Temples of Sri Lanka

කරුණා ධාරා බියගමට…

ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා සභාපතීත්වය දරන, එක්සත් බෞද්ධ ලෝකයක් අරමුණු කරගත් බෞද්ධ සහෝදරත්ව පදනම විසින් දියත් කරන්නට යෙදෙන, මිනිස්කම පෙරදැරි කරගත්, ‘කරුණා ධාරා’ ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය ජනවාරි පළමුවැනිදා පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

එහි මුල්ම පියවර ලෙස විශ්වීය කරුණාවේ මුද්‍රාව බඳු ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේ හට දීර්ඝායුෂ සහ ශුභාශිංසන පැතීමත්, රටවාසී, ලෝකවාසී සත්වයන් වෙනුවෙන් නව වසරට සෙත් පතා සෙත්පිරිත් සජ්ඣායනක් පැවැත්වුණි. ඒ සඳහා භික්ෂූන් වහන්සේලා දස නමක් වැඩම කළ අතර, පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙහි නිර්මිත දහසක් බුදුවරු වැඩසිටින කුටියෙහි පිරිත් සජ්ඣානයක් සිදු කෙරුණි.

අනතුරුව එම ව්‍යාපෘතියෙහි දෙවන පියවර ලෙස පසුගිය වසරේ නොවැම්බර් මස පැවති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් විහාරස්ථාන 11 ක් සඳහා මූල්‍යමය ආධාර බෙදා දීමේ වැඩසටහනක් පැවැත්වුණි. එහිදී ප්‍රථම අදියර ලෙස විහාරස්ථාන තුනකට ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා විසින් මූල්‍යමය ආධාර පරිත්‍යාග කරන ලදී.

කරුණා ධාරා ව්‍යාපෘතියෙහි තෙවන පියවර වූයේ ආපදාවට පත් වූ හෙයියන්තුඩුව ප්‍රදේශවාසී පවුල් 27 ක පාසල් දරුවන් 27 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා හැරීමේ වැඩසටහනයි. එම දරුවන් 27 දෙනා සඳහා 2026 වර්ෂයට ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා විසින් පාසල් උපකරණ ලබා දුනි.

මෙම ව්‍යාපෘතියෙහි සංවිධායක කටයුතු පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙහි ලේඛකාධිකාරී ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, මෙම වැඩසටහනට ප්‍රදේශයේ විහාරස්ථානයන්හි නායක ස්වාමීන් වහන්සේලා ද, බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක මාලා සුරංගනී මහත්මිය ද, ප්‍රදේශවාසීන් රාශියක් ද සහභාගී වූහ.

You might also like
en English
X
X