Temples of Sri Lanka

පහසු දෙයක් මුලින්ම කලොත් යහපති…

හොඳම සමාජ සේවය කුමක්ද ?

බොදු පසුබිම මත කෙරෙන බොහෝ සාමූහික වැඩසටහන් ආරම්භ කරන්නේ පන්සිල් සමාදන් වීමෙනි.කුඩා දරුවකු හැරෙන්නට පන්සිල් පද ගැන නොදන්නා කෙනකු ඇතැයි සිතිය නොහැකි තරම් ය.මේවා කඩ කිරීමෙහි මොහොතක ආස්වාදය විඳීම තුළ සිදුවන ආදීනවය හා එයින් වැළකී සිටීම පිළිබඳව ඇසෙන බණදහම් ද අතොරක් නැතුව අසන්නට ඇත.මේ ආදීනවයන් පිළිබඳව දතයුතු සියල්ල …සමාජයට කෙතෙක් විවෘත වුවත්, ඒ හා සම්බන්ධ සාපරාධි ක්‍රියා වල නම් අඩුවක් නැතැයි පොදු පිළිගැනීමයි .

පංච සීලය කඩ කිරීමෙහි ආදීනව ගැන විමසා බලන විට ඒවායේ යෙදෙන්නන්ට පමණක් නොව, සමාජයේ පරිබාහිර අයටද බලපැවැත්වෙන ආකාරය පිළිබඳව නොයෙකුත් දෙසුම් වලින්ද අසන්නට ලැබේ .තථාගතයන් වහන්සේගේ ධර්මය තුළින් ඒ මගින් පුද්ගලයාට ලැබෙන ආදීනව කර්ම ඵල විපාක වශයෙන් මනා කොට පැහැදිලිව දක්වා ඇත.

මෙය සමාජයට බලපාන්නේ කෙසේද?

පංච සීලය කඩ කිරීමෙහි යෙදීම නිසා අන් අයගේද සුරක්ෂිතභාවය පුලුල් වශයෙන් බිඳ වැටෙන බව පෙනී යයි .
රටක නීතිය හා සාමය උදෙසා වන රාජ්‍ය ආයතනයන් පොලිසිය හා උසාවිය පවතින්නේ මෙම සුරක්ෂිත බව තහවුරු කිරීමටයි .

හේතුව කුමක් වුවත් ප්‍රාණ ඝාතකයා තවත් මිනිසකුගේ හෝ වෙනත් සතෙකු ගේ හෝ ජීවත් වීමේ අයිතිය නැති කරයි .ප්‍රාණඝාතයෙන් වැළකීම තුළ ,තමන්ට ලැබෙන කර්ම විපාක වලින් අත්මිදීම පමණක් නොව, සියලු සත්වයින්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම ද එමගින් ප්‍රධාන වශයෙන් සිදු වෙයි.

තමන්ගෙන් පරිබාහිර වූ පුද්ගලයෙකුගේ ප්‍රයෝජනය සහ යහපත සැපය පිණිස තිබූ දෙයක් සොර සිතින් ගෙන ඒ තැනැත්තාගේ සන්තක භාවය අහෝසි කිරීම අදත්තාදාන යයි.

සමාජ සදාචාර සම්මුතිය ඉක්මවා වැරදි ලෙස කාම සේවනයෙහි යෙදීම තුල කාමමිථ්‍යාචාරය සිදුවෙයි .මේ සිල් පදය සුරැකීමට අසමත් බිරින්දෑවරුන් සහ ස්වාමිවරුන් ගැටලු රාශියකට මුහුණ දෙති.

මහමග ගමන් කළත් නිවසෙහි රැඳී සිටියත් මෙම සිල්පද නොරැකෙන තැන කිසිවකුට හෝ සැනසීමක් නම් නොමැති බව අප අවබෝධ කරගත යුතු ධර්මතාවයක් .

මුසාවාදය හෙවත් බොරුකීම තුළින් පුද්ගලයන් මුළා කිරීම බලවත් පාප කර්මයක් .කිසිදු පිළිවෙලකින් තොරව විනෝදාංශයක් වශයෙන් පවත්වාගෙන යාමට සමහරු මේ සඳහා ගිජුය.

සත්‍යයක් සත්‍ය වශයෙන් නොව මුළාවක් වශයෙන් එළිදැක්වී පුද්ගලයකු නොමඟ යවන බැවින්ම බොරුකීම සමාජයට තදින් බලපාන අහිතකර ක්‍රියාවකි.මුසාව රජයන මිනිසා තුළ කළ නොහැකි වරදක් නැත.කළ සියලු වැරදි බොරුවෙන් වසා දැමීමට ඔහු සමතෙකි .

මිනිස් මනස ප්‍රකෘති ස්වභාවයෙන් මිදී විකෘතිව මිනිසුන් නොමිනිසුන් බවට පත් කරවන සුරාපානය හෙවත් මත්ද්‍රව්‍ය භාවිතය පවුල් තුළ සමාජය තුළ නොයෙක් ගැහැට ඇති කරවයි.

මත්ද්‍රව්‍ය පානයේ හැසිරීම තුළ ඇති වන්නේ කරුණාවක්, මෛත්‍රියක්, නොව පිළිකුලකි . මේ පිළිකුල නිසා මිනිසා තුළ ඇති කරවන අකුසල් සිත් ,හා ද්වේශ මූලික සිත් ඉපදීමෙන් අනෙකා තුළ අපට නොපෙනෙන්නා වූ අකුසල් සිත් වඩවාලීමේ පාපයද සිදු වෙයි.

මේ අනුව පංච සීලය කඩ කිරීමෙහි යෙදෙන්නන් විසින් සමස්ත සමාජය තුළට එල්ල කරනු ලබන තර්ජන හා ව්‍යසන අතිවිශාල පරාසයක විහිදී පවතින බව පෙනී යන්නකි.

පංච සීලයෙන් වැළකීම තුළ තමන්ගේ ස්වාධීනත්වයට මෙන්ම, අන් අයගේ ස්වාධීනත්වයට ද යහ පැවැත්ම උදෙසාද උපකාර කිරීම තුළ විශාල සමාජ සේවයක් ජනිත කරවන වා ඇත.බ්බ්

පුද්ගලයෙක් මේ පංච සීලයෙන් වැළකී සිටීමට හේතු පාදක වන කාරණා පිළිබඳ විමසුවහොත්, සමස්තයක් වශයෙන් ගොනු කරගත හැකි කාරණා දෙස මදක් විමසමු .

එය රාජ්‍ය නීතියට අනුව වරදට ලැබෙන දඬුවමක් කට බියක් විය හැකිය.

සමස්ත ජනයාගෙන් අපවාදයට නින්දාවට ලක් වීමට, තමාගේ තත්ත්වයට හා ගරුත්වයට කැළලක් ඇති කර ගැනීම සඳහා වූ බියක් ද විය හැකිය.

තමාගේ අනාගත අභිවෘද්ධිය උදෙසා වන බාධාවක් වේය යන බිය නිසා ද සිදුවිය හැක.

ආගමික හෝ සදාචාරාත්මක ශික්ෂණයක් නිසා ඇතිවන අන් අයට කරදරයක් පීඩාවක් වනු දැකීමට අකමැත්ත නිසා ද සිදුවිය හැක.

මේ භවය තුළම දුක් විපාක විඳින්නට , එනම් දිට්ඨධම්මවේදනීයෙහි විපාක විඳින්නට සිදු වේ ය යන බියෙන් සිදුවිය හැක .

මරණින් මත්තෙහි දී දුගති ගාමී වී දුක් විඳින්නට වේ ය යන බියෙන් ද සිදු විය හැක.

ඉන්ද්‍රිය සංවර කර ගනිමින් අවබෝධයෙන්ම හික්මුණු හා දමනය වුණු සිල්වත් සතර බ්‍රහ්ම විහරණයෙන් ඔපවත් වූ අධ්‍යාත්මයක් හිමි වීම නිසා ද සිදු විය හැක.

උක්ත කාරණා දෙස බලන විට , බොහොමයක් ම බිය උපදවීම නිසා තාවකාලික ලෙස ඇති වූ හැඟීම් ය.

නිවැරදි හික්මීම නොමැති නම්, අවස්ථාව ලද කල්හි ම වරදේ යෙදීමට ඉන් ඉඩ තිබේ. ඉහත අවසානයට සඳහන් කළ ඉන්ද්‍රිය සංවරය තුළින් ඇති වූ මනාව ශික්ෂණය පදනම් වූ ක්‍රියාදාමය තුළ පුද්ගලයෙකු බිය වීමට කාරණාවක් නොමැත.

ධම්මපදය බ්‍රාහ්මණ වර්ගය තුළින් බුදුරජාණන් වහන්සේ එවන් අයකු හඳුන්වා ඇත්තේ බ්‍රාහ්මණයකු ලෙසටයි.

ශිලවන්ත වූ ද ගුණවත් වූ ද තැනැත්තාට සක්දෙවිඳු ද නමස්කාර කරන බව සක්ක නමස්සන සූත්‍රයේ ද දැක්වෙයි .

පංචශීල ප්‍රතිපදාව යනු අධ්‍යාත්මික සංස්කරණයක ප්‍රතිඵලයක් මිස, බාහිර සාධකයන් මත පාලනය වන්නක් නොවන බව බුදු දහම තුළින් අවධාරණය කෙරෙයි .

මීට අමතරව පරිබාහිර හේතුවක් මත වුවත් පංච සීල ප්‍රතිපත්තියෙන් යුතුව සිටීම,සමාජ සංරක්ෂණය සඳහා ඍජු දායකත්වයක් සපයයි.

නියම බුදු දහම තුළ පවතින පිළිවෙත නම්, තමා විසින්ම තම කය, වචනය හා සිත දමනය කර ගනු ලැබීමයි. එහි ආසන්නතම ප්‍රතිඵලය පන්සිල් සුරකින දැහැමි සමාජයක උත්තරීතර හිමිකාරීත්වයයි.

ලෝකයේ මුලින්ම වරදට දඬුවම නියම කෙරුණු ආකාරය දක්නට ලැබෙන චක්කවත්ති සිහනාද සූත්‍රයේ දඬුවම නියම වූ ආකාරය දෙස මදක් විමසමු .

එම වරද සොරකමක් වූ අතර රජු විසින් දෙන ලද දඬුවම ලෙස සඳහන්ව තිබුණේ, දැඩි රැහැනෙන් පිටිතල හයා බැඳ ,දැලි පිහියක් පාවිච්චියෙන් හිස මුඩු කොට වීදියෙන් විදියට මං සන්ධිය කින් මං සන්ධියකට ගෙන යෑමෙන් අනතුරුව හිස ගසා දැමීම යි.

නමුත් පසුකාලීනව ද එමගින් සොරකම පාලනය වීමක් සිදු වී නොතිබිනි.

රාජ්‍ය නීතිය අනුව සකස් වුණු මෙම දඬුවම් සමාජ සංරක්ෂණයට සැබෑම විසඳුම නොවන බව අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණකි .

මිනිසා තුළ සංරක්ෂණයක් ඇතිකර ගත යුතුයි.යහපැවැත්ම සඳහා අවැසි ම ධර්මතාවයන් පිළිබඳ අවබෝධය මිනිසා තුල ස්ථාපිත විය යුතුයි .අවබෝධය තුළින්ම මිනිසා වෙත අධ්‍යාත්මික භාවය ළඟා කරවා ගත යුතුයි.

සමාජයේ යහපැවැත්ම උදෙසා අවශ්‍ය වන්නේ නීතියට ,විපාකයට, බිය නිසා පවින් වැළකී සිටිනවාට වඩා මෙත්තා කරුණා මුදිතා ගුණ වැඩුණු ඉන්ද්‍රිය සංවරයෙන් හික්මුණු පාපය පිළිකුල් කිරීමට සමත් පිළිවෙතින් පෙළ ගැසුණු මනුෂ්‍ය කොට්ඨාසයන් ය.

ධනය සහ ලාභය වෙනුවෙන් ඕනෑම පාපී ක්‍රියාවක් කිරීමට මෙන්ම ලාභ කීර්ති ප්‍රශංසා සහ ප්‍රසිද්ධිය සඳහා ඕනෑම මිත්‍යාවක් ජන ගත කිරීමටත් සමාජ ගත කිරීමටත් මැලි නොවන අය මගින් සමාජ සංරක්ෂණයක් සිදු නොවේ.

තමා තමාට මෙන්ම, අන් අය කෙරෙහිද කරුණාවක් දයාවක් දැක්වීමට කැමති නම්, කෙනෙකුට කළ හැකි විශිෂ්ටතම දෙයක් වන්නේ පංච සීල ප්‍රතිපත්තිය තුල සිටීමයි .එය හොඳම සමාජ සේවය ද වෙයි .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X