Temples of Sri Lanka

තථතාව

ආචාර්ය ශර්මිලා මිල්රෝයි

ලෝකයේ පවතින සියලු දෙයටම පවතින ස්වභාවයක් ඇත. භෞතිකමය දේ පටන් අධ්‍යාත්මික දේ දක්වා සියලුම ප්‍රපංචයන්ට පවතින ස්වභාවයක් හෝ සරලවම සඳහන් කළහොත් යථාර්ථවාදී ස්වභාවයක් ඇත. බුදු දහමට අනුකූලව අප සාකච්ඡාවට භාජනය කරන්නාවු සරලම, සුගම්‍යම වු උදාහරණය නම් අපගේ ශරිරයයි. භෞතික ශරීරය කෙතරම් බාහිර ආටෝපයට ලක් කළ ද එහි අන්තර්ගතය සලකා බලන කල පිළිකුල් සහගතය. අශෝභනය. නිරන්තරයෙන් වෙනස් වන සුළුය;  රෝග පීඩාවන්ට ගොදුරුවන සුළුය; වයස්ගත වී මහළු වී දුබල වන සුළුය.

එය “එසේ බව” අප දනිමු. එය ශරීරය පිළිබඳ ඒකාන්ත යථාර්ථය බවත් අප දනිමු. එසේ නම් බුද්ධ දේශනාවට අනුකූලව ‘තථතාව’ යනු, ‘දේවල් ඇති සැටි’ හෝ ‘යථාර්ථය’ ලෙස සැලකිය හැකිය. දාර්ශනික පැදිකඩකින් ගත් කළ තථතාව  ඉහත අයුරින් සරලව පැහැදිලි කළ හැකි නමුත් මෙය බුද්ධ  දේශනාවන් හි එන ගැඹුරුම සංකල්පයකි.  තථතාව තුළින් අපට සරලවම දැකිය හැකි දේ නම්; සියලුම ධර්මතාවන් අනිත්‍ය බවත්; සියලුම ධර්මතාවන් දුක් ගෙන දෙන බවත්; සියලුම  ධර්මතාවන් අනාත්ම වන බවත් ය.  මෙම ත්‍රිලක්ෂණය තුළින් දැකිය හැකි  පරම සත්‍ය තථතාව වෙයි. සියලු සංස්කාර ධර්මයන් මෙම ත්‍රිලක්ෂණය තුළ පවතින බව අවබෝධ කර ගැනීම තුළ  කෙනෙකුට මානසික සැනසීම සොයගත හැකි වෙයි.

තථතාව සංකල්පය තවදුරටත් පැහැදිලි කිරීම සඳහා පහත කරුණු ගෙනහැර දැක්විය හැකිය.

එය සෑම දෙයකම පවතින ‘සත්‍ය ස්වභාවය’ ලෙස ගත් කළ : පවතින සියලුම දේ අනිත්‍ය දුක්ඛ සහ අනාත්ම යන ලක්ෂණවලින් යුක්ත වීම ඒවායේ සත්‍ය ස්වභාවයයි.

සෑම දෙයකම පරම යථාර්ථය ලෙස ගත් කළ : මෙහිදී සියලුම ධර්මයන්ගේ මූලික ස්වභාවය සැලකිල්ලට ගත යුතු ය. සියලුම ධර්මයන්ගේ ස්වභාවය මායාවෙන් තොරව දැකීම තුළින් හඳුනාගන්නා මුලික ස්වභාවයයි.

උදාහරණ ලෙස ගත් කළ ශරීරය පිළිබඳ මායාවෙන් යුතුව ජීවත් වන්නන් එහි අනිත්‍ය ස්වභාවය හඳුනා නොගනියි. ශරීරය, දුක ජනනය කරන බවටත් ස්වභාවයෙන්ම වෙනස් වන සුළු බවටත්  ඇති පරම සත්‍ය වටහා නොගනීයි. එමෙන්ම එහි ඇති අනාත්ම ස්වභාවය ද වටහා නොගනියි. අපගේ ශරිරය අපට උපයෝගී කොට ගත හැකි  සමීපතම උදාහරණය වෙයි. එහි ‘යථා ස්වභාවය’, ‘සත්‍ය  ස්වභාවය’ හෝ ‘පරම යථාර්තය’  සලකා බැලීමේ දී  එය නිත්‍ය නොවෙයි. නිත්‍ය නොවන ශරිරය නිරන්තරයෙන් වෙනස් වෙයි. ඇතිවන වෙනස්කම්  තුළ දුක ජනනය වෙයි.  එසේම අනාත්ම වශයෙන් ගත් කළ  මුළු මහත් පංචස්කන්ධයම අනාත්ම වෙයි.

