ලොව බොහෝ රටවල් දියුණුවට පත්වීමේ රහස වුයේ නීතිගරුක වීමයි. ඒ නීති ගරුක බව නිසා ම ආචාර සම්පන්න බව ද ඔවුන් තුළ පවතින ලක්ෂණයකි. බුදුදහම තුළ ද නීතියක් හෙවත් විනයක් මුලික වශයෙන් දක්නට ලැබෙයි. ගිහියන්ගේ යහපැවැත්ම උදෙසා ගිහි විනය ද, පැවිද්දන්ගේ ශික්ෂණය සඳහා පැවිදි විනය ද උගන්වයි. බුදුදහමේ මුල් අවධියේ එවැනි විනය පැනවීමක් නොතිබුණි. කල් යත්ම විවිධ පුද්ගලයන්ගේ සසුන්ගත වීම භික්ෂු ජිවිතයට පටහැනි ව කටයුතු කිරීම, ස්වයං විනයෙන් බැහැර වීම ආදී කරුණු නිසා ශික්ෂා පද පැනවීම සිදුවිය. ඒ තුළින් අපෙක්ෂා කළේ පුද්ගලයන්ගේ අභ්‍යන්තර ශික්ෂණය ඇති කිරීම, දුටුවන් පහදවන බාහිර ඇවතුම් පැවතුම් ඇති කිරීම සහ සමාජයේ සාමුහික යහපැවැත්ම පහසු කිරීම වැනි දේ ය.
තථාගතයාණන් වහන්සේ ලොව පහළ ව කරනු ලබන අනුශාසනාව වන්නේ,
■ සියලු පාපයන්ගෙන් වැළකීම,
■ කුසල් උපදවා ගැනීම සහ
■ සිත මනා කොට දමනය කිරීම. සඳහා පුද්ගලයා යොමු කළ යුතු බවයි. ඒ තුළින් ජිවිතයේ අවසාන ඵලය හෙවත් විමුක්තිය කරා යොමු කිරීමක් සිදු වේ. ඒ අනුව පුද්ගලයා අනුගමනය කළ යුතු සදාචාරාත්මක ප්‍රතිපදාවක් ඇත. එහි පළමු පියවර වන්නේ සීලය යි. දෙවන පියවර සමාධිය යි. තෙවන පියවර ප්‍රඥාව යි. මේවා මෙම අනුපිළිවෙලින් අනුගමනය කළ යුතු ය. ඒ නිසා ම මේවා අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බකිරියා, අනුපුබ්බපටිපදා වශයෙන් දැක්වේ. අනුපුබ්බ සික්ඛා තුළින් පුද්ගලයාගේ කායික, මානසික සංවරය මෙන් ම තමන්ගේ දැහැමි දිවි පැවැත්ම ද අපේක්ෂා කරයි. මේ අනුව සීලය යනු සංවරය යි. නැතිනම් හික්මවා ගැනීම යි. ආර්ය මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය අයත් වන්නේ ශිල ශික්ෂාවට යි. කය, වචනය හා දිවිපැවැත්ම හික්මවා ගත් තැනැත්තාගේ සිත සංවර කර ගැනීම විවිධ සමාධි ශික්ෂාවෙන් සිදු වේ. විවිධ අරමුණු කරා විසිරී පවතින සිත එකම අරමුණක පිහිටුවා ගැනීම සමාධියෙන් සිදු වේ. ආර්ය මාර්ගයේ සම්මාවායාම, සම්මාසති යන අංග අයත් වන්නේ සමාධියට යි. විසිරුණු සිත එකම අරමුණක් කරා තබා ගත් විට ලොව ඇති තතු ඇති ආකාරයෙන් දැකීමේ නුවණ පහළ වේ. එය ප්‍රඥාව නමින් හඳුන්වයි. ආර්ය මාර්ගයේ සම්මා දිට්ඨි’, සම්මා සංකප්ප අයත් වන්නේ, ප්‍රඥාවට යි. සම්මා දිට්ඨිය යනු, යහපත් දැක්මයි. ඒ දැක්ම නම් දුක පිළිබඳ පිරිසිදු දැන ගැනිම, දුකට හේතුව වු තණ්හාව පිළිබඳ පිරිසිදු දැන ගැනීම, තණ්හාව නැති කළ විට දුකින් මිදීම නම් නිවන අවබෝධ කර ගැනීම පිළිබඳ පිරිසිදු දැන ගැනිම, නිවන් අවබෝධ කර ගැනීමට මඟ (අරි අටැඟි මඟ) පිළිබඳ පිරිසිදු දැනීම ප්‍රඥාවෙන්, නැති නම් ශික්ෂණයෙන් සිදු වේ. ඒ සමඟ ම ඇති වන යහපත් සිතිවිලි නම්, අත්හැරිමේ සිතුවිලි, මෛත්‍රි සහගත සිතිවිලි හා අවිහිංසා සහගත සිතිවිලි වේ. මෙය බුදුසමයේ ඉගැන්වෙන පුද්ගලයා ශික්ෂණයට පත් කරන ක්‍රමවේදය යි. සීල, සමාධි, ප්‍රඥා ත්‍රිවිධ ශික්ෂා නමින් හඳුන්වයි.
මෙහි ලා අපගේ අවධානයට ලක් විය යුත්තේ ශීල ශික්ෂණය යි. ජීවිතයේ අවසාන ඵලය වු නිවන හෙවත් විමුක්තිය ලබා ගැනීම සඳහා ඒ ඒ පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු, පුරුදු පුහුණු කළ යුතු සදාචාරාත්මක ක්‍රියා පිළිවෙළ ශිලය ලෙස හඳුන්වා දිය හැකි ය. ප්‍රඥාව ඇති කර ගැනීමට මුල් වන්නේ ශිලය නැමැති අත්තිවාරම යි. (සීලේපතිට්ඨාය නරෝසපඤ්ඤ්ඤෝ) ඒ අත්තිවාරම සවි ශක්තිමත් වන තරමට සමාධි, ප්‍රඥාව ගොඩනැඟිමට පහසු වේ. අත්තිවාරම සවි ශක්තිමත් නොවන විට ගොඩනඟන දේ බිඳ වැටීම සිදු වේ. එබැවින් නිවන අපේක්ෂා කරන්නා තුළ ශිලය ශක්තිමත් ලෙස ගොඩනඟා ගත යුතු ය. ශිලය හෙවත් සංවරය හෝ හික්මීම හෝ ඇති කර ගැනීමට මුලික වන ධර්මතා දෙකක් දහමෙහි දැක්වෙයි. ඒවා ලෝකපාලක දේවධර්ම ලෙස දහමෙහි ඉගැන්වේ.
ඒ ලෝකපාලක ධර්ම නම් හිරි (පවට ඇති ලජ්ජාව) හා ඔතප් (පවට ඇති බියයි) නම් වේ. මෙහි අහිරික ලෙස අරුත් ගන්වා ඇත්තේ මෙසේ ය.
“න හිරීයති කායදුච්චරිතාදීනි, න ලජ්ජති, න ජිගුච්ඡතීති අහිරිකෝ” යනුවෙනි. එනම් යම් ස්වභාව ගතියක් තොමෝ කාය දුශ්චරිතාදියෙන් ලජ්ජිත නොවේ ද, කාය දුශ්චරිතාදිය පිළිකුල් නොකෙරේ ද ඒ ගතිය අභිරික නම් වේ. එනම් පව්කම් කිරීමේ ලජ්ජා නැති බව අහිරිකය නම් වේ. එවැනි අයෙක් උපමා කොට ඇත්තේ අශුචියෙහි පිළිකුල් නැති ගම් ඌරකු මෙන්, පව් කිරීමට පිළිකුල් නැති කෙනකු ලෙස යි. එවැනි අයෙක් සතුන් මැරීම, සොරකම් කිරීම, කාමමිත්‍යාචාරයේ හැසිරීම, බොරු කීම, කේලාම් කීම, පරොස් බස් බිනීම, නිසරු බස් බිනීම, රහමෙර පානය කිරීම ආදී අකුසල් කරයි නම්, එසේ කිරීම පහත් කුලවල අයගේ වැඩැකැයි තමන්ගේ ජාති මහත්ත්වය හා කුලවත් බව සැලකීමෙන් මෙන් ම, පව්කම් කිරීම කොලු කෙල්ලන්ගේ, වැඩෙන උගත්කමක් නැති අඳ බාලයන්ගේ වැඩෙකැයි, නුවණැති මිනිසුන්ගේ වැඩක් නොවේ යැයි නුවණැත්තා තේරුම් ගනියි. එබැවින් මා වැනි මෝරා ගිය නුවණක් ඇති, මෝරා ගිය වයසක් ඇති මිනිසුන් විසින් පව්කම් කිරීම සුදුසු නැතැයි ඔවුන් තේරුම් ගන්නා අතර, තමන්ගේ තරුණ වයස ගැන සැලකීමෙන් හා පව්කම් කිරීම හැම තැන දී ම පසුබහිනා, කිසිත් කරගත නොහැකි වු දුබල වු මිනිසුන්ගේ ක්‍රියාවක් බව නුවණැත්තා තේරුම් ගනියිී. එබැවින් පව්කම් කිරීම මා වැනි දක්ෂ වු, මිනිසුන් කරන ක්‍රියාවක් නොවේ ය, මෙලොව පරලොව නොදකින්නේ අඳ බාලයන් ය, එය නුවණැති ඇසු පිරූ අයගේ ක්‍රියා නොවේ, එබැවින් මා වැනි බහුශ්‍රැත වු අය, පව්කම් කිරීම සුදුසු නොවේ ය යි සිතයි. මෙසේ ද තම ආත්ම ගෞරවයට කැළලක් වේ දෝ යි ඇතිවෙන ලජ්ජා ස්වභාවය අජ්ඣත්ත සමුට්ඨාන නැති නම් හිරි නමින් හැඳින්වේ. මම සැදැහැයෙන් පැවිදි වු, බොහෝ ඇසු පිරු තැන් ඇති, ධුතාංග ආදි ගුණාදිය රකින කෙනෙකි. මෙසේ සිතා මතා අධිපති කොට ගන්නහුට උපදිනා ලජ්ජාව අත්තාධිපතෙය්‍ය හිරි නම් වේ. සැදැහැති කුල පුත්‍රයා තමා අධිපති කොට අකුසලය දුරු කරයි. කුසලය වඩයි. වරද දුරලයි. නිවැරැදි දේ ම කරයි. පිරිසුදු සිතින්ම ජීවිතය ගත කරයි. මෙය තමාගේ තත්ත්වය තුළ පවට ලජ්ජාවීමේ ස්වභාවය යි.
මීළඟ උපදවා ගත යුතු ලජ්ජාව නම් ලජ්ජාසභාව පණ්ඩිත හිරියයි. එනම් එළිමහන් තැන්වල මළ මුත්‍රා පහකරන්නෙක් එහි දී ලජ්ජා විය යුත්තකු දැක ලජ්ජා වන්නේ යම් සේ ද එසේ ලජ්ජා ස්වභාවයට පැමිණ පව්කම් නොකර සිටීම මෙයින් අදහස් කරයි. එසේ ම ජාති මහත්වය, ශාසන මහත්වය, දායක මහත්වය, දායාද මහත්වය, බ්‍රහ්මචාරි මහත්වය යන කරුණු සිහි කොට පව්කමින් වළකින්නාට උපදනා ලජ්ජාව සප්පතිස්සවලක්ඛණ හිරි නමින් හඳුන්වයි. තව දුරටත් මෙය පැහැදිලි කරන්නේ නම්, අදහන ආගමේ ශාස්තෘවරයාගේ උසස් ගුණය, තම දෙමාපියන්ගේ වැදගත්කම, තම ගුරුවරයාගේ ගරු කටයුතු බව ආදිය තම නුවණින් සලකා බලා වැරැදි දේ මා විසින් කළ හොත් ඒ උත්තමයින්ට මෙන් ම තමාට ද මදිකමක් යැයි දත යුතු ය. මෙසේ සිතා පවින් වැළකීම සිදු වන්නේ පවට ඇති ලජ්ජාව නිසා ය. මෙය කාගෙවත් බලපෑමකින් තොර ව නොව තම අභ්‍යන්තරයෙන් ම පැන නැඟිය යුතු ය.
