් සඳහන් කරනවා නම් මානසික රෝගවලින් මිදීමේ නිවැරැදි මග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

නිවැරදි මාර්ගයේ ගමන් කරමින් රෝග නිවාරණය සඳහා බුදු දහමේ පිහිට ඔබ අප සියලු දෙනාටම ලැබේවා! තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

 

You might also like
en English
X
X