පවුල් සංස්ථාවට අර්ථවත් බවක් සලසන බුදු දහම
සදාචාර මෙන්ම,සංවර බව පදනම් කරගත් ආචාර විද්‍යාත්මක පසුබිමක් ඇති සමානත්මතාවයට ඉඩක් ලැබෙන අති ධාවනකාරිත්වය අවම කෙරෙන සමාජ දර්ශනයක් ලෙසින් බුදුදහම හඳුන්වාදිය හැකි අතර සමාජයේ සංවරත්වයට මෙන්ම සදාචාරයට මෙන්ම මානුෂිකත්වයේ අගය ද වටහා ගැනීමට අදාළ අවකාශයක් මූර්තිමත් කරන දහමක් ලෙසින් ද තව පැත්තකින් අගය කළ හැකිය. පටු ආකල්ප තුළින් සමාජය ඉදිරියට යන විට එම සමාජය තුළ සදාචාරාත්මක බවට වඩා වෛරය හා ක්‍රෝධය පළිගැනීම වැනි අංශ මතුකෙරෙන පස්පව් දස අකුසලයකට නැඹුරුවන පරිසරයක් නිර්මාණය වීම ද නොවැළැක්විය හැකි කරුණක් වේ. එබඳු තත්ත්වයකින් මානව සමාජය මුදා ගැනීමට නම් මානව සබඳතා ශක්තිමත් කළ යුතුව තිබේ.
මානව සබඳතා ශක්තිමත් කෙරෙන විධි ක්‍රමයක් ලෙසින් බුදුදහම තුළ ඥාතිත්වය පවුල් සබඳතා හා විවාහය අර්ථවත් කරන අතර ඊට අදාළ උපදේශනය ද ලබා දී තිබේ.
ඥාතීත්වය හා විවාහය යනු මානව සම්බන්ධතා ශක්තිමත් කරනු ලබන සමාජගත චර්යාත්මක වැඩ පිළිවෙළකි. පවුල යනු බහු ඥාති සම්බන්ධතා ඇති සමාජ සංස්ථාවක්වන අතර පැතිරුණු මානව ඒකකයක් ලෙසින් ද අර්ථගැන්විය හැකිය. මවුපිය දෙපාර්ශ්වයටම ඥාතීන් විශාල පිරිසක් ඇති අතර එම ඥාතීන් සමඟ නිසි පරිදි සම්බන්ධතා පවත්වා ගනිමින් ඥාති යුතුකම් ද ඉටු කිරීමට සමාජයේ සෑම පුද්ගලයකුම බැදී ඇත.
පුද්ගලයෙකුගේ දියුණුවට එම සම්බන්ධතා අත්‍යවශ්‍ය වේ. තමාගේ දුක සැප දෙකෙහිම දෙමාපියන් හැරුණ කොට සමීපතරයන් ලෙසින් පෙනී සිටින පිරිස වනුයේ එම ඥාති සමූහයාමය. බුදුරජාණන් වහන්සේ විසින් මංගල සූත්‍රයේ දී පුද්ගලයෙකු මංගල්‍යයට නැතහොත් සුබ සිද්ධියට හේතුවනු ලබන එක් කරුණක් ලෙසින් ඥාති සංග්‍රහය (ඤාතකානාං ච සංගහො) පෙන්වා දෙනු ලබයි. ඥාති සම්බන්ධතා බුදුරජාණන් වහන්සේ කෙසේ පැවැත්විය යුතු ද යන්න ප්‍රායෝගික සිය අනුගාමික පිරිසට පැහැදිලි කළ ශාස්තෘන් වහන්සේ නමකි. අංගුත්තර නිකායේ දී පුද්ගලයාට සතු පඤ්ච සම්පත් අතුරින් නෑයන් සිටම (ඥාති සම්පදා) සම්පතක් ලෙසින් හඳුන්වා තිබේ. බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීම නීග්‍රෝධාරාමය පිළිගැනීම රෝහිණී නදියේ දිය දබරය සංසිඳවීම වැනි අවස්ථාවන් දෙස බලන විට ද ඥාතිත්වයට උන්වහන්සේ ප්‍රායෝගිකව කෙතරම් ඉඩක් ලබාදුන්නේ ද යන්න පසක් කරගත හැකිය. (විස්සාසාපරමාඤාති) යනුවෙන් විශ්වාසවන්තයා පරමා ඤාතියා ලෙසින් සැලකිය යුතු අයුරු ද උන්වහන්සේ සිය දේශනාවන් තුළ පැහැදිලි කොට තිබේ.