මීළගට පව්කම් කිරීමට ඇති බිය ඔත්තප්ප නම් වේ. කාය දුසිරිත් කරණ කොට ඇතිවන බිය මෙයින් අදහස් කරයි. පව්කම් කරන්නා සිව් පිරිසේම ගැරහීමට ලක්වෙයි. නගරවාසීහු අශුචිය පිලිකුල් කරන්නාක් මෙන් ම පව්කම් කරන්නා ද පිළිකුල් කරති. ගර්හාවට ලක් කරති. සිල්වතුන් වැදගතුන් කිසිවිටෙක පාපය අනුමත නොකරති. මෙසේ පිටතින් පැමිණෙන ගැරහුම්, නින්දා දැක සිතෙහි ඇතිවෙන බිය බනිද්ධා සමුට්ඨාන ඔත්තප්ප නම් වේ. ලෝකය ඉමහත් ය. එහි සෘද්ධිමතුන්, දිවැස් ඇති, පරසිත් දක්නා මහණ බමුණෝ සහ දෙවියෝ වෙති. ඒ හැම කෙනෙක් ම පැවිදි හෝ වේවා, ගිහි හෝ වේවා ගත කරන ජිවිතය ගැන දනිති. එබැවින් මා විසින් පව්කම් නොකළ යුතු ය. අකුසල් අත්හළ යුතු ය. පිරිසුදු දිවි පෙවෙතක් ගත කළ යුතු යැයි නිරන්තරයෙන් සිතයි. මෙසේ ලෝකයා ආදර්ශයට ගෙන පව්කම් කිරීම පිළිබඳ සිතෙහි ඇතිවන බිය ලෝකාධිපත්‍යෙය ඔත්තප්ප නමින් හඳුන්වයි. පව්කම් කරන්නවුන්ට සතර අපාය ගෙයක් බඳු ය. මන්ද පව්කම් කරන්නවුන්ට මරණින් මතු ඒකාන්තයෙන් ම අපායෙහි ඉපදීමට හේතු වේ. එහි උපන්නවුන්ට යමපල්ලන් විසින් කරනු ලබන අනේක විධ වධයන් ට යටත් විය යුතු ය. එබැවින් කිසි විටෙක මා විසින් පාප කර්ම නොකළ යුතුයැ යි මෙසේ ඇතිවන බිය භයසභාවපණ්ඩිත ඔත්තප්ප නම් වේ.
මම කය, වචන, මනස යන තිදොරින් පව්කම් කරන්නේ නම්, මට අන් අය ගරහා නොසිටිත් ද? දොස් නොකියද්ද? දෙතිස් වධයන්ට ලක් නොවෙද් ද? මරණින් මතු අපායෙහි ඉපිද දුක් විඳීමට නොසිදු වෙද්ද? ඒකාන්තයෙන් ම මේ නිසා ඇතිවෙන බිය වජ්ජාභිරුකභයදස්සාවි ලක්ඛණ ඔත්තප්ප නමින් හැඳින්වේ. මෙසේ ලෝක පාලක ධර්මය නම් වු විලි බිය යමෙකුට නැත්තේ නම්, ඔහු වැදු මව ගැන, සුළු මව ගැන, නැන්දනිය ගැන, සෙහොයුරිය ගැන, මැහැල්ල ගැන තැකීමක් සැලකිල්ලක් නොකොට එළු බැටලුවන් සේ, කුකුළු ඌරන් සේ, බලු සිවලුන් සේ, ගෙරි හරකුන් සේ, වරදවා හැසිරෙයි. වත්මන් සමාජය දෙස බැලීමේ දී අද ලැජ්ජා බිය තුරන් වු යුගයක් ලෙස දැක්වීම නිවැරැදි ය. අද මිනිස් සිතුිවිලි වෙනුවට පහළ වි ඇත්තේ මෘග සංඥාවෝ යි. මෘග සතුන් හැම විට ම කාම සංඥා බහුල කොට ඇති පිරිසකි. ඔවුනට ධර්ම සංඥාවක් කෙසේවත් පහළ නොවේ. කාම ගෝචර, මරණ යන සංඥා තුන ම තිරිසනුන් තුළ පවතින දේ ය. මරණ බිය දැක කාම සේවනය කරති. කිසි කලෙකත් මඟ ඵල ලබන්නට නොහැකි හෙයින් පහතට නැමුණු කාමයෙන් හා බියෙන් තැවෙන නිසා ම තිරච්ඡාන නම් ලබති. මිනිස් වෙසින් පෙනී සිටින මිනිස්සු ද තිරිසනුන් මෙන් හැසිරෙති. තිරිසනුන්ට ලජ්ජා බිය කියා දෙයක් නැත. ඒ නිසා ඔවුන් නග්න ව සිටිති. පිරිස් මැද කාම සේවනයේ යෙදෙති. අද ඇතැම් ස්ත්‍රි පුරුෂයෝ ද ලජ්ජා බිය දෙකින් තොරව වාසය කරති. මහජනයා රැස්වෙන තැන්හි නග්න ව නටති. අඳින ඇඳුම, වැසිය යුතු තැන් විවර වෙන ලෙස අඳිති. මහ මඟ, බස් රථය, උයන් වතුවල කොපමණ ජනයා ගැවසුනත් ඔවුනට වගේ වගක් නැත. කාමයෙන් අන්ධ ව හැසිරෙති. අද ඒ නිසා ම සමාජ ශෝධකයන් වෙනුවට ඇත්තේ සමාජ දුෂකයින් ය. කුලපරම්පරා නාශකයෝ ය. ගුණධර්ම මායිම් නොකරන්නෝ ය. විලිබිය නැති, ජඩකම් කොට සතුටු වන්නෝ බොහෝ ය. අසද්ධර්මය වෙනුවෙන්, දුරාචාරය වෙනුවෙන් තුති පැසසුම් කරන්නෝ, තෑගිබෝග පිරිනමන්නෝ බොහෝ වෙති. ශුර වු කවුඩු තෙමේ ගෙවල පිළියෙල කොට ඇති කැඳ, බත් ආදිය කෑමට කැමැති ව බිත්ති අටලු, ගස් අතුවල රැදී සිට ප්‍රමාදයක් දැක හොරා කන්නාක් මෙන් මහජන දේපළ කිසිම හිරිකිතයක් නැති ව හොරා කති. අල්ලස, දුෂණය, වංචාව ඉහළ සිට පහළ නිලය දක්වා ම යෙදී සිටිති. තම කුසින් බිහිකළ කිරිකැටියා කුණු බක්කිවලට විසිකරන, උපන් දරුවාගේ ගෙල සිරකරන මව්වරු මෙන් පෙනී සිටින යක්ෂණියෝ සිටිති. දරුවන්ගේ ආරක්ෂකයෝ ලෙස පෙනී සිටින පියාගෙන් දරුවන් දුෂණය වේ. සීයාගෙන් මිනිබිරිය දුෂණය වෙයි. මෙවැනි සිදුවිම් අඩුවීම වෙනුවට වර්ධනය වීම සංවේගයට කරුණකි. ඉදිරි සමාජය ලජ්ජා නැති සමාජයක් විමේ පෙර නිමිති ඕනෑතරම් දැකිය හැකි ය.
මෙයට සුදුසු උදාහරණය නම් කොසොල් රජු දුටු සිහින දහස යයි. එය වත්මනෙහි ජීවත්වන සෑම දෙනා ම දැන ගත යුතු ම කරුණකි. ඒ සිහින දහසය වගුවකින් මෙසේ පෙන්වා දිය හැකි ය.
දුටු සිහිනය 01– යුධයට සතර පැත්තෙන් ආ කළු ගොන්නු සතර දෙනෙක් සෙනඟ රැස් වු පසු සටන් කරන බව දන්වා මහා හඬින් තප්පුලමින් යුද්ධ නොකොට දිව යාම.
අනාගතයේ සිදුවීම– අධර්මිෂ්ඨ රජවරුන් හා ජනතාව බහුල වන විට කුසල් වෙනුවට අකුසල් ඉස්මතු වීම. වැසි නැති ව දුර්භීක්ෂ ඇතිවීම. වැසි වසින්නට ලකුණු පහළ වුවත්, ගොරවමින් විදුලි කෙටුවත් වැසි නොවැසීම.
දුටු සිහිනය 02- මහ පොළොවෙන් වියතක් තරම් නොවැඩුණු ගස්වල ගෙඩි, මල් හට ගැනිම.
