Temples of Sri Lanka

බුදු සිරිත තුල ඉවසීමේ ගුණය ප්‍රකට කරයි.

ඉවසීම සෑම පුද්ගලයකුම මැනවින් ප්‍රගුණ කළ යුතු ඉතා උසස් ගුණ ධර්මයකි. ඉවසීමේ සීමාව ඉක්මවා යෑම නිසා ඇතිවන අධික කෝපය හා ක්ෂණික කෝපය නිසා සමාජ ගැටලු බොහොමයක් හට ගනියි. මනුෂ්‍ය ඝාතන, සියදිවි නසා ගැනීම්, පොදු දේපළ විනාශ කිරීම, කලකෝලාහල හා රථවාහන අනතුරු යනාදී ව්‍යසනයන් බොහොමයකට ප්‍රධාන හේතුවක් වන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ ඉවසීමේ පවත්නා දුර්වලතාවයන්ය.

අප මහ බෝසතාණන් වහන්සේ පිරූ දස පාරමිතා අතර ඉවසීම පාරමිතාවකි. මහා මංගල සූත්‍රයෙහි එය උතුම් මංගල කරුණකි. ඕවාදප්‍රාතිමෝක්ෂයෙහි හික්මීමේ අංගයකි. අප ජන සමාජය අතර ‘ඉවසීමෙන් සැනසීම ලැබේ’ යන අගනා ප්‍රස්තා පිරුළක් ද ප්‍රකටව පවත්නේ එය බෙහෙවින්ම මිනිස් සමාජයේ යහපැවැත්ම සඳහා හේතුවන බැවිනි.

මනුෂ්‍ය ජීවිතයේ උපතේ සිට මරණය තෙක් විවිධ අවස්ථා පිළිබඳ සලකන විට ලාභ – අලාභ, යස – අයස, නින්දා – ප්‍රශංසා, සැප – දුක යන අටලෝ දහමේ සුබ – අසුබ දෙපක්ෂයටම මුහුණදීම ස්වාභාවිකය. අටලෝ දහම අනුව නින්දා අපහාස, අවනම්බු නොලැබූවකු ලොව නොමැත. එම අවස්ථාවන්හිදී අවශ්‍යම ගුණාංගයක් වන්නේ ඉවසීමයි. බුදුරජාණන් වහන්සේ අකම්පිතව ඉවසීමේ මහා ගුණය මැනවින් ප්‍රකට කළ සේක.

මාගන්දිය තරුණිය

බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ආරාම පිළිගැනීමට වඩනා ගමනේදී අතරමඟ කල්මාසදම්‍ය නම් නියම් ගමට වැඩම කළ සේක. එහිදී මාගන්දිය නම් බමුණා බුදුරදුන් දැක තම දියණියට සුදුසු ස්වාමියකු ලැබුණේ යැයි සොම්නසට පත් වුණි. මාගන්දිය දියණිය බුදුරදුන්ට විවාහ කරදීමට සිතා ඇය සර්වාභරණයෙන් සරසා උන්වහන්සේ වෙත පැමිණවීය. එහිදී රූපයේ අසාරත්වය පිළිබඳව බුදුරදුන් කළ දේශනාව අසා තම රූපයට නින්දා කළේ යැයි කලකිරී කෝපයට පත් වූ ඇය බුදුරදුන්ට වෛර බැන්දාය. එහෙත් ඇයගේ දෙමව්පියෝ බුදුරදුන් වදාළ බණ අසා සෝවාන් වූහ.

බුදුරදුන් කොසඹෑ නුවරට වැඩම කරන විට මාගන්දියා උදේනි රජුගේ අග මෙහෙසිය බවට පත්ව එනුවර වැසි අවිනීත තරුණයන් ලවා බුදුරදුන්ට ඇනුම් බැනුම්, නින්දා අපහාස, හිරිහැර කරවීමට ක්‍රියා කළාය. ඒවා ඉවසිය නොහැකි වූ ආනන්ද හිමි මෙම නගරය අතහැර වෙනත් නගරයකට යෑමට යෝජනා කළත් බුදුරජාණන් වහන්සේ එම නින්දා අපහාසයන් ගෙන් අකම්පිතව ඉවසීමෙන් එහිම වැඩ සිටියහ.

