වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරස්ථානයේ ඉදි වුන ලංකාවේ පළමු අශෝක ස්ථම්භය පසුගිය දා ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් සවිවෘත කෙරිණ.
ධර්මාශෝක මහ රජු සිහි වනු වස් ලංකාවේ ඉදිකෙරුණු එය වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරස්ථානය ඇතුළු උභය විහාරාධිපති අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක ආචාර්ය වස්කඩුවේ මහින්දවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි උන්වහන්සේ ගේ ජන්මදින පිංකම් මාලාවට සමගාමීව විවෘත කෙරිණ.
එම අවස්ථාවට සහභාගී වූ ඉන්දීය මහකොමසාරිස්තුමන්, විහාරස්ථානයේ වැඩ සිටින කපිල වස්තුපුර නිර්මල ශ්‍රී සර්වඤ ධාතූන් වහන්සේ ද වන්දනා කල අතර එදින ධාතූන් වහන්සේලා විශේෂ ප්‍රදර්ශනයක් ද විය. සුපින්බර අවස්ථාවට සුදු වතින් සැරසුණු සැදැහැතියන් විශාල පිරිසක් සහභාගී වූහ.
එහිදී අනුශාසනාවක් කල අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක ආචාර්ය වස්කඩුවේ මහින්දවංස නාහිමියන් ප්‍රකාශ කළ සිටියේ,
“ඉන්දියාවත් අපිත් අතර තියෙන්නෙ වටිනා සම්බන්ධතාවක්. ඒ වගේම තමයි ධර්මාශෝක මහ රජතුමන්ට අපේ සුවිශේෂී ගෞරවයක් තියෙනවා. ඒත් ඒ ගැන වැඩිය කතා කෙරෙන්නෙ නැහැ. ඉන්දියාවේ ගොඩාක් ස්ථාන වල අශෝක ස්ථම්භ හදල තියෙනවා. අශෝක රජතුමා නමින් දිනයක් වෙන් කර ගත යුතුයි. මට අවශ්‍ය වුනා ධර්මාශෝක මහ රජු ගැන කතා කරන්න. ලංකාවේ අශෝක ස්ථම්භයක් හදන්න මට ඕන වුනා. ඒ අනුව තමයි මෙය ඉදි වුනේ. එය ඉන්දීය මහකොමසාරිස් තුමන්ගේ සහභාගිත්වයෙන් ම විවෘත කිරීමට ලැබීමත් සතුටට කරුණක්” යැයි පැවසූහ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සම්බන්ධතාව ඉතා වැදගත් එකක් බවත් ශ්‍රී ලංකාවේ විහාරස්ථාන සහ පිරිවෙන් වල අභිවෘද්ධිය ට ඉන්දියාවේ සහය හිමි වන බවත් ශුභ පැතුම් එක් කරමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය.
මෙම අවස්ථාවට අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති වලතර සුභූති නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය, අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහ ලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මැතිතුමා ද, පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මාධ්‍යස්ථානයේ ලේඛකාධිකාරිනී ආචාර්ය ශර්මිලා මිල්රෝයි මැතිණිය ද සහභාගී විය.
ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා වස්කඩුවේ මහින්දවංස මහනාහිමියන් ට අෂ්ඨ පරිස්කාර පූජා කල අතර මහනාහිමියන් මහකොමසාරිස්තුමන්ට විශේෂ සමරු තිලිණයක් ප්රදානය කළහ.
ජනක ජීවන්ත හෙට්ටිආරච්චි