පවුල වූ කලී සෑම සමාජයක් තුළම විද්‍යමානවන්නා වූ ඥාතිත්වය පෙරදැරි කරගත් මූලික සංස්ථාවකි. එබැවින් සමාජයක මූල ඒකකය ලෙසින් සනිටුහන් වනුයේ පවුල් සංස්ථාව බව කිව හැකිවන අතර සමාජයේ ආරම්භක වූත් ප්‍රාථමික සංස්ථාව ලෙසින් ද සඳහන් කිරීම නිවැරැදිය. වෛවාහික බන්ධනයෙන් හෝ ලේ ඥාතිත්වයෙන් හෝ කෘතිම බන්ධනයෙන් රාශිභූත වූ එක ගෘහයක වෙසෙන ස්වාමියා, බිරිඳ, මව, පියා, දරුවා ,සහෝදර , සහෝදරියන් යනුවෙන් තම තමන්ගේ ආවේණික වූ තත්වයන් යටතේ අන්තර් ක්‍රියා හා අන්තර් සම්බන්ධතා පවත්වමින් පොදු සංස්කෘතියක් නිර්මාණය කරන්නා වූ සමූහය පවුල යනුවෙන් නිර්වචනය කොට ඇත.
ඒ අනුව පවුල යනු මවුපිය හා දරුවන් එක්ව සැකසුන සමාජ ඒකකය වේ. පවුල් සංස්ථාව තුළින් හෙළිදක්වන සමාජය බාහිර සමාජය හා බැෙඳමින් සමාජ සංයුතිය හා එහි ව්‍යුහය මෙන්ම ක්‍රියාකාරිත්වය ද පුළුල් බවට පත් කරයි. එබැවින් පවුල පිළිබඳව හා පවුල පදනම් කරගනිමින් පවුල තුළ උද්ගතවන සුභවාදී හා අසුභවාදී තත්ත්වයන් අවසාන වන්නේ සමාජමය වශයෙන්ද සුභ අසුභ තත්ත්වයනට සාපේක්ෂක සංඝටක රැසක් ඇති කරවමිනි. ඒනිසා සෑම ආගමික සංස්ථාවක්ම පුද්ගලානුබද්ධිත පවුල හා එහි ක්‍රියාකාරිත්වය කෙසේ සකස්විය යුතුද යන්න පිළිබඳව අවධානය යොමු කොට ඇත. පවුල් සංස්ථාව කෙසේ සකස්විය යුතුද යන්න බුදුුරජාණන් වහන්සේ අවධාරණය කරනුයේ යහපත් සමාජයක් ඇතිවීමට නම් පවුල් ඒකකය තුළින් එම පරමාදර්ශය සමාජයට ගලනය විය යුතු බවය. ඒ අනුව පවුල තුළ මව පියා හා දරුවා යන ත්‍රිත්ව බැඳීමත් ඔවුනොවුන් අතර සහජීවන පැවැත්මත් පුද්ගල අභිවෘද්ධියට මෙන්ම සමාජය සදාචාරාත්මක සමාජ ව්‍යුහයක් ගොඩනැංවීම කෙරෙහිද සුවිශේෂ දායකත්වයක් ලැබෙන බව බෞද්ධ චින්තනයට අනුව විවරණය වේ.
