Temples of Sri Lanka

අද උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනයයි…

මැදින් පෝදා සිරි අසිරිය
විඳිමු සාදු සාදු නදින..🙏

හේමන්ත ඍතුවේ අවසාන කාලයත්, ගිම්හාන ඍතුවේ මුල් කාලයත් යන මධ්‍ය කාලය මැදින් මහට අයත් ය. ඒ අනුව මධ්‍යය, මැද, අතර යන අරුතෙන් මැදින් මහ යන්න භාවිතයට එක්වී ඇති බව පොත පත තොරතුරු වලට අනුව පැහැදිලි ය.

අනුස්මරණීය සිදුවීම් රැසක්
මෙම මැදින් මහේ සඳ මෝරාගෙන එත්ම සිදුවේ..

ඒ අතර සැදැහැතියන් ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද තෙද ගැන්වෙන අසිරිමත් සිදුවීමක් නිරායාසයෙන් ම සිහියට නැගෙයි.

එනම් බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ස්වකීය උපන්බිම වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කිරීමයි.

වෙසක් පොහෝ දිනයෙහි කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්ත වීමේ අරමුණින් මැදින් පෝදා ආරම්භ කළ මෙම ගමන නිසා සිදු වූ අනුස්මරණීය සිද්ධීන් ගණනාවක්ම තිබේ.

ඒ අතර….

🙏ඤාතීන්ගේ මානය බිඳ හෙලීම,
🙏යමා මහ පෙළහර පැවැත්වීම,
🙏යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම,
🙏රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීම,
🙏ප්‍රථම වතාවට කාන්තාවන් බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම
🙏සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම
යනාදිය ප්‍රමුඛත්වය ගනියි.

👆දූත පිරිස් නවයක්

පෙර ඇසළ පොහෝ දිනෙක රාත්‍රී කාලයේ සිදුහත් කුමරු කිඹුල්වත්පුර නුවරින් නික්මුණු තැන් පටන් මහත් සේ කම්පාවට පත් සුද්ධෝදන මහ රජු තම පුතු දැක බලා ගැනීමේ බලවත් ආශාවෙන් පසු වූ අතර බිම්බිසාර රජු පාලනය කළ මගධ රාජ්‍යයේ වේළුවනාරාමය නම් වූ සුන්දර ආරාමයෙහි බුදුරදුන් වැඩවෙසෙන බව පියරජු දැන ගත්තේ ය. බුදුරදුන්ට කිඹුල්වත් පුරයට වැඩම වන ලෙස ආරාධනා කරන මෙන් දන්වා ඇමතියකු ප්‍රමුඛ දූත කණ්ඩායමක් රජගහනුවර වේළුවනාරාමයට යැවී ය. එම පිරිස එහි ගොස් බුදුරදුන් වෙතින් බණ අසා පැහැදී පැවිදි වූ අතර රජුගේ ඉල්ලීම ඉටු නොකළහ. මෙසේ ඇමතිවරු නව දෙනෙක් සහිතව නව වාරයක්ම දූත පිරිස් පිටත්කොට යැවූ නමුත් ඉන් එක ද පුද්ගලයෙක් හෝ නැවත නොපැමිණිය හ. පෙර සේ ම සිදුවූ යේ ඔවුන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වීම යි.

කාළුදායි ඇමතිගේ වරය
දස වැනි වාරයේදී සිදුහත් කුමරු උපන් දිනයේ ම උපත ලැබූ කාළුදායි ඇමතිවරයා දහසක දූත කණ්ඩායමක් ද සහිතව පිටත්කර හැරීය . කාළුදායි ඇමතිවරයා රජුගේ ඉල්ලීම භාරගත්තේ එක් කොන්දේසියකට යටත්ව ය. එනම් බුදුරදුන් ගෙන් ධර්මය අසා පැවැදිවීම සඳහා ද රජුගෙන් අවසර ගැනීම ය. වේළුවනාරාමයේදි බුදුරදුන් හමුවු කාළුදායි ඇමතිවරයා බණ අසා පැවිදිව රහත්ඵලය ද ලබා ගත්තේ ය.

🌟අංගාරිනොදානි දුමා භදන්තෙ
එලෙසිනො ඡදනං විප්පහාය
තෙ අච්චිමන්තො’ච පභාසයන්ති
සමයො මහාවීර භගීරථානං

භාග්‍යවතුන් වහන්ස, සියලු ගස් වැල් පරණ පත් සලා ගිනි අඟුරු මෙන් රතු පැහැති නව මල් දලුවලින් පිරී ඇත. මලින් සැරසී ගිය වෘක්ෂයෝ දැන් ඵල දැරීමට සූදානම් ව සිටිති. වෘක්ෂයෝ පහන් සිළු මෙන් බබළති. මහා වීරයන් වහන්ස, භගීරථ පරම්පරාගත ශාක්‍යයන්ට අනුග්‍රහ පිණිස එහි වැඩමවීමට මේ සුදුසු කාලය යි.

🌟දුමානි ඵුල්ලානි මනොරමානී
සමන්තතො සබ්බදිසා පවන්තී
පත්තං පහාය ඵලමාසසානං
කාලො ඉතො පක්කමනාය වීර

පිපුණු මල් ඇති වෘක්ෂයෝ සියලු දිශාවනට සුවඳ විහිදුවති. පැරැණි කොළ වැටීමෙන් පසු ඵල අපේක්ෂාවෙන් සිටිති. වීරයන් වහන්ස, දැන් මෙයින් පිටත්වීමට සුදුසු කාලයයි.

🌟නෙවාති සීතං න පනාති උණ්හං
සුඛා උතූ අද්ධනියා භදන්තෙ
පස්සන්තු තං සාකියා කොලියා ච
පච්ඡාමුඛං රොහිණිං තාරයන්තං

තද සීතල හෝ තද උණුසුම හෝ නැත . භාග්‍යවතුන් වහන්ස, ඍතුව ශරීරයට සුව පහසුව ගෙන දේ. ගමනට සුදුසු ය. රෝහිණී ගඟින් එතෙර වී වඩින ඔබ වහන්සේ දැකීමට ශාක්‍ය කෝලීය රජවරු ආශාවෙන් බලා සිටිති.

මෙසේ ආරම්භ වන මෙම මඟ වැණුම බුද්ධකාලීන මඟ වැණුම් අතර ඉතා උසස් නිර්මාණයක් සේ සැලකිය හැකි ය. මෙම මඟ වණුමෙන් යුත් ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික භික්ෂූන් වහන්සේලා පිරිවරා රජගහ නුවර සිට කිඹුල්වත්පුර නුවර බලා ගමන ආරම්භ කළහ.

👆ශාක්‍යයන්ගේ මානය දුරලීම

දෙමසක් පා ගමනින් වැඩම කළ බුදුරදුන් ප්‍රමුඛ සඟගණ වෙසක් පොහෝදා කිඹුල්වත් පුරයට වැඩම කළහ. බුදුරදුන්ට වැඩසිටීම සඳහා නිග්‍රෝධ උයන පිළියෙළ කළ ශාක්‍යයෝ ඉමහත් හරසරින් උන්වහන්සේ පිළිගත්හ. සුවඳ මල් ආදිය රැගෙන පෙරමුණට ගිය ශාක්‍යයෝ පළමුව ළදරු ළදැරියන් ඉදිරියට යැවූහ. දෙවනුව රජ කුමර කුමරියෝ ඉදිරියට ගියහ. සුද්ධෝදන මහ රජු ඇතුළු ශාක්‍යයෝ පසුපසින් ම ගමන් කළහ. ඉක්බිතිව ඔවුහු බුද්ධ ප්‍රමුඛ රහතන් වහන්සේලා නිග්‍රෝධාරාමයට වැඩම කරවාගෙන ගියහ. එහිදී බුදුරදුන්ට නමස්කාර කළේ ශාක්‍ය ළදරු ළදැරියෝත් රජකුමර කුමරියෝත් පමණෙකි. අධිමාන්නයෙන් යුක්ත වූ වෘද්ධ ශාක්‍යයෝ බුදුරදුන් තමනට වඩා වයසින් බාල වන බැවින් නොවැඳ ම පිරිස කෙළවරට වී සිටියහ.

ශාක්‍යයන්ගේ මානය
පිළිබඳ කරුණු වටහාගත් බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පවත්වා ස්වකීය බුද්ධානුභාවය පෙන්වූහ. ජලය හා ගින්න ආධාර කොට පැවැත්වූ මෙම ප්‍රාතිහාර්යයෙන් පසු ශාක්‍යයන්ගේ මානය දුරු විය. ඉදිරියට පැමිණි සුද්ධෝදන මහ රජු “පුතණුවනි, මේ මාගේ තුන්වන වැඳීම”යි කියා බුදුරදුන්ට නමස්කාර කළේ ය. එහි සිටි සියලු ශාක්‍යයෝ ද බුදුරදුන්ට වැඳ නමස්කාර කළහ.

මේ අපගේ බුද්ධ වංසය යි
පසු දින දන් පිණිස විශේෂ ආරාධනයක් නොලද හෙයින් බුද්ධ ප්‍රමුඛ රහතන් වහන්සේලා ගෙපිළිවෙලින් කිඹුල්වත පිඬු සිඟා වැඩියහ. මෙය යශෝධරා දේවිය මගින් සුද්ධෝදන මහරජුට සැලවීමත් සමඟ ම වහා සළුපිළි හැඳ බුදුරදුන් ඉදිරියට දිව ගිය රජු “අප රාජ වංසයට මෙසේ නින්දා කරන්නේ ඇයි දැ”යි, ඍජුව ම ප්‍රශ්න කළේ ය. එයට බුදුරදුන් දුන් පිළිතුර වූයේ “මහ රජ, ඒ ඔබේ වංස ය යි. එහෙත් මේ අප ගේ බුද්ධ වංසයයි. බුද්ධ වංසයට අයත් සියලු බුදුවරයින් වහන්සේලා පිඬු සිඟා යැපුණා හ. මම ද එම චාරිත්‍රය අනුගමනය කරමි” මෙම පිළිතුරෙන් විශ්මයට පත් රජු බුද්ධ ප්‍රමුඛ රහතන් වහන්සේලා රජ මාලිගාවට වැඩමවා ගෙන ගොස් දන් පිළිගැන්වී ය.

👆යශෝධරාවගේ වැළපීම

අනතුරුව පිය මහරජු හා අගසව් මහරහතන් වහන්සේලා දෙනම ද සමඟ යශෝධරා දේවිය ගේ සිරියහන් ගබඩාවට වැඩම කළ බුදුරදුන් දුටු යසෝධරා දේවිය හඬමින් වැඳ වැටුණා ය. ඇයට රිසි සේ හැඬීමට උන්වහන්සේ ඉඩ සලසා දුන්හ.

මෙහි දී සුද්ධෝදන මහ රජු යසෝධරාවගේ උදාර ගුණ වර්ණනා කරන්නට විය. බුදුරජාණන් වහන්සේ එය මුල්කොට “චන්දකින්නර ජාතකය” වදාළහ.

බුදුරදුන්ගේ කිඹුල්වත් පුර ගමනේ දී සිදුවු තවත් විශේෂ සිදුවීම් නම් රාහුල කුමරු හා නන්ද කුමරුගේ පැවිද්දයි. එසේම මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරදුන් වෙත පැමිණ පැවිදිවීමට අවසර ඉල්ලීම ද තවත් ඓතිහාසික සිදුවීමකි.

මැදින් පෝදා සිදුවූ මෙම සිදුවීම් සිහිපත් කරමින් සුවිශේෂී වූ පුන්පෝ දා තෙලින්,මලින් ,යුතුව නමදිමු මුනි උතුමන්….

ඔබ සැමට උතුම් නවම් පුර පසලොස්වක පෝදිනක් වේවා…තෙරුවන් සරණයි….

සහෝදරත්වයෙන් එක්වෙමු!

©Buddhistbrotherhood.net

You might also like
en English
X
X