බුදු සසුනේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර පළමුව දහම් අවබෝධ කළ භික්ෂුන් වහන්සේලාා අතර අග්‍ර තනතුර හිමි වන්නේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේටයි. උන්වහන්සේ ට එම තනතුර හිමි වුණේ මේ සංසාරයේ කල්ප ලක්ෂයක් පුරන ලද පාරමිතාවන්ගේ පුණ්‍ය බල මහිමය නිසාමයි. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ජීවන චරිතය හරිම අසිරිමත්… ඒ් වගේම ආදර්ශවත්.
මෙතැන් සිට අපි ඒ් අසිරිමත් කතා වස්තුව කියවමු.
පදුමුත්තර හා විපස්සි යන බුදුවරුන්ගේ සමයේ විවරණ ලැබීම
කල්ප ලක්ෂයකට පෙර මෙලොව පහළ වූ පදුමුත්තර බුදු සමයේ හංසවති නම් නුවර ගෘහපතියෙකු ලෙස උපත ලබා සිටි කොණ්ඩඤ්ඤ හිමියන් පදුමුත්තර බුදුරදුන්ගෙන් ධර්මය ශ්‍රවණය කරමින් ඉන්නවා. ඒ් අතරතුරේ මේ ගෘහපතියා දකිනවා පදුමුත්තර බුදුන් භික්ෂුන් වහන්සේ නමකට ධර්මය අවබෝධ කරගන්නවුන් අතර අග්‍ර තනතුර පිරි නමනවා.
ඒ් මොහොතේ මේ ගෘහපතියා ප්‍රාර්ථනාවක් කරනවා තමන්ටත් යම් දිනෙක මේ තනතුරම ලැබේවා කියලා. එදිනම බුදුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට ආරාධනා කර වංග දේශයෙන් ගෙන්වන ලද සළුවක් පදුමුත්තර බුදුරදුන්ට පූජා කරමින් තමන්ගේ ඉටු වේවා යි අධිෂ්ඨාන කළා. ඒ වගේම සත් දිනක් දාන මාන පවත්වා අවසානයේ බුදු සිරිපතුල නමදිමින් වැඳ වැටෙමින් තමන්ගේ ප්‍රාර්ථනාව පදුමුත්තර බුදුන් වෙත සැළ කර සිටියා. පදුමුත්තර බුදුරදුන් තවත් කල්ප ලක්ෂයක් ගිය තැන පහළ වන ගෞතම බුදු සසුනේ දී එකී පැතුම ඉටුවන බව දැක ගෘහපතියාට ගෞතම බුදු සසුනේ දී ධර්මය අවබෝධ කරගන්නවුන් අතර අග්‍ර තනතුර ලැබෙන බවට විවරණ ලබා දුන්නා.
යම් දෙයක් ප්‍රාර්ථනා කළ පමණින් එම ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ. එයට මහා කැපවීමක්, ප්‍රඥාවක්, වීර්යයක් වගේම අධිෂ්ඨානයක් තිබිය යුතුමයි. ඉතින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් ද පදුමුත්තර බුදුන් සමයේ සිට ගෞතම බුදුරදුන් පහළ වනතුරුම කල්ප ලක්ෂයක් මේ විදියට පාරමිතා පුරමින් උත්සාහයේ යෙදුණා. ඒ් වගේම විපස්සි බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ ද බන්දුමති නම් නගරයේ මහා කාල නමින් ඉපදී මේ අයුරින්ම දන් පැන් දී තම අධිෂ්ඨානය නැවත නැවත මතක් කරන්නට යෙදුණා.
ගෞතම බුදුන් සමයේ අරමුණ ඉටු වීම
කල්ප ලක්ෂයක් ගිය තැන දඹදිව පහළ වූ ගෞතම බුදුන්ගේ සමයේ දී දෝණවත්ථූ නම් ගමේ බමුණු කුලයක කොණ්ඩඤ්ඤ නමින් උපත ලැබූ උන්වහන්සේ මුලදී තවුස්දම් පුරනු ලැබුවා. සසර කළ පින් බලයෙන් දෛවෝපගත ලෙස සුද්ධෝදන රජුගේ පුරෝහිතයෙකු ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබුණා. ඉතින් සුද්ධෝදන රජුගේ පුත් කුමරා ඉපදෙනකොට බමුණන් 108 ක් අතුරින් දේහ ලක්ෂණ විද්‍යාව දත් බමුණන් 8 දෙනෙකුට තුමරුගේ අනාගතය ගැන හා ඔහුට සුදුසු නමක් යොදන ලෙස රජු ඉල්ලා සිටියා. අන් සියලුම බමුණන් කුමරා සක්විති රජ වනු ඇත. නැතහොත් බුද්ධත්වයට පත් වන්නේය යනුවෙන් ප්‍රකාශ කරද්දි කොණ්ඩඤ්ඤ බමුණා කුමරුගේ නළලේ පිහිටි ඌර්ණ රෝම ධාතුව හොඳින් නිරික්ෂණය කර “මොහු ඒ්කාන්තයෙන්ම බුදු වෙනවා” යැයි අනාවැකි පළ කළා. ඒ් අනුව ලෝකයටම යහපත් අර්ථයක් සිදු කරනු ඇති බවට යන අරුත ඇතිව සිද්ධාර්ථ ලෙස රාජකීය පුත් කුමරා ට නම් තැබුවා.
බමුණුදම් අතහැර මහණ දම් පුරමින් සිද්ධාර්ථ බෝසතාණන්ට බුදුවන සමයේ ඇප උපස්ථාන කළ ද බුද්ධත්වය අතහැරියේ ය යන වැරදි වැටහීමෙන් පසු කලෙක සිද්ධාර්ථ බෝසතාණන් අතහැර යන්නට වූ පස්වග මහණුන්ගෙන් එක් අයෙක් ලෙස කොණ්ඩඤ්ඤ හිමියන් සැළකිය හැකියි. කෙසේ වුවත් සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කළ පසු කළගුණ සැළකීමක් ලෙස බරණැස ඉසිපතන මිගදායේදී ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළේ මෙම පස්වග මහණුන්ටයි. පළමු ධර්ම දේශනාවෙන් සෝවාන් ඵලයට පත් වූ කොණ්ඩඤ්ඤ හිමියන් පසුව අනන්තලකඛණ සූත්‍ර දේශනාව අසා උතුම් වූ අරහත් ඵලයට පත් වුණා.
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ
ගෞතම බුදු සසුනේ මුලින්ම ධර්මය අවබෝධ කළ භික්ෂුන් අතරින් අග්‍ර ස්ථානය අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ට බුදුරදුන් විසින් පිරිනමනු ලැබුවා. ඒ් වගේම උන්වහන්සේ තමයි බුද්ධ ශාසනයේ වැඩිමහලුම භික්ෂූන් වහන්සේ. ඒ් නිසාම හැම කෙනෙක්ම ගිහි පැවිදි බේදයකින් තොරව උන්වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් කටයුතු කළා. දෙවියන් පවා එහෙමයි හැසිරුණේ. ඒ් විතරක් නෙවෙයි දෙවි මිනිසුන් දිනපතාම උන්වහන්සේගෙන් බණ පදයක්, දහම් කරුණක් අහන්න පැමිණෙනවා. හුදෙකලාවම ප්‍රිය කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ට මෙය දැඩි බාධාවක් වෙලා තිබුණා.
තවත් කරුණක් වුණේ ශ්‍රාවක සංඝයාට දහම් දෙසීමට වඩින බුදුරදුන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම වන සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේලා ට ඉදිරි අසුන් දෙකට වඩින ලෙස පැවසීමයි. එම අවස්ථාවේදී තමන් වහන්සේලාට වඩා වැඩිමහලු අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පසුපස අසුනක සිටියදී ඉදිරියට පැමිණීමට සිදුවීමෙන් උන්වහන්සේලා අපහසුතාවයට පත් වුණා.
මේ කරුණු නිසාත් හුදෙකලා වනවාසයට ප්‍රිය කළ නිසාත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණ්න් වහන්සේගෙන් අවසර ගෙන මන්දාකිණි නම් වූ පොකුණ අසළ පිහිටි ඡද්දන්ත නම් වනයට වැඩම කරන්නට යෙදුණා.
හුදෙකලාව සොයා ඡද්දන්ත වනයට
සිවුරු , පාත්‍ර දරමින් බිමටම නැඹුරු වූ දෙනෙත් ඇතිව සිහි නුවණින් යුතුව ශාන්ත ලෙස පියවර තබන ශ්‍රමණ ඡායාවක් ඒ් මොහොතේ මන්දාකිණි විල් තෙර දිය නාමින් සිටි ඡද්දන්ත ඇත් රජුට දකින්නට ලැබෙනවා. අට දහසකින් යුතු හස්තීන් සමූයකට නායකත්වය දෙන ඡද්දන්ත ඇත් රජු පරම්පරා ගණනක් තිස්සේ පසේ බුදුවරුන්ට ඇප උපස්ථාන කළ සිය මුතුන් මිත්තන්ගේ උරුමය ඉදිරියට ගෙන යාමට මෙය හොඳම අවස්ථාවක් බව තේරුම් ගත්තා. ඒ් නිසාම කලකට පසු දකින මේ ශාන්ත ශ්‍රමණ රුව දැක පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. ඉතින් මුළු ඡද්දන්ත වනය සිසාරා කුංචනාද කරමින් ඇත් රජු තම අට දහසක් වූ පරිවාර සේනාව එක්රැස් කරන්නට වුණා.
“කාලෙකට පස්සේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් අපේ වනයට වැඩම කරලා. අපි උන්වහන්සේට දිවි හිමියෙන් ඇප උපස්ථාන කර පිනක් සළසා ගනිමු”.
තම පිරිසට එසේ පැවසූ ඇත් රජු අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පාත්‍රය තම හොඬවැලෙන් ගෙන උන්වහන්සේට දණ නවා වන්දනාමාන කළා. උක් දණ්ඩක් තලා සකස් කළ යුෂ පානයක් පිළිගැන්වූවා. වනයේ තිබූ ගල් ලෙනක් සුද්ධ පවිත්‍ර කර උන්වහන්සේට සකස් කර දුන්නා.
පිරිනිවනට පෙර බුදුන් හමුවෙයි
ඉතින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඡද්දන්ත හස්ති සමූහයාගේ ඇප උපස්ථාන මධ්‍යයේ මේ අයුරින් දොළොස් වසරක් හුදෙකලාව, වනගතව වාසය කළා. කාලයාගේ ඇවෑමෙන් තමන් වහන්සේ පිරිනිවන් පෑමේ කාලය එළඹ ඇති බව අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට පසක් වුණා.
“දැන් මට පිරිනිවන් පෑමට කාලය එළඹිලා. ඊට පළමුව බුදුරජාණන් වහන්සේ හමු වී අවසර ලබා ගත යුතුයි. නමුත් වේළුවනාරාමයේ බොහෝ පිරිසක් සිටිනවා. කාලෙකින් නොකැපූ කෙස් හා රැවුල් ඇතිව දුරවල වු සිරුරකින් වසර 12ක් පැරණි වැරහැලි වූ සිවුරක් දරාගෙන සිටින මා දැක යමෙක් හිතේ කිළුටක් ඇති කර ගත්තොත් එය ඒ් පුද්ගලයාට හොඳ දෙයක් නොවෙයි. විශාල අයහපතක් සිදු වෙනවා. ඒ් නිසා මම සෘද්ධියෙන් වඩිනවා”.
වේළුවනාරාමයට අහසින් වැඩම කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරදුන්ගේ ශ්‍රී පතුල් නැමද එකත්පස්ව හිඳිමින් මෙසේ පැවසුවා.
“ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස මම කොණ්ඩඤ්ඤ වෙමි”.
මෙය ඇසූ වේළුවනාරාමයේ සිටි ගිහි පැවිදි සියලු දෙනා බුද්ධ ශාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කළ ශ්‍රමණයන් වහන්සේව දැකීමට ලැබූණ ප්‍රීතියෙන් සාධුකාර කරන්නට වුණා. ඒ් මොහොතේ එතැන වැඩ සිටි වංගිස තෙරුන් වහන්සේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගේ ගුණ වර්ණනා කරන්නට වුණා.
‘‘ කොණ්ඩඤ්ඤ තෙරණුවෝ බුද්ධානුබද්ධ කෙනෙක්. බලවත් වූ වීර්යයෙන් මේ දුක් කතරින් එතෙර වුණා. නිරතුරුව ධ්‍යාන සැප ලබමින් දැන් ඉතා ම සතුටිනුයි වැඩ ඉන්නේ.
මේ ශාස්තෘ ශාසනයේ කළ යුතු සියල්ල උන් වහන්සේ සිදු කළා. මහානුභාවසම්පන්නයි. ත‍්‍රිවිද්‍යාලාභීයි. අනුන්ගේ සිත් දකින්නටත් ඉතා ම දක්ෂයි. දැන් මේ සිරිපා වන්දනා කරන කොණ්ඩඤ්ඤයන් වහන්සේ බුදු සමිඳුන්ගේ අසිරිමත් දායාදයක්.”
වංගීස හිමියන් ගේ ගුණ වැයුම් අවසානයේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ට මෙහෙම කියනවා.
‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මා මේ සම්බුදු සිරුර දකිනා අවසාන වතාවයි. ඡද්දන්ත වන පියසේ මාගේ දායක සමූහයා සමීපයේ මා පිරිනිවන් පානවා.”
පිරිනිවන් පෑමට බුදුරදුන්ගෙන් අවසර ලබාගෙන වේළුවනාරාමයේ රැස්ව සිටි දෙව් මිනිස් සමූහයාට දහම් දෙසූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අහසින් ම යළිත් ඡද්දන්ත වනයට වැඩම කර පිරිනිවනට සූදානම් වුණා.
ඒ් සුවඳ පුෂ්පය මිලින විය
මන්දාකිණි විලෙන් පැන් පහසු වී සිය වාසස්ථානය තුළට වැඩම කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මනා සිහියෙන් යුතුව සමාපත්තීන්ට සම වැදෙමින් හිරු නැගීමට පළමුව කල්ප කාලයක් පෙරුම් පුරමින් තමන් වහන්සේ පැමිණි ගමනට සමුදෙමින් පිරිනිවනට වැඩියා. පසුදා උදාසනම සුපුරුදු පරිදි දැහැටි දඬු පිළියෙල කර ශ්‍රමණයන් වහන්සේ අවදි වනතුරු බලා සිටි ඡද්දන්ත ඇත් රජු උන්වහන්සේගේ ප්‍රමාදය පිළිබඳ සොයා බැලීමට ගල් ගුහාව තුළට වැදුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවනට වැඩම කොට ඇති බව දැනගන්නා ඇත් රජු මහත් සංවේගයට පත් වුණා.
අකනිටා බඹ ලොවට ද ඇසුණ කුංචනාදය
අට දහසක් හස්තීන් එක්ව වසර 12ක් උවටැන් කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගේ පරිනිර්වාණය දැනගත් ශෝකයෙන් කුංචනාද කිරීමට පටන් ගත්තා. මේ කුංචනාද ශබ්දය අකනිටා බඹ ලොව දක්වාම ඇසෙන්නට වුණා. එය ඇසී මන්දාකිණි විල්තෙරට පැමිණි බ්‍රහ්මයන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ශ්‍රි දේහය වන්දනා කොට දෙවියන් විසින් තනවන ලද මණ්ඩපයක චිතකය සකස් කළා. ඡද්දන්ත හස්තීන් සියලු දෙනා චිතකය තුන්වරක් ප්‍රදක්ෂීණා කරමින් අවසන් ගෞරවය ද දක්වනු ලැබුවා. චිතකය දවා ඉතිරි වූ අරහන්තක ධාතුන් වහන්සේලා වඩා හිඳුවා චෛත්‍යයක් ඉදි කරනු ලැබුවා. අවසානයේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා උතුම් වූ නිවන් ඵලය ලබමින් ඒ් අති ශ්‍රේෂ්ඨ බුද්ධ ශ්‍රාවකයාණෝ මේ බියකරු සසර ජය ගත්තා.
© Buddhist Brotherhood