Temples of Sri Lanka

මිනිසා සුවඳයි මල සේ

මිනිසා කතාවෙන් සහ හැඩරුවින් පමණක් යහපත් නොවේ

වාක්කරණ මත්තෙන
වණ්ණ පොක්කාර තායවා
සාධු රූපො නරෝ හෝති
ඉස්සුකී මච්ඡරි සඨො

අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ පිරිසක් මුල්කරගෙන දේශනා කරන ලද ඉහත ගාථාව ඛුද්දක නිකායට අයත් ධම්ම පදයේ ධම්මට්ඨ වර්ගයේ සඳහන් වෙනවා.

ඊර්ෂ්‍යාව, මසුරුකම හා කපටි අදහස් ඇති පුද්ගලයා මනා රූ සපුවකින් යුත් මිහිරි වචන කතා කරන්නෙකු වුවත් ඔහු යහපත් මිනිසෙකු නොවන බව ඉහත ගාථාවේ සරල අදහසයි.

බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයේ ධර්මධර හා විනයධර මහ තෙරුන් වහන්සේලා දෙනමක් බොහෝ පැවිදි ශිෂ්‍යයන්ට ධර්ම විනය ඉගැන්වූවා. එම ශිෂ්‍යයන්ගෙන්, උන්වහන්සේලා දෙනමට අපමණ ගරු බුහුමන් පුද සත්කාර ලැබෙන්නට වුණා.

එම ගුරු හිමිවරුන් ලබන පුද සත්කාර ඉවසා සිටිය නොහැකි වූ තවත් පුහුදුන් භික්ෂූන් වහන්සේ දෙනමක් තමන්ට ද ඒවා ලබා ගැනීමේ අදහසින් බුදුරදුන් හමුවීමට ගොස් තමන් වහන්සේ දෙනමට ධර්මය විනය ඉගැන්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ධර්මය හා විනයේ අර්ථ නොදන්නා නමුත් තමන්ට ඒවා මිහිරි ලෙස කීමට හැකි බවත් ගුරුවරයෙකුට අවශ්‍ය මනා රූප විලාසයක් ද තමන්ට තිබෙන බවත් උන්වහන්සේලා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කළහ. උන්වහන්සේලා දෙනමගේ සිත් තුළ ඇති නරක අදහස් දැනගත් බුදුරජාණන් වහන්සේ ඒ දෙනමට අවවාද වශයෙන් මෙම දහම් ගාථාව හා තවත් ගාථාවක් දේශනා කළා.

මෙම ගාථාවේ සඳහන් අන්දමට අනුන්ගේ සිත් ඇදී යන මිහිරි වචන භාවිත කරන, එසේම බාහිර අලංකාරයෙන් යුක්ත කෙනෙකු වුවත් ඊර්ෂ්‍යාව, මසුරුකම හා කපටි අදහස් තිබෙන තුරු ඔහු යහපත් පුද්ගලයෙකු නොවේ.

ඔහු යහපත් පුද්ගලයෙකු ලෙස සමාජය මුළා කරන්නෙකි. ඔහුගේ සිත තුළ පවතින අවගුණයන් ඔහුට පමණක් නොව සමාජයට ද අයහපත පිණිසම හේතු වෙයි.

අනුන්ගේ ගුණ, නුවණ හා සැප සම්පත් ඉවසීමට නොහැකි බව ඊර්ෂ්‍යාව යි. එය වර්ධනය වූ විට විවිධ අනර්ථකාරී ක්‍රියාවන්ට යොමු වෙයි. මසුරුකම ද පුද්ගලයාට දෙලොවම පසු තැවීම ඇති කර දෙන අකුසලයකි. මසුරු පුද්ගලයා තමා සතු දෙය ප්‍රයෝජනයට නොගන්නා අතර අන්‍යයන්ට අයිතිවීමටද අකැමැතිවෙයි. අන්සතු දෙය පවා තමා සතු කර ගැනීමට වෙහෙසෙයි.

මසුරු පුද්ගලයෙකුට සසර සුගතිගාමී ජීවිත ලබා ගැනීම අපහසු වෙයි. සිත තුළ වෙනත් අරමුණු තබාගෙන නිවැරැදි පුද්ගලයකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටීම කපටිකමයි.

සමාජය මුලා කිරීම සඳහා මිහිරි වචන භාවිතය හා බාහිර පෙනුම ඒ සඳහා ඔහු යොදා ගනියි. එහෙත් දිගින් දිගටම එය කළ නොහැක. ඔහුගේ කපටි අදහස් ප්‍රකට වූ විට සමාජයේ පිළිකුළට භාජනය වෙයි. එසේම කපටි ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක සසර අපමණ දුක් පීඩාවට පමුණුවයි.