සුන්දරී පරිබ්‍රාජිකාව

බුදුරජාණන් වහන්සේට හා ආර්ය මහා සංඝරත්නයට මහජනයාගෙන් ලැබෙන පුද පූජා, ගරුසත්කාර නොඉවසූ අන්‍ය තීර්ථකයෝ උන්වහන්සේලාට නින්දා අපහාස කිරීම සඳහා සුන්දරී නම් පරිබ්‍රාජිකාව යොදාගත්හ. සුන්දරී මනාව සැරසී සවස මහජනයා බණ අසා විහාරයෙන් පිටත්ව යන වේලාවට විහාරයට ඇතුළුවී රාත්‍රී නගරයට යන්නීය. නැවතත් උදෑසන විහාරයට පැමිණ සුගන්ධ කුටිය ආශ්‍රිත ප්‍රදේශයෙහි හැසිරෙන්නීය. මේ ගැන සැදැහැවතුන් ප්‍රශ්න කරනවිට සුන්දරී අවස්ථානුකූලව යම් යම් පිළිතුරු ලබාදුන්නාය.

මෙසේ කලක් ගතවනවිට දිනක් අන්‍ය තීර්ථකයෝ රහසේම සුන්දරී පරිබ්‍රාජිකාව මරා ජේතවනාරාමයෙහි පොකුණ අසල පරමල් දමන තැන වැළලූහ. එසේ කළ ඔවුහු සුන්දරී පරිබ්‍රාජිකාව නැතැයි කියා මහජනයා අතර ප්‍රචාරයක් ගෙන ගියහ. මෙ’පුවත කොසොල් මහරජුට ද දැන්වූහ. එතුමාගේ ද අවසරය ඇතිව ජේතවනාරාමයට ගිය තීර්ථකයෝ ඔවුන්ම වැළලූ තැනින් සුන්දරීගේ මළසිරුර ගොඩගෙන නගරයට ගෙනගොස් බුදුරදුන් හා භික්ෂුන් වහන්සේලා විසින් සුන්දරී පරිබ්‍රාජිකාව ඝාතනය කරන ලදැයි මහජනයා ඉදිරියේ චෝදනා කළහ. මෙම අපහාසය සත්‍යයක් ලෙසින් පිළිගත් සමහරු බුදුරදුන්ට හා භික්ෂුන් වහන්සේලාට නොයෙක් ආකාරයෙන් බැන වදින්නට වූහ. එහෙත් බුදු රජාණන් වහන්සේ ඒ සියල්ල නිහඬව ඉවසූ සේක. නොබෝ දිනකින් තීර්ථකයන් සැබෑ අපරාධකරුවන් බව දැනගත් මහජනතාව ඔවුන් කෙරෙහි වඩ වඩාත් අප්‍රසන්න වූහ.

චිංචි මානවිකාව

දිනක් දෙව්රම් වෙහෙර දම් සභා මණ්ඩපයෙහි බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසට දහම් දෙසමින් සිටිනවිට එම ස්ථානයට චිංචා නම් මානවිකාවක් පැමිණියාය. ඇය කුසෙහි දර මිටියක් බැඳගෙන ගැබිනියක ලෙස වෙස් මවාගෙන පැමිණි අතර මහ පිරිස මැද බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි සිටගෙන මෙසේ චෝදනා කළාය.

මා කුස හොත් දරුවාගේ පියා ඔබය. දැන් මම දරු ප්‍රසූතියට ආසන්නව සිටිමි. ඒ සඳහා ඔබේ යුතුකම් කොටස ඉටු කළ යුතුය.

මෙවදන් අසා බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම කම්පා නොවූහ. ඉවසීමේ උතුම් ගුණාංගයම ප්‍රකට කළහ. මඳ වේලාවකින් දර මිටිය කඩා වැටීම නිසා මහජනයා ඉදිරියේ චිංචා මානවිකාව අපමණ නින්දා අපහාස ලැබුවාය.

