Temples of Sri Lanka

ඇයි මේ කළගුණට අගුණක්

“ලෝකයේ පහළවන දුලභ කරුණු කවරේද ?” යන්න විසාලා මහනුවර සාරාන්ද්ද චේතිය අසලදී වජ්ජි රජදරුවන් විසින් තථාගතයන් වහන්සේ ගෙන් අසන ලද පැනයට පිළිතුරු ලෙස දැක්වූ කාරණා 5 අතර තථාගත දේශනයේ යථාවත් බව, ආශ්චරියමත් බව, සාධාරණත්වය හා සමානාත්මතාවය පිළිඹිඹු වන පිවිතුරු දහම් කරුණක් ගැන සඳහන් වන්නේ ය.

සම්මා සම්බුදුවරයකුගේ පහලවීම දුලභය,

සුභාෂිත දහම විනය දේශනා කරණ පුද්ගලයාගේ පහලවීම දුලභය,

දෙසා වදහල දහම දැන ගන්නා පුද්ගලයා දුලභය,

දහමට හා විනයට අනුව ප්‍රතිපදාවේ යෙදෙන පුද්ගලයා දුලභය,

කලගුණ දන්නා පුද්ගලයා ලොව දුලභය.

කාරණා 4ක් දහම ගැන සඳහන් වන අතර 5 වැනි කරුණ සඳහන් වන්නේ කළගුණ සැලකීම සම්බන්ඳවයි.

කළගුණ සැලකීම දුලභ මෙන්ම උදාර ගුණාංගයක් බවත් නෛර්‍යාණික දහම හා සමතැන් ගන්නා බවත් ඉන් අදහස් වන්නේය.

මව් පිය ගුරුවර වැඩිහිටියන්, සොහොයුරු සොහොයුරියන් ඥාති මිත්‍රාදීන්, හොඳ නොහොඳ යහපත අයහපත ගුණ අගුණ කියාදුන් හා බත බුලතදී උදව් උපකාර කල අත හිත දුන්නවුන්, භාරකාර, ආරක්ෂාව රැකවරණය ලබාදුන්නවුන්; නොසලකා නොහැරීම, අමතක කර නොදැමීම, රැකබලා ගැනීම, පිහිටවීම, ප්‍රති උපකාර කිරීම කලගුණ සැලකීමයි.

ජීවමාන අයට කරණු ලබන ප්‍රතිඋපකාරය මෙන්ම මලගිය අයට හා දෙවි දේවතාවන්ට පින්පෙත් දීම පවා කලගුණ සැලකීමකි.

අප්‍රාණී අජීවී දෑ කෙරෙහිත් කලගුණ සැලකීමේ වැදගත් කම, බුදු සමය පුරාවටම දැකිය හැක්කකි.

වගකීම පැහැර හැරීම කලාව කරගත්, තම ආත්මය ගැන පමණක් සෙවීම ආගම කරගත් සමාජයට; කළ හොඳ අමතක මුත් කල නොහොඳ අමතක නොවීයාම වඩාත් බරපතල කාරණයකි.

එය ජීවිතයට, ගෙදර දොරට, මුලුමහත් සමාජයටම විනාශය ලඟා කර දෙන්නේය.

කළගුණ අමතක වීමෙන් සතර බ්‍රහ්ම විහරණම චිත්ත සන්තානයේ හෝදා පාලුවට ලක්වන අතර කල අගුණ අමතක නොකිරීමෙන් සිතෙහි වෛරය ක්‍රෝධය ලියලා වැඩෙන්නේය.

සිතක් තුල පැවතිය යුතු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඇතිවීම සඳහා ඉවසීම, සමාව, අත්හැරීම පුරුදු පුහුණු කලයුතු වන්නේය.

කලගුණ දත් පුද්ගලයා තුල ඉහතකී ගුණාංග පවතින අතර ඔහු නිවන් දකිනා තාක් කල් සුගති භූමියන්හිම සැරිසරන බව දහමේ සඳහන් වන්නේය.

අබමල් රේණුවක් තරම්වත් කළගුණ දන්නා අයකු විසින් කිසිදිනක සමාජයට අහිතක් නොකරන්නේම ය. මන්ද යත් ඔහුට තිලිණවූ ඔහු ලබාගත්දෑ වෙනුවෙන් කිසිදිනක කලගුණ සලකා අවසන්කල නොහැකි හෙයිනි.

බුදුන් අනු දැන වදාළ කළගුණ සැලකීම මහත් ඵල මහානිසංස වන්නේය.

කළගුණ සලකන්න පෙරලා යළි ඔබ වෙතටම එන්නේය.

මේ දහම් කරුණු ඔබේ හදවතේ ලැගුම්ගන්නට ඉඩ දෙන්න…

තෙරුවන් සරණයි.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X