අනාගතයේ සිදුවීම– අඩු ආයුෂ ඇති, විවාපත් වන දැරියෝ ගැබ් ගැනීම, දරුවන් වැදීම.
දුටු සිහිනය 03– එදා උපන් වසු පැටවුන්ගෙන් දෙනුන් කිරි බීම.
අනාගතයේ සිදුවීම– කුල දෙටුවන් පිදීම, දෙමාපියන්ට ගරු කිරීම, නැදිමයිලනුවන්ට ගරු කිරීම නැති වී තමා ම විවාහ කටයුතු කරති. දෙමව්පියන්ට ආහාර, ඇඳුම් පැළඳුම් නොදී තම තමන් ජීවත් වීම. දෙමාපියන් අසරණ ව, අනාථ ව ජීවත් වීම. දරුවන්ගේ අණ පරිදි ජීවත් වීමට සිදුවීම.
දුටු සිහිනය 04– ආරෝහ පරිණාහයෙන් යුතු ගොන් බෝ රථයේ අගට යොදා, බර ඇදගත නොහැකි තරුණ ගොන් නාම්බෝ මුලට යෙදීම.
අනාගතයේ සිදුවීම– අදමිටු රජුන්ගේ කාලයෙහි නුවණැති පරපුර, දැනීමෙහි සමත් අය ඒ කටයුතුවලට නොයොදා, යස පිරිවර නොදී, ධර්මාධිකරණයෙහි නොයොදා, යුක්තිය අයුක්තිය නොදන්නා බාලයෝ යෙදීම. පැරැණි අය මේ නිසා කම්පාවට පත්වීම, නවකයෝ නොදැනුවත්ක ම නිසා එය දරා ගැනීමට නොහැකි ව පසුබැසීම.
දුටු සිහිනය 05– දෙපැත්තට කටවල් දෙකක් ඇති කටවල් දෙකෙන් ම තණ කන අශ්වයකු දැකීම.
අනාගතයේ සිදුවීම– අධාර්මික රජවරුන්ගේ පහළ වීමත් සමඟ ම අධාර්මික විනිසුරුවන් පත් කිරීම. කුසල් අකුසල් නොදන්නා විනිසුරුවෝ විත්තිකරුවන්ගෙන් මෙන් ම, පැමිණිලිකරුවන්ගෙන් ද අල්ලස් ගැනීම.
දුටු සිහිනය 06– ලක්ෂයක් අගනා රන් තලියක් මුත්‍රා කරන ලෙස තබයි. මහලු ජරා සිවලෙක් එහි මුත්‍රා කිරීම.
අනාගතයේ සිදුවීම– ජාති සම්පන්න නොවන අදමිටු රජවරු මතු උගත් ්සුදුස්සන්ට මොවුනගෙන් අනතුරු පැමිණෙතැයි, සැකයෙන් යස සැප නොදෙයි. නූගතුන්ට, අධමයන්ට සලකයි. උගතුන් ජීවත් වීමට නොහැකි ව විදේශ ගත වීම.
දුටු සිහිනය 07– එක් මිනිසෙක් වර පටින් ලණුවක් අඹර අඹරා පාමුල දමයි. පුටුව යට උන් සිවල් දෙනක් හොර රහසේ වර මන්ද කා දැමීම.
අනාගතයේ සිදුවීම– අනාගතයේ දී ස්ත්රීහූ පුරුෂයන් කෙරෙහි අලංකාරයෙන් අවෙලාවෙහි වීදි සංචාරයට ලොල් වීම, සැමියන් දුක සේ හම්බ කරන දේ සොර සැමියන් සමඟ කමින් බොමින් ජීවත් වෙයි.
දුටු සිහිනය 08- මාලිගා දොරකඩ බොහෝ හිස් කළගෙඩි මැද එක පිරුණු කළයක් ඇත. හැම පැත්තෙන් ම වතුර ගෙනවුත් පිරුණු කළයට පුරවති. හිස් කළගෙඩි නොපුරවති. පිරුණු කළයම පුරවති.
අනාගතයේ සිදුවීම– අනාගතයේ ලොව පිරිහීමත් සමඟ ම රට ධජස් රහිත වෙයි. රජවරු දුප්පත් වෙති. දුප්පත් රජවරු සිටිය දී පොහොසත් රජවරුන්ගේ භාණ්ඩාගාරයට ම තවත් කහවනු පුරවති.
දුටු සිහිනය 09– පස් පියුම් පිපුණ, වටේට ම තොට ඇති පොකුණක් දුටුමි. දෙපා, සිව්පා සත්තු පැන් බොති. පොකුණ මැද ගැඹුරු ම තැන බොරවී ඇත. සතුන් පාගන තැන, වතුර බොන තැන පිරිසුදුව පවතී.
අනාගතයේ සිදුවීම- රජවරු අදැහැමි වෙති. සතර අගතියෙන් රට කරවති. දැහැමි විනිශ්චයක් නැත. අල්ලස මුලට ගනියි. ජනතාව කෙරෙහි ඉවසීම, මෛත්‍රිය නැත. තලා පෙළා අය බදු ගනිති. අයබදු ගෙවීමට නොහැකි අය ගමට යති. මධ්‍යම ජනපදය මිනිසුන්ගෙන් හිස් වෙති. පොකුණ මැද දිය කැළඹි තෙර ප්‍රසන්න ව පවත්නාක් මෙනි.
දුටු සිහිනය 10– එකම සැළියේ බත් කොටසක් බෙරියි. කොටසක් බාගෙට තැම්බී ඇත. කොටසක් සහල් ය. එලෙසින් බත් සැළිය තුන් ආකාරයකට ඉදෙනු දැකීම.
අනාගතයේ සිදුවීම- අනාගතයේ පහළවන රජවරු අදැහැමි වෙති. මහණ බඹුණෝ අදැහැමි වෙති. රට වැසියෝ අදැහැමි වෙති. දෙවියෝ ද අදැහැමි වෙති. මහා සුළං ඇති වෙයි. දෙවියෝ කුපිත වෙති. වැසි නොවසී. වැස්සත් තැනින් තැන කඩින් කඩ වසිති. කොටසක ගොවිතැන් මහා වැස්සෙන් විනාශ වෙති. කොටසක් වැසි නොමැති ව පාලු වෙයි. සම වැසි ඇති කොටසේ ගොවිතැන් මනාව පැසෙයි.
දුටු සිහිනය 11– ලක්ෂයක සඳුන් මාලයක් අඩු මිලට විකිණීම.
අනාගතයේ සිදුවීම– මාගේ සසුන් පිරිහෙන විට ප්‍රත්‍ය ලෝභී භික්ෂූහු බොහෝ වෙති. නිස්සරණ ව නිවන් පතා දැහැමි දේට අකැමැති වෙති. මාගේ හඬට විලාශයට පැහැදී දෙතියි හිතලු දේශනා කරති. සමහර වීදී මැද, හතර මං හන්දිවල, මාළිගා වාසල සිට මදටියක් පමණ කහවනුවකට දම් දෙසති. සිව්පස නිසා බණ දහම විකුණති.
දුටු සිහිනය 12– හිස් වියළි දිය ලබු දියෙහි ගිලෙනු දැකීම.
අනාගතයේ සිදුවීම– යහපත පෙරළෙන විට මෙසේ සිදුවෙයි. මතු පාලකයෝ උගතුන්ට, සුදුස්සන්ට යසස් නොදී, ගැත්තන්ට ඉසුරු සම්පත් දී තනතුරේ පිහිටුවති. රජු ඉදිරියෙත් හැම තැනමත් ඔවුන්ගේ ම කතා ස්ථිර කරයි. සංස කර්ම, ගණ කර්ම, පා සිවුරු කර්ම විහාරාදිය පිළිබද විනිශ්චයෙහි දුස්ශීල පාපින්ගේ කතා තහවුරු වෙයි. ලජ්ජි භික්ෂුන්ගේ කතා ඉවත දමයි.
දුටු සිහිනය 13– මහ ගෙවල් වැනි ගල් කුළු නැව් මෙන් ජලයෙහි පා වෙනු දිටිමි.
