Temples of Sri Lanka

මිහින්තලාවෙන් ගැලූ සදහම් අමා දහර


අද පොසොන් පුර පසළොස්වක පොහොය දවසයි. වෙසක් පුර පසළොස්වක දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය වූ ආගමික දිනයයි. පොසොන් පුර පසළොස්වක දිනය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අසිරිමත් වූ ලංකාගමනයයි.. වෙසක් පුර පසළොස්වක පොහොය ගෙවී යත්ම උදාවූ පොසොන් පුර පසළොස්වකදා ඊලඟ ශ්‍රේෂ්ඨතම ආගමික දිනය වන්නේය… බෞද්ධයා කවදත් කෘතගුණ දැක්වීමට දක්වන්නේ ඉතාමත් කැමැත්තක්. හේතුව නම් බුදුරජාණන් වහන්සේ විසින් ආදර්ශයෙන් ම, මුලින්ම ලොවට පෙන්නුම් කළේ කළගුණ සැලකීමෙහි ඇති වටිනාකම පිළිබඳවයි.

බුදු සිරිතෙන් එවන් උතුම් ආභාෂයක් ලබා සිටින බෞද්ධ ජනතාවට කළගුණ සැලකීම පිළිබඳව දැනුවත් කිරීම අවශ්‍ය නොවේ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිස සිරිලකට වැඩම කළ ඓතිහාසික පුවත උන්වහන්සේ මෙරටට වැඩම කර වසර ගණනක් ගත වුවත් අද පවා මහත් ගෞරවයෙන් අනුස්මරණය කරන්නේ අනුබුදු මාහිමි ශ්‍රීනාමයට කෘතෝපහාර දැක්වීමටයි.

ඓතිහාසික අම්බස්තලය මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීමෙන් මිහින්තලාව නම් වූ අතර දේවානම්පියතිස්ස මහරජ තුමා ප්‍රමුඛ මෙරට රාජ නාමාවලියේ බොහෝ රජවරුන් මිහින්තලාව කේන්ද්‍ර කරගනිමින් මෙහෙවර රැසක් ඉටු කර ඇත.

මහින්දාගමනයෙන් මෙරට ඇති වූ සමාජ විපර්යාසයේ සුවිශේෂී පැතිකඩක් වශයෙන් ශ්‍රී ලාංකික සංස්කෘතියේ කලාත්මක උරුමය පෝෂණය හැඳින්වීමට පුළුවන්. එදා අප සතුව තිබූ ප්‍රෞඪ ඉතිහාසයේ අභිමානය අසිරිය අදටත් නිහඬව කියාපාන අතර රමණීය කලා නිර්මාන සියල්ල ලොව සෙසු කලා කෘතීන් අතර අද්විතීය ස්ථානයක ඇත.

සමාජ හා ආගමික පසුබිමට සාපේක්ෂිතව සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි වර්ධනය මහින්දාගමනයත් සමඟ වූ විශේෂ සංසිද්ධීන් වේ..

එතෙක් පැවැති දේශීය සංස්කෘතිය ගමන් කළ මන්දගාමීත්වයෙන් මුදවා ගනිමින් දේශීය සංස්කෘතිය ඉන්දීය සංස්කෘතිය හා බද්ධ කරමින් නව දේශීය සංස්කෘතියක් ගොඩනැංවීමට මිහිඳු මාහිමියන් ගත් මග සදාකල් ශ්‍රී ලාංකීය ජනතා හදවත්වල තැන්පත් වීමට මිහිඳු ආගමනයෙන් වූ සේවය පුදුමයට කරුණක් නොවේ.

මිහිඳු මාහිමියන් විසින් පළමුව දේශපාලන අධිකාරිත්වය ද සමාජගත අනෙකුත් ජන කණ්ඩායම් ද මතවාදීව තම අදහසට නැඹුරු කර ගනිමින් ගොඩනැගෙන ලද එම ශක්තිමත් බෞද්ධ සංස්කෘතිය දිනෙන් දින දියුණුවට හරවත් ලෙසින් සමාජයට ලැබීම මත අනුබුදුවරයකු ලෙසින් මිහිඳු මාහිමියන් වහන්සේ ජන හදවත් තුළ සනිටුහන් විය.

සෑම වසරකම පොසොන් උදාවත් සමඟ තම ආගමේ මෙන්ම දේශයද ශ්‍රේෂ්ඨමයානන් වහන්සේ ලෙසින් වසර දහස් ගණනක් මුළුල්ලේ ලක්ෂ සංඛ්‍යාත වූ ලක්වැසි බොදු බැතිමතුන්ගේ පූජනීයත්වයට මෙන්ම වන්දනීයත්වයටද උන්වහන්සේ පාත්‍ර වූ සේක.

සංවිධානාත්මක බවින් තොර වූ ආගම් රැසකින් හෙබි සමාජයකට දෙලොවටම වැඩ සලසන සංවිධානාත්මක ආගමක් ලෙසින් බුදුදහම ලක්දිව වැසියන්ට හඳුන්වා දෙනු ලැබුවේ මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම වි විසිනි.

ගස් ගල් පර්වත සරණ ගොස් සිටි පිරිසට නව අර්ථකථනයක් යටතේ තමාගේ ස්වාමිත්වය ගැන විශ්වසනීයත්වයකින් වර්ධනය කර ගැනීමට මිහිඳු හිමියන් විසින් දේශනා කළ මුල් ධර්ම කොට්ඨාස තුළින්ම හැකි විය

පුද්ගල චර්යාවේ වටිනාකම හා ආත්ම සංයමයේ උසස් බව වටහා දෙමින් සදාචාරාත්මක මාවතකට පුද්ගල ක්‍රියාකාරීත්වය බද්ධ කරන ආකාරය සිංහල සමාජයට හඳුන්වා දීමට මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම කටයුතු කිරීම තවත් ප්‍රතිඵලදායි කරුණක් විය

ගල් ලෙනක වෙසමින් පිණ්ඩපාතයෙන් ලත් ආහාරයෙන් සිය ජීවිතය ගෙන යමින් පරාර්ථය සිය අරමුණ කොට සරල ජීවන මාර්ගයක ගමන් කළ භික්ෂුව ලාංකීය සමාජයේ පරමාදර්ශී චරිතයක් ලෙස මෙරට සමාජගත වීම දේශීය සංස්කෘතිය පරිවර්තනයේ ආරම්භය සනිටුහන් කළ අවස්ථාවකි.

පංචශීලයෙන් ශික්‍ෂණය ලද ජනතාව අවිහිංසාව සිය ජීවිතයේ පදනම කරගනිමින් කෘෂිකර්මයෙන් සිය ජීවනෝපාය සරු කර ගත්හ. නොපෙනෙන දෙවියන් වෙනුවට තිසරණය ජීවිතයට ළඟා කරගත් අතර ගස් ගල් සරණ යාම වෙනුවට බුදුරජානන් වහන්සේ,හා බෝධියත්… පැවැති විශ්වාසයනට වඩා අර්ථාන්විත සංස්කෘතියකට උරුමකම් කීමට පදනම සකස් කිරීම මහින්දාගමනය අස්වැසිල්ලක් විය.

බුදුරජාණන් වහන්සේගේ ධාතුන් තැන්පත් කරලීම පිණිස ස්තූප නිර්මාණය කරමින් බෞද්ධ පූජ්‍ය වස්තුන් උදෙසා ගොඩනැගිලි ඉදිකිරීමේ කාර්ය ආරම්භය ආගමික චින්තනයේ අවබෝධයක් උදාකරලීමක් විය

මෙතෙක් කලක් මෙරට සමාජගතව පැවති මළවුන් පිදීම අංගයන් සඳහා නව අර්ථකථනයක් ස්ථූප නිර්මාණය තුළින් ලාංකීය ජනතාව විෂයෙහි ලබාදුන් අතරම ඒ හා බැඳුණු බෞද්ධ සංකල්ප රැසක්ම මෙරට වැසියන්ට උරුම කර දීමටද පියවර ගැනිනි.

මෙම අවස්ථාව, බුදු දහම ජනතාව අතරට ගෙනයාමේ මුල් පියවරක් සේ සැලකිය හැකිය

ගල් පර්වතවලට වන්දනාමාන සිදු කළෝ චෛත්‍ය හා බුදුපිළිමවලට වන්දනා කිරීමෙන් ස්වකීය අධ්‍යාත්මික පාරිශුද්ධත්වය සලසා ගත්හ. දෙවියන් ඇදහූ අය දෙවියන්ට පින්දීමට හුරු පුරුදු වූහ. මේ අනුව පැහැදිලි වන්නේ අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාරයන් විවිධ ආකාරයෙන් හුරු පුරුදු වූ ජනතාව බුද්ධියේ නිම් වළලු පුළුල් වීමත් සමගම හරවත් ආමිස හා ප්‍රතිපත්ති පූජා දිය කෙරෙහි ක්‍රම ක්‍රමයෙන් නැඹුරු වූ බවයි.

ලක්දිව භාෂා සාහිත්‍ය චිත්‍ර මූර්ති කැටයම් ගෘහ නිර්මාණ ශිල්පය යනාදියෙහි පදනම මහින්දාගමනයයි.

අප සිංහල අක්ෂර සම්ප්‍රදායද තත්ත්වයකට හැඩගැසුණේද එහි ප්‍රතිඵලයක් ලෙසයි.

මහින්දාගමනයෙන් පසුව සංඝමිත්තා රහත් තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණශාඛාව වැඩමවීම අපට උරුම වූ සංස්කෘතික දායාද යකි….තවත් අතකින් බැලූ කළ මහින්දාගමනයත් සමඟම අපට උරුම වූයේ එවකට ලෝකයේ පැවති විශිෂ්ටතම කලා සම්ප්‍රදාය වූ මෞර්ය කලා සම්ප්‍රදායයි.

බෞද්ධ කලාවේ පෝෂණයට ඉන් ලැබුණේ සුවිශේෂී දායකත්වයක්

සඳකඩ පහණ වාහල්කඩ වැනි කලා නිර්මාණ වගේම මහා කළුගල් වලට පණ පෙවූ සමාධි පිළිමය අව්කන පිළිමය වැනි විශ්ව කලාවේ සම තැන් ගන්නා අග්‍රගන්‍ය කලාකෘති නිම වූයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි.

මහින්දාගමනයත් සමගම බෞද්ධ කේන්ද්‍රස්ථානය ලංකාව බවට පත්වීමත් අපගේ අනන්‍යතා ලක්ෂණ මනාව මූර්ති මත්වන අවස්ථාවන් ලෙස නම් කරන්නට පුළුවන්.

මහින්දාගමනයත් සමඟම අපට උරුම වූ උසස් සංස්කෘතික හර පද්ධතීන් හා කලා නිර්මාණ මතු අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමටත් ක්‍රියා කිරීමට පොසොන් පොහොයදා තරයේ අදිටන් කර ගනිමු..

අනුබුදු සමිදේ
දම් ගඟ නිබඳේ…
මිහින්තලාවෙන් බැස යන්නේ…
ඒ සුව මහ දේ සැනසුම ගෙන දේ
බොදු දැන නිරතුරු සැනසෙන්නේ…….

ඔබ සැමට බැතිබර පොසොන් පුර පසළොස් වක පොහොය දිනයක් වේවා

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X