Temples of Sri Lanka

ශ්‍රේෂ්ඨ වූ ඇසුර යහපති…

අපි නිතර පතන දෙයක් තමයි සාර්තකත්වය. ඊට කොයිතරම් නම් අපි උත්සහ කරනව ද. ඒ වගේමයි අපේ තුළ තියෙන අසාර්ථකත්වය නැති කරගන්නත් අපි කොතරම් හිතලා පතලා උත්සහ කරලා ඇත්ද.

අසාර්ථකත්වයන් නැති කරගන්න කැමති ඔයාලට, සාර්ථක වෙන්න කැමති ඔයාලට මේ ලිපිය ආශීර්වාදයක් වේවා යන්න මගේ සුපහන් පැතුමයි..

සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට බලපාන ප්‍රධානම සාධකය ගැන අපි සොයා බලමු. ඒ තමයි ආශ්‍රය..’. ආශ්‍රය ගැන ලෝකයම අවබෝධ කළ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ මෙන්න මේ විදිහටයි.

නිහීයති පුරිසෝ නිහීනසේවී – න ච හායේථ කදාචි තුල්‍යසේවී,

සෙට්ඨමුපනමං උදේති ඛිප්පං – තස්මා අත්තනෝ උත්තරිං භජේථාති.

“තමන්ට වඩා ගුණයෙන් හීන අය ඇසුරු කරන පුද්ගලයා ගුණධර්මවලින් පිරිහී යනවා. තමාට සමාන වූ ගුණයෙන් යුත් පුද්ගලයන් ඇසුරු කරන කෙනා කිසි කලෙක පිරිහී යන්නේ නෑ. තමන්ට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන්ගේ ඇසුරට නැඹුරු වන කෙනා වහා දියුණු වෙනවා. එනිසා තමාට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන්වයි ඇසුරු කළ යුත්තේ

ඉතින් අපේ සූදානම තුල ශ්‍රේෂ්ඨ ඇසුරකට යොමුවෙමු.. බුදුබණ පදයෙන් සාරවත් වූ මේ ලිපියත් ඔයාලගේ වාසනාවකට ඔයාලට හමුවුනා වෙන්න පුලුවනි.

ඒකත් ඔයාලට ලැබෙන ශ්‍රේෂ්ඨ වූ උතුම් ඇසුරක්.

ඉතින් මෙත් සිතින් පතනවා මේ තුලින් ‘ඇසුර’ ජීවිතේට කොයිතරම් වැදගත් ද කියා තේරුම් ගන්න ඔයාල අවබෝධයක් ලැබෙන්න කියලා..

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, මේ ලෝකයේ පුද්ගලයෝ තුන්දෙනෙක් දකින්න ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද?

(1) පුද්ගලයෙක් ඉන්නවා ඔහු (ජිගුච්ඡිතබ්බෝ) පිළිකුල් කළ යුතුයි. (න සේවිතබ්බෝ) ආශ්‍රය නොකළ යුතුයි. (න භජිතබ්බෝ) භජනය නොකළ යුතුයි. (න පයිරුපාසිතබ්බෝ) එකතු වී නොසිටිය යුතුයි.

(2) තව පුද්ගලයෙක් ඉන්නවා ඔහු ගැන (අජ්ඣුපෙක්ඛිතබ්බෝ) මධ්‍යස්ථව බැලිය යුතුයි. (න සේවිතබ්බෝ) ආශ්‍රය නොකළ යුතුයි. (න භජිතබ්බෝ) භජනය නොකළ යුතුයි. (න පයිරුපාසිතබ්බෝ) එකතු වී නොසිටිය යුතුයි.

(3) තවත් පුද්ගලයෙක් ඉන්නවා ඔහු (සේවිතබ්බෝ) ආශ්‍රය කළ යුතුයි. (භජිතබ්බෝ) භජනය කළ යුතුයි. (පයිරුපාසිතබ්බෝ) එකතු වී සිටිය යුතුයි.

ඉතින් අපි කාවද පිළිකුල් කළ යුත්තේ…!

ඇත්තෙන්ම කෙනෙකුට වාද කරන්න හිතෙන්න පුළුවන් ‘මිනිස්සුන්ව පිළිකුල් කරන එක හොඳ නෑ නේද?’ කියලා. නමුත් හොඳින් බලන්න පිළිකුල් කළ යුතු කෙනා මොන වගේ ගති ලක්ෂණ ඇති කෙනෙක් ද කියලා.

ඔහු දුස්සීලයි. පවිටුයි. සැක සහගත හැසිරීම්වලින් යුක්තයි. සැඟවී පව් කරන කෙනෙක්. තමා තුළ ගුණයක් නැතිව බොරුවට මවාපාන කෙනෙක්. ඇතුළ කුණු වෙලා තියෙන්නේ. ආන්න ඒ පාපී ලක්ෂණ නිසා මෙවැනි පුද්ගලයා පිළිකුල් කළ යුතුයි. ආශ්‍රය නොකළ යුතුයි. එක් වී නොසිටිය යුතුයි.

ඒකට හේතුව මොකක්ද? මෙවැනි පුද්ගලයෙක් ඇසුරු කරද්දී තමන්ට නොදැනීම ඒ පහත් ගති ලක්ෂණ තමා තුළ ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මෙබඳු අයව ඇසුරු නොකළ යුතුයි.

පිළිකුල් කළ යුත්තේ ඇයි? ඒක බොහොම වැදගත් කාරණාවක්. ඇතැම් විට හිතෙන්න පුළුවන් ‘අපි ඔය වගේ අය ඇසුරු කරනවා. නමුත් එයාල විදිහට අපි හැඩ ගැහෙන්නේ නෑ. ගත යුත්ත අරගෙන ඇසුරු කරන්න අපි දන්නවා’ කියලා. “ඒත් මිනිස්සුනේ ඉතින්, එයාලගෙත් ගන්න දේවල් තියෙනවානේ.” කියලා ඔය වගේ මිනිස්සු ගැන අපි ඇතැම් විට කියනවා.

ජීවිතේ ගඳ ගහන්න දෙන්න එපා…!

එවැනි පුද්ගලයන් පිළිකුල් කළ යුත්තේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පවිටු පුද්ගලයෙකුගේ ඇසුර නිසා අදහස්වලට අනුව හැඩ නොගැසුනත් ඔහු ඇසුරු කිරීම හේතුවෙන් ඇසුරු කරන තැනැත්තා ගැන ‘මේ පුද්ගලයා පාපී මිත්‍රයෝ ඉන්න කෙනෙක්, පාපී යාළුවෝ ඉන්න කෙනෙක්, පාපී අයගේ පැත්තට නැමිච්ච කෙනෙක්’ කියලා ළාමක රාවයක් පැතිරෙනවා.

ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. ඔන්න අපි හිතමු අසූචි තැවැරුන සර්පයෙක් ඉන්නවා. ඌ ඔබට දෂ්ට කරන්නේ නෑ. ඌ ඔබත් එක්ක හිතවත්. ඌ දෂ්ට නොකළත් ඌව ළං කරගත්ත කෙනෙකුගේ ඇඟේ අසූචි තැවරෙනවා. අසූචි ගඳ ගහන්න පටන් ගන්නවා. අන්න ඒ වගේමයි පවිටු ගති තියෙන කෙනෙක්ගේ ඇසුර නිසා ජීවිතේට අනවශ්‍ය ගඳක් එකතු වෙනවා.

ඉතින් සාර්ථක ජීවිතයක් කැමති, වැදගත් ජීවිතයක් කැමති කෙනා අසූචි තවරාගත් විෂඝෝර සර්පයෝ බඳු දුස්සීල පවිටු පුද්ගලයින්ව පිළිකුල් කොට ඇසුරෙන් බැහැර කළ යුතුයි.

මධ්‍යස්ථ වෙන්න.. පමණක ඇසුරින් ඉන්න…

ඇත්තෙන්ම මධ්‍යස්ථව බැලිය යුතු, ඇසුරට ළං කර නොගත යුතු කෙනා කියන්නේ කාට ද? මේක ගොඩාක් වැදගත්. හොඳ නුවණින් තේරුම් ගත යුතු කාරණාවක්.

ඇතැම් උදවිය ඉන්නවා ක්‍රෝධ කරන ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ කේන්ති අරගෙන ඒක තදින් හිතේ තියාගෙන පැසවනවා. බහුල වශයෙන් කෝපය නිසා පීඩා විඳිනවා. පොඩි වචනයක් එහෙමෙහෙ වුණත් ඒ වචනයේම ගැලෙනවා. කිපිලා තරහා ගන්නවා. ඊටපස්සේ හොඳ ම මිත්‍රයා විදිහට හිටපු කෙනාගෙත් අයහපත කැමැති වෙනවා. කෝපයත්, ද්වේෂයත්, නොසතුට පහළ කරනවා. ඔන්න ඔය වගේ පුද්ගලයින්ව මධ්‍යස්ථව දැකිය යුතුයි. ආශ්‍රය නොකළ යුතුයි. භජනය නොකළ යුතුයි. එක් වී නොසිටිය යුතුයි.

මේ විදිහට නැවතිලා සම්මා සතියෙන් යුතුව ජීඅත් වෙන්න පුරුදු පුහුණු කලොත්, ජීවිතේ අර්බුද ගොඩක් අඩුවෙයි

ජීවිතයක් සැනසිල්ලේ ගත කරන්න නම් මේ කරුණ ගොඩාක් වැදගත්. මෙබඳු පුද්ගලයන්ව අමනාප කරගන්නෙත් නැතිව, සමීප කරගන්නෙත් නැතිව බොහොම උපේක්ෂාවෙන් තමයි කටයුතු කළ යුත්තේ.

