අර්ථයෙන් සාරවත් වූ තෙරුවන් වැඳීම ……
සිය පින් සිරින් සරු
දෙතිස් ලකුණෙන් විසිතුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිමි මුණි උතුමන් තිලෝගුරු
සපුරා දස පෙරුම්
පලකල බුදුව මනරම්
හරණා බව බිරම්
වඳිම් අදරින් අනගි සදහම්
තමන් පද වන්දන
කළ පමණකින් නන්දන
නිවන් සැප වින්දන
වන්දි මහ සඟන මුනි නන්දන
(ගුත්තිල කාව්‍ය )
වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍යය ආරම්භ කළේ මෙසේ තෙරුවන් වන්දනා කිරීමෙනි .සිංහල මෙන්ම පාලි හා බෞද්ධ සංස්කෘත ග්‍රන්ථ ද ආරම්භ කරන්නේ රත්නත්‍රය වන්දනා වෙනි. ග්‍රන්ථ රචනාව පමණක් නොව වෙනත් වැදගත් සෑම කාර්යයකදීම තෙරුවන් නැමදීමෙන් ආරම්භ වීම බෞද්ධයාගේ සිරිතයි. නිවසේදීද දිනපතා උදේ සවස තෙරුවන් වඳින අපි ,පොහෝ දින යෙදී තිබෙන දිනවලත් හැකි සෑම විටම විහාරස්ථානයට ගොස් වන්දනාවේ යෙදෙන්නෙමු.
තෙරුවන් වැදීම යනු හුදෙක් දණ ගසා හිස නමා දෑඟිලි බැඳ කටපාඩමින් ගාථා හෝ කවි කීමක් පමණක් නොවේ. එය අපේ ස්වභාවයන් යහපත් කෙරෙන හෙවත් සිල්වත් භාවය ඇති කෙරෙන උසස් ක්‍රියාවකි. රත්නත්‍රය වන්දනාව චාරිත්‍ර ශීලයට අයත් වෙයි .
අපේ බෞද්ධකම ප්‍රකට කෙරෙන මූලිකම ලක්ෂණය තෙරුවන් සරණ යෑමයි .දුකින් මිදීම සඳහා තුරුණුවන් සරණ හැර වෙනත් සරණක් අපට නැත. එබැවින් තුනුරුවන්ට වඩ වඩාත් සමීප වීම සඳහා අපි විවිධ බුද්ධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කරමු. තෙරුවන් වැදීම ද එබඳු එක බුද්ධිමත් ක්‍රියාවකි .
තෙරුවන් වඳින්නේ ඒ ඒ රත්නත්‍රයේ ගුණ වෙන වෙනම සිහියට නගා ගනිමින් ය. අපි ඉතිපිසෝ පාඨ ඇසුරෙන් නව අරහාදී බුදු ගුණ සිහිපත් කරගනිමු .ස්වාක්ඛාතෝ පාඨයෙන් සවැදෑරුම් දහම් ගුණත්, සුපටිපන්නෝ පාඨයෙන් නව වැදෑරුම් සඝ ගුණත්, සිහියට නගා ගනිමු .
ත්‍රිවිධ චෛත්‍ය ස්ථාන අතුරින් කුමන ස්ථානයෙහිදී වේවා, අප තෙරුවන් වැදීමෙන් කරන්නේ මෙම සූවිසි ගුණ වන්දනාවයි. ඉතා හොඳින් සලකා බලන විට දක්නට ලැබෙන්නේ ගුණ නුවණට හිස නැමීමයි. ගුණනැණ අගය කිරීමයි.
බුද්ධත්වය යනු, බුද්ධියේ උපරිම මට්ටමින් පිබිදීමයි. බුද්ධ වන්දනා වෙන් කෙරෙන්නේ එම බුද්ධිමත් භාවයට හිස නැමීමයි.බුද්ධ දේශිත ධර්මය යනු ,සත්‍යයයයි.ධර්ම රත්නය වැදීම යනු ඒ සත්‍යයට හිස නැමීමයි .බුද්ධ දේශිත ධර්මයට අනුකූලව විශිෂ්ට ලෙස පිළිවෙත් පිරූ හා පිළිවෙත් පුරන පිරිස සංඝ රත්නයයි. එබැවින් සංඝ වන්දනාව සිදු වන්නේ නිවැරදි සත්‍ය මාර්ගයෙහි ගමන් කළ හා ගමන් කරන උසස් පිරිසකට හිස නැමීමයි .
ත්‍රිවිධ රත්නයේ ප්‍රධාන වන්නේ බුද්ධ රත්නයයි. ඒ නිසා වන්දනාවේ දී වැඩි අවධානයක් යොමු වන්නේ බුද්ධ වන්දනාව ටයි. එම වන්දනාව වඩාත් අර්ථ සම්පන්න වන්නේ ඉතිපිසෝ පාඨය ඇසුරින් හෝ තමා දන්නා බුද්ධ චරිතය වෙනත් විශිෂ්ට ලක්ෂණ ඇසුරෙන් හෝ බුදුගුණ සි ගුණ සිහි කරමින් වන්දනා කරන විටය. විශිෂ්ට ලක්ෂණ තමාගේ ජීවිතයට ආදර්ශ කරගනිමින් හා ඒ සඳහා අධිෂ්ඨාන ඇතිකර ගනිමින් වන්දනා කිරීම නුවණැති බෞද්ධයාගේ ප්‍රධාන ලක්ෂණයයි අපි මෙසේ වන්දනා කරමු …
ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ ලෝභය සම්පූර්ණයෙන්ම නැති කළ උත්තමයන් වහන්සේය. ලෝභය සම්පූර්ණයෙන් නැති කළ ඔබ වහන්සේට වන්දනා කරන මම ද හැකිතාක් ලෝභය අඩු කරගැනීමට ක්‍රියා කරමි .
ස්වාමීනි බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ ඉරිසියාව සම්පූර්ණයෙන්ම නැති කළ උත්තමයන් වහන්සේ ය. ඒ ඊර්ෂ්‍යාව සම්පූර්ණයෙන් නැති කළ ඔබ වහන්සේට වඳින මම ද හැකිතාක් ඊර්ෂ්‍යාවෙන් තොරව ජීවත් වීමට උත්සාහ කරමි .
ස්වාමීනි බුදුරජාණන් වහන්සේ වහන්ස ඔබ වහන්සේ අසරණයන්ට පිහිට වූ සේක. අසරණ සරණ වූ ඔබ වහන්සේට වඳින මම ද අසරණයන්ට හැකි පමණින් පිහිට වෙමි .
ස්වාමීනි බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ මහා කාරුණික වූ සේක. ඔබ වහන්සේට නමස්කාර කරන මම ද මා තුළ කරුණා ගුණය දියුණු කරගැනීමට උත්සාහ දරමි.
අප වන්දනා කරන හැම විටම මෙබඳු සිතිවිලි, අධිෂ්ඨාන, ඇතිකර ගනිමින් වන්දනා කරන්නේ නම්, සහ එම අධිෂ්ඨාන අනුවම ඉදිරියට ක්‍රියා කරන්නේ නම්, එම වන්දනාව මොනතරම් අර්ථවත් වන්නේ ද යන්න ඉතා පැහැදිලි කරගත යුතුය .
ධර්ම රත්නය හා සංඝ රත්නය වැදීමේදී ද මෙබඳු අර්ථවලින් සිතිවිලි ඇති කර ගත හැකිය . ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ විසින් මනාකොට දෙසන ලද ධර්මය නුවණැතියන් විසින් තම තමා වෙත වෙන වෙනම අවබෝධකරගත යුත්තකි. එම ධර්ම රත්නයට වදින මම ද මගේ නුවණින් ම ධර්මය වටහා ගැනීමට ප්‍රයත්න දරමි.
ස්වාමීනි බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝරත්නය මනා පිළිවෙලින් පූර්ණ පිරිසකි. උන්වහන්සේට වන්දනා කරන මම ද වැරදි හැසිරීම් වලින් වෙන් වී යහපත් දැකීමේ පිළිවෙත් අනුගමනය කිරීමට අධිෂ්ඨාන කර ගනිමි. අඩුම තරමින් පන්සිල් කඩ නොකර ආරක්ෂා කරමි.
නිතර මෙබඳු සිතුවිලි වලින් යුතුව තෙරුවන් වඳින තැනැත්තා, නිරායාසයෙන්ම ගුණ නැණ දෙකින් පිරිපුන් පුද්ගලයෙකු වීමට අවශ්‍ය පසුබිම සකසා ගනියි . දෙයක් නිතර නිතර අතින් පිරිමදින විට අත සුවඳවත් වන්නාක් මෙන්, තෙරුවන් ගුණ නිතර නිතර සිහි කරමින් වදින තැනැත්තාගේ සිත ද ගුණයට බර වේ.ඔහු තුළ ශ්‍රද්ධාව වැඩි දියුණු වෙයි. ශ්‍රද්ධාව දියුණු වන විට සිල්වතුන් දැකීමේ කැමැත්ත …බණ ඇසීමේ කැමැත්ත ….ඔහු තුළ වර්ධනය වන අතර පරිත්‍යාගශීලී ගුණය ද වැඩි වෙයි . තෙරුවන් වැදීම අර්ථසම්පන්න වූවකැයි දැක්වීමට එයද එක් හේතුවකි .
මානය නිසා කිසි තැනක නැමීමට අකමැති හිස තෙරුවන් ඉදිරියේ නැමෙන විට අනතිමානී ගුණය වර්ධනය වෙයි. අප ද ඇතුළු ලෝකවාසී සත්ත්වයන් වෙත පතළ මහා කරුණාවෙන් දහම් මඟ පෙන්වූ අපේ ශාස්තෘවරයාණන් වහන්සේගේ ගුණ සිහිකර වැඳීම යුතුකමකැයි සලකන විට, අප තුළ ඉස්මතු වන්නේ කෘතවේදීත්වයයි. වන්දනාවේ අර්ථවත් භාවය එයින් ද ප්‍රකට කරයි.
ඇතැම් අය දෙවියන්ට යකුන්ට වදින්නේ ඔවුන්ට ඇති බිය නිසා ය. එහෙත් බෞද්ධයා තෙරුවන් වඳින්නේ එබඳු කිසිදු බියකින් නිසා නොවේ.
ලෞකික ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් ද නොවේ. එහෙත් නිතර නිතර තෙරුවන් ගුණ සිහි කරමින් වන්දනා කරන්නාට බිය වීම්… තැතිගැනීම්… නැතිව යයි. වන්දනාව සඳහා පන්සලට යන විට ස්වාමීන් වහන්සේගේ ඇසුරද ලැබේ. බෝ මළුවේ දී හෝ සෑ මළුවේ දී තෙරුවන් වදින විට සිතට මහත් සිසිලක් දැනේ. සිත ගත දෙකෙන්ම පිබිදීමක් ඇති වේ. රිද්මයකට ගාථා කියමින් හා සාධුකාර දෙමින් වදින විට, ඇසූ දුටුවන් තුළ පවා ඇති වන්නේ මහත් ප්‍රසාදයකි. එනිසා තෙරුවන් වැදීම අර්ථ සම්පන්න ක්‍රියාවක් බව තේරුම් ගැනීම අපහසු නැත .
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood