බුදු දහමින් “ශ්‍රද්ධාව” විශ්වාසයෙන් ගොඩනගමු
විශ්වාසය, පැහැදීම, ප්‍රසාදය ආදි අර්ථයන්හි ශ්‍රද්ධාව ලෙස ගන්නට පුලුවන්… ශ්‍රද්ධාව බොහෝ අර්ථයන්හි යෙදී ඇත. ශ්‍රද්ධා අනුගුණ (ශ්‍රද්ධාවට අනුගත ගුණ ඇති) ශ්‍රද්ධා අනුසාරි (අධිමාත්‍ර ශ්‍රද්ධාව ලැබ සෝවාන් මගට පිළිපන් ආර්යයා) ශ්‍රද්ධා ඉන්ද්‍රිය (සහජාත ධර්මයන්හි ප්‍රධාන වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා චරිත (ලෝභ නොවූ දුෂ්ට නොවූ ප්‍රසන්න ස්වභාවය ඇත්තා) ශ්‍රද්ධචර්යා (බලවත් ශ්‍රද්ධාවෙන් යුත් චරිතය) ශ්‍රද්ධා දෙය (සැදැහැයෙන් දෙන ලද) ශ්‍රද්ධා ධන (ධනයක් වැනි වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා ධුර (ප්‍රධාන කාර්යය වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා ප්‍රතිලාභ (ශ්‍රද්ධාව ඇතිවීම) ශ්‍රද්ධා බල (ප්‍රතිපක්ෂ ධර්මයන්හි නොසැලීම) ශ්‍රද්ධා බීජ (ශ්‍රද්ධාව නමැති බිජුවට) ශ්‍රද්ධාමාත්‍ර (ශ්‍රද්ධාවම) ශ්‍රද්ධා මූලික (ශ්‍රද්ධාව මුල්කොට ඇති) ශ්‍රද්ධා වත් (ශ්‍රද්ධාවෙන් යුක්ත ශ්‍රද්ධා බහුල කොට ඇති සමහර ආශ්‍රවයන් ගෙන් මුදිනු ආර්යය පුද්ගලයා) ශ්‍රද්ධාහස්ත (ශ්‍රද්ධාවන්ත අත) යනුවෙන් අර්ථ කිහිපයක ශ්‍රද්ධාවේ යෙදුනු දක්නට හැකිය.
බුද්ධාදි රතනත්‍රයෙහි අචල විශ්වාසය ප්‍රසාදය ප්‍රසන්න බව ඇතිකර ගැනීම තිසරණ සරණේ මනාව පිහිටන බෞද්ධ උපාසකයාගේ මූලික පදනමයි. ශ්‍රද්ධාව හෙවත් විශ්වාසය අවබෝධය පදනම් කරගත් තර්කානුකූල එකක් විය යුතුය. එහිදී අවබෝධය සිත තුළ මුල් බැස ගත යුතුය. නියම ශ්‍රද්ධවන්තයා තමාගෙන්ම තම ශ්‍රද්ධාව පිළිබඳව විමසා දැන සොයා බලා ස්වකීය ශ්‍රද්ධාව තහවුරු කරගනී. එය මුල්බැස ගන්නේ ආත්ම භක්තියකින් නොව සැක සහිත දේවල් දුරු කරගැනීමෙනි. ඒ සඳහා ශ්‍රද්ධාඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය සමඟ තුලනය කරගත යුතුවේ. ශ්‍රද්ධාව නොමැතිව ප්‍රඥාව නො වැඩේ. ප්‍රඥාව නොමැතිව ශ්‍රද්ධාව නොවැඩේ. ප්‍රඥාව හෙවත් අවබෝධය පදනම් කරගෙනම ශ්‍රද්ධාව වැඩේ. ශ්‍රද්ධාව වැඩෙන්නේ ද ප්‍රඥාව මුල්කරගෙනය.
“පරිප්ලව පසාදස්ස – පඤ්ඤා න පූරති”
චංචල ශ්‍රද්ධාව ඇති පුද්ගලයාගේ ප්‍රඥාව නො වැඩේ.
සාමාන්‍ය ශ්‍රද්ධාව හා භාවනාවෙන් දියුණු කළ ශ්‍රද්ධාව යයි ශ්‍රද්ධාව දෙවදෑරුම්ය. බෝධිපාක්ෂික ධර්ම විෂයෙහි ශ්‍රද්ධාන්ද්‍රිය වශයෙන් සැලකෙන්නේ භාවනාවෙන් දියුණු කළ ශ්‍රද්ධාවයි. ලෝකෝත්තර මාර්ගඥානයට උපකාර වන බෝධිපාක්ෂික ධර්මයන් වූ සතිපට්ඨානය, සම්‍යක්ප්‍රදානය, සෘද්ධිපාදය, ඉන්ද්‍රිය, බලය, බොධ්‍යඞග, මාර්ග යන සතෙහි එන ඉන්ද්‍රිය හා බල ධර්මයන්හි ඉන්ද්‍රිය දෙවිස්සෙහි ශ්‍රද්ධාන්ද්‍රිය වැදගත් තැනක් ගන්නා අතර, සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, පඤ්ඤා බලය යන පස් ආකාර බලයන් අතර, සද්ධා බලය මුල්තැන ගනී. විරුද්ධ ධර්මයන් මර්ධනය කෙරෙන බැවිනුත් විරුද්ධ ධර්මයන්ගෙන් නොසෙල්විය හැකි බැවිනුත් ශ්‍රද්ධාදි බල ඉතා වැදගත් වේ. මෙම බලයන්ගෙන් ලෝකෝත්තර මාර්ගයට උපකාර විය හැකි තත්වයට භාවනාවෙන් දියුණු කළ ශ්‍රද්ධාදිය වැදගත් තැනක් ගනී. ශ්‍රද්ධාවෙන් මනා සිත් ඇති තැනැත්තාට සාවද්‍ය කර්මාන්තයන්ගෙන් බැහැරව ධර්මයෙන් පරාර්ථය සෑදීමෙන් ජීවත් විය හැකිවාක් මෙන්ම ධර්මදානාදිය සිදුකොට ලෝවැඩ ද සෑදිය හැකිය.
බුදු සසුනෙහි අධික වූ ශ්‍රද්ධාවෙන් යුක්ත වූවන් හට විදර්ශනා භාවනාදියෙහි යෙදී සීල සුගන්ධය දසත පතුරුවා ප්‍රඥාව වඩා පිළිවෙත් පුරා නිවන් සැප සාදාගත හැකිය.
“සද්ධින්ද්‍රියං භික්ඛවෙ බෝධිපක්ඛියා ධම්මා තං බෝධාය සංවත්තති.”
ශ්‍රද්ධාව වනාහි බෝධිය හෙවත් මහා ප්‍රඥාව ගෙන දෙන ධර්මයකි. එම නිසා එය වඩවා ගත යුතුය. අන් ආගම්හි බහුලව භාවිතා වන භක්තිය යන්න හුදු ඇදහීමකට සීමාවේ. එය බෞද්ධ ශ්‍රද්ධාර්ථියෙහිලා නොගැනිය යුතුය. බුදු දහමේ එන ශ්‍රද්ධාව තමා තුළින් දැක දැනගෙන ත්‍රිවිධ රත්නාදිය කෙරෙහි ඇතිකරගන්නා පැහැදීමයි.
බුදුදහම යනු සත්‍යාවබෝධ ධර්මයකි. එකී අවබෝධය කොටස් දෙකකට බෙදේ. ලෝකය අවබෝධ කරගැනීම ලෝකවිදු යනුවෙන් ද, නිවන අවබෝධ කරගැනීම ලෝකෝත්තර විදු ගුණය වශයෙන් ද සැලකේ. පළමුව අප අවබෝධ කරගත යුත්තේ තමා ඉන්නා ලෝකය පිළිබදවයි. ලෝකය ගැන අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය වන දහම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. ප්‍රඥාසංවර්තනික ප්‍රතිපදාව එයයි.
“චත්තාරෝ මෙ භික්ඛවෙ ධම්මා මහාපඤ්ඤතාය සංවත්තන්ති
කතමෙ චත්තාරො සත්පුරුස සංසෙවො සද්ධම්ම සවනං යොනිසො මනසිකාරො
ධම්මානු ධම්ම පටිපත්ති ඉමෙඛො භික්ඛවෙ චත්තාරො
ධම්මා භාවිතා බහුලීකතා මහාපඤ්ඤතාය සංවත්තන්ති ”
කරුණු හතරක් භාවිතා කිරීමෙන් බහුල කොට වැඩීමෙන් මහා ප්‍රඥාව ඇතිවේ. කවර නම් කරුණු සතරක් ද යත් සත් පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවනය යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම ප්‍රතිපත්ති යනුයි.
මෙම කරුණු භාවිතා කිරීමෙන් බහුලකොට වැඩීමෙන් මහා ප්‍රඥාව වැඩේ. මෙම මහා ප්‍රඥාවේ මූල බීජය ශ්‍රද්ධාවයි. සද්ධාබීජං වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසාමය. ශ්‍රද්ධාව යනු බුද්ධ බීජයයි. තපස යනු එම බීජයට දමනු ලබන ජලයයි.
සම්මා දිට්ඨිය යනු ඉන් පැන නැගෙන පැලයයි. මහා ප්‍රඥාව යනු එම පැලය වැඩී ගිය විට ඇතිවන වෘක්ෂයයි. මහා ප්‍රඥාව ඇති කරගැනීමේ මූලික පදනම ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව ඇති කරගෙන එය වඩවා ගත යුත්තකි. බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ශ්‍රාවක සැටනම අමතා “චරථභික්ඛවේ චාරිකං බහු ජන හිතාය, බහු ජන සුඛාය” ආදි වශයෙන් නො පැහැදුනවුන්ගේ පැහැදීම ඇති කරගැනීම පිණිසත් පැහැදුන වුන්ගේ පැහැදීම දියුණු කර ගැනීම පිණිසත් ගමක් ගමක් පාසා නගරයක් නගරයක් පාසා සැරි සරා ධර්මය දේශනා කරන සේ නියම කළ සේක. මිනිසාගේ අවශ්‍යතාවය විය යුත්තේ ලෝකය අතහැර සංසාර දුකින් මිදී නිවන් අවබෝධ කරගැනීමයි. අපි සසරේ යළි යළිත් ඉපදෙමින් ජාති ජරා මරණ ආදි එකොලොස් ගින්නකින් දැවෙමින් ගමන් කරන්නේ ලෝකය පිළිබඳව අනවබෝධය හෙවත් අවිද්‍යාව නිසාය.
ශ්‍රද්ධාව ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. අමූලිකා ශ්‍රද්ධාව හා ආකාරවතී ශ්‍රද්ධාව යනු ඒ දෙකයි. අමූලිකා ශ්‍රද්ධාව යනු කිසිම පදනමක් නැති පැහැදීමයි. එනම් රූපප්පමාණො රූපප්පසාදො රූපය ප්‍රමාණ කොට රූපයට පැහැදීම, සද්දප්පමාණො සද්දප්පසාදො මිහිරි කටහඩක් අසා එයට පැහැදීම. ඝෝසප්පමාණො ඝෝසප්පසාදො- මහා ඝෝසාවක් අසා එයට පැහැදීම ලුඛප්පමාණො ලුඛප්පසාදො- දුෂ්කර වෘත සමාදන් වනවා දැක එයට පැහැදීම. පස්වග මහණහු බෝසතාණන් වහන්සේ දුෂ්කරක්‍රියා කරනු දැක එයට පැහැදුනහ. එය අතහළ පසුව එයට කළකිරී බෝසතාණන් වහන්සේ මගහැර ගියහ. වක්කලි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දෙසම බලා කල් ගෙවන විට බුදුපියාණන් වහන්සේ කිං තෙ වක්කලි ඉමිනා පූතිකාය……… වක්කලිය මේ දෙතිස් මහා කුණප දෙස බලා සිටීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද. “යොධම්මංපස්සති සො බුද්ධං පස්සති….” මාව දකින්නට නම් ධර්මය දකින්න. මේ අනුව බුදුදහමට අයත් පැහැදීම නම් ආකාරවති ශ්‍රද්ධාවයි. ධම්මප්පමාණො ධම්මප්පසාදො ලෝක ධර්මය ප්‍රමාණ කරගෙන ලෝකෝත්තර ධර්මයට පැහැදීම ඇති කරගෙන නිර්වාණයට පැහැදීම නියම ශ්‍රද්ධාවයි. ධර්මය දැන ධර්මයට පැහැදුනා වූ අය ආර්ය ශ්‍රාවකයන් බවට පත්වේ. ඔවුන් කිසි දාක දුගතියකට පත් නොවන බව බුදුපියාණන් වහන්සේ දේශනා කළ සේක. එසේ නම් බුදු වදනට අනුව දුගතියෙන් අත් මිදී ආර්ය ශ්‍රාවකයෙක් වීම සඳහා ලෝකය අවබෝධ කරගෙන නිවනට පැහැදීම හෙවත් නිවන මූලික කොට ශ්‍රද්ධාව වඩාගත යුතුය.
ශ්‍රද්ධාවේ බලස්ථානය දැක ගැනීමට නම් සතර සෝතාපත්ති අංග දෙස බැලිය යුතුය. බුදු ගුණ, දහම් ගුණ සඟ ගුණ දැන පැහැදීම අරියකන්ත ශීලය ඇති කරගැනීම ඒ සතර සෝතාපත්තියයි. දුක උපනිෂ්‍රය කරගෙන ශ්‍රද්ධාව ඇතිකරගත යුතුවේ. ලෝකයේ ප්‍රකෘතිය දුකය. සැප යනු අප ආයාසයෙන් ඇතිකරගන්නකි. එම සැපයෙන් කරනුයේ ඉදුරන් පිනවීමයි. එනම් රාගය නමැති එකොළොස් ගින්න ඇතිකරගැනීමයි. මෙම එකොලොස් ගින්නෙන් සිත නිවාගත් විට නියම සැපය ලැබේ. ලෝකය නම් වූ සිතයි කයයි දෙකේ එකතුව එනම් ජීවිතයේ පැවැත්ම ගෙනයන විට අපට කායික මානසික චෛයිතසික වශයෙන් දුක ඇතිවේ. දුක නැතිකර ගැනීමට නම් ශ්‍රද්ධාව වඩා යා යුතු මාර්ගය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එමගින් සත්‍ය සතර අවබෝධ වේ. සත්‍ය සතර අවබෝධයට මූලික වශයෙන් ශ්‍රද්ධාව ඇතිකරගත යුතුමය. ශ්‍රද්ධාව මූල බීජය කොට උත්තරීතර නිවන අවබෝධ කරගැනීමට එමගින් මාර්ග ඵල ලබා නිවන් අවබෝධයට අප සැම වෑයම් කළ යුතුය. ශ්‍රද්ධා භාවනාව එයට අතිශය සේ උපකාරී කරගත හැකි වේ.
ඔබ සැමට උතුම් වූ ශ්‍රී දළදා සමිඳු සරණයි!!!
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood