Temples of Sri Lanka

තුන් ලෝකාග්‍ර වූ උතුම් බුදු රුවනට නමස්කාරයවූ තෙමගුලේ වෙසක් මංගල්‍යය අදයි…

ලොවක් සැනසූ උතුම් බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල (උපත, බුද්ධත්වය, සහ පිරිනිවන්පෑම) සිහිකෙරෙන, ලොව පුරා බෞද්ධයන්ගේ උත්තරීතරම දිනය වූ වෙසක් පුර පසළොස්වක පෝය අදයි.

මෙම දිනය හා වෙසක් සතිය පුරාම සිල් සමාදන් වීම, දන්සැල් දීම, වෙසක් කූඩු හා තොරණ ප්‍රදර්ශනය කිරීම වැනි ආගමික හා සංස්කෘතික කටයුතු බහුලව සිදු කෙරේ.

✨️කිඹුල්වත්නුවර ලුම්බිණි සල්උයනේදී සිදුහත් කුමරු උපත ලැබීම,

✨️ගයාවේදී බුද්ධත්වයට පත්වීම

✨️ කුසිනාරාවේදී පිරිනිවන්පෑම

යන අතිවිශේෂ සිදුවීම් තුන මේ දිනයේ සිදුවූ සුවිශේසී සිදුවීම් වේ..

මේ තෙමඟුල සිහිකරමින් මුළු ලෝවැසි බෞද්ධයෝ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් දිනය සමරති.

වෙසක් පුන් පොහොය දිනය සියළු ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වන පොහොය දිනයක් බව අප සැම හොදින් දන්නා කරුණකි.

මෙම පොහොය දිනය දකුණු ආසියානු හා අග්නිදිග ආසියාතික රටවල් බොහෝවිට ඉතා උත්සවාකරයෙන් සමරති. එම නිසා මෙම උතුම් පොහොය ඒ ඒ රටවල සමරන දින වකවානු වෙනස් වේ. උදාහරණයක් ලෙස ගත් විට ථේරවාදී බෞද්ධයන් අනුගමනය කරනු ලබන දින දර්ශනයට අනුව වෙසක් පොහොය යෙදෙන්නේ පුර පසලොස්වක පොහොය දිනයකටයි. ඒහා සමානව ඒ ඒ රටවල දින දර්ශන වලට අනුව පොහොය යෙදෙන දිනය වෙනස් වේ.

බොහෝ ආසියානු කලාපීය රටවල වල එරට රජයන් විසින් මෙම උතුම් තෙමඟුල සිදුවූ දින ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. (උදාහරණ ලෙස ශ්රීි ලංකාව, නේපාලය, තායිවානය, හොං කොං, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව, මියැන්මාරය(භූතානය), මැලේසියාව)

බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන වෙසක් පෝය ශ්‍රී ලංකාවාසී සියළු බෞද්ධයන් හට තවත් කිහිප ලෙසකින් වැදගත් වේ.

ඒ මන්ද.. අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසු ශ්‍රී ලංකාවේ කැළණියට වැඩම කිරීම හා ඒ පැමිණීමත් සමඟම සුමන සමන් දිව්‍යෝත්තමයාගේ ආරාධනය පිළිගෙන සමනල කන්ද මුදුනෙහි සිරිපත්ල සටහන් කිරීමද, මේ පොහොය දිනය තුළදී සිදුවීමයි. තවද විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීමත්, දෙවන පෑ තිස් රජුට ධර්මාශෝක රජු විසින් යුව රජ ලෙසට දෙවන වරට අභිෂේක ලබා දීම හා දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයේ වැඩ ආරම්භ කිරීම හා එහි බිම සකස් කිරීමත් යන විශේෂ අවස්ථා මෙම උතුම් වෙසක් පොහොය දිනයේදී සිදුවිය. ලෝකයේ ඇතැම් ආගම්වල උත්සවවලදී සතුන් මැරීම බහුලව සිදු වෙනවා. නමුත් වෙසක් උත්සවයේ ඇති විශේෂත්වය එය අවිහිංසාව මුල් කරගත් උත්සවයක් වීමයි. බාහිර ලෝකයේ වෙසක් සඳ උදා වීමත් සමග විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කර ගන්නා අපි වෙසක් සඳ බැස යාමත් සමඟ ඒ ප්‍රබෝධයටත් බැස යන්නට ඉඩ හරිනවා ද..

නමුත් බුදු හිමියන්ගේ
ප්‍ර භාශ්වර මනස නමැති පුන් සඳ අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ එක ලෙසම පෑව්වා. එමෙන්ම, අපටත් අභ්‍යන්තර අවබෝධය තුළින් සැමදා අපේ හද තුළ වෙසක් සඳ ඇති කර ගත හැකියි. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය උන්වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා.

ඒ සඳහා සකස් කළ යුත්තේ බාහිර පරිසරය නොව, අපේ අභ්‍යන්තර පරිසරයයි. අවුරුදු 2500 කට වැඩි සංස්කෘතිය තුළ අපට උරුම වූ මේ බාහිර පරිසරය සැකසීම, නොඑසේනම් ආමිස පූජාව වැදගත් වුණත්, උන් වහන්සේ වඩාත් අගය කළ, අනුදැන වදාළ ආධ්‍යාත්මික පරිසරය සැකසීම හෙවත් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දීමට අප උත්සුක විය යුතුයි. ශීලය, සමාධිය, ප්‍රඥාව වැඩි දියුණු කර ගන්නට වෙහෙසිය යුතුයි. ඓතිහාසික සිද්ධීන්ගෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙසක් පුන් පොහොය බෞද්ධයන්ට මහත් ප්රී තියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.

මෙවැනි කාරණා අනුව අපට අමතක කළ නොහැකි , අප විසින් අමතක නොකළ යුතු ඉතාමත් වැදගත්ම පොහොය දිනය වන වෙසක් පුර පසළොස්වක පොහොය ගැන කල්පනා කර රටේ යහපත, සදාචාරය, ඇතිකර ගැනීමට මෙම ආගමික උත්සවය උපයෝගී කරගත යුතුයි.

තථාගත බුදුපියාණන් වහන්සේ වදාළ, අප විසින් කළ යුතු දෙය වන්නේ සදාචාර සංවර්ධනයයි. හික්මීම, ගුණයට නැඹුරු වීම, විශේෂයෙන්ම පංචශීල ප්‍රතිපදාවට ගරු කිරීමයි. රටක, සමාජයක, සදාචාරය, සාමය, සමෘද්ධිය ඇති කරගැනීමට වෙසක් පුර පසළොස්වක පොහොය උපයෝගී කර ගත යුතුයි.

වෙසක් දිනවල ගත යුතු ප්‍රයෝජනය ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා කළ දහම් කරුණු දැන කියාගෙන උගන්වා ඇති කරුණු දරුවන්ටත් පරිශීලනය කරවා රට සමෘද්ධිමත් කර ගැනීමට මේ වෙසක් දවස අරමුණු කරගත යුතුයි.

එවිට ලෝකයා පවා අප ගැන සතුටු වෙති.

අපේ රටේ ජනතාව රට සෞභාග්‍ය සම්පන්න කරගන්න, සදාචාරවත් කරන්න, ගුණ නුවණින් යුත් ජනතාවක් රටේ ඇති කරවීමට, ක්‍රෝධය, කෝපය ඇති නොවන ක්‍රියාවන්ගෙන් තොරව ජීවත් වීමට අදාළ අයුරින් වෙසක් උත්සවයක් සංවිධානය කරගත යුතු බව තෙමඟුල සමරන අසිරිමත් දිනයේ මහත් වූ කරුණාවෙන් දන්වා සිටිමු..

මේ පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය පින්වත් ඔබ සැමත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයම අනුගමනය කර, චතුරාර්ය සත්‍යාවබෝධ ඤාණයෙන් කෙලෙසුන් නසා නිවන් දකින්නට හේතු සම්පත් සම්පූර්ණව වන පින්බර දිනයක් බවට පත් කරගන්න..

තෙරුවන් සරණයි !

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X