එබැවින් තමාට හා සමාජයට අවැඩ දායක මෙම දුර්ගුණ නැතිකර ගැනීමට කටයුතු කිරීම දෙලොවටම වැඩදායක වෙයි. මනස පිරිසුදුව තබා ගැනීම තුළින් පමණක් යහපත් පුද්ගලයකු වන අතර එය උතුම් නිවන් සුව අවබෝධ කර ගැනීමට මහෝපකාරී වෙයි.

සාමාන්‍ය ව්‍යවහාරයෙහි දී කෙළෙහි ගුණ දැක්වීම යන්නෙන් අදහස් කරනුයේ මෙම සත්පුරුෂ ගුණයයි. සත්පුරුෂයකු වීම, සත් පුරුෂයකු දැකීම අතිශය දුෂ්කර හා දුර්ලභ අවස්ථාවක් බව බුදු රජාණන් වහන්සේ දක්වති.

”කතඤ්ඤුු කතවේදි පුග්ගලෝ දුල්ලභෝ ලොකස්මිං ” කළ උපකාරය සිහිපත් කරන හා කළ උපකාරයට ප‍්‍රති උපකාර දක්වන්න පුද්ගලයෝ ලොවෙහි දුර්වල වෙති යනු බුදු වදනයි.

ලොව විශිෂ්ට වූ බුදු, පසේ බුදු, මහ රහත් යන උත්තමයෝ සත්පුරුෂයෝ වෙති. එය එම උතුමන්ගේ චරිත තුළින් මනාව ප‍්‍රකට කෙරෙයි. අපගේ බුදු පියාණන් වහන්සේ බුදු බව ලැබීමට පාරමී ධර්ම පූරණය කරන අවධියේ දී ද සත් පුරුෂ ගුණ සිත දැරූ බව ජාතක කතා පොත් වහන්සේ තුළින් මනාව ප‍්‍රකට ය.

බුදු බව ලැබීමෙන් අනතුරුව සත් සතිය ගත කළහ. සත් සති යනු යහපත් සිතින් යුතුව විසීමයි. එහි දී උන්වහන්සේ තමන්ට බුදුබව ලබා ගැනීම උදෙසා උපකාරී වූ පරිසරයට කෘතවේදී බව දැක්වුහ. අනිමිස ලෝචන පූජාව මීට කදිම සාක්ෂියකි. බුදු රජාණන් වහන්සේ මුලින් ම අප වෙත දැක්වු ධර්මය මේ අනුව ගත් විට කෘතවේදිත්වය හා කෘතඥතාවයි. ජීව, අජීව, අචින්තක, සචින්තක, භෞතික, අභෞතික මේ සියල්ල කෙරෙහි කෘතවේදීව, කෘතඥතාවයෙන් යුක්තව විසිය යුතු බව උන්වහන්සේ මේ තුළින් ලොවට ප‍්‍රකට කළහ.

බුදු දහම සමාජ සංස්ථා ගොඩ නඟා එම සමාජ සංස්ථාවන්ට යම් යම් වගකීම් පවරා ඇත. එසේ පවරන වගකීම් තුළින් සමාජය කෘතවේදිත්වයට හා කෘතඥතාවට යොමු කොට ඇත. මව්පියෝ දරුවන් හදා වඩා ගනිමින්, වරදින් මුදවා යහපතෙහි යොදවා ඔවුන්ට ශිල්ප ශාස්ත‍්‍ර උගන්වා ලොකු මහත් කොට අවාහ විවාහ කර දී දේපළ පවරා ඔවුන්ගේ ජීවන අභිවෘද්ධිය ඉටු කළ අතර දරුවෝ මව් පියන් මහළු වූ විට ඔවුන්ට ඇප උපස්ථාන කරමින් ඔවුන්ගේ කුදු මහත් කටයුතු ඉටු කළහ. මේ නිසා බෞද්ධ සමාජ තුළ වැඩිහිටි නිවාස, ළමා නිවාස, අනාථ නිවාස බිහි නොවීය. මෙලෙසම ගුරුවරු සිසුන් මැනවින් හික්මවමින්, වරදින් මුදවා යහපතෙහි යොදවා මැනවින් ශිල්ප ශාස්ත‍්‍ර ලබා දුන් අතර සිසු දරුවෝ ද ගුරුවරුනට කෘතවේදි වෙමින් ගුරුන්ට ගරු සත්කාර සම්මාන දක්වමින් මැනවින් ශිල්ප උගත් හ. බිරිඳ ස්වාමියාට ගරු කරමින් ඔහු වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් ඉටු කරමින් ඔහුට ශක්තියක් වු අතර ස්වාමි පුරුෂයා ද බිරිඳට ගරුකරමින් ඇයට ඇප උපස්ථාන කළේ ය

ගිහියෝ පැවිද්දන්ට මෛත‍්‍රී සහගතව සිව් පසයෙන් උපස්ථාන කළ හ. පැවිද්දෝ ගිහියන්ගේ මෙලොව පරලොව සුබ සිද්ධිය සඳහා අනුශාසනා පැවැත් වූ හ. එය බුදු රජාණන් වහන්සේ තම ශ‍්‍රාවකයනට අවධාරණය කළ

නිතර සිව්පසයෙන් උදව් කරන්නාවු ගිහි පිරිසට ප‍්‍රති උපකාරයක් වශයෙන් ධර්ම දානයෙහි යෙදෙන්න. උන්වහන්සේ ගේ අවවාදය වූහ. මේ නිසා බෞද්ධ සමාජය කෘතවේදි සමාජයක් විය. කෘතඥතාව පිරි සමාජයක් විය. සත් පුරුෂ සමාජයක් විය.යහපත් මිනිස් ගති දැරූ සමජයක් විය.

මනුෂ්‍යයන්ට පමණක් නොව සතා සිව්පාවට ද ඒ කෘත වේදිත්වය එලෙස දැක්වී ය. උන්වහන්සේ පඤ්ච ශීල ප‍්‍රතිපදාව තුළින් මේ ජීව හිතවාදී බව ප‍්‍රකට කරයි. සැම දෙනාගේ ජීවිත සඳහා හැම දෙනාම උපකාරී වෙයි. එසේනම් අනිකා කෙරෙහි සැළකිලිමත්ව කටයුතු කළ යුතු යි. කරණියමෙත්ත, මංගල, ආදී සූත‍්‍ර දේශනා තුළින් ද මේ ජීව හිතවාදි සමාජ උපකාරි සමාජයකට ආදර්ශයට ගත හැකි දේශනා ඇත.

වර්තමාන සමාජය දෙස බලන විට මෙම සත්පුරුෂ ගුණාංග තිබේ දැයි අපි විමතියට පත් වෙමු. බලය ආ කල බලය ලබා ගන්නට අත හිත දුන් අය අමතක වන රජ දරුවෝ වෙති. ධනය, බලය, තාන්න මාන්න සියල්ල තමන්ට ඉබේ පහළ වූවා යැයි සිතන අසත්පුරුෂයන් බොහෝ වෙති. කන්ද නැඟ හැරමිටිය විසි කරන, උඩට නැඟ හිනි මඟට පයින් ගසන, කන්න දුන්න අත සපා කන, ළිදෙන් වතුර බී මුහුදට ආවඩන නරුම සමාජයක් වර්තමානයේ බිහිව ඇත. මව්පියෝ දිවා රෑ නොබලා වෙහෙස වී දරුවන් තනා ඔවුන් ලොක්කන් කරති. එහෙත් ඒ ලොක්කෝ මව්පියන් වැඩිහිටි නිවාසයට ගාල් කරති. සිසු දරුවෝ තමන්ට ශිල්ප ශාස්ත‍්‍ර ලබා දුන් ගුරුවරුන්ට එරෙහි වෙති. තමන්ගේ ආගමික කටයුතු ටික ඉටු කරන තෙක් භික්ෂූන් වහනසේට බැතිමත් වන දායකයෝ ඉන් අනතුරුව මෛත‍්‍රියෙන් තොරව කටයුතු කරති. තමන්ට සේවය සපයන රාජ්‍යසේවකයන් කෙරෙහි රජය කරුණාවක් නැත්තාසේම රාජ්‍ය සේවකයෝ ද රාජ්‍ය දේපල සොරා කමින් රජයට කෘතවේදි නොවෙති. පාලකයෝ තමා බලයට පත් කළ දරදිය ඇද්ද උදවිය අමතක කරති. තම බලය සදහා කැප වූ ජනයා තලා පෙළා පාලන කටයුතු කරති. මේ වර්තමානයේ ඇති තත්වයන්ගෙන් බිඳකි.

මෙසේ වන්නට හේතු වී ඇත්තේ සැබවින් ම මමායනය නැතහොත් සක්කාය දිට්ඨියයි. අටලෝ දහමෙහි වටිනා පැත්ත අත්පත් කරගන්නටත් නොවටිනා පැත්ත බැහැර කරන්නටත් මහ තරගයක නිරත මිනිසා කෘතවේදිත්වය හා කෘතඥතාවය අමතක කර ඇත. මේ නිසා අසත්පුරුෂ විෂම, නරුම සමාජයක් බිහිව ඇත. ඒ නිසා අප ජීවත්වන සමාජය අවුල් වියවුල්වලින් යුතු හිංසාකාරි සමාජයක් වී ඇත. මෙය වෙනස් කළ හැක්කේ ද අපටයි. එහෙයින් මෙම සමාජ ක‍්‍රමය වෙනස් කිරීමට බුදු ගුණ අගයමු. බුදුබණ පිළිපදිමු. අපි යහපත් මිනිස්සු වෙමු. කළ ගුණ දන්නා මිනිස්සු වෙමු. යහපත් සමාජයක් බිහි කරමු.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X