අසදෘශ මහා දානමය පුණ්‍යකර්මයක්!…
විශ්වීය කරුණාවේ ලෝක මුද්‍රාව, ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේගේ අනූවැනි ජන්ම දිනය සමරනු වස්, හෙයියන්තුඩුවෙහි නිර්මිත ලොව ප්‍රථම සහ එකම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙහි, භික්ෂූන් වහන්සේලා සියක් නමක් වෙනුවෙන් පවත්වන්නට යෙදෙන මහා දානමය පුණ්‍යකර්මය 2025 දෙසැම්බර් මස 24 වෙනි බදාදා දින, උදෑසන පවත්වන්නට නියමිත ය.
මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ එක්සත් බෞද්ධ ලෝකයක් අරමුණු කොටගෙන, නිරන්තරයෙන් මෙවන් පුණ්‍යකර්ම සිදු කරන අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි නියෝජ්‍ය මහාලේකම්, පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙහි නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ය.
මෙම මහා පුණ්‍යකර්මය සඳහා ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ හිමි, දක්ෂිණ ලංකා සංඝ නායක අතිපූජ්‍ය කොස්ගොඩ ඥානින්ද හිමි, ත්‍රෛනිකායික භික්ෂු සංවිධානයේ සභාපති අතිපූජ්‍ය බෙලිගල අමරසිරි නායක හිමි ප්‍රධාන මියන්මාරය, කාම්බෝජය, නේපාලය, බංගලිදේශය, ඉන්දියාව ආදී රටවල් නියෝජනය කරන දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා සියක් නමක් වැඩම කරවීමට නියමිත ය.
සේසත්, ධජ, පතාක මධ්‍යයෙන් දර්ශනීය පෙරහැරකින් එම භික්ෂූන් වහන්සේලා ගෞරව බහුමානයෙන් මධ්‍යස්ථානය වෙත වැඩම කරවා, ඉමහත් භක්තියෙන් යුක්තව දානය පූජා කිරීම සිදු කෙරේ.
මෙම මහා පුණ්‍යකර්මයෙහි සියලු සංවිධාන කාර්යයන් සිදු කරන්නේ එම මධ්‍යස්ථානයෙහි ලේඛකාධිකාරී ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය සහ බෞද්ධ සහෝදරත්ව පදනමෙහි සංවිධායක මංජුල රොශාන් මහතා ය.
මෙම පුණ්‍යකර්මයෙහි සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙහි ආගමික සහ සංස්කෘතික කටයුතු සම්බන්ධීකාරක බලංගොඩ සීලරතන හිමි විසිනි.
මෙම අසදෘශ මහා පුණ්‍යකර්මයෙහි අනුහසෙන් ලක්වාසී, ලෝකවාසී ජනයා සුවපත් කරලීම එම පුණ්‍යකර්මයෙහි අරමුණ ය.
එමෙන්ම පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ හෙයියන්තුඩුව ප්‍රදේශවාසී නිවාස දහයක නිවැසියන් වෙනුවෙන් සතියකට සරිලන වියළි ආහාර තොගයන් ද බෙදා හැරීම එදිනට සිදු කිරීමට නියමිත ය.
එපමණක් නොව මෙම පුණ්‍යකර්මයටම සමගාමීව ආපදාවට ලක් වූ හෙයියන්තුඩුව ප්‍රදේශයෙහි විහාරස්ථාන කිහිපයකට ද මූල්‍යමය ආධාර ලබා දීම ද සිදු කිරීමට නියමිත ය.