ආශාවත් අනිත්‍යයයි
ඔබේ හිතේ ඇතිවෙන ආශාවන් අනිත්‍යයයි. හොඳට බලන්න හිතලා ඔබ ඉස්සර ආස කරපුවට දැන් ආස කරන්නෙ නෑනෙ. දැන් ආස නො කරන ඒවට ඉස්සර ආසා කළා. අනාගතයේ ඔබ මොනවට ආසා කරයිද දන්නෙ නෑ. අනාගතයේ දී ඔබ ආසාකරපු මොනතරම් දේවල් අතහරියිද දන්නෙ නෑ. මේ නිසා ආසාව කියන එක වෙනස් වෙලා යන එකක්. අනිත්‍ය වූ දෙයක්. මේ අනිත්‍ය වූ දෙය අනිත්‍ය වූ දෙයක්මයි කියල ඔබ ශ‍්‍රද්ධාව පිහිටුවා ගත්තු ගමන් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තු ඒ කෙනාට කියනව ශ‍්‍රද්ධානුසාරී කියල. බුදුරජාණන් වහන්සේ වදාළා අන්න ඒ ශ‍්‍රද්ධානුසාරී කෙනා ශ‍්‍රද්ධාව මුල්කරගෙන තවදුරටත් ඒ විදර්ශනා ප‍්‍රඥාව තුළ බැසගන්නට මහන්සි ගන්නවා කියල. බැසගන්න කොට ඒ කෙනාට කියනවා ධම්මානුසාරී කියල. අන්න ඒ ධම්මානුසාරී කෙනා තවදුරටත් ඒ ධර්ම මාර්ගය දියුණු කරනව. එතකොට ශ‍්‍රද්ධානුසාරී, ධම්මානුසාරී කියල දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම අයිති වෙන්නේ සෝවාන් මාර්ගය වඩන ශ‍්‍රාවකයෝ හැටියටයි.
මේ ඒ ශ‍්‍රාවකයා…
මේ සෝවාන් මාර්ගය වඩන කෙනාට ඒ ධර්ම මාර්ගය දිගටම දියුණු කරගෙන ගියොත් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා. යම් දවසක ඒ ධර්මය දියුණු වීම තුළ, විදර්ශනා ප‍්‍රඥාව දියුණු වීම තුළ, අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම තමන්ට අවබෝධ වීම තුළ, මේ ඔක්කොම හේතූන් නිසා හටගන්නා ඵල ධර්මයන්. හේතු නැතිවීමෙන් නැතිවී යන ස්වභාවයෙන් යුක්තයි කියල.
මෙන්න මේ අවබෝධය එන්නේ ආර්ය සත්‍යය අවබෝධය ඉලක්ක කරගෙනයි. අන්න ඒ කෙනාට කියනව සම්මා දිට්ඨියට පැමිණි ශ‍්‍රාවකයා කියල. අන්න ඒ කෙනාට කියනව ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගත්තු ශ‍්‍රාවකයා කියල. අන්න ඒ කෙනාට කියනව ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච ශ‍්‍රාවකයා කියල. අන්න ඒ කෙනාට කියනව ආර්ය දර්ශනයෙන් සමන්විත වූ ශ‍්‍රාවකයා කියල. අන්න ඒ කෙනාට කියනවා දහම් සැඩ පහරට පැමිණිච්ච ශ‍්‍රාවකයා කියල. අන්න ඒ කෙනාට කියනවා අමා නිවන් දොරේ හැපී සිටින ශ‍්‍රාවකයා කියල.
බැඳෙන්නෙ නැතිව යනවා…
ඉතින් මේ ශ‍්‍රාවකත්වය මේ දක්වා දියුණු කරගන්න පුළුවන් වෙන්නෙ මේ සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගැනීමෙන්. එතකොට ආයතන භාවනාව තුළ මනාකොට සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනා තමන් නොදැනීම ඉන්ද්‍රිය සංවරය ඇතිවෙනවා. මොකද මේ හැම ආයතනයක් ම අනිත්‍යයි කියල බලද්දි ( ආධ්‍යාත්මික ආයතන හය : ඇස, කණ, නාසය, දිව, කය, මනස), ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු මේවා අනිත්‍යයි කියල නුවණින් විමසලා බලද්දි තමයි මේකට බැඳෙන්නෙ නැත්තෙ.
බැඳිච්ච ගමන් පටිච්ච සමුප්පාදය හැදෙනවා. හැදෙන්නෙ කොහොමද? ආයතන හය නිසා ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය නිසා විඳීම ඇතිවෙනවා. විඳීම නිසා ඇලීම ඇතිවෙනවා. ඇලීම නිසා බැඳෙනවා. බැඳෙන නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. විපාක පිණිස කර්ම හැදෙන නිසා උපදිනවා. මෙන්න මේ පටිච්ච සමුප්පාදය ආයතන තුළින් හැදෙන හැටි අවබෝධ කරගන්නවා.
තමා තුළත් – අනුන් තුළත් තියෙන්නෙ අනිත්‍යයක්
අන්න ඒ නිසා ඒ බන්ධනය ඇති නොවීම පිණිස, සංයෝජනය ඇති නොවීම පිණිස, කෙළෙස් ඇති නොවීම පිණිස ඒ කෙනා මනාකොට සිහිය පිහිටුවලා ඒක විදර්ශනා වශයෙන් වඩනවා. තමා තුළ තියෙනවා නම් යම් ආකාරයේ අනිත්‍ය වූ ආයතන හයක්, තමාගෙන් බාහිර යම් තාක් ලෝක ඇද්ද, තමාගෙන් බාහිර යම්තාක් ජනතාවක් ඇද්ද, තමාගෙන් බාහිර යම් සත්ව කොට්ඨාශයක් ඇද්ද, ඒ සියලූම සත්වයන් තුළ ඇත්තේ අනිත්‍ය වූ ආයතන හයක්.
ඊළඟට තමාගෙන් බාහිර යම්තාක් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඇද්ද ඒ සියල්ල අනිත්‍ය වූ දේවල් ය කියල තමා තුළත් දකිනවා. අනුන් තුළත් දකිනවා. එතකොට තමා තුළත් සිත පිහිටන්නෙ නෑ. තමාගෙන් බාහිරවත් සිත පිහිටන්නෙ නෑ.
අන්න එහෙම නුවණින් විමසන කොට (යථා ච උප්පනං සංයෝජනස්ස පහානං හෝති, තඤ්ච පජානාති) මේ හටගත්තා වූ බන්ධනය යම් ආකාරයකින්ද නැතිවන්නේ, ඒක එයා දන්නවා. ඉතින් මේ බන්ධනය නැතිවන්නේ යෝනිසෝ මනසිකාරයේ යෙදීමෙන්. යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා කියල කියන්නේ බුදුරජාණන් වහන්සේ කියා දීපු පිළිවෙලට අපේ චින්තනය, නුවණ, ප‍්‍රඥාව හැසිරවීම.
නිවනින් ඈත්වුණා…
මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ දිගින් දිගටම යෙදෙන කොට තමයි එයාට නිදහස් විදිහට හිතන්න පුළුවන්කම ඇතිවෙන්නෙ. අන්න ඒ නිදහස් විදිහට හිතන්න පුළුවන්කමින් තමයි මේක වෙන්නෙ. නැත්නම් වෙන්නෙ බැඳෙන එක. (රූපං දිස්වා සතිමුට්ඨා) රූපයක් දැකල සිහි මුලාවෙනවා. (පිය නිමිත්තං මනසිකරෝතෝ) ප‍්‍රිය අරමුණු සිහිකරන්නට පටන් ගන්නවා. (සාරත්ථ චිත්තෝ වේදේති) ඇලූණු සිතින් විඳින්නට පටන්ගන්නවා. (තඤ්ච අජ්ඣෝසාය තිට්ඨති) ඒකෙ හිත බැසගන්නවා. (තස්ස වඞ්ඪන්ති වේදනා අනේකා රූප සම්භවා) එතකොට රූපයෙන් හටගන්න නොයෙක් විඳීම් හටගන්නවා. ආසාවත් වෙහෙසත් විසින් මේ සිත පෙළන්නට පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට දුක රැස්කරද්දී නිවනින් ඈත් වුණා කියනවා.
එහෙනම් මේ සාමාන්‍ය ජීවන රටාව තුළ තියෙන්නේ නිවනට ළං වෙන එකක් නෙවෙයි. නිවනින් ඈත්වෙලා යන එකක්. නිවනින් බැහැර වෙන එකක්. නිවනට අයිති නැති එකක් තමයි මේ ජීවිතය තුළ හැදෙන්නෙ. ඒ නිසා මේ ජීවිතයක් තුළ හැදෙන දේට ඉඩදීලා, දුක් නැති ජීවිතයක් බලාපොරොත්තු වීම සිහිනයක් පැතීමක්. ඒක කවදාවත් සාක්ෂාත් කරන්නට පුළුවන් එකක් නෙවෙයි. මේ නිසා මේ ජීවිතය යම් ආකාරයකින් අවබෝධ කරගන්නවද, ඒ කෙනා පැහැදිලිව මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන අනිත්‍ය වශයෙන් වැඞීම පිණිස සිහිය පිහිටුවා ගත යුතුයි.
සියල්ලෙන්ම නිදහස් වෙන්න….
ඒ නිසා මේ ආයතන හය තුළ මනා කොට සිහිය පිහිටුවා ගැනීමේදී එයා දකිනවා අනිත්‍ය වූ ආයතන හයක්. ඇතිවීම නැතිවීම දකිනවා. ඒවා කිසිවක් මම කියල ගන්නෙ නෑ. මගේ කියල ගන්නෙ නෑ. මාගේ ආත්මය කියල සලකන්නෙ නෑ. එයා මේකෙන් නිදහස් වීමක්මයි සකස් කරන්නෙ. ඒ නිසා එයා ඒකෙන් නිදහස් වෙනවා. ඒ නිසා එයා ඇසින් නිදහස් වෙනවා. කණින් නිදහස් වෙනවා. නාසයෙන් නිදහස් වෙනවා. දිවෙන් නිදහස් වෙනවා. කයෙන් නිදහස් වෙනවා. මනසින් නිදහස් වෙනවා. මෙලොවෙන් නිදහස් වෙනවා. පරලොවෙන් නිදහස් වෙනවා. සියලූම දෙයින් නිදහස් වෙනවා. අන්න එයා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තු ශ‍්‍රාවකයා වෙන්නෙ.
ඔබට තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood