අකුසල් යටපත් කර විදර්ශනාවෙන් නැගී සිටිමු.
සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ ලෝකය තුළ නිත්‍ය වූ සැපයක් කොයින්ද? පින්වත, ලෝකයට අයිති නැති, ලෝකයට බරක් නැති, සම්මා විමුක්තියේ ආර්ය උපතකට ඡන්දය ඇති කොට ගන්න. අවිද්‍යාවෙන් වැසුණ ලෝකයක, දිට්ඨි විශුද්ධියෙන් විවෘත කොට දෙන සම්මා දැක්මයි, ආර්ය උපතකට තිඹිරි ගෙය සූදානම් කොට දෙන්නේ. පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය නමැති වින්නඹුව ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා බල ධර්මයන්ගේ විදර්ශනාමය සැත්කම් පිහි සහ කතුරු උපයෝගී කොට ගෙනයි සම්මා විමුක්තියේ උපතකට උපකාරක ධර්මයන් සකස් කොට දෙන්නේ.
මග්ගාමග්ග ඥාන දර්ශන විශුද්ධියේ ශක්තියෙන් උපදින ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධියත්, ඉන් ඉක්බිති උපදින ඥාන දර්ශන විශුද්ධියත්, සම්මා විමුක්තියේ ආර්ය හැඩරුව වෙනවා. මේ ආර්ය හැඩරුව තුළ තිබෙන්නේ තෘෂ්ණාවේ උපාදානයෝ නොවේ, උපාදානයන්ගේ නිවී යාම මයි. නිවී ගිය උපාදානයෝ, නිවුණ ලෝකය දෙස බලන්නේ සද්ධර්මයේ ඇසෙන් මයි. සද්ධර්මයේ ඇසෙන් ලෝකය දෙස බලද්දී, සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණයේ පටන් පච්චත්තං වේදිතබ්බෝ ගුණය දක්වා තමා තුළින් තමා දකිනවා. ඔහු අවබෝධ ඥානයෙන් ම සද්ධර්මයේ කොටසක් වෙලා. ඔහු අයිති ලෝකයට නොවේ, ලෝකයෙන් නිදහස් වීමට. ඔහු තමා තුළ ජීවත් වන නිරෝධය වූ පටිච්චසමුප්පාද මිනිසා, තමා තුළින් දකිනවා. ඔහුට සිය ජීවිතය සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි අවබෝධ ඥානයෙන් ම දකිනා, උතුම් ධම්මානුපස්සනාවක් ම වෙනවා. ඔහු ලබන අවිද්‍යාවේ නිදහස ඔහුට ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ යැයි දකින,
ධර්මයක් ම වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, සත්ත්වයා කර්මය මගේ කොට ගෙන; ඥාතියා කොට ගෙන උපදිනවාය කියලා අපි ජීවිතය තුළින් ලබන රෝගීභාවය සහ නීරෝගීභාවය යනු පටිච්චසමුප්පන්න අපේම සංස්කාරයන්ගේ හැඩරුවයි. වර්තමානයේ ඔබ ගත කරන නීරෝගී ජීවිතය සිල්වත්භාවයේත්, ඔබ ගත කරන රෝගී ජීවිතය දුර්වල සීලයේත් අතීත හේතුඵල ධර්මයෝ වෙන්න පුළුවන්. තම පවුලේ කෙනෙක් දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසු වෙද්දී, එම අසනීප පින්වතාගේ ඥාතීන් සංඝයා වන අපගෙන් අහනවා, “ස්වාමීන් වහන්ස, මෙවැනි අසනීප තත්ත්වයන්ට මොන වගේ පින්කම් ද අපි කළ යුත්තේ?” කියලා. සමහර විට එම රෝගී පින්වතා ලෙඩ ඇඳේ එක්තැන්වයි සිටින්නේ. තවත් සමහර විටක එම රෝගී පින්වතා සිහිකල්පනාවේ දුර්වලභාවයෙනුයි සිටින්නේ. මෙවැනි අවස්ථාවක අදාළ රෝගී පින්වතාට අකුසලයෙන් නැගී සිටීම උදෙසා තමන්ට කළ හැකි දෙයක් නැහැ.මෙවැනි අවස්ථාවක නීරෝගී ඔබ දක්‍ෂ වෙන්න, ඔබේ රෝගී ඥාතියා වෙනුවෙන් ඔබ සත්‍යක්‍රියා කරන්න. පින්වත් ඔබ දස දිශාවට මෙත් සිත පතුරුවමින්, මාගේ මේ මෛත්‍රියේ ශක්තියෙන් රෝගී පින්වතාට නීරෝගීභාවය ලැබේවා! යැයි සත්‍යක්‍රියා කරන්න. පින්වත් ඔබ ආජීව අට්ඨමක සීලය තුළ ශක්තිමත් වෙමින්, ඔබේ සීලයේ සත්‍යානුභාවයෙන් රෝගී පින්වතාට නීරෝගීභාවය ලැබේවා! යැයි සත්‍යක්‍රියා කරන්න. රෝගීභාවය සහ නීරෝගීභාවය යනු අනිත්‍ය වූ සංස්කාරයෝ යැයි ධම්මානුපස්සනාව මතු කොට ගෙන, ධම්මානුපස්සනාවේ සත්‍යානුභාවයෙන් රෝගී පින්වතාට නීරෝගීභාවය ලැබේවා! යැයි සත්‍යක්‍රියා කරන්න. ඔබේ ඥාති රෝගියා වෙනුවෙන්, ඔබ පුහුණු කරන්නා වූ මේ සම්මා ව්‍යායාමය, ඔබේ පින්වත් රෝගී ඥාතියා වෙනුවෙන් ඔබට කළ හැකි සත්පුරුෂ සහ කෘතවේදී ම පින්කම වෙනවා වගේ ම, නීරෝගී ඔබේ අකුසල් යටපත් කොට ගෙන කුසලයෙන් සහ විදර්ශනාවෙන් නැගී සිටීමේ මාර්ගය ද වෙනවා.