ඒකට හේතුව තමයි ඒ වගේ පුද්ගලයෝ හරියට නරක් වුණ පරණ තුවාලයක් වගේ. නරක් වූ සැරව පිරුණු තුවාලයක් ලී කෝටුවකින් හරි ගල් කැටයකින් හරි චුට්ටක් පෑරුවොත් ගොඩක් සැරව ගලනවා. ඒ වගේ පොඩි දෙයක් ඇති ඒ පුද්ගලයාගෙන් ක්‍රෝධ ගිනි ගලන්න පටන් ගන්නවා.

හරියට තිඹිරි ලීයක් ගිනි තැබූ ගිනි පෙණෙල්ලකට කෝටුවකින් හරි ගල් කැටයකින් හරි ගැහැව්වොත් ඒක ‘චිටි චිටි, චිටි චිටි’ ගාලා හුඟක් සද්ද වෙනවා. ඒ වගේමයි වහා කිපෙන පුද්ගලයෝ කිපුණු සැණින් තැන නොතැන නොබලා කෑ ගහනවා. නින්දා අපහාස කරනවා. වැදගත්කම නසනවා. නොකිව යුතු දේ පවා අන් අයටත් ඇහෙන විදිහට කියනවා.

හරියට අසූචි වළකට යාන්තමින් කෝටුවකින් හරි ගල් කැටයකින් හරි ගැහැව්වොත් බොහෝ සෙයින් දුගඳ පැතිරෙනවා වගේ ඉක්මනින් කිපෙන පුද්ගලයන් පොඩි දේකිනුත් ඇවිස්සෙනවා. ඉතින් සාර්ථක ජීවිතයක් කැමති, වැදගත් ජීවිතයක් කැමති කෙනා ක්‍රෝධයෙන් පැසවන එබඳු පුද්ගලයින් ගැන මධ්‍යස්ථ වී සමීප ඇසුරෙන් බැහැර කළ යුතුයි.

ඒක ජීවිතේ අර්බුද ගොඩාක් අඩුවෙන්න හේතු වෙනවා.

ඒ කියන්නෙ අපේ ජීවිතයට කවුරුවත්ම ආශ්‍රය සඳහා ඕන නැද්ද…?

මේක ඇතැම්මු කියන කථාවක්. මේ සමාජේ යම් පමණකට තරුණ සිත්වලට බලපෑමක් කරන කථාවක්. ‘කවුරුවත්ම ඕන නෑ, මම තනියම ජීවත් වෙනවා’ කියලා හිතන බහුතරයක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළා සාර්ථක වෙන්න කැමති කෙනෙක් ආසාවෙන් ඇසුරු කළ යුතු කෙනෙක් ඉන්නවා.

සිල්වත් වූ යහපත් ගති ලක්ෂණ තිබෙන පුද්ගලයෙක් නම් අන්න එවැනි පුද්ගලයා ආශ්‍රය කළ යුතුයි. භජනය කළ යුතුයි. එක් වී සිටිය යුතුයි. එයට හේතුව කුමක් ද? ඒ පුද්ගලයාගේ ඇසුර නිසා තමන්ගෙත් සිල්වත් ගුණවත්කම් හැදෙනවා. එහෙම ඔහුගේ අදහස්වලට අනුව තමන් යහගුණයෙන් නොවැඩුණත්, තමන් ගැන මෙන්න මේ වගේ කීර්ති රාවයක් පැතිරෙනවා. ‘මේ පුද්ගලයා කල්‍යාණ මිතුරන් ඉන්න කෙනෙක්. යහපත් මිතුරන් ඉන්න කෙනෙක්. යහපත් අයගේ පැත්තට නැඹුරු වූ කෙනෙක්’ කියලා.

හරියට සුදු හඳුන් හෝ රත් හඳුන් හෝ කරඬුවක් යම් රෙදි කැබැල්ලකින් ඔතලා තිබ්බොත් ටික කලක් යද්දී ඒ රෙදි කැබැල්ලෙනුත් ඉතා මිහිරි සුවඳක් ම හමන්න ගන්නවා වගේ.

අන්න ඒ නිසා සාර්ථක, වැදගත් ජීවිතයකට කැමති කෙනා සිල්වත් යහපත් පුද්ගලයාව ආශ්‍රය කළ යුතුයි, භජනය කළ යුතුයි. එක් වී සිටිය යුතුයි.

ඉතිං ඇසුර ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න.

වර්තමානයේ නම් පුද්ගලයෝ පමණක් නොවේ, පරිහරණය කරන සමාජ මාධ්‍ය, අනිකුත් මාධ්‍ය ප්‍රවේශ, පොත පත ගැන පවා ඔබ ගොඩාක් සැලකිලිමත් වෙන්න. මොකද ඇසුර වරද්ද ගත්තොත් එහි වෙහෙස විඳින්න වෙන්නේ ඔබට ම යි! යහපත් ඇසුරක් හදාගත්තොත් එහි සුවයත් ඔබට ම යි!

වාසනාවන්ත ජීවිතයකට වාසනා බෝ වේවා…!!!

සහෝදරත්වයෙන් එක්වෙමු!

©️ Buddhist Brotherhood

Home

You might also like
en English
X
X