Temples of Sri Lanka

අන්තර්ජාතික සංඝ සමුළුව – බෝධ්ගයා – 2023

සියවසේ දැවැන්ත ම අන්තර්ජාතික බෞද්ධ සමුළුව වන “ISFB – 2023” (International Sangha Forum Bodhgaya – 2023) ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන සියයකට අධික සංඛ්‍යාවක එකතුවෙන් හා සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 20, 21, 22 හා 23 යන දිනයන් හි සිද්ධාර්ථ ගෞතමයන් ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූ ඉන්දියාවේ බිහාර් හී බුද්ධගයාවේ දී පැවැත්වේ. ශුද්ධෝත්තම 14වැනි දලයි ලාමා වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය, ලාඕස්, බූතානය,නේපාලය,ජපානය, රුසියාව,කොරියාව, මොංගෝලියාව ආදී රටවලින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙදහසකට අධික සංඛ්‍යාවක් වැඩම කිරීමට නියමිත ය.

මෙම සංඝ සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ, ‘ලොව පුරා විසිරී පවතින විවිධ බෞද්ධ සම්ප්‍රදායන් අතර අන්‍යොන්‍ය අවබෝධය ඇති කොට එම අවබෝධය තුළින් ඒ සම්ප්‍රදායන් අතර ඇති දුරස්ථ බව අවම කිරීමයි.’ මෙලෙස සම්ප්‍රදායන් අතර දුරස්ථ බව අවම වීමෙන් අනාගතයේ දී ‘එක්සත් බෞද්ධ ලෝකයක්’ නිර්මාණය වනු ඇත. එම අරමුණ ඉෂ්ට කරගැනීමෙහි ලා මෙම සමුළුවේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන තේමාවන් හි පදනම වන්නේ ද ‘විවිධ බෞද්ධ සම්ප්‍රදායන් හි පවතින සමානාත්මතාවයන් හා වත්මන් ලෝකයට බුද්ධ දර්ශනය ප්‍රායෝගික ව යොදාගන්නා ආකාරයයි.’

සමුළුවට සමගාමී ව අන්තර්ජාතික ව පවත්වන දෙවැනි අන්තර් භික්ෂු හුවමාරු වැඩසටහන ද සිදු කෙරේ.

සමුළුව සඳහා මෙරට ප්‍රධාන සංවිධාන කාර්යයන් සිදු කරන්නේ ‘බෞද්ධ සහෝදරත්ව පදනම’ විසින් ය. එහි ගරු සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාගේ මග පෙන්වීම මත මෙරට අස්ගිරි මහා නායක හිමි ප්‍රධාන ත්‍රෛනිකායන් නියෝජනය කරන මහා සංඝ රත්නය හැටනමක් ඉන්දියාවේ බුද්ධගයාව බලා වැඩම කරයි. ඊට අමතරව තවත් ගිහි පිරිස් ද ඇතුළු ව සමස්තය සියයකට ආසන්න බෞද්ධ දූත පිරිසක් ලංකාවෙන් සමුළුව බලා පිටත්වේ.

සමුළුවෙ හි පළමු දිනයෙ හි පැවැත්වෙන උත්සවයෙ හි ප්‍රධාන පැවිදි ආරාධිතයා වන්නේ මෙරට අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් ය.

ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ සමුළුවෙ හි අවසන් දිනය වන දෙසැම්බර් මස 23 දින ප්‍රධාන සමුළුවෙ හි මුඛ්‍ය දේශනය පවත්වයි. එමෙන් ම උන්වහන්සේ විසින් බුද්ධගයාවේ මහාබෝධි ස්ථූපය අසල දී බෞද්ධ මහා සංඝ රත්නය ඇතුළු ගිහි පිරිසට ද ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරනු ඇත.

සිව් දිනක් පුරා පැවැත්වෙන මෙම දැවැන්ත සමුළුව අවසානයේ දෙසැම්බර් 24 දින බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ලෝක බෞද්ධ සංඝ පීතෘවරුන්ගේ සහභාගීත්වයෙන් සියලු ලෝ වැසියන්ට ආශිර්වාද හා ලෝක සාමය ඇති වීම පිණිස පිරිත් සජ්ඣායනයක් ද පැවැත්වීමට නියමිත ය.

You might also like
en English
X
X