Temples of Sri Lanka

හොදින් ඉන්න හොඳ දරුවකු විලසින්නේ….

බුදු හිමි දෙසූ දහමින් පෝෂිත වූ එදා සමාජයේ දෙමවුපියන් දරුවන්ට ධාර්මිකව උපයා සපයා ගත් ධනය දායාද කළා . සමාජයේ අඛණ්ඩ පැවැත්ම ඒ නිසා ධාර්මික ලෙස ගලා ගියා.
පවුල සමාජයේ කුඩාම ඒකකයයි.එය දෙමාපියන් සහ දූ දරුවන් ගෙන් සමන්විත වුණා . එහි සාමාජිකයන් පුරුදු පුහුණු කරන හැම ගුණ ධර්මයක්ම, හැසිරීමක්ම, ක්‍රියාකාරකමක්ම යහපත් සමාජයකට මූලාරම්භය වුනා.
පොසොන් පුර පසළොස්වක පොහෝ දිනෙක මිස්සක පව්වෙන් ලාංකික ජන සමාජයට ධර්ම ප්‍රචාරය ඇරැඹු මිහිඳු මහ රහතන් වහන්සේ දහම මුල් කරගත් උසස් සංස්කෘතියකින් ලාංකික ජන සමාජයට බෞද්ධ සංස්කෘතිය වටහා දුන්නා.

අම්මා තාත්තාගේ සෙවණේ වැඩෙන බිලිඳු දරුවාගේ සිට වැඩිහිටි සමාජය දක්වාම සුහදත්වයෙන් විශ්වාසයෙන්, සංහිඳියාවෙන්, එකමුතුකමින්, පරාර්ථකාමීව ජීවත්වන සැටි කියා දුන්නා.

ඔවුන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් වගකීම් හඳුන්වා දෙමින් සමාජ සුරක්ෂිතතාව ඇති කරගන්නා සැටි පෙන්වා දුන්නා. සතුටින් ජීවත්වීමට, සාර්ථක දිවි පෙවෙතක් ගත කිරීමට මනා දහම් මාවතක් පෙන්වා දුන්නා.

බුද්ධ දේශනාව අනුව පවුලක අම්මා තාත්තා, දූ දරුවන් ඔවුනොවුන් කෙරෙහි පැවැතිය යුතු ආකාරය හඳුන්වා දෙමින් ගුණ ගරුක සමාජයකට, ශක්තිමත් පරපුරක් දායාද කරන්නට මඟ පෙන්වනවා.

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේදී ලෝකයේ පුද සත්කාර හා, ගෞරවය ලැබිය යුතු සිවු පිරිසක් පිළිබඳව දේශනා කොට තිබෙනවා. අම්මා, තාත්තා පළමුවත්, දෙවනුවත් පූජනීයත්වයට පත්විය යුතු බව පෙන්වා දුන්නා. බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ ස්ථානගත කරන්නේ තෙවැනි තැනට. සිවුවන පිරිස මහා සංඝරත්නයයි. ඒ අනුව බුදු හිමියන් විසින් මවුපියන් මොනතරම් උසස් ලෙස අගය කර තිබේ ද යන්න අපට පැහැදිලි වෙනවා.

සාර්ථක ගිහි ජීවිතයක පදනම වන්නේ පවුල. එය විසිරී යා නොදී ආරක්ෂා කරගත හැකි වන්නේත්, සතුට සැනසුම උදාකර දිය හැකි වන්නේත් මූලික වශයෙන් දෙමාපිය දෙදෙනාටය. එහිදී සිය දරුවන් හොඳින් හදා-වඩා ගැනීම ප්‍රධානයි.

ඒ සඳහා මවුපිය දෙදෙනා දරුවන් වෙනුවෙන් සිය යුතුකම් මනා සේ නිවැරැදිව ඉටුකළ යුතුය.

සිඟාලෝවාද සූත්‍රයේ එන ආකාරයට …
දරුවා පාපයෙන් මුදවා ගැනීම, යහපතෙහි යෙදවීම මවුපියන් විසින් කළ යුතුයි.

සතුන් මැරීමෙන්, සොරකමෙන්, කාමයේ වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන් පවු සිදු වන බව කුඩා කල සිටම දරුවාගේ මනසට තේරුම් කර නොදුන්නොත්, දරුවා පවට ලජ්ජා වන්නේ හෝ බිය වන්නේ හෝ නැති බව දෙමාපියන් වටහා ගත යුතුයි.

අද ඇතැම් පාසල් දරුවන් පවා මත් ද්‍රව්‍ය සඳහා ගොදුරු වී සිටින ආකාරය අපි දකිමු. කවා පොවා, පොත පත ගෙන දී, අමතර පන්ති යවා දරුවාට අධ්‍යාපනය පමණක් දුන් පමණින් සෑහීමට පත්වනවා නම් මවුපියන්ට , වරදින්නේ එතැනය.

නැණ බලයෙන් සේම ගුණයෙන් ද ළමා මනස පෝෂණය කළ යුතුය යන්න දෙමාපියන් සිතිය යුතුය. ඇසුරු කරන්නේ කවුද, යන්න, යන එන තැන් සොයා බැලිම සිදු කිරීම මෙහිදී ඉතා වැදගත්‍ වේ.

තමන් දරුවන් ගැන නිති සෙවිල්ලෙන් පසුවන බව ඔවුන්ට අසීමිත නිදහසක් ලබා දී නැති බව ඒත්තු ගැන්විය යුතුය. විශේෂයෙන් දරුවන් හා ඇසුරු කරන්නන් කල්‍යාණ මිතුරන් බවට මවුපිය දෙදෙනාට විශ්වාසයක් තිබිය යුතුමය.

දරුවා පාපයෙන් මුදවා ගන්නවා සේම වැඩිහිටියන්ට, ගුරුවරුන්ට සලකන්නට, ආගමානුකූලව ජීවත්වන්නට, අසරණයන්ට පිහිට වන්නට, පරිසරය ආරක්ෂා කරගන්නට ආදී යහපත් හැසිරීම් ද ප්‍රගුණ කිරීමට දරුවාට අදහස් දීම මෙහිදී ඉතා වටින්නේය. හොඳ අධ්‍යාපනයක් ලබා දීමෙන් දරුවාගේ අනාගතය සුරක්ෂිත වනවා සේම ජීවිතයේ මුහුණ දෙන්නට වන අභියෝග හමුවේ ජීවත්වීමේ කලාව ද ඉගෙන ගන්නට දරුවාට ඉඩ සලසා දිය යුතුය.

බාලයන් ලෙස නොහැසිරෙන්නට ,ජීවිතයට හික්මීමක් ඇති කරගන්නට,
සුදුසු කල ආවාහ විවාහ කර දෙන්නට,අනාගත ජීවිතය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට , වැරැදිවලට යොමු නොවී ජීවිතය ගෙන යාමට,දෙමාපියන්ගේ අධීක්ශනය දරුවන් වටා රොක් විය යුතුය.

දායාද පවරා දිය යුතු වන්නේ දරුවන්ගේ ආර්ථිකය වඩාත් සුරක්ෂිත කරගැනීමට සහාය වීමකටය. අලුත් ජීවිතයක් ආරම්භ කරන අවස්ථාවේ එයට විසල් ශක්තියක් ලෙස දෙමාපිය සහයෝගය ලබා දිය යුතුය .

බුදු වදනට අනුව ලාංකික සමාජයේ පවුල සුරක්ෂිත කිරීම පිළිබඳව ආගමික නායකයෝ මහත් උනන්දුවක් දැක්වූහ. ඒ අනුව හැඩගැසුණු ලාංකික සමාජයේ අම්මා තාත්තා දරුවන් පවින් වළකා ගත්තා. පවේ ආදීනව පෙන්වා දුන්නා. වැරැදි කළොත් අපායේ යන බවට දරුවන්ගේ සිතෙහි තහවුරු කළා. පුරාණ පන්සල් චිත්‍ර බොහොමයක ඇති යම රජු ප්‍රමුඛ අපායේ දර්ශන ඊට නිදසුන් ගෙනාවා.

පව් කළොත් තිරිසන් ලෝකයන්හි… අසුර, ප්‍රේතාදී ලෝකයන්හි… දුක් විඳින්නට වන බව වැඩිහිටි අය පෙන්වා දුන්නා. ප්‍රායෝගික ජීවිතයේ දුක් විඳින තිරිසන් සතුන් මෙන්ම විවිධ පීඩාවන්ට ගොදුරු වූ මනුෂ්‍යයින් ද උදාහරණයට ගනිමින් ආදීනව පෙන්වා දක්වමින් පවට බිය ඇති කළා. දරුවෝ ද ඒ අසා පවට බිය වූනා. ලජ්ජා බය දෙක හිතේ ඇති උනා. එදා අපේ සමාජයේ වැරැදි අඩු වූයේ ඒ නිසා යි. එහෙත් වර්තමානයේ මෙහි යම් අඩුවක් පෙනෙන්නට තිබේ. දරුවන් යහපතෙහි පිහිටුවීම සම්බුදු දහමට අනුව ප්‍රමුඛ වුවද අද මවුපියන් මුල් තැන දෙන්නේ ශිල්පීය ක්‍ය්සලතා වර්ධනයටයි. ශාස්ත්‍ර දැනුම ප්‍රගුන කිරීමටයි.. අවසන එයින් නිමැවෙන්නේ රොබෝ දරුවෙකි. එවැනි කෙනෙකුගෙන් සමාජයට යහපතක් හෝ සංවේදී බවක් බලාපොරොත්තු විය නොහැකිය.

දහමින් පෝෂිත වූ එදා සමාජයේ මවුපියන් දරුවන්ට දායාද කළේ ධාර්මිකව උපයා සපයා ගත් ධනයයි. ඒ නිසා සමාජයේ අඛණ්ඩ පැවැත්ම ධාර්මික ලෙස ගලා ගියේය.
ඒ වගේම ආච්චි අම්මා සීයා, අම්මා තාත්තා, නැන්දා මාමා ආදි සාමාජිකයන් රැසක් සිටි විස්තෘත පවුලේ දරුවන්ට පවට ඉඩක් තිබුණේ ද නැත. අද න්‍යෂ්ටික පවුලේ ඒ ආරක්ෂාව අඩුය.

දරුවන්ට අයහපතට පෙලඹීමට ඇති නිදහස වැඩිය. මේ ගැන වත්මන් වැඩිහිටියන් නිසි අවධානය යොමු කළ යුතුය. එසේ නොමැති වීමෙන් සිදු වන්නේ වයෝවෘද්ධ වූ දිනෙක මවුපියන්ට ද දරුවන්ගේ රැකවරණය අහිමි වීමය.

යහපත… අයහපත, කළ යුතු …නොකළ යුතු දේ ගැන නිසි කළ දරුවන්ට නිසි අවබෝධයක් නොලැබීම ඊට හේතුවයි.

ධර්මානුකූල විවරණ බැහැර ලා, භෞතිකවාදී මාවතක ගමන් කරන වත්මන්හි සමහර දරුවන් මවුපියන් අසරණ කරන ආකාරය ශෝචනීය ලෙස දකිමු. ඊට පිළියම ඇත්තේ අවසානයේ නොව ආරම්භයේදීමය. එනම් නිසි කල දරුවන්ට මනාව යුතුකම් ඉටු කිරීම තුළය. යහපතෙහි යෙදවීම තුළය.
මෙහිදී මවුපියන් ආදර්ශ සම්පන්න වීම ද වැදගත්ය. මවුපියන්ට තුනුරුවන් ගැන අචල ශ්‍රද්ධාවක් තිබේ නම්, එය අසන දකින දරුවා ද ඒ මඟ ගමන් කරයි.

තුනුරුවන් ගැන, විශ්වාසය ඇති කරගනියි. ඒ අනුව ජීවිතය හැඩ ගස්වා ගනී..
ධනයෙන්, බලයෙන්, තනතුරෙන් අහංකාර වන, ජනප්‍රිය කමින් මත්වන ඒ අනුව දරුවන් ද ඒ මඟ ගෙනයන සමහර මවුපියන්ට ඒ චරිත මාහැඟි ආදර්ශයන්ය. දරුවන්ගේ මනසට අනවශ්‍ය බරක්, මාන්නයක් ඇති කරති. අසංවර ඇඳුම පැලඳුමට හුරු කරවති. එහෙත් ඒ සියල්ලට ඇති උනන්දුව ගුණධර්ම උගන්වන්නට නැත. අවසානයේ එහි ප්‍රතිඵල ලැබෙන කල ඒ මවුපියන් ප්‍රමාද වැඩියි.
යථාර්ථයට මුහුණ දෙන්නට අපේ අම්මලා තාත්තලා තාමත් ප්‍රමාද නැත.

ජීවිතය හැඩ ගස්වා ගන්නට, ජය ගන්නට, සතුටින් ජිවත්වන්නට, පරලොව ජීවිතය ද සුගතිගාමී කරගන්නට උතුම් ධර්ම මාවතක් අපට උගන්වා තිබේ.

ඒ ධර්ම මාවතට අවතීර්ණ වෙමින්, කුහක සිතිවිලි බැහැර කර, වෛරය, ක්‍රෝධය බැහැර කර මෛත්‍රී සිතින්, දයාවෙන්, කරුණාවෙන් ඉවසීමෙන්, අන්‍ය මතවලට ගරු කිරීමෙන්, අන් සැපේදී සතුටු වීමෙන්, පරාර්ථකාමී බවින් ජීවත් වන්නට උත්සාහ කළ යුතුය. දරුවන්ට ද ඒ මඟ පෙන්වා දිය යුතුය.

ඒ උසස් සංස්කෘතියෙන් නැවත සමාජය සුපෝෂිත කරන්නට අනාව සමුර්ධිමත් කිරීමට අපි ඉටා ගමු.
කටයුතු කරමු.

You might also like
en English
X
X