Temples of Sri Lanka

මං මුලාවී පාර සොයාගෙන එතෙරක් හොයමින් යන ගමනේ..

අපට දුක් වේදනා එන්නේ අපි ප්‍රිය කරන දෙයකින් ම යි.

ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් යුක්ත දේවල් වලට ලෝකයා කැමති වෙනවා නම්, එතකොට ඇයි මේ සත්තුන්ට ඒක නැත්තේ? උන්ට කැමැත්ත අඩු නම් දුක අඩුයිනේ! කියලා අපිට ප්‍රශ්නයක් එන්න පුලුවන්. ඇයි, මිනිස්සුන්ට නේ මේ දුක වැඩි වෙන්න ඕනේ, ඔවු කැමැත්ත වැඩි හින්දා!

දැන් මෙන්න මේ වෙලාවේ තියෙනවා ලෝකයේ “ප්‍රිය ස්වභාවයක් – මධුර ස්වභාවයක්” . මේක තමයි මේ පැවැත්ම තුළ තියෙන පිං-පවු දෙකෙන් සිද්ධ වෙන්නේ. මේ ප්‍රිය ස්වභාවය කියන එක මතුවෙලා එනවා මායාවක් වශයෙන් තාවකාලිකව. හැබැයි, කොච්චර තාවකාලිකව මතු වුනත්, කැමති සේ නැති එකක් මයි මතුවෙන්නේ. හැබැයි, තාවකාලිකව රැවටීමක් වශයෙන් තමයි මේ පිං-පවු දෙකේ සසර ගමන තියෙන්නේ.

හොඳ ඒවා හම්බ වෙනවා කියලා හිත බැඳගන්න එකයි, ඒවා නෑ කියලා දුක්වෙන පැත්තේ අනිෂ්ඨ අරමුණු කියන එකයි, ඉෂ්ඨ-ප්‍රිය, අනිෂ්ඨ-අප්‍රිය කියන අරමුණු වලින් ලෝකයේ මතුවෙන හරිය, මේ පැවැත්මේ ම තියෙන කොටස් දෙකක්. ඔය දෙක පස්සේ තමයි මේ ලෝක සත්වයා සැරිසරාගෙන යන්නේ. ඒක තමයි ලෝකේ සුගති-දුකති කියන්නේ. ලෝකයේ සුගතියයි කියන, දුගතියයි කියන දෙකේම යථාර්තය දකිනකොට, ආර්ය ධර්මය තුළින් දකිනවා, හරි යථාර්තය තුළින් දකිනවා මේ සුගති-දුගති කියන දෙකම කැමති සේ නැති ධර්මතාවයේම කොටස් දෙකක්!

මෙන්න මේ කොටස් දෙක දකිනකොට, අර ගැඹුරු නුවණ ඇති කෙනා “මේ පිනෙන් ලබන එකෙන් වැඩකුත් නෑ, පවෙන් ලැබෙන එකෙන් වැඩකුත් නෑ, මේ දෙකම අනිච්ච කොටසට අයිතියි, එහෙනම් ඔය කොච්චර අපි සැනසුම කියලා කිවුවත් ඕකේ දුක පිරිලා තියෙනවා” අන්න විමර්ශනය කරලා දකිනවා හොඳ එකේ තියෙන දුක. දැන් දකිනකොට අපි බලන්න ඕනේ, දැන් අපි හිතනවා, හොඳ එකේ තියෙන දුක අපි නිගමනය කරගන්නවා. නරක එකයි, හොඳ එකයි දෙකෙන් කෝකද අපිට දුක් දෙන්නේ? දැන් හොඳ එක, කායික සුඛස්කන්ධය බලාපොරොත්තුවෙන් හොඳ එක කියලා ගත්තහම, මානසික දුක දහස් වාරයක් වැඩි කරලා දෙන්නේ ඒ කායික සුඛාස්වාදය ලබන්න ගන්න හොඳ එක!

දැන් අපි හිතමු ඕන දෙයක් සල්ලි තියෙනවා නම් සල්ලි දීලා ගන්න පුලුවන්, අරක ගන්න පුලුවන්, මං කැමති දෙයක් ගන්න පුලුවන් සල්ලි පර්ස් එකක් තියාගෙන අපි යනවා වැසිකිළි යන්න. ගිහාම කැළෑවකට යන්න තියෙන්නේ. අපි හිතමු කැළේට ගිහිල්ලා, මේකත් ඉනේ ගහගෙන තියෙනවා, මේක ඉඳගන්න ගිහාම මේක ඉනේ ඇණෙන හින්දා මේක පැත්තකින් තිබ්බා, තියලා ඉවරවෙලා, තමුන් මළපහ කරලා, ඔක්කොම කරලා නැඟිටලා යන්න ගියා, පර්ස් එක එතන බැරිවුනා!
දැන් එතන දෙකක් තියෙනවා, අපේ සතුව තිබිච්ච දෙකක්. එකක් තමයි අපේ බඩේ තිබිච්ච මළ කොටස. ඒකත් මළපහ කරලා, ……. අනික තමයි අපි ලඟ තිබිච්ච සල්ලි පර්ස් එක, අපි හොඳයි කිවුව එක. ඒක තමයි ගල උඩ තිබ්බේ. මඟක් එනකොට, බස් එකේ එනකොට මතක් වුනා, “යකෝ, සල්ලි පර්ස් එක ගල උඩනේ!” දැන් ඉතින් ඔතෙනදී අපිට ප්‍රිය මනාප කරපු එකත් දැන් පැත්තක තියෙනවා. අපි ප්‍රිය මනාප නැතුව, වැඩක් නෑ කියලා අහකට දාපු අසූචි පිඩත් පැත්තක තියෙනවා. දැන් මේකෙන් කෝකද මානසික දුක දෙන්නේ?

“ෂාහ්, අසූචි ටිකත් එතන!” එහෙමත් වෙනවද? “ෂාහ්, මගේ සල්ලි පර්ස් එක එතන!” දැන් මොකද්ද දුක දෙන්නේ? සල්ලි පර්ස් එක නේද දැන් රත් කරන්නේ අපේ ඇඟ? “හරි වැඩේ, මෙච්චර ගාණක් ඒක ඇතුලේ තිබුණා, කවුරුවත් අරන් ගියාද දන්නෙත් නෑ වෙන එක්කෙනෙක්, දැන් ආපහු යන්න විදිහකුත් නෑ, මට වෙච්ච් පාඩුවක හැටි!” “පහරපු එකත් එතන, හරි වැඩේ මට වුනේ, දැන් ඒකත් මට වෙච්චි පාඩුව” කියලා එහෙමත් හිතෙනවාද?

එහෙනම් දුක දුන්නේ, අපිට දුක දීලා තියෙන එකෙන්ද අපි දැන් සැප,ලබන්නේ… අපිට මානසික දුක දුන්නේ මොකද්ද? අපි මේ ලෝකේ “ප්‍රියයි-මනාපයි” කියලා අල්ලාගත්තේ නැති, පැත්තක දාපු එක අපිට දුකක් ආවේ නෑ! එහෙනම් අපි වැඩියත්, මේ විඳින හරියක් විඳින්නේ මානසික දුක, 99%ක්! කායික දුකක් විඳිනවා නම්, ඒක 1% කට වත් ගණං කරන්න දෙයක් නෑ. කායික සැප කියලා විඳින දේ මානසික වශයෙන් ඒ තුළින් ගත්ත එකක්. කායික වශයෙන් ගත්ත ඉෂ්ට-ප්‍රිය අරමුණ සැපයි කියලා වැටහෙන්නේ මනසට ආවට පස්සේ. ඒකත් මනසින් ගොඩනඟා ගන්නවා. මනසින් ගොඩන්ඟාගෙනයි ඒකේ සැප විඳින්නේ.

කායික වේදනාවත් දැනෙන්නේ මානසික වශයෙන්…
දැන් මේකේ හොඳ උදාහරණයක් තියෙනවා, වැදගත් දෙයක්, මේ මෑතකදී කරපු පරීක්ෂණයක්, වෛද්‍යවරු, මනෝ වෛද්‍යවරු කරපු පරීක්ෂණයක්. දරුවන් ලැබෙන්න ඉන්න මවුවරුන්ට, මෝහන වෛද්‍යවරයෙක්. දෙනවා යම්කිසි සංඥාවක්. “මම ඔබේ දකුණු අතේ මහපටැඟිල්ල අල්ලපුහාම ඔබට මම දෙනවා නිර්වින්දන ශක්තියක්. ඔබට දරු ප්‍රසූතියට කිසිම අමාරුවක් වෙන්නේ නැ” දැන් එහෙම කියලා, යම්කිසි ආකාරයකට, මනසට දෙනවා යම්කිසි අදහසක්. “වම් ඇඟිල්ල ඇල්ලුවොත්, ඔබට ඒ වේදනාව දැනෙනවා” දැන් මෙයා කරපු පරීක්ෂණයකින්, දරුවා ලැබෙන්න එනවා, කිසිම අමාරුවක් දැනෙන්නේ නෑ. එතකොට, එක්තරා ස්ත්‍රියකට ඕනෑකම තියෙනවා මේ අමාරුව දැනගන්න. එයා කිවුවා අර වෛද්‍යවරයාට, “මට මේ වේදනාව කියන එක, එහෙම එකක් තියෙනවාද කියලා දැනගන්න මට පොඩ්ඩක් ඒකට මඟක් පෙන්වලා දෙන්න” “එහෙනම්, මං ඔබේ වම් ඇඟිල්ල අල්ලනවා” අල්ලපු ගමන් අතහැරියා. වම් ඇඟිල්ල අල්ලනකොට, මර හඬ දීලා කෑ ගහන්න පටන්ගත්තාලු, “ඉක්මන් කරලා ඒක නතර කරන්න, වේදනාව”

දැන්, කායික වේදනාවක් නේද දරුවා හම්බවෙනකොට දැනෙන්නේ? කායික වශයෙන් වේදනාවක් නේ මේ දැනුනේ, මානසික වශයෙන්. එතකොට, “දකුණු ඇඟිල්ල අල්ලපුහාම ඔබට වේදනාව දැනෙන්නේ නෑ” කියලා මනසට කැවුවා එක්තරා අදහසක් අර වෛද්‍යවරයා. ඒ අදහසේ ඉන්න තාක්කල් එයාට කායික ක්‍රියාවලිය සිද්ධ වෙනවා, මානසික වේදනාව දැනෙන්නේ නෑ. එහෙනම්, කායික දුක මනසට දැනෙන්නේ නැතුව ගියා. දැන් එහෙනම්, මේ කායික දුක විඳලා තියෙන්නේ කයද, මනසද? කායික දුක දීලා තියෙන්නේ මනසින්! මේ මනසේම ක්‍රියාකාරීත්වයක් තමයි මේ කායික දුක අපි ගොඩනගා ගන්නේ. මේකට හේතුවත් මනස විසින්ම ගොඩනගා ගත්ත එක්තරා රටාවක් තියෙනවා. යම්කිසි අමාරුවක් එනකොට, අපි දැනගන්න ඕනේ ඒක අපිට කරදරයක් ද කියලා. ඒ නිසා, අපි මොකද කරන්නේ? හැම වෙලේම අපි අවධානය යොමුකරලා තියෙනවා, එහෙම එකක් එනවා නම් අපිට දැනගත්තහම අයින් වෙන්න. දැන් මේක අපේ මනසින්ම, අපේ ආරක්ෂාවට, අපි විසින්ම ගොඩනඟා ගත්ත මානසිකත්වයක්. යම් තැනක යම් කැක්කුමක්, වේදනාවක් එනකොට, එතන ආපදාවක් පෙන්වනවා. හැබැයි, ආපදාව පෙන්වන කැක්කුම, වේදනාව ආවේ නැත්තම්, ඒක පුපුරලා යනකන් හරි, විනාසවෙලා යනකන් අපි දන්නේ නෑ.

ශරීරයේ රිදීම මානසික ආරක්ෂක උපක්‍රමයක්…
එක්තරා ළමයෙක්ට ස්ඵර්ශයන් දැනෙන්නේ නෑ ඇඟේ. ඒ ළමයගේ ඇඟේ හැමතැනම පිච්චුනු කැළැල්. මොකද, ඒ ළමයට දැනෙන්නේ නැතුව ගිහිල්ලා, නොයේක් දේවල් වලට පිච්චෙනකොට ඇදලා ගන්න, අත අහකට ගන්න සංඥා එන්නේ නෑ. පිච්චෙනකන් දන්නේ නැ! පස්සේ බලනකොට තුවාල වෙලා. මොකක් වෙලාද බලනකොට, පිච්චිලා! දැන්, මේ ළමයට ඒකෙන් ලොකු ආපදාවක් වුනා. මොකද, තමාගේ ශරීරය රැකගන්න තිබිච්ච ක්‍රමය ඒ ළමයා ලඟ නෑ. පිච්චෙනකොටම ක්ෂණයකින් දැනෙන්න පටන්ගත්ත කෙනා “ටක්” ගාලා ඇදලා ගන්නවා. එයා පිච්චීමෙන් ආරක්ෂා වෙනවා. දැන් මෙන්න මෙබඳු ක්‍රම රටාවක් තියෙනවා. එහෙම කැක්කුම කියන එකෙත්, වේදනාව කියන එකෙත්, එබඳු ක්‍රමයක් තියෙනවා, අපි විසින්ම ගොඩනඟාගත්ත මානසිකත්වයක්. මේක අපේම ආරක්ෂාවට අපිම ගොඩනඟාගත්ත දෙයක්

එහෙනම්, මේ කායික කැක්කුම, වේදනාව කියන එක එක්තරා අවස්ථාවකට විතරයි අපිට බලපාන්නේ. අපි ගොඩනඟාගෙන තියෙන්නේ, ඒ දේ බේරාගන්න බැරි තත්වෙට එකක් නම්, ඒ අවස්ථාවේදී අපි එතන සිහි මුර්ඡා වෙනවා. නැත්නම්, ඒක නිර්වින්දන වෙනවා. ඒකයි අපිට දැනෙන්නේ. දැන් හිතලා බලන්න, ඒක කායික ආරක්ෂාව තියෙන දෙයක් කියන්නේ, ආරක්ෂා කරන්න බැරි මට්ටමේ තුවාලයක් ආවොත් අපිට දැනෙනවා. කවුරුහරි, යම් වෙලාවක මේ, දැලි පිහියෙන් කපලා යනවා. පස්සේ තමයි, ලේ ගලනකොටයි දන්නේ කපලා තියෙන බව. අපිට නිදිකුම්බා කට්ටක් ඇනෙනවා, “ඌයි” කියනවා. දැන් නිදිකුම්බා කට්ටට එහෙම එකක් වුනේ නෑ. කකුලේ යන්තම් කට්ටක් ඇනුණා. අපිට බොහෝම වේදනාවක් දැනෙනවා. ඇන්නා පිහියකින්, කවුරුහරි. බයට කෑගැහුවොත් මිසක්, නැත්නම් එයා කෑ ගහන්නේ රිදිලා නෙමෙයි. දැන් මෙහෙම ක්‍රමයක් තියෙනවා. මේ වින්දනය කියන, නිර්වින්දන කියන එකෙත් තියෙන්නේ ඔන්න ඔය ස්වභාවයක්. දැන් හොඳට පැහැදිලි කරුණක්. දැන් ඔය බෝම්බ වලින්, අරෙහෙ-මෙහෙ ගිහිල්ලා කකුල් කැඩිලා ගියාට පස්සේ, උද්වේගය තියෙන්නේ තව ඉදිරියට යන්න නම්, ඉදිරියට යන්න බලනවා කැඩිච්චි කකුල තියායෙන. බලනකොට ඒ කැඩිච්ච කකුලෙන් එහෙම යන්න එන්න පුලුවන් එකක් නෙමෙයි දැන්, කකුල් කෑලි කැඩිලා, ඇට පුපුරලා. ඒත් මිනිහා බඩගාගෙන හරි ඉස්සරහට යනවා. දැන් එයාට රිදීම ආවේ නෑ. හැබැයි, ඔය කකුලෙම නිදිකුම්බා කට්ටක් ඇනෙනවා. අර ඇට කැඩුනේ නෑ, එච්චර එකක් වුනේ නෑ. එතකොට රිදෙනවා. බලන්න, වෙනසක් වෙන්නේ නැද්ද කියලා.

එහෙනම්, මේ තුවාලේ ලොකු වෙච්චි තරමට, ලොකුවට කැඩිච්චි තරමටද රිදෙන්නේ? මේ ශරීරය පෝෂණය කරගන්න, ශරීරය රැකවරණය කරගැනීමට අපි විසින් මානසිකත්වයෙන් යොදාගෙන තියෙන උපක්‍රමයක් නිසා, ඒ අවස්ථාව ඉක්ම ගිය එකක් වුනොත් අපිට දැනෙන්නේ නෑ. ඒ අවස්ථාව, රැකගැනීමට අවස්ථාව තියෙන මට්ටමේ එකක්, අනතුරු හැඟවීමක් තමයි ඔය රිදීමෙන් අපිට ගන්න තියෙන්නේ.

 

 මානසික රිදීමට මුල දෘෂ්ඨි මත හැදුනු බලාපොරොත්තුවයි
ඔය රිදීම වෙනයි. ලෝකයාගේ බලාපොරොත්තුව කියන එක තනිකර දෘෂ්ඨියක් මත තියෙන එකක්, ලෝකය ප්‍රිය-මනාප වශයෙන් බලාපොරොත්තු වෙන එක. යම්කිසි පුද්ගලයෙක් ඒ නිසා තමයි සමවතට සමවැදිලා ඉන්නකොට, ඇඟේ වේදනාවක් දැනෙන්නේ නැත්තේ. මොකද, එයා ඒ බලාපොරොත්තුවෙන් … ඒක ඉක්මවා ගිහින් වෙන පැත්තකට ගියා. අන්න අර මෝහනයට පත් කළාට පස්සෙ දැනුනේ නැත්තෙත් අන්න ඒ හේතුව නිසායි. එයාට අදහස ගත්තා නම්, එයා බලාපොරොත්තු වෙනස් කරගත්තා. යම් කෙනෙකුට ඒ රිදෙනවා කියන එකේ බලාපොරොත්තුවෙන් හිත අයින් කරන්න පුලුවන් නම්, ඒ රිදීම එන්නේ නෑ! ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් ස්වභාවිකව අපි හදාගත්ත ක්‍රමයේ තියෙන ක්‍රම පරිවර්තනය. අනික තමයි, ඒ හිත දියුණු කරලා, ඒකෙන් අවධානය අහක් කරන්න පුලුවන් විදිහට හදාගත්ත පරිවර්තනය. ඔය කාරණා දෙකක්.

 

දැන් මානසිකවත් ඒකයි. දැන් මානසිකව කෙනෙකුට යන්තම් බැන්නොත් එහෙම, උහුලාගන්න බෑ, පොළවේ හැපෙනවා, මැරෙන්න හදනවා පෙළක් අය. පෙළක් අය පතුරු යන්න බැණලා, බැණලා යනවා, හිනහ වෙවී යනවා. ඔය වෙනස නැද්ද? මනසට රිදිලා තියෙන්නේ කොහොමද? අපේ බලාපොරොත්තුව, අපි හදාගත්ත, ගොඩනඟාගත්ත දෘෂ්ඨියම අපිට රිදිලා මිසක්, මනසටත්, යථාර්තයෙන්ම ඊට උරුම රිදීමක් නෙමෙයි මේ ගන්නේ. උරුම රිදීමක් ගන්නවා නම්, කාටවත්, අරිහතුන් වහන්සේටවත් බැණුම් ඇහුවහම රිදෙන්න ඕනේ. අනාගාමී පුද්ගලයාට කාමයන් නිසා දාහයක් එන්න ඕනේ. එන්නේ නෑ! මොකද, මේවා ඔක්කෝම අපි ගොඩනඟාගත්ත මානසික දෘෂ්ඨි. ඒ දෘෂ්ඨි බිඳ හරිනකොට, නැත්නම් ඒ බලාපොරොත්තු අයින් වෙනකොට, ඒ බලාපොරොත්තුවත් එක්ක බැඳුනු යම් සංඥා මාධ්‍යය ඉවත් වෙලා යනවා, ඔක්කොම මිදෙනවා.

 

{10:17} අපේ දෘෂ්ඨි විසින් තමයි හැඟීම් ඇතිකරවන්නේ
දැන් බලාපොරොත්තුවේ ස්වභාවයම ඕකේ තේරුම් අරගෙන බලන්නකෝ කොයි තරම් වෙනසක් තියෙනවද කියලා. දැන් ස්ත්‍රී පුරුෂයෝ අතරේ තියෙනවා මේ කාම සම්භෝගය, කාම ආස්වාද කියලා මේ යමක් තියෙනවා. පුද්ගලයෙකුට පුද්ගලයෙක් ඇලුම් කිරීමක් තියෙනවා. ඉතින් අයියා ඉන්නවා, නංගි ඉන්නවා. සහෝදර හැඟීම තිබුණොත් එහෙම, අයියයි නංගියි දෙන්නා අතරේ එහෙම එකක් තියෙනවාද? එතකොට එහෙම එකක් නෑ. අල්ලපු ගෙදරක ඉන්නවා තව ගෑනු ළමයෙක්. එහෙම නැත්තම් පිරිමි ළමයෙක් ඉන්නවා. ඔය දෙන්නා එකට එකතුවෙන්න තනියෙන් දාලා යනවා කොහේ හරි. හැඟීම් නැද්ද? ගෙදරම ඉන්න සහෝදරයයි සහෝදරියයි දෙන්නගෙ සහෝදර ප්‍රේමය තියෙන්නේ අවංකවම, එහෙම දෙන්නෙක් දාලා ගියොත් එහෙම එකක් වෙනවාද? එතකොට එහෙම එකක් නෑ.

එහෙනම් ඒ දර්ශනය හෝ, ස්ත්‍රී පුරුෂ දර්ශනයද ඒ හැඟීම ඇති කළේ, අපේ දෘෂ්ඨියද? අප විසින් ඇති කරගන්න දෘෂ්ඨි තමයි අපිට මේ හැඟීම් ඇතිකරවන්නේ. එහෙනම්, අපි ගොඩනඟාගන්න ලෝකයක් මේ තියෙන්නේ. මේ ලෝකේ යථාර්තය පිට ගොඩනැඟුවොත්, ඔය ලෝකයා ඇලෙන, බැඳෙන ඔක්කෝම දෘෂ්ඨි වලින් ගැලවිලා යනවා. එදාට අපිට එහෙම දාහයක් නෑ. මෙන්න මේකයි හේතුව.

(ශ්‍රාවක මහතෙක් බලාපොරොත්තු ගැන ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත)

(ස්වාමීන් වහන්සේ) : අන්න ඒකයි කියන්නේ, අරවා උපනිශ්‍රය වෙනවා, ආධාර වෙනවා. මුලදී කරපුවා අපිට ආධාර වෙනවා. අපි හුරු පුරුදු කරගත්ත එකක් තියෙනවා නම්, ඒ අපි හුරු කරගත්ත දේ තමයි අපිට දැන් හුරු කරගන්න හේතු වෙන්නේ. ඒ මඟට යොමු කරගෙන ආවා නම්, ඕක තමයි කියන්නේ එකිනෙකට “ආසේවන ප්‍රත්‍යය” ලබනවා කියලා. සේවනය කරපු එක යම් සේද, ඒ අනුකූලවම අපි යනවා දිගටම.

 ප්‍රිය මධුර බවට ඊර්ෂ්‍යා කිරීමේ විපාක හරි භයානකයි
ඕක වෙනස් කරන්න පුලුවන්. දෘෂ්ඨියට යථා ධර්මය දුන්නොත් ඒ දෘෂ්ඨිය බිඳිලා යනවා, කොච්චර කල් ගෙනාවත්. ඒක තමයි වෙනස් වෙන්නේ.

(ශ්‍රාවක මහතෙක්) : සබ්බ කාය පටිසංවේදී කියන එකෙන් නේද…. (ප්‍රශ්නය හරියටම පැදැදිලි නැත)

(ස්වාමීන් වහන්සේ) : ඔවු ඉතින්, ඒක අපි දකින්න ඕනේ, ඒකයි. සියලු “කායාවම” පටිසංවේදීත්වය දකින්න ඕනේ. මේ මේ ආසාව නිසයි මේ මේ සංවේදීවීම් තියෙන්නේ. මේ මේ දෘෂ්ඨියෙන් බැඳීම නිසයි මේ විදිහේ හැඟීමක්, අපිට මේ කරදර එන්නේ. ඒ හැඟීම නැත්නම්, ඒ දෘෂ්ඨිය, බැඳීම නැත්නම්, ඒ “පටි” හෙවත් බැඳීම නැත්නම්, ඒ සංවේදීත්වය එන්නේ නෑ. එහෙනම්, අවිද්‍යාවෙන් – තෘෂ්ණාවෙන් බැඳගත්ත පටි 10කින් තමයි දස සංයෝජනය කියලා බැඳිලා ඉන්නේ. ඒකේ , ඒ පටි නිසා තමයි , ඒ දෘෂ්ඨියට අනුව තමයි අර දුක් ගැහැට, එන ඇලීම්-ගැටීම්-මුලාව කියන ඔය ඔක්කෝම එන්නේ.

ඉතින්, මේ ලෝකේ තියෙන ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් කියලා මේ පැවැත්ම තුළ එකක් තියෙනවා, එක පැත්තක්. ඒ පැත්ත තමයි “පිං” ඵලයක් වශයෙන් ගන්නේ. ඒක ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය. ඉතින් පිං ඵලයක් වශයෙන්, පින වැඩි කරගෙන, ඒක විඳින්න ආපු අයට ඔය කියන සංඥා ඇවිදිල්ලා, මිනිසාට වැඩියි සංවේදීත්වය. ඔහු ඒකෙන් මේ ලෝකේ පැවැත්ම තුළ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් ඇසුරු කරනවා.

ඊට පස්සේ ඔය ප්‍රිය ස්වභාවයට, මධුර ස්වභාවයටත් ඊර්ෂ්‍යා කරනවා පැවැත්මේ ඉන්න අය. ඒ නිසා පැවැත්ම තුළ තියෙන ප්‍රිය ස්වභාවයට, මධුර ස්වභාවයට උරුමකම නැති වෙනවා තිරිසනාට. එහෙනම්, තිරිසනා වෙලා උපදින්නේ අර තමන් ගිහින් අනුන්ට අර ඒකට විරුද්ධව පහර ගහපු එකේ ලැබෙන්නාවූ … පැවැත්ම තුළ එන සම්පත්තිය කියලා යමක් තියෙනවා නම්, ඒ සම්පත්තියේ හිමිකම සත්වයාට නැති වෙලා තමයි ඌට ඒකේ ආස්වාදය දැනෙන්නේ නැතුව යන්නේ. ඌට ඒක දැනෙන්නේ නැතුව ගියාට, වෙන පැත්තකින් ඌ මහා දුක් විඳිනවා. ඒ දුක ඌට උරුම වෙනවා. ඒක ස්වභාවයක්. එතකොට, ඌ ඒ පැත්තෙන් ඒ දුක විඳිනවා. නමුත් ඌට ඒක කියන්න කෙනෙකුත් නෑ, කාට කියන්නද?

දැන් අපි හිතමු බල්ලෙක්, බල්ලෙක් කැමති නැද්ද පිදුරු ගොඩක වගේ රත් වෙච්චි තැනක බුදියගන්න? ස්වභාවයෙන් හැදිලා තියෙන පිදුරු ගොඩට ගිහිල්ලා බල්ලා බුදියාගත්තොත්, ඒකේ රස්නෙට ඌට හරි සනීපයි. හැබැයි, ඌ කැමති නෑ අනික් බල්ලෙක් එතෙන්ට එනවට. එතනින් නැගිටින්න කැමති නෑ, ඒ සනීපෙට ඌ ඉන්නවා. ඌත් ඒකට කැමතියි, ඌට උපක්‍රම තුළින් සනීප සහගත දෙයක් ගොඩනඟාගන්න බෑ. ස්වභාවයෙන් හම්බවෙච්චි තැනක ඌ හිටියොත් එහෙම, ඌටත් ඒක ලොකු දෙයක්. ඌ ඒක භුක්ති විඳින්න බලනවා, උගේ මට්ටමට. ඌත් කැමතියි හොඳ කොට්ටයක්, මෙට්ටයක්, ඌට කොට්ට මෙට්ට හදාගන්න ශක්තියක් නෑ. දැන් බල්ලෙකුට පුරුදු කළොත් එහෙම කොට්ටයක්, මෙට්ටයක් උඩ ඉන්න, ඌ නිකන් ඉන්නවාද? නෑ, ඌ ඒකටමයි නඟින්නේ. දැන් ඔය ගෙවල් වල ඉන්න බල්ලෝ, හදන බල්ලෝ, ඌට ගහලා පන්නන හින්දා ඌ කොට්ට මෙට්ට උඩ ලගින්නේ නැතුවා මිසක්, නැත්නම් නිකන් ඉඳීද? ඌත් කැමතියි ඒකට. හැබැයි, කැමැති පරිදි ඌට ලබාගන්න බෑ. ඌට නිර්මාණය කරගන්නත් බෑ. අන්න ඒක ඌ විසින් කරන ලද පාපයේ විපාකය. අන්න, ඌ කෙඳිරිගාන්නේ නැද්ද? කොච්චර දඟලනවාද? කොහොමද ගලවාගන්නේ? ඌට ඇඟිලි වත් නෑ එහෙම එකක් කරගන්න. අන්න විපාකයට ඌට විඳින්න වෙලා තියෙන හැටි.

අනුන්ගේ කනට අමිහිරි වචන දැම්මහම, එතකොට ඇතිවෙන්නාවූ, දැන් “කිණි” කියන වචනයෙන් පෙන්වන්නේ “කණිනවා”, යම් තැනකට අණින එක. එතකොට, තුල්‍ය භාවය කියලා කියන්නේ තලා දමනවා. අණුන්ගේ කනට දෙන වද නොවී, අනුන් තැලෙනවා. ඉතින් එහෙම දේවල් කරපුහාම ඌට විපාකේ එනවා, ඒ ජාතියේම උරුම සතෙක් උගෙම කනේ වැදිලා ඌට වද දෙනවා. ඌට ගලවාගන්න බෑ. ඒකත් කර්ම විපාකයක්. කර්ම විපාක හැදෙන හැටි, ඒ රටාවේ එන හැටි.

දිව්‍ය ලෝකෙත් කාම දාහය නැති වෙලා නැහැ
ඉතින් මෙන්න මේ වගේ ලෝක සත්වයා විසින් මේ සැප, දුක කියන එක, මේ පැවැත්ම තුළ සැප-දුක විඳිනකොට, ඔය සැපයි කියන එකේ තියෙනවා මානසික දුක ඇති කරන ඔය දෘෂ්ඨි වලින්ම ගොඩනැඟිච්චි එකක්. අර සැප අල්ලාගන්න ගිහිල්ලා අනන්ත දුක් විඳිනවා. දැන් එක අවස්ථාවක තියෙනවා, අපේ එක කුෂ්ඨ රෝගයක් හැදිලා හිටපු එක කාන්තාවක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් ඵලයට පත්වුනා. එතැන් පටන් බොහෝම චිත්තප්‍රසාදයෙන් හිටියා. ඒ චිත්ත ප්‍රසාදය නිසාම අර රෝගයත් සමනය වෙලා ගියා. එයා මේ ලෝකේ ඉඳලා, මේ ලෝකෙන් මැරිලා චාතුර්මහාරාජික දෙවුලොව, සතරවරම් දෙවියන්ගේම විමාන හතරේ මැද්දේ ගිහින් උපන්නා, දෙවඟනක් වෙලා. මේ දෙවඟන පුදුම ලස්සනයි. මොකද, ආයු-වර්ණ-සැප-බල-නුවණ කියන මේවායින් අනික් දේවතාවෝ ඉක්මවලා දහ ගුණයකින් බබලනවා ආර්‍ය එක්කෙනෙක් දේවත්වයට පත්වුනොත්, ආර්‍ය ගුණය නිසා. මේ නිසා අනිත් සියල්ලන්ටම වඩා ලස්සන මේ දෙවඟන දැකලා, එකසැරේම දැක්කා සතරවරම් දෙවිවරු. දැන් සතරවරම් දෙවියෝම ඇවිදින් එකසැරේම අල්ලා ගත්තා. අල්ලාගෙන අයිතිවාසිකම් කියනවා.

“මගේ සීමාවේ ඉන්නේ” “නෑ, මගේ සීමාවෙත් ඉන්නවා” “මගේ සීමාවෙත් ඉන්නවා” හතර දෙනාම කියනවා “මගේ සීමා හතරේ, එහෙනම් අපි හතර දෙනාටම අයිතියි” “ඒ වුනාට මමනේ අල්ලාගත්තේ” “ඇයි මාත් අල්ලාගත්තා ඒ වෙලාවේම” කියලා හතරදෙනාම එකට අල්ලාගත්තා. දැන් ඉතින් හතරදෙනාම එක්කලා දැන් කියනවා අයිතිවාසිකම ගන්න, මෙයා හිමිකරගන්න. ඒපාර බැරිතැන බැගෑපත් වෙලා කියන්න පටන්ගත්තා. “අනේ, මේ තැනැත්තිය මට නොලැබුණොත් මගේ ජීවිතේ වැඩකුත් නෑ! මට දෙන්න” අනිත් දේවතාවාත් කියනවා, “ඇයි, මටත් එහෙමනේ, මගේ ජීවිතෙන් වැඩකුත් නෑ මට මේ දේවතාවිය හම්බුනේ නැත්නම්” හතරදෙනාම ඔය අදහසම කිවුවා. දැන් මේක විසඳාගන්න ක්‍රමයක් නැති වුනහම අනිත් සැරේ සක්‍ර දෙවියෝ ලඟට එක්ක ගියා. එක්ක ගිහිල්ලා කට්ටියට වෙච්චි සිද්ධිය ඔක්කෝම කිවුවා සක්‍ර දෙවියන්ට.