රෝගී පින්වතුන් හේතුවෙන් ගැටෙන සිත් ඇති කොට ගන්න එපා. ගැටෙන සිතක් යැයි කියන්නේ, රෝගී පින්වතා වෙනුවෙන් කළ යුතු වගකීම් පැහැර හරින සිතක්ය යැයි කියන්නේ, ඔබේ ම අකුසල් ඔබට පෙරළා පහර දීමක් මයි. ඔබ ඔබේ ඥාති රෝගියා හේතුවෙන් ගැටෙන සිතක් ඇති කොට ගන්නා මොහොතක් පාසා, ඔබ අධර්මය තුළයි ජීවත් වෙන්නේ. පින්වත, ඔබේ රෝගියා තුළින් ධර්මය දකින්න දක්‍ෂ වෙන්න. අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං. පින්වත, රෝගී ජීවිතයක් තුළින් සද්ධර්මයේ කැඩපතයි ඔබ ඒ දකින්නේ. ඔබේ ඥාති රෝගියා, ඔබේ නිවන් මඟට, දස කුසල් ධර්මයන්ගේ සහ විදර්ශනාවේ ඉල්ලමක් කොට ගන්න. පංච උපාදානස්කන්ධ ලෝකය තුළ දෙමාපියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, දරු මුනුපුරන්ගේ, සැමියන්ගේ, බිරින්දෑවරුන්ගේ නැවතීමක් නැහැ. පටිච්චසමුප්පන්න දම්වැලක පුරුක් වගේ දුක සමග අපි බැඳිලා යනවා. පින්වත, අම්මා, තාත්තා, බිරිඳ, ස්වාමිපුරුෂයා, දුව, පුතා, සහෝදරයා, සහෝදරිය කියන බැඳීම් කියන්නේ මහා දුකක්. පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ප්‍රියයන්ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එක් වීම, පංච උපාදානස්කන්ධ දුක් ගොඩම, මේ බැඳීම් සමග සිරවෙලයි තිබෙන්නේ., මෙය සටහන් තබන භික්ෂුව මේ දුක් ගොඩ සිත් සේ අත්දැකලා තිබෙනවා. භික්ෂුවගේ පින්වත් අම්මා වසර අටක් අසනීපව පසුවෙලයි මිය පරලොව ගියේ. එම පින්වත් අම්මාගේ රෝගීභාවය නිසා ම, එම රෝගීභාවයෙන් එදා ගිහි මම ලැබූ අත්දැකීම් නිසා ම, භික්ෂුවට පුළුවන් වුණා අධිෂ්ඨානයකට එන්න, මිය ගිය පින්වත් අම්මාගෙන් පසුව නැවත මොනම බැඳීමක්වත් එපාය කියලා. වර්තමානයේ භික්ෂුව ගත කරන්නේ බැඳීම්වලින් තොර ජීවිතයක්. පින්වත, මේ බැඳීම්වලින් තොර භික්ෂු ජීවිතයට මූලාරම්භය වුණේ විදර්ශනාවේ ඉල්ලමක් බවට පත් කොටගත් පින්වත් අම්මාගේ රෝගීභාවයයි. රෝගී පින්වතෙක් යැයි කියන්නේ දක්‍ෂයාට නිවනට පාර පෙන්වන දේව දූතයෙක් මයි. භික්ෂුවගේ පින්වත් රෝගී අම්මා භික්ෂුවට දේව දූතයෙක් වුණා, බැඳීම් හළ භික්ෂු ජීවිතයකට කමටහනක් වෙන්න. ආදරණීය දෙමාපියන් කියන අර්ථයට දරුවකුට දිය හැකි මීට වඩා කෘතවේදීභාවයක් මේ ලෝක ධාතුව තුළ නැහැ.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood