Temples of Sri Lanka

මිනිසත්කම ගිළිහුණු දා ප්‍රතිඵල භයානකයි

වර්තමාන සමාජය තුල වැඩිපුර කතාබහට ලක්වූ කාරණා කීපයක් ගැන ඔබේ අවධානය අවදි කරන්න කැමතී..

මාතර නගරයේ උපකාරක පන්තියකට පැමිණෙමින් සිටි උසස් පෙළ සිසුවකුට තවත් සිසුන් පිරිසක් විසින් පයින් හා තියුණු ආයුධවලින් පහරදීමේ පුවත මුළු රටම කම්පා කළ සිද්ධියක්.

මේ පාසල් සිසුන් අතර සිදු වූ සුළු සිද්ධියක් නිසා ඇති වූ අනුවේදනීය පුවතක්.

මෙලෙසම බේරුවල දියගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක සිසුන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ උසස් පෙළ හදාරන ශිෂ්‍ය නායකයා මිය යෑමේ සිද්ධිය…

මෙම සිදුවීම් දෙකම ළඟ ළඟ දින දෙකක දී සිදුවූවත් මාතර සිදුවූ සිදුවීම පිළිබඳ සමාජය තුළ හා සමාජ වෙබ් ජාල තුළ බොහෝ කතාබහට ලක්කලා.

එයට ප්‍රධානම හේතුවක් වූයේ මෙම සම්පූර්ණ සිදුවීම අසල තිබූ කැමරාවක සටහන්ව තිබී එය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමයි.

මාතර නගරයේ උපකාරක පන්තියක් අසලදී සිදු වූ මෙම සිදුවීම පිළිබඳ මුළු රටම බලා කම්පා වූයේ වර්තමාන දරු පරපුරේ ක්‍රියා කලාපයන් ගැන පුදුමාකාර වේදනාවකින්..

මෙම සිද්ධීන් දෙස අප බැලිය යුත්තේ කුමන කෝණයකින්ද යන්න හරිම ප්‍රශ්නාර්ථයක්..

ජනාකීර්ණ වූ මාතර නගරය මධ්‍යයේ දහසක් දෙනා බලා සිටියදී මෙවැනි දෙයක් සිදුවෙද්දී කිසිවෙකු එය බේරන්නට ඉදිරිපත් නොවූයේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කරති.

වර්තමානයේ මෙවැනි සිදුවීම්වලට මැදිහත්වීම තුළින් ඇතිවන්නේ අනවශ්‍ය ගැටලුවක් තමා මත පටවා ගැනීම බව බොහෝ දෙනා සිතති. එසේම මේ අයුරින් පාසල් වයසේ සිසුන් හැසිරෙනු ඇතැයි කවුරුත් නොසිතති. යතුරු පැදියකින් පැමිණ තියුණු ආයුධයකින් ඇන පහර දෙන්නට තරම් ශක්තියක් ඔවුන්ට ලැබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු කරුණකි.

මෙම සිදුවීමේ දී ඔවුන් අනුකරණය කරන්නට ඇත්තේ වර්තමානයේ ප්‍රචාරය වන සමහර ටෙලි නාට්‍ය හා හින්දි නාට්‍ය යැයි මතයක් ද කතිකාවතට බඳුන් විය.

ජනපි‍්‍රය ටෙලි නාට්‍යයක ප්‍රචාරය වන සිද්ධි මාලාවක් අනුකරණය කිරීම නිසා මෙය සිදුවූ බව ඇතැමුන් සමාජ ජාල හරහා මාධ්‍ය වෙත ඇඟිල්ල දිගුකර තිබුණේ කිසිදු අරුතක් නැතිවය.

සැබැවින්ම මෙම සිදුවීම අපගේ සමාජයේ එක් පැතිකඩක් නිරූපණය කිරීමක්දැයි යන ප්‍රශ්නය ද සමහරුන්ගේ සිත්තුළ පැනනැඟී ඇත. පාසල් වයසේ දරුවන් සිටින ආදරණීය මවකට, පියකුට මෙම සිදුවීම දෑස් හැර බැලීමට තරම් බරපතළ සිද්ධියකි.

මෙතරම් බණ කියන, බණ අසන රටක් ලොව කොහේවත් නොමැති තරම්ය. මෙතරම් ගුණධර්ම කියාදෙන පරිසරයක දරුවා හැදී වැඩුණත්, හොඳම පාසලක ඉගෙනුම ලැබූවත් ඔවුන් පිවිසෙන සමාජය කොතරම් දුරට දරුවාට සුරක්ෂිතදැයි අපට දිය හැකි සහතිකය කුමක් ද?

එසේම දරුවකුට අධ්‍යාපනය පමණක් ලබාදීම තුළින් සමාජය තුළ ඔවුන්ට සාර්ථක ගමනක් යා හැකි ද? මෙවැනි කරුණු පිළිබඳ අප සිතා බලන්නට කාලය උදාවී තිබෙයි.

ඉරිදා දිනයේ දී පන්සල පසුකරමින් ටියුෂන් පන්තියට දක්කාගෙන යන දරුවා වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු හෝ උසස් රැකියාවක් කරන දරුවන් බිහිකරන්නට වෙර දරන මවුපියන් සිටින සමාජයක මෙවැනි සිද්ධීන් මනසටත්, හදවතටත් කතා කරන පාඩමක් කියාදී තිබේ.

සිදුරු කළ පොල්කටුවකින් දිය නහවා, දෑත දෙපය නොකඩා දැඩි වෙහෙසක් දරා උස් මහත් කළ දරුවා, රජෙක් කරන්නට සිහින දකින මාපියන් කුඩා කාලයේ සිට හුරු කරන්නේ කෙසේ හෝ තම ඉලක්කය ජය ගන්නටයි.

අවුරුදු තුනේ සිට ටියුෂන් රැගෙන යන දරුවා පහේ ශිෂ්‍යත්වයට සූදානම් කරන්නේ ඔවුන්ට ජීවිතය ජයගන්නා ලොකුම විභාගය ලෙසටය.

ඉන්පසුව සාමාන්‍ය පෙළ විභාගයයි. උසස් පෙළ විභාගයට සූදානම්වන දරුවාට පොතපත හැර සමාජයක් ගැන වැටහීමක් නොවේ. ආගම දහම ගැන ඉගෙන ගන්නට තියා පෝය දිනට පන්සලකට යන්නට මලක් පහනක් පුදන්නට කාලයක් නොවෙයි.

දරුවාගේ ඉගෙනීම ගැන මහත් ආඩම්බරයෙන් උදම් අනන මවුවරුන්ට දරුවාට සමාජය ගැන කියා දෙන්නට වෙලාවක් නැති තරම්ය. තම නෑදෑයන් වැඩිහිටියන් සමඟ ඇසුරු කරන්නට කාලයක් ද නොවෙයි.

පාසලෙන් ලැබෙන දැනුමට වඩා වූ ටියුෂන් පන්තියෙන් පොවන කල්ක, ගුලි චූර්ණ ගැන විශ්වාසය තබන දරුවන් පාසලේ ගුරුවරයාගේ උපදෙස් පිළිනොපදියි.

ටියුෂන් පන්තියේ ගුරුවරයාගේ දෙපිට කැපෙන ආලවට්ටම් භාෂාවට වශීවන අපේ දරුවන් බාගෙට වැසුණු සැලෝන් දොරෙන් ඉරිදාට පියඹා යන්නේ ටියුෂන් පන්තියටය.

මෙවැනි පසුබිමක් තුළ හැදෙන දරුවාට තම සමිපතමයන් ඇසුරු කරන්නට කාලයක් සොයාගැනීමටවත් නොහැකිය.

ඔවුන්ගේම ලෝකවල හුදකලා වන දරුවන් සිහින ලෝකවල අතරමං වෙයි.

පරිගණකය, ජංගම දුරකථනය තුළ මැවෙන සුන්දර ලෝකය සැබෑකරගන්නට ඔවුන් වෙර දරයි. තම මුහුණු පොතෙන් පෙම්වතෙක් හෝ පෙම්වතියක් සොයාගන්නට, නව මිතුරු සමාජ ගොඩනඟාගන්නට, විනෝද වන්නට, මත්පෙති, මතු කුඩු බොන්නට පෙලඹෙන්නේ මෙවැනි යාන්ත්‍රික සමාජ රටාවක් තුළිනි.

මෙම සිදුවීමේ දී මේ දරුවන්ගේ ගැටුමට වැඩිහිටියන් මැදිහත් වූයේ නම් ඇතැම්විට එම ජීවිතය බේරාගැනීමට හැකිවන්නට තිබුණි. අනෙකා ගැන නොසිතන මෙවන් සමාජයක් නිර්මාණය කිරිම වෙනුවෙන් වගකිව යුත්තේ කවුරුන් ද? අප අපගෙන්ම පෙරළා ප්‍රශ්න කළ යුතු නොවේ ද?

ආදරණීය අම්මේ, තාත්තේ, ඔබට ද ඔබේ දරුවාට මෙන්ම සොඳුරු පාසල් වියක් තිබෙන්නට ඇත. ඒ පාසල් කාලයත් දැන් අපේ දරුවන්ගේ පාසල් කාලයත් අතර කෙතරම් වෙනසක් තිබේද?

එදා පාසල ඇරී සැතපුම් ගණන් පයින් ඇවිද ගිය සොඳුරු අතීතය සිහිකර බලන්න.

කුඩාකළ අප විසින් නිවැරදිව මෙහෙයවන දරුවා හෙට දිනයේ ඔහුගේ ජීවිතයද නිවැරදි ස්තාවරයකට ගොඩනගා ගන්නවා සේම අස්ථාවර ආරම්භයක් ගොඩනැගුනු දරුවා අස්තාවර අනාගතයකට උරුමකම් කියයි…

ආරම්භය සවිමත් කරමින් හෙට ලෝකය බබුලුවාලන දරු පරපුරක මිහිර දකින්නට දෙමපියනි, වැඩිහිටියනි, අත්වැල් බැඳගන්න….

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X