“මේ දේවතාවි, හරියට අපේ මායිම් හතරේ උපන්නේ. ඉතින් හතරදෙනාටම අයිතියි. අල්ලාගත්තා ගිහිල්ලා, ඒ අයිතියෙන් කියන්න විදිහක් නෑ, හතරදෙනා එකසැරේ අල්ලාගත්තේ. අදහස් පෙන්නුවා, එක අදහසමයි, මෙයා නැත්නම් මට වැඩක් නෑ, අදහස් හතරම එක වාගේ. නැත්නම් මට ජීවත් වෙලා වැඩකුත් නෑ. ඉතින්, අනේ ස්වාමීනි, දැහැමි විනිශ්චයකින් මේ දේවතාවිය අපිට හිමිකරලා දෙන්න. කාටද, අපි විනිශ්චය භාරගන්න කැමතියි, දැහැමි විනිශ්චය” “මටත් කියන්න එකක් තියෙනවා. මේ දේවතාවිය මට හම්බුනේ නැත්නම් මගේ ජීවිතෙන් වැඩකුත් නෑ” ශක්‍ර දෙවියා දුන්න උත්තරේ! ඒපාර කිවුවා, “අපි හතරදෙනාම ජීවත් වෙන්නම්, ඔබවහන්සේ නැත්නම් අපිට වැඩකුත් නැහැ, ඔබවහන්සේ භාරගන්න” කියලා ඒ දේවතාවිය ශක්‍ර දෙවියන්ට භාරදීලා යන්න ගියාලු.

දැන් දාහය කොච්චර තියෙන්නැද්ද දෙවි වෙලත්! මදි වෙලාද? දැන් මේක තමයි කාම සම්පත්තියට වැදිලා, ඒකෙම, ඒ පිනෙන්ම ගොඩනැඟිලා, ඒ පිනෙන්ම ගොඩනඟාගත්ත ශරීර ඇති, ඒ පිනෙන්ම ගෝචර වෙච්චි සම්පත් භුක්ති විඳින, මේ දෙවියන්ටත් මේ දාහය කොච්චර තිබුණාද? “මට ජීවිතේ වැඩකුත් නෑ ලැබුණේ නැත්තම්” දැන් එතකොට කොයිතරම් තැනකද ඉන්නේ බලමු. එහෙනම්, දැන් අපිට කියන්න පුලුවන්ද දේවතාවෝ දාහයක් නැතුව ඉන්නවා කියලා? මනුස්සයින්ට වැඩිය දාහයෙන් පෙලෙනවානේ, කොච්චර හිටියත්. දැන් මේක තමයි ලෝකේ හැටි.

මේ ලෝක ධර්මතාවය කියන්නේ ඔන්න ඕකයි. කාමයෝ ගිණි, “මෙච්චර ඇති වුනා”යි කියලා කවදාවත් ඇතිවීමක් නෑ. එන්න එන්න ඊට වඩා ආස්වාදයක් පස්සේ යනවා. ඒ නිසාම කාමයෝ කවදාවත් සෑහීමට පත්කරන දේවල් නෙමෙයි. “බල්ලෙකුට අහුවෙච්චි මස් කට්ටක් වාගේ” කියනවා කාමය. නොයේක් ආකාරයේ උපමා වලින් පෙන්වනවා. “උකුස්සන්ට අහුවෙච්චි මස් කැටියක් වාගේ” ඉතින් එතකොට, ඒ කියන්නේ ඒවා සෑහීමට පත්වෙන දේවල් නෙමෙයි. නමුත් ලෝකේ හැටියට පිං ඵලයක් වශයෙන් ලබනවා. ඉතින් මේවායේ හරයක් නැතිබව දැනගෙන තමයි ආර්‍යයෝ මේ කාමය කියන එකේ හැටිත් මේකයි, පිං ඵලයේ හැටිත් මේකයි, පවු ඵලයේ හැටිත් මේකයි කියලා, “මට ඔය පිං ඵලයෙන් ඇති වැඩකුත් නෑ, පවු ඵලයෙන් වැඩකුත් නෑ, ඔය දෙකම පැවැත්ම. පැවැත්මේ යමක් ඇත්නම් ගිණි වලින් මිදිලා නෑ. මට ගිණි සහිත පැවැත්මෙන් වැඩක් නෑ” කියලා පැවැත්මේ දුක-සැප දෙකම අත්හැරපුහාම “පුන්‍ය පාප පහීනස්ස” කියලා අරිහතුන් වහන්සේට පිං-පවු දෙකේම සම්බන්ධයක් නෑ, දෙකේම බැඳිලා නෑ. අන්න, දෙකෙන්ම ඉවත් වෙනවා.

කැමති සේ නැති බව දකිනකල් ලෝභ, දෝස, මෝහ දුරුවෙන්නේ නෑ
ඉතින් එතකොට මෙන්න මේ වගේ මේ ධර්මය තුළ තියෙන මූලධර්මය තේරුම් අරං ඉන්න ඕනේ ඉස්සෙල්ලාම. ලෝකයා “ප්‍රියයි, මනාපයි, යහපතයි” කියන්නේ ඇත්ත දකින්නේ නැති හින්දා. එහෙනම් දකින්න ඕනේ, “මේ එකක් වත් කැමති සේ නෑ, කැමති සේ නැති එකෙන් දුක එනවා” එහෙනම් දෙවියොත් කැමතියි, ඒකට අහුවුනා. කැමති සේ හම්බවෙච්චි නැති නිසානේ දුක ආවේ. ඉතින් ඒක වටිනාකම අපි කොච්චර හිතින් දරාගෙන ඉන්නවාද, ඒ තරමටම කැමති සේ නැත්නම් ඒකේ දුක එනවා. ඉතින් ඒක දකින්න ඕනේ. නමුත්, ඔය වගේ දෙවු අත්බැවු අපි කොච්චර ලබලා ඇත්ද? ඉතින් නමුත් කැමති සේ තිබිච්චි නැති එකේ දුක විඳලා, ඒකෙන් කැමති සේ නැතුවම මැරිලා ගියා.

කියන්නේ ඒක නම් මේ සසර ගමන, මේ සසර ගමන තුළ කැමති සේ පවත්වන්න පුලුවන් දෙයක් කොතැනකවත් තියෙනවාද කියලා විමර්ශනය කරලා බලනකොට, දෙවුලොවත් නෑ, බඹ ලොවත් නෑ, මිනිස් ලොවත් නෑ, කොයි ලෝකෙත් නෑ. කොයි ද්‍රව්‍ය වස්තුවකුත් නෑ. මෙන්න මේක නුවණින් මෙනෙහි කරලා දැකලා තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම. කැමති සේ නැති බව දැනගත්තාට පස්සේ කැමැත්තෙන් පස්සේ පන්නන්නේ නැති එකට පත්වෙනවා. අන්න, කැමැත්ත දුරු වෙන යම්කිසි දහමක් දැක්කේ නැත්නම්, ඔහුට කවදාවත් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදෙන්න බෑ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදෙන්න නම් කවදා හරි, කැමැත්ත නැතිකරගන්න තත්වයේ ධර්මයක් දකින්න ඕනේ. එහෙනම් “කැමති සේ නෑ” කියන ධර්මය දැක්කේ නැත්නම්, ඔහු කැමැත්තෙන් ඉවත් වෙන ධර්මය දැකලා නෑ.

ඒ නිසා “මේවා ඔක්කෝම අනිත්‍යයි, අනිත්‍යයි” කියලා, “ස්ථිර නෑ ස්ථිර නෑ” කියලා කොච්චර හිතුවත්, ඔහුට කැමැත්තෙන් අහක් වෙන්න ක්‍රමයක් නෑ, ඒකේ මුල කපාගන්න විදිහක් නෑ. එහෙනම්, ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි එන මුල මොකද්ද? යමකට කැමතිද, කැමැත්තේ ආදීනව දැකලා, කැමැත්තෙන් වෙන් වීමේ යථාර්තයට බහින්න ඕනේ. කැමැත්ත නැති වුන දාට ලෝභයත් නෑ, ද්වේෂයත් නෑ, මෝහයත් නෑ. අන්න ලෝභක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ වෙන්නේ මොකද්ද? “කැමති සේ නෑ” කියලා දැනගත්ත දවසටයි අන්න මූලධර්මය අහුවෙන්නේ. කොච්චර “ස්ථිර නෑ, ස්ථිර නෑ” කිවුවත් කැමැත්ත අයින් කරන්නේ මොකෙන්ද? ස්ථිර නෑ කිවුවාට, කැමති සේ තියෙනවා. ඔහු ඒ දෘෂ්ඨිය අහක් වෙන්නේ නෑ. “කැමති සේ පවතින්නේ නෑ” කියන දෘෂ්ඨිය දැනගත්තා නම්, අදම නිදහස්! “ඇත්ත ඒක නම්, අපි මොකද්ද මේ කැමති සේ පවත්වන්න හදන්නේ? මං කැමති සේ මොනවාද පවතින්නේ? මං මේ මුලාවක නේ යන්නේ”.

ඕක තියාගෙන “ස්ථිර නෑ, ස්ථිර නෑ” කිය කියා හිටියොත්? කැමති සේ නෑ කියන එක කැපෙන්නේ මොකෙන්ද? “ස්ථිර නැති වුනාට මොකද, තාවකාලිකව හරි කැමති සේ තියෙනවා නේ” ඒ දෘෂ්ඨිය කැපිලා නෑ. “ස්ථිර නැත්නම් වෙන එකක් ගන්නවා නේ” මොකද, මූල ප්‍රයෝජනය ගැන හිත අහක් වෙලා නෑ නේ. ලෝකය වටින්නේ “කැමතියි” කියන, “කැමති සේ පවත්වන්න පුලුවන්” කියන දෘෂ්ඨිය උඩ. “කැමති සේ පවත්වන්න පුළුවන්” කියන දෘෂ්ඨිය යම් දවසක නැති වුනා නම් ධර්මය දැකලා, කැමති සේ පවත්වන්න බැරි දෙයක් පස්සෙ යනකොට, “මොකටද එහෙනම් ඒකට යන්නේ? කැමති සේ පවත්වන්න බැරි නම් මට ඒකට දඟලලා වැඩක් නෑ” අන්න, ලෝභයත් කැපුනා, ද්වේෂයත් කැපුනා, මෝහයත් කැපුනා.

රාග, ද්වේෂ, මෝහ නැතිකරගන්න එකම ක්‍රමය කැමති සේ නැති බව දැකීමයි
එහෙනම්, “අනිත්‍යයි අනිත්‍යයි” කියලා කොච්චර හිටියත් “අනිච්ච” කියන වචනයේ නියම අර්ථය දැනගන්නා තාක්කල් කැමැත්තෙන් මිදෙන්න බෑ! කැමැත්තෙන් මිදෙන්න නම්, කැමති පරිදි පවත්වන්න හැදුවට, කැමති සේ පවතින්නේ නැති එකක් කියලා දැනගත්ත දාට කැමැත්තට කෙලින්ම පහර වදිනවා. කැමැත්තට පහර වදින්නම ඕනේ කැමැත්තෙන් මිදෙන්න. කැමැත්තෙන් මිදුනහම රාගයෙන් මිදුනා. ආයි රාගයෙන් අල්ලන්න බලන්නේ නෑ. රාගය තිබුණොත් තමයි, විරුද්ධ වෙන වෙන ඔක්කොම සටන් කරන්න බලන්නේ, ගැටෙන්නේ, ද්වේෂය නැඟෙන්නේ. රාගයෙන් මිදුනා නම්, ද්වේෂය එතෙනම මිදිලා! රාගය, ද්වේෂය නිසා තමයි මුලාවෙන් “ඒක හොඳයි” කියලා නිගමනය කරන්නේ. එහෙනම්, කැමැත්තට නෑ කියලා දැනගත්තහම, මුලාවෙන් වටිනවා කියලා අල්ලන්නේ නෑ. වටිනාකම බැහැලා යනවා. එහෙනම්, රාග, ද්වේෂ, මෝහ තුනම නැතිවෙලා යනවා.

ඔය ක්‍රමයෙන් රාග, ද්වේෂ, මෝහ නැතිකරගන්නවා ඇරෙන්න, තවත් ක්‍රමයක් නැහැ රාග, ද්වේෂ, මෝහ ඇරගන්න. එහෙනම්, ඔය මූලධර්මය අහන්නේ නැතුව, මූලධර්මය තේරුම් ගන්නේ නැතුව, යම් කෙනෙක් කැමැත්තෙන් මිදුනා කිවුවොත්, මේකට හේතු නෑ. පුද්ගලයා කැමැත්තෙනුත් පරිවර්තනයන්ට බහිනවා. “ඒක නැත්නම් මං මේකටයි කැමති, මට ඕක එපා!” කැමැත්තෙන් මිදිලා නෑ. එහෙනම්, එයාට ලෝකෙන් මිදෙන්න බෑ. ලෝකේ තැනින් තැනට එයා ගෙම්බා පණිනවා වගේ පණින එක තමයි කරන්නේ. “මට දැහැනක් හම්බුනා, මං දැහැනෙන් කැමැත්තෙන් ඉන්නවා” හරි සන්තෝසයි. කැමැත්තෙන් මිදිලාද? නෑ! කාමය එපා නම්, මට මේපැත්ත අල්ලාගත්තා. අන්න, ලෞකිකයි.

කැමැත්තෙන් මිදෙන තාක්කල් ලෝකෝත්තරත්වයට බහින්න බෑ. “කැමැත්තෙන් අල්ලාගන්න වටිනා දෙයක් ලෝකේ නෑ” කියලා ධර්මානුකූලව හරියට දැක්කාට පස්සේ “එහෙනම් තුන් ලෝකෙම කැමැත්තට අල්ලන්න දෙයක් නෑ” කැමැත්තෙන් අත්හැරී, නොඇලී, මිදී ගියා නම් අන්න ඒකට කියනවා, ඡන්ද රාගයෙන් මිදී ගිය කෙනාට, නිවනේ හිත පිහිටියා. එයාට අමුතු දෙයක් මේ ලෝකේ, පෙන්වන්න දෙයක් නෑ, උද්දාම වෙන්න දේකුත් නෑ, හිනහ වෙන්න දේකුත් නෑ, සන්තෝස වෙන්න දේකුත් නෑ, උඩ පණින්න දේකුත් නෑ, ඇඹරෙන්න දේකුත් නෑ, බිම වැටෙන්න දේකුත් නෑ, ඇලෙන්න, ගැටෙන්න, මුලාවෙන්න කිසි දෙයක් ඉතුරුවෙන්නේ නෑ, යථාර්තය දැක්කාට පස්සේ. අන්න නිවන! ඒකෙන්ම නිවන් දැක්කහැකි.

සක්විති රජකම වත් කැමතිසේ නෑ, කැමැත්ත දුරු කරගන්න…
ඉතින් ඔය ටික තේරුම් ගත්තාට පස්සේ, එහෙනම් “අනිච්ච” කියන්නේ “ඉච්ච සේ නෑ” කියලා තෝරාගන්න ඕනේ. “කැමති සේ නෑ”. දුක එනවා, කැමති නෑ, නමුත් එනවා. සැප යනවා, කැමති නෑ, නමුත් යනවා. ඔය ජාතියේ නොවන්නාවූ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් විද්‍යාමාන වෙච්චි ලෝකයක් නෑ. ඕක ඇත්තද? සක්විති රජ වුනත් සිද්ධ වෙන්නේ ඕකයි. අන්න, ඒකනේ කියන්නේ අර මීහරක් රැලක් යනවා දැකලා, එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හිනා පහල කරලා කියනවා, ආන්නන්ද හාමුදුරුවෝ කියනවා, “ස්වාමීනි, හිනා පහල කරන්න හේතුව?” “ආනන්ද, මේ යන ගෙරි රැළ පේනවා නේද?” ගෙරි කියන්නේ මී හරකුන්ට නේ, “දෙවියෙක් නොවෙච්ච, බ්‍රහ්මයෙක් නොවෙච්ච, සක්විති රජ කෙනෙක් නොවෙච්ච එකම ගෙරියෙක් වත් මෙතන නෑ! මේ ඔක්කෝම ඒ ජාතිවලට පත්වෙච්ච අය. බලන්නකෝ අද, කෝ ඒ තත්වයක්? මේ සසර ගමනේ හැටි මෙහෙමයි. කෝ, ඒවා ලබා දුන්නාද පිළිසරණක්?” අන්න බලන්නකෝ මී හරක් රැළක්, ඔය ඔක්කොම එදා, දෙවියෙක් වෙච්ච, බ්‍රහ්මයෙක් වෙච්ච, සක්විති රජ කෙනෙක් වෙච්ච පිරිස ඔය යන්නේ.

අන්න, දැන් ඕක දකිනකොට අපි හිතා ඉන්නවා, එහෙනම් සක්විති රජකම කැමැත්තට තියෙනවාද? කැමති සේ තිබුණා නම් ඕක වෙනවාද? අන්න දකින දේ. මේ විදිහට දකිනකොට මේ ලෝකේ, “කැමති සේ පවතින්නේ නැති ලෝකයක් තුළ, මං මොකට ඒක පතන්නද? මොකද්ද ඒකේ තියෙන වටිනාකම?” අන්න, වටිනාකම බහිනකොට මෝහය බැස්සා. මෝහය තියෙන නිසා තමයි වටිනාකමක් කියලා නිගමනය කරන්නේ, “අවිද්‍යාව” කියන්නෙත් වටිනාකම කියලා ගන්නේත් ඕකට. අවිද්‍යාවෙන් බැඳිලා, මෝහයට වැටිලා හිටියා නම්, වටිනාකමේ අධික කමට හිතපුහාම තමයි මෝහයට වැටෙන්නේ. අධික වටිනා දෙයක් කියලා නිගමනය කරලා ඉන්න තාක්කල්, “ගහලා හරි, මරලා හරි, කපලා හරි, කොටලා හරි, සොරකම් කරලා හරි, කාම මිත්‍යාචාරයෙන් හරි, බොරු කියලා හරි, රවට්ටලා හරි, කේලාම් කියලා බිඳවලා හරි මං අත්කරගන්න ඕනේ” අන්න, මමත්වයේ බැඳිලා ඒක අත්කරගන්න හදනවා.

එහෙනම්, ඔක්කෝම දස අකුසල්ම තියෙන්නේ මොකද්ද? “කැමැත්තට බැඳිලා” ඉන්න හින්දා. එහෙනම් අපිට කරගන්න දෙයක්, එකම දෙයයි තියෙන්නේ කරන්න, වෙන ක්‍රමයක් ඇත්තේ නෑ. කැමැත්ත දුරු කරගන්නේ යමකින්ද, අන්න ඒ ක්‍රමය දකින්න ඕනේ. කැමැත්ත දුරුකරගන්න බොරුවෙන් බෑ. ඇත්ත ඇති ආකාරයෙන් දකින්න ඕනේ. මොකද්ද ඇත්ත ඇති ආකාරයෙන් දකින්නේ? “මේ කැමති වෙලා ඉන්න හැම දෙයක්ම කැමැත්තට නෑ. කොච්චර කැමති වුනත් කැමති සේ නෑ. එහෙනම්, ඒක තමයි මේ ලෝකේ කියන්නේ. මං මේ පතන්නේ ඒකද? බලාපොරොත්තු වෙන්නේ ඒකද? කැමති සේ නැති දෙයක් මං මොකට බලාපොරොත්තු වෙන්නද? ඒක බලාපොරොත්තු වෙන ගානේ, කැමති සේ නැති නිසා මට දුක විඳින්න සිද්ද වෙනවා. මානසික වශයෙන් දුක් වෙනවා”

සත්‍යය දැක සත්‍යයේ පිහිටපු විට සතිපට්ඨානය ලැබෙනවා
මෙන්න දුකට මුල. කැමති සේ නැති දෙයක් බව දන්නේ නැති නිසා, අපි දුක් වෙනවා. පොඩ්ඩයි දැනගන්න තියෙන්නේ. “කැමති සේ නෑ” කියන්නේ ඇත්තක්. ඒක එහෙමමද? විමර්ශනය කරනවා. හිතලා බලනකොට පේනවා, “කැමති සේ තියෙන එකක් ලෝකේ නෑ නේ!” කාටවත් පෙන්වන්න දෙයක් නෑ. “මෙන්න මේක මේ ආකාරයෙන් කැමති සේ පවතිනවා” එහෙම කියන්න එකක් නෑ. (ශ්‍රාවක මහතෙක්): භාවනා කරනවායි කියලා කරන්න තියෙන්නේ ඕක තමයි? (ස්වාමීන් වහන්සේ): අන්න, භාවනා කරනවායි කියන්නේ, “විදර්ශනා” කියන්නේ මෙන්න මේකයි. මේ “විශේෂයෙන් දකින්න” ඕනේ, මේ යථාර්තය. ඉතින් මේක භාවනා කරනවායි කියන්නේ, මේ දෙස සිහි කල්පණාවෙන් බලන්න ඕනේ. “සතිය පිහිටවන්න” කිවුවේ ඔන්න ඕකටයි. “සතිපට්ඨානය” කියන්නේ ඕකයි.

අන්න, සත්‍යයේ පිහිටලා මේක හිතාගෙන යනකොට, අන්න සත්‍යයේ පිහිටපුහාම සතිපට්ඨානයක් ලැබෙනවා. මොනවායින්ද බලන්නේ? අපි කයින් කරන වැඩ තියෙනවා. කරන කරන එකක් ගානේ, “මං කැමැත්තට අනුකූල වැඩක් කරනවාද? කැමති සේ පවතින එකක් මගේ මේ ක්‍රියා කලාපය තුළ තියෙනවාද, අද මං මේ කරන්න හදන ඒවායේ? මං මේ, කැමති සේ පවතින එකක් ගොඩනගන්නද මං මේ ක්‍රියා කරන්නේ? අනේ, මං වගේ මුලා කාරයෙක්! මෙච්චර කල් මං මේ දඟලලා තියෙන්නේ, මගේ කය ක්‍රියාත්මක කරලා තියෙන්නේ මොනවා හරි හදාගන්න. මොකටද? කැමති සේ පවත්වන්න” (ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ ස්වාමීන් වහන්ස, අත්හරින්නේ නෑ, ඒක කරනවා…. (ස්වාමීන් වහන්සේ): අත්හරිනවා නෙමෙයි, අන්න ඒකයි. අපි දකින්න ඕනේ, කැමති සේ පවත්වන්න එකක් නැති බවයි දකින්නේ. නොකර බැරි නිසා කරන එක වෙනයි.

දැන් වැසිකිලි යනවා. කැමැත්තෙන් නෙමෙයි, නොකැමැති වුනත්, කැමති වුනත් කරන්න ඕනේ එකක්. වැසිකිලියක් හදාගන්නවා. කැමති සේ පවතින නිසා නෙමෙයි, ඒක නොකර බැරි නිසා. මොකද, මේ ජීවිතය යම්තාක් පවතිනවාද, ඒ තාක්කල් අප විසින් කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ටික කැමති සේ කරන්න පුලුවන් වුනත් බැරි වුනත්, අපිට කරන්න සිද්ධ වෙනවා. දැන් ඉතින් ඒක කරන්නෙත් ප්‍රයෝජනය තකා. ප්‍රයෝජනය තකා කරන එකයි, කැමති සේ කරන එකයි දෙකක්. අපේ වැඩපිළිවෙල තුළ තියෙන්නේ ප්‍රයෝජනය තකා කරන්න ඕනේ ඒවා 10% නම්, නෑ 10%ක් නෙමෙයි, 1%ක් වෙන්න පුලුවන්, අපි දළ වශයෙන් කිවුවොත්. 99%ක් අපි ප්‍රයෝජනය තකා නෙමෙයි කරන්නේ, කැමති සේ පවත්වන්න එකක්. මෙන්න මේකම තමයි අපිට දුක් දෙන්නේ. ඉතින් දැන් අපිට ඉතුරු වෙන්නේ මොකද්ද, යථාර්තය දැක්කහම? ප්‍රයෝජනය තකා කළ යුතු 1%ක් ඇත්නම්, ඒක ඉතුරු වෙනවා. 99%ක් ගෙවිලා යනවා, අත්හැරී, නොඇලී, මිදී යනවා, සිතිවිලි-ක්‍රියා-වදන් අනික් පැත්තට.

භාවනාව කියන්නෙ හිත එක අරමුණකට ගැනීම නෙමෙයි..?
එහෙනම්, කැමති සේ පවත්වන්න බැරි දෙයක් කැමති සේ පවත්වන්න හිතනකන්, කියනකන්, කරනකන්, එක බැරි දෙයක් කරන්න හදපු නිසාම, අපේ වික්ෂිප්තතාවය ඉවර කරන්න බෑ. එහෙනම්, වික්ෂිප්තතාවය ඉවර කරන්නේ නැති තාක්කල් හිත එක් අරමුණු කරනවා කියන කතාව කරන්න බෑ. “හිත එක අරමුණකට ගන්නවා” කියන එකයි අද කියන්නේ ඕකට. හිත කොහොමත් යන්නේ එක අරමුණේ තමයි. කොයි වෙලාවකට වත් අරමුණු දෙකක හිතක් පවතිනවා කියලා ධර්මයෙන් ඔප්පු කරන්න බෑ. අවධානය යොමු කරන්න පුරුදු වෙන්න ඕනේ, එල්ල කරපු අවශ්‍යය කාරණයට. අවධානය අවශ්‍යය කාරණයට යොමු කරගෙන ඉන්න බැරි එක තමයි භාවනාවේ සමථයක් නැතුවහම සිද්ධ වෙන්නේ නැත්තේ. අවධානය යොමු කරනවා අපිට අවශ්‍යය වැඩක් කරන්න.

ඒ කියන්නේ, එක්තැන් කරන කතාවක් එතන නෑ. දැන් එකතැන් කරනවා කියලා කරන්න ගියපු ගමන් මහ පුදුම සිද්ධියක් වෙනවා. අන්තිමට පිස්සෙක් වෙනවා, එක්තැන් කරන්න ගියාම. දැන් මෙතන අවධානය යොමු කරගෙන ඉන්නවා බණ අහන්න. අවශ්‍යය කරුණ කියන්න මං අවධානය ඒ පැත්තට යොමු කරලා තියෙනවා. අවධාන දෙකම හරියට කරන්න පුලුවන් වික්ෂිප්ත නැතුව, ලෝභ-ද්වේෂ-මෝහ පැත්ත නැති නිසා. ලෝභයටයි, ද්වේෂයටයි, මෝහයටයි කැමැත්තෙන් අල්ලාගන්න ගියා නම් එහෙම මෙතන මේක කරන්න බෑ. දැන්, කැමැත්තට බණ කියන්න ගියොත්, එයා හිතන් ඉන්නවා, “බණ කියන කෙනාට කොච්චර විශේෂයක්, ගෞරවයක් තියෙනවාද? එයා හොඳට ගෞරවයක් ලබාගෙන ඉඳලා, කැමැත්තෙන්, එයාට තත්වය මෙහෙමයි, ඨානාන්තරය මෙහෙමයි, කොච්චර හොඳද?” දැන් ඔහොම හිතාගෙන එහෙම බණ කියන්න ගියොත්, මේක කැමැත්තට නැති එකක් නේ, බණ කියන එකත්. කවුද කැමැත්තට අනුව අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ? අන්න ඒ වෙලාවෙදි අපිට සිද්ධ වෙනවා, කැමැත්තට නැති දෙයක් කැමැත්තෙන් සිද්ධ කරන්න ගියොත් එහෙම, වික්ෂිප්ත වෙන්නේ එතන. “මූට බණ කියන්න ගිහිල්ලා මට බැණුම් අහන්න සිද්ධ වුනා, මං හිතාගත්තේ ඕක නෙමෙයි” එහෙම ආං බණින්න පටන් ගන්නවා මිනිස්සුන්ට. දැන් මොකද වෙන්නේ? එයා කැමැත්තෙන්, කැමැත්තට බණ කියන්න ගියා නම් සිද්ධ වෙන්නේ ඕක. දයානුකම්පාවෙන් බණ කියන්න ගියා නම්, කැමැත්තට පවතින්නේ නැති එකක් බව දැනගෙන, කවුරු මොනවා කිවුවත්, එයාට ඒවා ගැහෙන්න, කම්පණය වෙන්න හේතු නෑ. ඒකෙත් එහෙම එකක් තියෙනවා.

බණ අහන්න යනවා, “මං බණ අහන කෙනෙක් කියලා ලෝකයා දැනගනිත්වා!” කැමැත්තක් තිබුණා. “ඉඳගෙන නම් ඉන්නවා හොර උපාසකයා වාගෙ ගිහිල්ලා” කියලා කවුරුහරි කිවුවොත් මොකද වෙන්නේ? “ඔවු ඉතින්, අපිම තමයි ඕකාට පේන්නේ, හෙණ ගහන්න ඕනෑ ඕකාට! අසත්පුරුෂයා!” අපි බණිනවා හිතින් එතකොට. අපිට වික්ෂිප්තයි. ඉතින් මේ කැමැත්තෙන් කරන ඒවා ඔක්කෝම නතරවෙන්න ඕනේ. ඒකට හේතුව මොකද, කැමැත්තට අනුව කරන්න ගියොත්, කැමැත්තට අනුව පවතින ලෝකයක් නෑ, කැමැත්තට අනුව පැවතුනේ නැති ලෝකයක ඕක දැනගන්න ඕනෑ ඉස්සෙල්ලාම. ඔන්න ඕක තේරුම් ගත්තා නම් අපිට කාගෙන්වත් ප්‍රශ්නයක් නෑ.

කුසල සීලය හෙවත් අවිද්‍යා තණ්හා පහ කිරීම නිවනට මගයි
අන්න සමාධියට මුල, “අවිප්‍රතිසාරය” – විපිළිසර වෙන්නේ නෑ. අන්න “කුසළ සීලය”. කුසළ සීලය ගන්න නම්, අනිච්ච – දුක්ඛ – අනත්ථ අහක් කරලා කුසළ සීලයක් පහල කරන්න බෑ. “කෝසානි විචෙයිය කේවලානි දිබ්බං මානුසතංච බ්‍රහ්ම කෝසං සබ්බ කෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝතාදි පමුච්චතෝ තථත්තා” << ත්‍රිපිටක සුචිය අවශ්‍යයි>> දිව්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ, මනුශ්‍ය කෝෂ, සකලවිධ කර්ම කෝෂ පිළිබඳ, ඒවායේ ඉපැද්මට හේතුවන අවිද්‍යා-තෘෂ්ණාවන්ගේ පහකිරීමක් ඇද්ද, කුසල් යැයි කියනු ලැබේ. අන්න කුසල කියන එක. මේ අවිද්‍යා-තෘෂ්ණා පහවෙන්න නම් මොකද වෙන්න ඕනේ? අනිච්ච වශයෙන් දකින්න ඕනේ, දුක්ඛ වශයෙන් දකින්න ඕනේ, අනත්ථ වශයෙන් දකින්න ඕනේ. අන්න ඒ අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් දකින්න දකින්න, යම් අවිද්‍යාවක් – තෘෂ්ණාවක් පහවෙලා ගියාද, ඕකට කියනවා “කුසලය වැඩෙනවා”.

ඔන්න ඔය ශික්ෂණයේ පිහිටියට පස්සේ එයාට කියනවා, “කුසල සීලයෙහි පිහිටියා”. එයාට අමුතුවෙන් කරන්න දෙයක් නෑ ඉන් එහාට ඔය එකක් වත්. කුසල සීලය අවිප්‍රතිසාරය ඇතිකරනවා. ඒක ධර්මතාවයක්! කම්පා වෙන්න හේතු නෑ. අන්න, යථා ධර්මය තුළින් ආපුහාම කම්පාව නැතිවෙලා ගියපු හැටි. අවිප්‍රතිසාරය ප්‍රමෝදයත්, ප්‍රමෝදය සිත-කය දැන් කම්පා වෙන්න විදිහක් නෑ, දූෂ්‍ය වෙන්න විදිහක් නෑ, ප්‍රමෝදයි. ප්‍රමෝදය පස්සද්දියත් – සැහැල්ලු බව ඇතිවෙනවා. පස්සද්ධිය ප්‍රීතියත් – නිරාමිස ප්‍රීතිය ඇතිකරනවා. එතකොට, ප්‍රීතිය සුඛයත් ඇතිකරනවා. සුඛය සමාධිය ඇතිකරනවා. සමාධිය යථාභූත ඥාණ දර්ශනය ඇතිකරනවා. එතනින් ආයි සැරයක් අපිට ප්‍රඥාව පහල කරනවා, අමුතු එකක් කරන්න දෙයක් නෑ. ඒ සමාධියම, ඒකෙන්ම අත්දකිනවා

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X