අක්කෝසක බමුණා

බුදුරදුන් දවස භාරද්වාජ නම් බමුණෙක් විසීය. උගතුන් සිල්වතුන් වැනි වැදගත් අය දැක ආක්‍රෝශ පරිභව කොට හෙළා දැකීම ඔහුගේ ස්වභාවයයි. අනුන්ට ආක්‍රෝශ කරන නිසාම ඔහු අක්කෝසක භාරද්වාජ නමින් ප්‍රසිද්ධ විය. දිනක් බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට සිය නිවසට ගෙන්වාගත් ඔහු ඉතා පහත් වචන භාවිත කරමින් බොහෝ වේලාවක් බුදුරදුන්ට නින්දා අපහාස කළේය. අවසානයේදී බුදුරජාණන් වහන්සේ කිසිදු කම්පාවීමක් නොමැතිව කාරුණික ප්‍රිය වචනයෙන් මෙසේ ඇසූහ.

භෝජන සංග්‍රහයක් සඳහා ඔබෙන් ආරාධනා ලද්දවුන් ඔබ නිවසට නොපැමිණයහොත් ඒ ආහාරපානවලට ඔබ කුමක් කරන්නෙහිද?

එයට බමුණාගේ පිළිතුර වූයේ “මමත් මගේ අඹු දරුවනුත් ඒවා අනුභව කරමු” යන්නය. එවිට බුදු රජාණන් වහන්සේ ඔහු අමතා “ඔබ මෙතෙක් වේලා දුන් දානය මමත් නොපිළිගනිමි” යි වදාරා ඔහු කළ නින්දා අපහාසයන්වලින් කම්පා නොවී ඒ ඇනුම් බැනුම් ඔහුටම පිළිගැනීමට සැලැස්වූහ.

යව හාල් වැළඳීම

බිම්බිසාර, කොසොල් යන මහ රජවරුන්ගේ සේම අනේපිඬු සිටුතුමා, විශාඛා මහෝපාසිකාව ආදී රාජරාජ මහාමහාත්‍යාදීන්ගෙන් මෙන්ම බොහෝ ධනවතුන්ගෙන් කෙතරම් ලාභ සත්කාර ලැබුණ ද බුදුරජාණන් වහන්සේ කිසිවිටෙකත් ඉන් උදම් නොවූහ. කෙතෙක් අලාභ අපහසුකම් විඳීමට සිදුවුවත් ඒවායින් කම්පා නොවී සම සිතින් සියල්ල ඉවසූහ. දොළොස් වන වස් කාලය ගත කළේ උදය නම් බමුණාගේ වස් ආරාධනාවට අනුව වේරඤ්ජා නුවරය. එහෙත් බමුණාට එම ආරාධනාව අමතක වීමත් දුර්භික්ෂයක් නිසා බුදුරදුන්ට හා ශ්‍රාවකයන් වහන්සේලාට තුන් මසක කාලයක් ජීවත්වීමට සිදුවූයේ අශ්වයන්ට දෙන යව හාල් වළඳමිනි. වෙනත් ප්‍රදේශයකින් පිණ්ඩපාත ආහාරය ගෙනවුත් පිදීමට ඍද්ධිමිත් ශ්‍රාවකයන් වහන්සේලා සූදානම් වුවත් එය ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ එම අලාභය මැදහත් සිතින් ඉවසූහ.

අන්‍ය මත ඉවසීම

බුදුරදුන් පහළ වූ සමාජ පරිසරය තුළ විවිධ මිථ්‍යා දෘෂ්ටික ආගමික නායකයෝ රැසක් සිටියහ. ඒ හැමදෙනාම ස්වකීය ධර්මය හා දර්ශනය හුවා දැක්වූ අතර අන් සියලු ධර්මයන් හා දර්ශනයන් හෙළා දුටුවහ. එහෙත් බුදුරජාණන් වහන්සේ මනා ඉවසීමෙන් යුතුව කවරකුගේ හෝ සුදුසු දේ පිළිගැනීමටත් නුසුදුසු දේ බැහැර කිරීමටත් පසුබට නොවූහ. වස් එළඹීම හා බීජ වර්ග රෝපණය කිරීමත්, ගස්වැල් කැපීමත්, පොළොව කෙටීමත් පිළිබඳ වූ විනය නීති භික්ෂුන් වහන්සේලාට පැනවූයේත් පන්සිල් හා පෙහෙවස් සමාදන්වීම පිළිබඳ වූ ශික්ෂාපද ගිහි සැදැහැවතුන් වෙනුවෙන් පැනවූයේත් බුදුරජාණන් වහන්සේ තුළ පැවති අන්‍යයන්ගේ යහපත් මත ඉවසීමේ හා පිළිගැනීමේ විශිෂ්ට ගුණාංගය නිසයි.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X