බුදු දහමට අනුව පුබ්බාචාරිය, පුබ්බදේව හා ආහුණ්‍යෙ යන ශ්‍රේෂ්ඨ වචනවලින් මව, පියා හඳුන්වා තිබීමෙන් ඒ දෙපළට පූජනීයත්වයක් බුදුදහම තුළින් ආරෝපණය කොට තිබේ. මව පියා යනු ගෙදරක බුදුවරුන් ලෙසින් අර්ථ දැක්වීමෙන් ද පළමුවෙන් මවුපියනට සමාජමය වටිනාකමක් හිමිකර දී ඇත. බුදුරජාණන් වහන්සේ නමකගේ අනුශාසනය අප උත්තරීතර දේශනයන් ලෙසින් පිළිගන්නෙමු. එලෙසින්ම ගෙදර බුද්ධත්වයට පත්වන මවුපිය දෙපළගේ කාරුණික ඔවදන පවුල තුළ සුචරිතවත් දරුවකුට උත්තරීතර අතර සදාචාරාත්මක මාවතේ පළමු අනුශාසනය ද වේ. බුදුවදන සත්‍ය මෙන්ම මවුපියන්ගේ වදන අවවාදය සත්‍ය ලෙසින් පිළිගන්නා ළමයකුගේ හැසිරීම සුමගට මිස නොමඟට නොයන බව පැහැදිලිය. මව පියා යනු සාමාන්‍යත්වයේලා සැලකිය නොහැකි තමාට සමාජීය වගකීමක්ද සුවිශේෂත්වයක්ද පැවැරී ඇති බව මව හා පියාට තේරුම් කරදීමක්ද එම වදන තුළ ගැබ්ව ඇති බව අමතක කළ යුතු නොවේ. එමෙන්ම සමාජයක් යුතුකම් හා අයිතිවාසිකම් ඉටු කිරීම මත ඉදිරියට යන්නේ නම් එසේම පවුල නමැති සංස්ථාවද එම යුතුකම් හා අයිතිවාසිකම් මත ඉදිරියට යාමක් පෙන්වයි.
සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ සිඟාල කුල පුත්‍රයාට මවුපියෝ යනු නැඟෙනහිර දිශාව ලෙසින් පෙන්වා ඇත. එමෙන්ම මව පියා යනු අප මේ ලෝකයට එළි දක්වන්නෝ වෙති. (ඉමස්ස ලොකස්ස දස්සෙතාරො) එමෙන්ම ලෝකය අපට අවබෝධ කරවනුයේ ද උගන්වනුයේද (පුබ්බචාරිය) සියලු සැපත් සම්පාදනයේ මූලය වනුයේ මව හා පියාය. එබැවින් මවුපිය දෙපළ නැඟෙනහිර ලෙස තබා නමස්කාර කළ යුතුය. නැඟෙනහිර දිසාවට පත්වන මවුපියන් පළමුවෙන් සිය දරුවන් වෙනුවෙන් කරුණු පහකින් සංග්‍රහ කළ යුතුව ඇත. එනම් 1. සිය දරුවන් පවින් වැළකිය යුතුය. 2. යහපතෙහි පිහිටවනු ලැබිය යුතුය. 3. ශිල්ප ශාස්ත්‍ර ඉගැන්විය යුතුය. 4. සුදුසුකල්හි ආවාහ විවාහ කටයුතු කර දිය යුතුය. 5. නිසි කල දායාද පවරා දිය යුතුය. මෙලෙසින් දරුවන් හදන වඩන දෙමාපියන් වෙතින් සිය දරුවන් වෙත මෙම සදාචාරාත්මක කරුණු පහ තුළින් සංග්‍රහ දැක්වීමෙන් පවුලක් තුළ සහජීවන පැවැත්ම ශක්තිමත් වේ.
එමෙන්ම දරුවන් විසින් ද සිය මවුපියන් වෙත ඉටුකළ යුතුවන යුතුකම් පාර්ශ්වයක්ද සිඟාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. එනම් 1.දරුවන් විසින් සිය මවුපියන් පෝෂණය කළ යුතුය. 2.ඔවුන්ගේ කාර්යයන් ඉටුකළ කළ යුතුය. 3.කුල පරපුර රැකිය යුතුය.4. දායාද නිසිපරිදි පරිහරණය කළ යුතුය. 5.මාපියන් පරලොව ගිය පසු පින් අනුමෝදන් කළ යුතුව ඇත.
ධර්මයේ පිහිටෙන් ඔබේ ජීවිතය යහපත් මගක ගමන් කරන්නට අවැසි සියලු ආශීර්වාදය න් ලැබේවා…..
තෙරුවන් සරණයි 🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood