සෑම වර්ෂයකම සැප්තැම්බර් මස එළඹෙත්ම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවන්නේ පොත් පත් වෙතට ය. එනිසාම සැප්තැම්බර් මාසය “සාහිත්‍ය මාසය” නමින් හඳුන්වන්නට ද අපි පසුබට නොවෙමු. එහෙත් සෑම සැප්තැම්බර් මසකම ශ්‍රී ලාංකිකයන් ලෙස අප විසින් අනුස්මරණය කළ යුතු දිනයක් එළඹෙන බව බොහෝ දෙනෙකුගේ මතකයෙන් වියැකී යනු දක්නට ලැබීම ඛේදයකි. එම දිනය අදට යෙදී ඇත.
සැප්තැම්බර් 17 යනු මේ ලෝ තලයේ ගුරුත්වයට ගරුත්වය දුන් උත්තුංග ලංකා පුත්‍රයෙකුගේ ජන්ම දිනය අනුස්මරණය කරන දිනයකි. හෙතෙම නම් දොන් ඩේවිඩ් හේවාවිතාරණයන් ලෙසින් ඉපිද අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් ලෙසින් මේ දීපය, හෙළ ජාතිය, බුදු සසුන මෙන්ම මිනිසත්බව සුරක්ෂිත කිරීමට ඇප කැපවුණු අත්‍යුදාර යුග පුරුෂයෙකි. අද එතුමන්ගේ 156 වන ජන්මානුස්මරණය දිනයයි. එනිසාම එතුමන් ලොවට දායද කළ චින්තනයෙක් එක් පෙත්තක් විවරණය කිරීම අද වැනි දිනයක එතුමන් වෙනුවෙන් සිදු කරනා උපහාරයක් සේ සිතමි.
ධර්මපාලතුමන් පිළිබඳ ලාංකේය අප නොදන්නා යමක් නැති තරම් වන්නේ, කුඩා කල පටන්ම පාසැලෙන්, දහම් පාසැලෙන් පමණක් නොව සරසවියෙන් වුවද එතුමන්ගේ ජීවන තොරතුරු සහ මෙහෙවර පිළිබඳව ද ප්‍රාමාණික දැනුමකින් අප පොහොසත් බැවිනි. එනිසාම ධර්මපාල චින්තනයේ කැපීපෙනෙන “දේශීයත්වය අගය කිරීම”, මෙම සටහන අකුරු කරන මගේ කෝණයෙන් විවරණය කරන්නට මෙතැන් පටන් උත්සාහ ගනිමි. දේශීයත්වය ඇගයීම යනු ඕනෑම රටකට ස්වාධීනව ලෝකය හමුවේ නැගී සිටින්නට රුකුල් සපයන අවස්ථාවක් බැවිනි. චීනය, ජපානය මෙන්ම එංගලන්තය පවා යම් යම් අවස්ථාවලදී ස්වකීය දේශීයත්වයට මූලිකත්වය දෙනු දක්නට ලැබුණත් අපට අසැල්වැසි භාරතය වනාහී දේශීයත්වයට නිතර අග්‍රස්ථානය දෙන්නට නොපැකිළි රටකි. එනිසාම දේශීයත්වය ඇගයීම යන මෘදු කුසලතාව පිළිබඳ සාකච්ඡා කරන විට අමතක කළ නොහැකි ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වන නරේන්ද්‍ර මෝදි මහතාගේ දශක හතක ජන්ම සැමරුම අදට යෙදී තිබීම මෙම සටහනට වටිනාකමක් ගෙන දෙන තවත් කරුණකි.
දේශීයත්වය ඇගයීම යනු තරමක පරාසයක විහිදෙන මාතෘකාවකි. නමුත් නිතර ඒ පිළිබඳ සාකච්ඡා කෙරෙන්නේ හෝ ලියැවෙන්නේ අංශු මාත්‍රයක් පමණි. ස්පර්ශ උරුමයන් මෙන්ම අප දේශයක් ලෙසින් අස්පර්ශ උරුමයන් ද සුරක්ෂිත කරගැනීම වටින්නේය. විශේෂයෙන්ම ධර්මපාල තුමා සිය දිවිය, ධනය කැපකොට ක්‍රියා කරන ලද්දේ “ලෝකෙන් උතුම් රට” වාචාර්ථ්‍යයෙන්ම බැබළවීමට ය. ඒ උතුම් රටෙහි මනුෂ්‍යත්වය රජ කරවීමට ය. සැමට නිදහස් නිවහල් දේශයක් ශාරීරිකව මෙන්ම අධ්‍යාත්මිකව ද උරුම කිරීමට ය.
විශේෂයෙන්ම දේශීය ශ්‍රමය අපතේ යෑම සහ විදේශයන්ට අගයක් නැතිව දන්දීම යන කරුණු කාරණා කෙරෙහි එතුමන්ගේ දැඩි විවේචන තිබූ බව අපට පෙනේ. විශේෂයෙන්ම මත්වතුර බොමින්, ගව මස් බුදිමින් කාලක්‍රියා කරන පිරිස් නිවටුන් සේ සලකමින් ස්වකීය දේශන මාලාවන්හීදී ඔවුන්ගේ ඥාණය වැඩවීම වෙනුවෙන් එතුමන් හඬ නැගුවේය. ආචාර්ය නන්දා මාලනිය ගයන එතුමන්ගේ ගුණ සමරු ගීතයෙහි අඩංගු කොටසක් මෙසේ උපුටා දැක්විය හැකිය.
“සිංහල ගොං තඩියන්ගේ මොළ සේදූ වෙදාණෝය
සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහරජාණෝය
රට රටවල මහමුණි බණ පළ කළ දූතයාණෝය
මහබෝධි සෙවණේ මතු බුදුවන බෝසතාණෝය”
බෞද්ධ දර්ශනය ඔස්සේ යමින් ධර්මපාලතුමන් කරගෙන ගිය ආගම් ප්‍රචාරණයක් නොවේ ය. හෙතෙම නිරන්තරයෙන් මතු කළේ සොබාදහම නැමැති දහමත්, මනුෂ්‍යත්වය යන ආගමත් ය. ගහකොළ, සතාසීපාවා මෙන්ම මිනිසුන් වෙනුවෙන් ධර්මපාලතුමාගේ සිතෙහි වූ ආදරය අනුපමේය වේ. ඕල්කට්තුමා, බ්ලැවැට්ස්කි මැතිණිය වැනි අන්‍ය දේශ සුහිත් පිරිස් පවා ඔහු සමගින් අත්වැල් බැඳගන්නේ මෙකියන මානව ප්‍රේමියාගේ අනාගත කාර්‍යය පහසුව සඳහා රුකුල් දීමට යැයි සිතිය හැකිය.
අද උපන්දිනය සමරන නරේන්ද්‍ර මෝදි තුමන් වුවද ස්වකීය ජීවන කර්කෂකබව ආත්ම ශක්තියට එක්කොටගෙන ඉන් ජීවිතය ජයගත් උදාර චරිතයකි. ඔහු ද බොහෝ විට දේශීයත්වය සහ මනුෂ්‍යත්වය අගයනු ඉකුත් කල පුරාවට දක්නට ලැබුණි. එනිසාම මේ අතීත මානව ප්‍රේමී පුරාවෘත්තයත්, වර්තමාන සුජීවත් මානව ප්‍රේමීයාණනුත් අනුදැන යමින් අප ජීවිතයේ දේශීයත්වය වෙනුවෙන් වෙන් කළ යුතු ස්ථානය කොතෙක්දැයි මිනිතයකට පැමිණීම නුවනට හුරු ය. මන්ද අප දේශීයත්වය සේ කතාබහ කරන පුරසාරම් තරමටම අපෙන් වියැකෙන අස්පරිශීය දේශීයත්වය අප රැකගත යුතු බැවිනි.
✒️ අකාශ් තාරුක පෙරේරා
© Buddhist Brotherhood