              රූප, වේදනා, සංඤ්ඤා, සංඛාර සහ විඤ්ඤාණ පංචස්කන්ධය නම් වෙයි. මෙම ස්කන්ධ පහ නිත්‍ය නොවන බවත් සැප ගෙන නොදෙන බවත් ආත්ම වශයෙන් ගත නොහැකි බවත් අනන්තලක්ඛණ සුත්‍රයේ දී  තුළ පැහැදිලිව  සටහන් වෙයි. පළමු ස්කන්ධය වන රූපය සලකා බැලීමේ දී  එය සතර මහා  භූතයන්ගෙන් (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) සැදී ඇති බවත්  ඒවා නිරන්තරයෙන් වෙනස්වන බවත් එසේම  අපගේ පාලනයෙන් තොර බවත් අපි දනිමු. එසේ අපට අවශ්‍ය ආකාරයට  නොපවතින ශරිරයේ යථා ස්වභාවය අපි හඳාුනා ගනිමු.  වේදනා ලෙස අපට දැනෙන සැප, දුක් මෙන්ම උපේක්ෂා යන හැඟිම් සලකා බැලිය හැකිය.  එම හැඟිම් ද ස්ථිර නොවෙයි. විටෙක සැප ද, සතුට ද, විටෙක දුක ද ඒ අතර උපේක්ෂා සහගත සිතිවිලි ද අපට පහළ වෙයි.  ඒවා ද ක්ෂණිකව පහළ වී නිරුද්ධ වෙයි. ස්ථිර නැත. ඒවා පාලනය කළ නොහැක.  තෙවන ස්කන්ධය ලෙස සඤ්ඤා ගත් කළ එය අපගේ හඳුනා ගැනීම් ය. මතකයන් ය. නිරන්තරයෙන් ම ඒවා ද වෙනස් වෙයි. ස්ථිර නෙවෙයි. ඉපදී නිරුද්ධ වෙයි. ඇතිවීමේ නැතිවීමේ ස්වභාවය තුළ දුක ගෙනදෙයි. හදුනාගැනීම් සංස්කරණය  කරයි. සංස්කරණ හෙවත් සංඛාර කායික සංඛාර, වාචසික සංඛාර සහ මානසික සංඛාර ලෙස ක්‍රියාවෙහි යෙදෙයි. මෙසේ සංඥා තුළින් හටගන්නා චේතනා මානසික සාධක හා කර්ම ද නිරන්තරයෙන් වෙනස් වෙයි. ඒවා ද අපගේ පූර්ණ පාලනයෙන් තොර වෙයි. විඤ්ඤාණ ස්කන්ධය යනු, දැනුවත් භාවයයි. ඇස, කන, නාසය, දිව හා ශරීරය  තුළින් ඇතිවන දැනුවත් භාවයන් ද  හේතුඵල නිගමනයන් ට අනුව හටගන්නා අතර නිරන්තරයෙන් වෙනස් වෙමින් යයි. අනිත්‍ය වෙයි. එයට ද කිසිඳු ස්ථිර ආත්මයක් නොමැති ය.

ඒ අනුව අනාත්ම සංකල්පයට අනුව නිත්‍ය වු ‘මම’  කෙනෙකු ද ‘මාගේ’ දේවල් ද නොමැති ය.  රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ  යන පංචස්කන්ධයෙන් යුක්ත වු අපගේ පැවැත්ම අනිත්‍යය ය. අනාත්ම ය.  එසේ ම පවතින සියලුම දෙය අනාත්ම වෙයි. සෑම දෙයකම ස්වභාවය තුළ එවැනි දෙයක් නැත.  ඔබගේ ශරීරය කියා දෙයක් නැත;  ඔබගේ දරුවන් කියා කෙනෙකු නැත; ඔබගේ නිවස කියා දෙයක් නොමැත. මෙම දාර්ශනික පැහැදිලි කිරීම තුළ  ජිවත්වන ඔබ සෑම විටම දුකෙන් නිදහස් වෙයි. ඒ සඳහා සෑම දෙයකම ‘පරම යථාර්තය’ තේරුම් ගත යුතුය.

සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය පිළිබඳ ඇති කරගත යුතු ප්‍රායෝගික අවබෝධය භාවනාව තුළින් ඇති කර ගැනීම පහසු වෙයි. විදර්ශනා භාවනාව වැඩීම තුළින් දෙයක් පවතින යථා ස්වභාවය අවබෝධ කර ගැනීම පහසුවෙයි. එසේ භාවනාවෙහි නිරතවෙමින් පවතින සියලු දේවල අනිත්‍ය ස්වභාවය දුක් ජනනය කරන ස්වභාවය සහ අනාත්ම ස්වභාවය තේරුම් ගැනීමෙන් බෞද්ධ අපට පරම සතුට ලෙස අපේක්ෂා කරන්නා වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට පහසුවෙයි. විදර්ශනා භාවනාව තුළ නිමග්න වන ඔබ සතිය පිහිටුවමින් නිරන්තරයෙන් ලෝකයේ යථා ස්වභාවය මෙනෙහි කරයි නම් මේ අවබෝධයට ශ්‍රද්ධාව අදාළ කරගත යුතු නොවෙයි.  එය අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයකි.

අප දෙමව්පියන් ලෙස දරුවන් හදා වඩා ගන්නා විට ඒ දරුවන් කෙරෙහි ඇති කරගන්නේ අති මහත් වූ බැඳීමකි. නමුත් ඒ බැඳීම තුළ නිත්‍ය බවක් නැත. ඒවා වෙනස් වන සුළුය. බොහෝවිට භෞතික සහ අධ්‍යාත්මික සාධක මඟින් ද මෙම බැඳීම් පවා වෙනස් කරනු ඇත. බැඳීම් වෙනස් වන විට එය දුක ජනනය කරනු ඇත. ඒවා ආත්ම වශයෙන් ගන්නා කළ දුකින් මිදිමට කිසිසේත්ම හැකි නොවනු ඇත. තමාට දරුවන් දුක දෙන බව සිතන්නේ තමා යයි කෙනෙක් ඇති බව ගොඩනගා ගන්නා සංකල්පය තුළින් ය. “මම”ය “මාගේ”ය කියා දෙයක් නොමැති බව සරලවම අපි දහම තුළ අසා ඇත. ‘මම’ , ‘මාගේ ’ය  යන සංකල්ප ආත්ම ස්වභාවය පෙන්නුම් කරයි. මා කියා කෙනෙකු නොමැති නම් මට දුකක් දෙන්නට බැරිය. මාගේ දරුවා කියා කෙනෙකු නොමැති නම් දුකක් දෙන්නට කෙනෙකු ද නොමැත්තේ ය. එසේ අනාත්ම ස්වභාවය අවබෝධ කොට ගත් කල එයට දායක වන දුකක් ද නැත. දුකෙන් මිදුණු සත්වයා සතුටින් ජීවත් වෙයි.

ඔබ ඔබේ ජංගම දුරකථනයට මහත් ඇල්මක් දක්වනු ඇත. ඔබ එයට බැඳීමක් ද ඇතිකොට ගෙනන ඇත්තේ ය. ප්‍රායෝගික භාවිතය තුළ ජංගම දුරකථනය ක්‍රමයෙන් වෙනස් වෙමින් ක්ෂය වෙමින් යයි. එය එහි අනිත්‍ය ස්වභාවයයි. අනිත්‍ය ස්වභාවය ඔබ පිළිගන්නේ නම් සතුටින් අවබෝධ කොටගෙන ඇත්තේ නම්, ඒ තුළින් ඔබට දුකක් ජනනය නොවනු ඇත. එහි අනිත්‍ය ස්වභාවය තුළ ඔබට ජනනය වන දුකක් ඇත්නම් එය ද ඔබ අවබෝධ කොටගත යුතුය. එවිට ඔබ දුකට පත් නොවනු ඇත. දුක නැති තැන ඔබේ සතුට ආරක්ෂාවනු ඇත. අනාත්ම ස්වභාවයය තුළ එහි ජංගම දුරකථනය කියා  දෙයක් නැත.  එය කුඩා උපාංග බොහෝමයක් එකට එක් කොට සම්පාදනය කර ඇති දෙයක් බවත් ඒවා කොටස්වලට වෙන්කළ විට තවදුරටත් ඔබ එයට ජංගම දුරකථනයක් යැයි නොකියනු ඇත. මෙය තේරුම් ගන්න ඔබට අනාත්ම ස්වභාවය තේරුම් යනු  ඇත. එය තමාගේ නොවන බව තේරුම් ගැනීමත්, අනාත්ම ස්වභාවයට අයත් ය. අනාත්ම ස්වභාවය තුළ ‘ඔබ’ ‘ඔබගේ ’ කියා දෙයක් නැත. එබැවින් ඔබට දුක ජනනය කිරීම සඳහා ‘ඔබගේ’ යැයි සම්මත වූ ජංගම දුරකථනයක් ද නැත. දුක ජනනය නොවන තැන ඔබේ සතුට ආරක්ෂාව වනු ඇත.

මෙසේ දෛනික ජීවිතයේ සිදුවන සියලුම දේ තථතාවයේ ප්‍රකාශනයකි. මෙම පරම සත්‍ය වටහා ගැනීම තුළින් ඔබ තුළ දුක ජනනය වීම වළක්වා ගත හැකිය. එවිට ඔබේ සතුට ආරක්ෂාවනු ඇත. මානසික සැනසීම ලබාගත හැකිවනු ඇත.

‘අනිච්ච’  යනු සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවයයි. මෙය බුදු දහමේ මූලික ඉගැන්වීම් වලින් එකකි. ‘අනිච්ච’ ලක්ෂණය පහත ආකාරයෙන් වටහාගත යුතුය.

ක්ෂණික අනිත්‍යතාව : සෑම සංස්කාර ධර්මයෝම නිරන්තරයෙන්ම සෑම මොහොතකම උපදිමින්, නිරුද්ධ වෙමින් පවතී. වෙනස් වෙමින් යයි. සිතුවිලි, හැඟීම් හෝ ශාරීරික වේදනා පවා නිරන්තරයෙන් වෙනස් වෙයි. කිසිම දෙයක් ගෙවන ඊළඟ තත්පරය තුළ පෙර තිබුණ ස්වභාවය නොගනී. ඒ ඔබේ ශරීරයට ද ඔබ සහ දරුවන් අතර ගොඩනැගී ඇති බැඳීම්වලට ද ජංගම දුරකථනයේ පැවැත්මට ද පොදු බව පෙන්වා දෙයි.

ක්‍රමික අනිත්‍යතාව : වයස්ගත වීම ක්‍රමිකව සිදුවන වෙනස්වීමකි. වයස්ගත වෙමින් රෝගාබාධ වලට ලක් වෙමින් මරණය කරා ළංවීම ක්‍රමික අනිත්‍යතාව ලෙස ගොනුකොට ගත හැකිය. දූ දරු සම්බන්ධතා මෙන්ම සමාජ සබඳතා වෙනස් වීම ද ක්‍රමික අනිත්‍යතාව පැහැදිලි කරයි. එමෙන්ම වත්කම් සහ දේපළ විනාශ වීම් ද මේ ආකාරයටම දැකිය හැකිය.

“එසේ බව”, “ ඒකාන්ත යථාර්තය ” හෝ ‘දේවල් ඇති සැටි’  යනු,  තථතාවයි; එහි ගැබ්වෙන අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය සහ දුක ජනනය කරන ස්වභාවය තේරුම් ගැනීම නිවනට ඔබ යොමු කරයි. අනිත්‍ය අනාත්ම සහ දුක් ජනනය කරන ස්වභාවය සියලු ධර්මතාවන් තුළ පවතින බව අවබෝධ කරගැනීම තුළින් ඔබ තුළ දුක ජනනය වීම වළක්වා ගත හැකිය. දුක ජනනය වීම වළක්වා ගැනීම තුළින් ඔබේ සතුට ආරක්ෂා කොටගත හැකිය. මේ සියල්ල සඳහා ඔබට උපකාරී වන ප්‍රධාන සාධක දෙකක් තිබේ. පළමුව ඔබට අවශ්‍ය වන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියයි. බුද්ධ දේශනාවන්ට අනුව කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පූර්ණ බ්‍රහ්මචරියාව හා සමාන වෙයි. කල්‍යාණ මිත්‍රයා ශීලයෙන් යුක්ත වෙයි; ධර්මය පිළිබඳ නිවැරදි දැනුමක් ඇති කෙනෙකි;  කරුණාවෙන් යුතුව අන් අයට උපදෙස් දෙයි;  ප්‍රඥාවන්ත වෙයි;  නිවැරදි මඟ පෙන්වයි;  අකුසලයෙන් වළක්වා කුසලයෙහි යොදවයි;  ආධ්‍යාත්මික වර්ධනය සඳහා සහය වෙයි; බුද්ධ වචනය නිවැරදිව පැහැදිලි කරයි; සාරාංශ වශයෙන් ගත් කළ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිවන් මඟෙහි ප්‍රධාන සාධකයකි.  එය ශ්‍රද්ධාව, ශීලය, ශ්‍රැතය, ත්‍යාගය සහ ප්‍රඥාව වර්ධනයය කරයි.

අපි ලෝකයේ පවතින සියලු දේ තුළ පවතින සැබෑ ස්වභාවය හඳුනා ගනිමු. ජීවිතය තුළ හමුවන ගැටෙන දකින දැනෙන සියලු දේ අනිත්‍ය බව එසේත් නොමැති නම් වෙනස් වන සුළු බව හඳුනා ගනිමු ගනිමු. අප සතු භෞතික දේ අප සතු බැඳීම් එසේම මම යැයි හඳුනා ගන්නා මේ ප්‍රපංච ගණනාවක එකතුව වන ශරීරය පවා වෙනස් වන බව තේරුම් ගනිමු. එසේ හෙයින් කිසිදු දෙයකට ලොබ නොබැඳ තණ්හා ඇතිනොකොට ගෙන ජීවත්වීමට උත්සාහ ගනිමු. වෙනස්වීම පිළිගනිමු. වෙනස්වීම පිළිගැනීම තුළ ඒ තුළින් ජනනය වන දුක නැතිකොට සතුට ආරක්ෂා කර ගනිමු.

ලෝක ධර්මතාවන්ගේ වෙනස්වීම හෙවත් අනිත්‍ය ස්වභාවය හඳුනාගන්නවා මෙන්ම දුක ද හඳුනා ගනිමු. ජීවිතයට දුක පැමිණීම වළක්වා ගත නොහැකිය. බුදුන් වහන්සේ ද බුද්ධත්වයට පත් වුවත් දුකට මුහුණ දුන්හ. උන්වහන්සේගේ ජීවිතයේ අවසාන සමයේ දී ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳීම නිසා බොහෝ දුකට පත් වූහ. නමුත් උන්වහන්සේ අවබෝධය තුළින් ශරීරය දුකක්ම බවත්, ශරීරය දුක් ජනනය කරන බවක් දැක තිබූ බැවින් දුක මනසින් අල්ලා නොගත්හ. ශරීරය තුළ ඇතිවන සාමාන්‍ය දුක් (දුක්ඛ – දුක්ඛ); වෙනස්වීම තුළ හටගන්නා දුක් (විපරිණම දුක්ඛ); පංච උපාදානස්කන්ධයේ පැවැත්ම තුළ ඇති දුක් (සංඛාර දුක්ඛ); උන්වහන්සේ හඳුනාගෙන සිටි බැවින් පරම සත්‍ය තුළ උන්වහන්සේ දුකට පත් නොවූ සේක. එබැවින් ලෝක ධර්මතාවන්ගේ වෙනස්වීම තුළ ජනනය වන දුක හඳුනා ගන්න. දෙයක ඇති යථා ස්වභාවය මැනවින් අවබෝධ කරගන්න. දෙයක යථා ස්වභාවය නිවැරදි ලෙස හදුනාගන්නා පුද්ගලයා දුකට පත් නොවෙයි. සෑම දෙයකම අනිත්‍ය ස්වභාවය සහ අනාත්ම ස්වභාවය තුළ දුකට පත් නොවෙයි. සතුට ආරක්ෂා කර ගනියි.

© සතිපට්ඨාන සඟරාව

You might also like
en English
X
X