අනාගතයේ සිදුවීම– මෙය ද විපරීත කාලවල සිදුවන දෙයකි. අදැහැමි රජවරු නූගතුන්ට, නුසුදුස්සන්ට සම්පත් දෙති. උගතුන් හා සුදුස්සෝ දුප්පත් වෙති. ඔවුන් කෙරෙහි ආදර ගෞරව නොදක්වති. උගතුන්ගේ කතා, නූගතුන්ගේ කතාවලින් යටපත් වෙති. භික්ෂූහු රැස් වු කල්හි ලජ්ජි භික්ෂුන්ගේ කතා, අලජ්ජි භික්ෂුන්ගේ නින්දාවෙන් යටපත් වෙති.
දුටු සිහිනය 14– මී මල් වැනි කුඩා මැඩියන් කළු සර්පයන් පසු පස එළවා ගොස් අල්වාගෙන කඩ කඩා කනු දුටිමි.
අනාගතයේ සිදුවීම– මතු ලොව පිරිහෙන කල අධික රාගී මිනිස්සු තම තමන්ගේ ළපටි භාර්යාවන්ට වසඟ ව වාසය කරති. ඔවුන්ගේ දාස කම්කරුවන් හා රන් රුවන් ද ඔවුන්ගේ වසඟයට ගනිති. අසවල් දේ කොහි දැයි විමසන විට නින්දා අපහාස කොට ස්ත්‍රීහු ම අධිපති වෙති.
දුටු සිහිනය 15- රන්වන් රණ හංසයන් පිරිවරා ඇවිදින කපුටන් දුටිමි.
අනාගතයේ සිදුවීම– මතු පහළවන රජවරු හස්ති ශිල්පාදියෙහි දක්ෂයෝ නොවෙති. රාජ්‍යයට විපත් පමුණුවති. සිතා මතා ම සුදුස්සන්ට තැන නොදෙති. කරණවැටි ආදින්ට තනතුරු, ඉසුරු සම්පත් දෙති. ජාතියෙන් ඉහළ අය ජාතියෙන් පහළ අය ළඟ සේවය කරති.
දුටු සිහිනය 16– එළුවන් දිවියන් පිටුපස පන්නා ගොස් අල්ලා ගෙන කනවා දුටිමි.
අනාගතයේ සිදුවීම– ලොව පිරිහෙන කල, අදැහැමි පාලකයන්ගේ කල නුසුදුස්සෝ රාජ පාක්ෂිකයෝ වෙති. ඒ අය ව ඉසුරුමත් වෙති. සුදුස්සෝ අප්‍රසිද්ධ වෙති. බලවත් අය විනිසුරු ශාලාවෙහි, කෙත්වතු අයුක්තියෙන්, අසාධාරණයෙන් අල්ලා ගෙන ඒ අයට දඩුවම් කරති. බියට පත් ඒ අය කර කියා ගැනීමට කිසිවක් නොමැති ව ගෙවල්වල රැදී සිටිති. ලජ්ජි ප්රියශිලී භික්ෂුහු අලජ්ජී පාපි භික්ෂූන්ගේ පීඩා ලැබ වන ගත වෙති.
ඉහතින් දැක්වුයේ කොසොල් මහ රජු නින්දේ දී දුටු සිහින දහසය යි. ඒ සිහින දහසය විවරණය කරන තථාගතයාණන් වහන්සේ විසින් මේ සිහිනවලින් සිදුවන අයහපත රජුට නොව අනාගතයේ පහළවන අදමිටු පාලකයෝ නිසා සිදුවන දේ බව දේශනා කරන ලදී. එම විවරණය සැබැවින් ම අද සිදුවෙන, සිදු වී ඇති කරුණු ය. ලජ්ජා, බිය පාලකයන්ගෙන් තුරන් වන විට ඇමතින්ගේ ද, නිල දරුවන්ගේ ද, රට වැසියන්ගේ ද ලජ්ජා, බිය තුරන් වීම ප්‍රකට කරුණකි. පාලකයෝ මෙන් ම පාලිතයෝ ද මෙම ලෝක පාලක ධර්ම කෙරෙහි ලජ්ජා, බිය ඇති කර ගැනීමට උත්සුක විය යුතු ය. ස්වයංපෝෂිත, සදාචාරාත්මක රටක අඩිතාලම ද ලජ්ජා, බිය දෙක බව තරයේ සිතට ගත යුතු ය.
© සතිපට්ඨාන සඟරාව