අපට හිමි අපේ සීමාව…
අපි මිනිස්සු විදිහට ඉපදිලා ඉන්න මනුස්ස ලෝකේ සුගතියක් විදිහට කල්පනා කළත්.. මේකේ තියෙන තරමක් තියෙන්නේත් දුකම තමයි.. සංසාර දුකින් මිදුණොත් තමයි අපි නිදුක් වුණයි කියලා බය නැතුව කියන්න පුළුවං වෙන්නේ.. ඒ වුණත් පිං කරන්නා මෙලොවත් පරලොවත් සතුටු වෙනවයි කියලත් බුදු දහමේ තියෙනවානේ.. අපි උත්සාහ කරමු බුදු දහමයි සමාජයයි අතරේ තියෙන පරතරය පුංචියට හරි අඩු කරන්න..
කාමයේ වරදවා හැසිරීම කියන්නේ හරි කුතුහලය දනවන වචන පෙළක්…
ඔය වචන ටික නුරුස්සන ගතියක් ඇති කරන වචන ..
පුංචිම කාලෙ තේරුණේ නෑ මොකක්ද ඔය හරුපෙ කියලා.. කවුරුත් කියලා දුන්නෙත් නෑ..
ටිකක් ලොකු වෙනකොට කට්ටිය කිවුවා තමන් බැඳපු කෙනාත් එක්ක හැර වෙනත් අයත් එක්ක ඔය ඕනෙ නැති ඒවා කරණ එකටලු එහෙම කියන්නේ කියලා..
ඊටත් පස්සේ ඉගෙන ගත්තා අලුත් වචන ටිකක්..
ඒ තමයි “පරදාර සේවනය” . ඉතිං කලිං දන්න තරමයි මේ වචනේ විග්‍රහයයි එකතු කරලා බැලුවහම හිතුණා පරදාර සේවනය තමයි කාමය වරදවා හැසිරීම කියන්නේ කියලා..
ඉතිං අපි ඕවට එකෙන්ම විරුද්ධයිනේ
ඉතිං කාමයේ වරදවා හැසිරෙනවා කිවුවහම කොයි තරම් නරක වැඩක්ද කියලා නුරුස්සන ගතියක් ඇති වුණා..
තව තව දේවල් ඔලුවට වැටෙනකොට ආයෙමත් ඇති වුණේ කුතුහලයක්.. කාමය කියලා කියන්නේ ලිංගික එක්වීමක් නෙවෙයි කියලා වැටහුණා..
කාම වස්තූන් (කාමුක වස්තූන් නෙවෙයි) එක්ක තියෙන ගනු දෙනු නැත්නම් හැසිරීම් තමයි ඔය කාමයේ හැසිරීම කියන්නේ.. ඉතිං ඔය කාම වස්තූන් එක්ක වැරදි හැසිරීම් තියාගන්න එක තමයි කාමය වරදවා හැසිරීම කියන්නේ.. ඉතිං අපි කොයි තරං කාමයේ වැරදියට හැසිරිලා තියෙනවද කියලා දැන් හිතෙනවා. නේද… තාමත් දවසකට කී පාරක් කාමයේ වරදවා හැසිරෙනවාද…
කාම වස්තූන් කියන්නේ මොනවාද?
කම් සැප විඳිම සඳහා අපව පොළඹවන දෑ..
1. අපේ දෙමවුපියෝ
2. අපේ ළමයි
3. මගේ බිරිඳ ඇතුළු මං ආදරය කරණ හැමෝම
4. මගේ ඇඳුම් පැළැඳුම්
5. අපේ ගෙදර, වාහන සහ ගෙදර බඩු මුට්ටු.
තව කොයිතරම් දේ තියෙනවද?
කාම භෝගී ගිහියෝ කියලා අපිව හඳුන්වන්නේ අපි කාම වස්තූන් පරිහරණය කරන්න මහත් කැමැත්තක් ඇල්මක් ඇති උදවිය නිසා..
මේ කාම වස්තූන් වුණත් ගානට මිම්මට හා නිසි පරිදි පරිහරණය කළොත් ඕක වරදවා හැසිරීමක් වෙන්නේ නෑ… ඒත් අපි දෙමවුපියන්ට කොයි තරම් බැඳිලා ඉන්නවද.. ? එහෙම බැඳෙන්න බැඳෙන්න වැරදි පැත්තටයි යන්නේ.. අපි දෙමවුපියන්ට විරුද්ධව හෝ වෛරීව කටයුතු කරනවාද? එහෙම කරනකොටත් වැරදි පැත්තටයි යන්නේ… අපි දෙවැනි කාරනේ වැරැද්දක් ලෙස දැක්කත් පළමු එක හොඳයි කියලනේ දකින්නේ.. අපි දෙමවුපියන්ට අපේ යුතුකම් හා වගකීම් ටික ඉටු කරන්න ඕන කැපවීමෙන් හැම විටම.. එහෙම නැතුව මළා ට පස්සේ මහ හයියෙන් අඬලා මොකද… සංවේදී කමට ටිකක් හැඬෙන එක නෙවෙයි කියන්නේ.. ලෝකෙට පේන්න අඬන එක..
මේ කාරණේ මෙනෙහි කළොත් අපිට අපේ ජීවිතේ පුදුමාකාර වෙනසක් කරන්න පුළුවන්..
මොකද කියන්නේ.. කාමයේ වරදවා නොහැසිරෙන්න උත්සාහ කරමුද? මෙහෙම බැලුවොත් වැඩිපුරම කඩන සිල්පදේ මේකයි..
බ්‍රහ්මචාරීව වෙසෙන එක මේ සිල්පදේ රකින එකත් එක්ක බැලුවහම සෑහෙන්න වෙනස් දෙයක්… ඒක
අපි බුදු දහමේ හුඟක් දේවල් ලඝු කරගෙන ඉන්නවා කියලා හිතෙනවා.. ඒවා ආපහු දිග අරින්න තමයි මේ වෑයම…
අඹු සැමියන් එකිනෙකාට ලිංගික වශයෙන් ද්රෝහි නොවීම කියන තැන නැවතුනොත් ඇති නේද කියලා.
ඒක තමයි කමායේ වරදවා නොහැසිරීම කියන්නේ. නැතහොත් කාම ආස්වාදය විවාහක බිරිදට හෝ සැමියාට පමණක් සීමා කිරීම. ගිහියෙකු ලෙස ජීවත් වීමේදී විදිය හැකි කාමයන්ගේ සීමාවයි මෙම ශික්ෂා පදයෙන් දැක්වෙන්නේ.
විවාහ නොවී ආදරවන්තයන් ලෙස ඇතැමුන් ලබන කාම ආස්වාදය කාම මිථ්‍යාචාරය බව දත යුතු.
කාම මිථ්‍යාචාරයෙන් තොර වීම සතර ආපයට නොවැටී සිටීමට හේතුවක් වන අතර, එය සාර්ථක ලෞකික ජීවිතයක් ගත කිරීමට ඇති එකම මග බවද දත යුතුයි. එය සසරේ ලෞකික සැපය පිණිසම හේතුවන අතර, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම සැප ලැබිමටද එය හේතුවක් බව ද සිහිපත් කළ මනාය…
එසේම එය සසර ගමන දික් කර ගැනීමට ද හේතුවක් බව දැන ගන්න.
කාමය ආස්වාදජනකය. එහෙත් එය මාර පාක්ෂික හෙවත් සත්වයා දුකට පත් කරන ධර්මයක් බවද දත යුතුය.
කාමය මොහොතකට ආස්වාදජනක ය. එහි ආස්වාදය මොහොතින් අනිත්‍ය වන සුුළු ය. මියෙනතුරැ ලැබුවද කාම ආස්වාදය නිමාවක් හෝ ඇතිවීමක් නොවන අතෘප්තිකර ධර්මයක් බවද දත යුතු වේ.
මනුෂ්‍යයන් ලෙස උපදින සත්වයන්ගෙන් අති බහුතර දෙනා සතර අපායට වැටෙන්නේ කාමය හේතුකොට ගෙන බව ද හිතන්න.
මිනිසුන් වැඩිම උපාදාන (මගේ යැයි මනසින් අල්ලා ගැනීම) ඇති කර ගන්නේ කාමය නිසා බවද, මිනිසුන් වැඩිම අපරාධ සිදු කරන්නේ කාමය නිසා බව ද, මිනිසුන් වැඩිම අකුසල් සිදු කර ගන්නේ කාමය නිසා බවද, මිනිසුන් වැඩිම දුක් අත් කර ගන්නේ කාමය නිසා බව ද, මිනිසුන් මේ ඝෝර කටුක සංසාරයෙන් ගැල වී යාමට නොහැකිව අපමණ දුකට පත් වන්නේද කාමය නිසා බව ද සිහි කරන්න.
කාමය යනු අපගේ සිත තුළ තත්පරයෙන් දහහත් ලක්ෂයකින් එකක් (රූප කලාපයක්) තරම් කෙටි කාලයක් තුළ ඇති වී නැතිවන සිතක් උපදාන කර ගැනීම නිසා (අල්ලා ගැනීම නිසා) හට ගන්නා ලෞකික ධර්මතාවක් බවද දත යුතුය.
කාමය ද හේතුවක් නිසා හට ගන්නා ඵලයක් හෙවත් හේතුඵල ධර්මයක් බවද, එය ද අනිත්‍ය ධර්මයක් බවද සත්‍යකි.
කාමය හට ගැනීමට මුල්වන හේතුව වන ලෝභය නිරෝධ කිරීමෙන්, කාමය නිසා හට ගන්නා දුක නමැති ඵලය ද නිරෝධ වන බව ද (නැති වන බව) දැන ගන්න.
කාමයෙන් සම්පූර්ණයෙන් ඈත්වීම දුකින් සම්පූර්ණයෙන් ඈත් වීමක් බවද සිහි කරන්න.
දුක නොසොයන සැපයම සොයන ප්‍රඥාවන්තයා කාමය වැනි අනිත්‍ය සැපයක් නොසොයන බව ද, සියලු ආශ්‍රවයන්ගෙන් තොර (දුක හට ගැනීමට හේතුවන ධර්මතා) නිත්‍ය සැපයම සොයන බව ද සිහි කරන්න.
මේ ඝෝර කටුක සසරේ නැවත නැවත ඉපදීමට හේතුවක් වන, කාමය සම්පූර්ණයෙන් අත් හැරීමෙන්, මෙම බිහිසුණු සංසාරයෙන් ගැලවී නිර්වාණ සුවය අත් කර ගැනීමට ද හැකි වන බවද හිතන්න
නිර්වාණය ආශ්‍රවයන්ගෙන් තොර, අනිත්‍යාතාවද ඉක්ම වූ, අවේදයිත අපරිමිත සැපයක් බවද සැබෑ ප්‍රඥාවන්තයා සොයන්නේ, එම නිර්වාණයම පමණක් බව ද, එම නිර්වාණ සුවය විශ්වයේ සියලු ලෞකික සැපයන් නිශේධනය කරන, භාෂාව සහ හැගීම ද ඉක්ම වූ, සියලු ලෞකික ධර්මයන් ඉක්ම වූ, උත්තරීතම සැපය බවද දැන ගැනීම වැදගත්…
මරණයෙන් කෙළවර වන ජීවිතයේ (මේ සටහන කියවමින් සිටින මොහොතේ වුවද ඔබ මරණයට පත් විය හැක. මරණය යනු එපමණ ක්ෂණික වූද, ප්‍රවේගකාරි වූද, අචින්ත්‍ය වූද, විෂයමූලික වූද ධර්මතාවකි. මරණය කිසිවෙකුට කලින් දන්වා පැමිණෙන්නේ නැත) සතත්වයාට ලැබිය හැකි එකම නිත්‍ය සැපය නිර්වාණය පමණක් බව ද දත යුතුය.
මේ කරුණු අවබෝධවීමෙන් ඔබට දහම ඇසම පහළ වේවා ! ඔබට ධර්මාවබෝධය හිමි වේව ! ඔබ ද මේ දුක්ඛිත ඝෝර කටුක සංසාරයෙන් සදහටම අත් මිදී යන ඒකායන මාර්ගයට ප්‍රවිශ්ට වේවා !!!!!
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood